The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බදු වියදම් කලේ කුමටද කියා නොදැන බදු ගෙවන අරුම පුදුම ලාංකිකයෝ - (ශාන්ත ජයරත්න)

T

The Leader Desk

October 16, 2022 • 8:30 AM

බදු වියදම් කලේ කුමටද කියා නොදැන බදු ගෙවන අරුම පුදුම ලාංකිකයෝ - (ශාන්ත ජයරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍යයෙන් ලෝකයේ රටවල රජයන් ප්‍රතිපත්තියක් හැටියට බදු සංශෝධන ගෙන එන්නේ වර්ෂයකට එක් වරයි.
  • එංගලන්තයේ සෑම වර්ෂයකම බදු සංශෝධන සිදුවන්නේ මාර්තු මස 31 වනදා මධ්‍යම රාත්‍රි 12ට බව සමස්ත රටවැසියාම චිරාත් කාලයක සිට දන්නා කාරණයක්.
  • බදු වර්ෂය අවසාන වනවාත් සමග සෑම බදු ගෙවන්නෙකුටම තම ආදායමෙන් බදු වශයෙන් කොතෙක් අයකර ගත්තේද, එම බදු කුමක් සඳහා කුමන ප්‍රතිශතයකින් වැය කොට ඇත්ද යන වාර්තාව ඊමේල් මගින් දැනුම් දීමට රජය කටයුතු කරනවා.
  • කිසියම් බදු ගෙවන්නෙකුට යම් ගැටලුවක් ඇත්නම් එයද විමසා දැනගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙනවා.


සාමාන්‍යයෙන් ලෝකයේ රටවල රජයන් ප්‍රතිපත්තියක් හැටියට බදු සංශෝධන ගෙන එන්නේ වර්ෂයකට එක් වරයි. එංගලන්තයේ සෑම වර්ෂයකම බදු සංශෝධන සිදුවන්නේ මාර්තු මස 31 වනදා මධ්‍යම රාත්‍රි 12ට බව සමස්ත රටවැසියාම චිරාත් කාලයක සිට දන්නා කාරණයක්.  ඒ විතරක් නොවෙයි. බදු වර්ෂය අවසාන වනවාත් සමග සෑම බදු ගෙවන්නෙකුටම තම ආදායමෙන් බදු වශයෙන් කොතෙක් අයකර ගත්තේද, එම බදු කුමක් සඳහා කුමන ප්‍රතිශතයකින් වැය කොට ඇත්ද යන වාර්තාව ඊමේල් මගින් දැනුම් දීමට රජය කටයුතු කරනවා.


කිසියම් බදු ගෙවන්නෙකුට යම් ගැටලුවක් ඇත්නම් එයද විමසා දැනගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ හරහා, රජයේ බදු වියදම් පිළිබඳ වගවීම ඉතා ඉහළ විනිවිදභාවයකින් යුක්තව රටේ ජනයාට ආදර්ශයෙන් පෙන්වා දී තිබෙනවා. එමගින්, ජනයා බදු ගෙවීමට උනන්දු වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් ලංකාවේ එදා මෙදාතුර රට කරවූ රජයන් ට එවැනි ප්‍රතිපත්ති නොතිබුණු බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.

 

රජය කිසිවිටෙක බදු වශයෙන් එකතු කරගත් මුදල් කුමක් සඳහා කුමන ප්‍රතිශතයකින් වියදම් කලේද යන්න බදු ගෙවන්නාට දැන ගත හැකි මාධ්‍යක් මේවන තෙක් රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ  . රජය විසින් එසේ දැනුම් දීමට නීතියෙන් බැඳී ඇත්තේද නැහැ. ලංකාවේ බදු ගෙවන්නන්ද ඒ පිළිබඳ නීති ගෙන එන ලෙස රජයට බලකිරීමට උනන්දුවක් පෙන්වන්නේත් නැහැ. එහෙත්, කිසියම් දිනෙක රටේ බදු ගෙවන ජනයාට වගවෙන  ආණ්ඩුවක් බලයට පත්කර ගැනීම පුරවැසියාගේ වගකීමක් හැටියට සැලකිය යුතු  නොවේද ? 

 

2019 සිට බලයේ සිටින මෙම පොහොට්ටු රජය 2022 ඔක්තෝබර් වන විට සිව් වරක් බදු සංශෝධන ගෙනවිත් තිබෙනවා. ඉන් රනිල් වික්‍රමසිංහ විසින් මාස කිහිපයක් ඇතුලත බදු සංශෝධන දෙවතාවක් සිදුකොට තිබෙන අතර බොහෝ විට ලබන මාසයේ ඉදිරිපත් වන 2023 අයවැයෙන් නැවත වරක් බදු සංශෝධනයක් පැමිණිය හැකියි. එය බදු මත බදු ගසන (Tax on Tax) අයවැයක් වීමට බොහෝ විට ඉඩ තිබෙනවා.


රටේ ජනයා බදු ගෙවිය යුතුයි. එසේම, රජයක වගකීම විය යුත්තේ රටේ බදු ප්‍රතිපත්තිය සරල, සාධාරණ, සහ එකතු කරගැනීමට පහසු වන ආකාරයට සකස් කිරීමයි. එසේ නොමැතිව, ශරීරකෘතිය කරගැනීමට අවශ්‍ය වූ විට පිට්ටනි හොයන්නා සේ බදු පැනවීමට යාම තුල අපේක්ෂිත අරමුණු කිසිවක් ඉටු කරගැනීමට නොහැකි වනු ඇති.


ලංකාවේ බදු ප්‍රතිපත්තිය වෙන්නේ බලයට පත්වන පාලක පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තිය මිස රටේ මූල්‍ය ප්‍රතිපත්තිය (Fiscal Policy ) මත පදනම් වූ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ කොටසක් නොවෙයි.


එය එසේ වූවා නම් 2019 බලයට පත්වූ ගෝටාභය රාජපක්ෂ රජය කිසිදු විශ්ලේෂණයකින් තොරව බදු කපා හරීවිද? කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව සීනි සහ පොල්තෙල් ආනයන බදු කපාහරිමින් තෝරා ගත් ආනයන කරුවෙකුට බිලියන 26 ක අයථා ලාභයක් උපයා ගැනීමට රජයේ අනුග්‍රහය ලබා දෙයිද? දේශපාලන බලය හිමි කැසිනෝ ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ රුපියල් මිලියන 2000 ක පමණ බදු  කපා හැරීමකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙළඹවීමට රජයක් කටයුතු කරයිද ?


ඒ ආකාරයෙන්ම, 2015 බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ රජය කොපමණ නම් එජාපයට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ ණය බොල් ණය හැටියට කපා හැරියේද? ඉදිරියේදී තව කොපමණ දේශපාලන හිතවතුන්ගේ ණය බොල් ණය ලෙස කපා හැරීමට කටයුතු කරාවිද ? මහබැංකු හොරුන් නිදොස් කොට නිදහස් වීමට සරිලන ආකාරයට නඩු ගොනු සකස් වන්නේ අදාළ නීති නිළධාරීන් නීතිය නොදැනද?

 

ගෝටාභය රාජපක්ෂ රජය VAT  බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම, PAYE (උපයන විට ගෙවීම) බද්ද සහ NBT  (ජාතිය ගොඩනැගීම)  බද්ද, රදවා ගැනීමේ බද්ද (WHT) සම්පූර්ණයෙන්ම කපාහැරීම, පුද්ගල ආදායම් බදු සීමාව මිලියන 3 දක්වා ඉහළ දැමීම යනාදි බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම තුල  2020 සහ 2021 වර්ෂ වල රජයට අහිමි වූ බදු ආදායම පමණක් රුපියල් බිලියන 1700 කට වැඩිය.

 

රජයේ ආදායම් විශාල වශයෙන් අහිමි කරගත් රාජපක්ෂ රජය විසින් රජයේ වියදම් පියවා ගැනීමට අනුගමනය කල පහසුම ක්‍රමය වූයේ පාර්ලිමේන්තු බහුතර බලය යොදාගෙන රජයේ ණය සීමාව වැඩි කරගනිමින්  වරින් වර රුපියල් ට්‍රිලියන 3කට වැඩි මුදල් ප්‍රමාණයක් බියගම ඩිලාරු කම්පැනිය ලවා අච්චු ගැසීමයි. ඊට අමතරව, විදේශීය විවෘත මූල්‍ය වෙළෙඳපොළින් ගිනි පොලියට ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 30කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමයි.


ලංකාවේ සමස්ත ණය 2021 අවසානය වන විට, දේශීය සහ විදේශීය, ඩොලර් බිලියන 100.9 ක් හැටියට මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය දිනවල ණය හිමියන් වෙත නිකුත් කල වාර්තාවක සඳහන් වෙනවා https://www.treasury.gov.lk>api>file  අභාග්‍යක තරම, එතරම් ණය ගත්තේ කුමක් සඳහා ද , ඒවා වියදම් කලේ කෙසේද යන්න පිළිබඳ  හාන්කවිස්සියක අවබෝධයක් නැති අහිංසක ජනයා ඒවායේ ආදිනව අදවන විට විඳිමින් සිටිනවා. ඒ වගේම , පාලකයන් අද ගන්නා ණය අනාගත පරම්පරාවට බදු වශයෙන් ගෙවීමට සිදුවන බවද රටේ ජනයා සිහි තබා ගත යුතු වෙනවා.

 

රටේ උද්ධමනය මොහොතින් මොහොත වැඩි වෙමින් පැමිණ ගිය සැප්තැම්බර් මාසය වන විට 70.2% දක්වාත් ආහාර උද්ධමනය 94.9% දක්වාත් ඉහළ යෑම තුල රුපියලේ මූර්ථ අගය පිරිහී දුප්පත් ජනයා මෙන්ම මාසික වේතන ලාභීන්ට තම ජීවිකාව ගැටගසා ගැනීමට නොහැකිව සියදිවි නසාගන්නා තත්ත්වයට පත්වී තිබෙනවා. නොවැම්බර්, දෙසැම්බර් මාසය වන විට සිය මාසික වැටුප පවා ලැබේවිද කියන සැකය අදවන විට රාජ්‍ය සේවකයින්ට ඇති වී තිබෙනවා.

 

nasheed erik

මාලදිවයිනේ හිටපු අගමැති මොහමඩ් නෂීඩ්, වගේම  LTTE  සාම සාකච්ඡා නියෝජිත නෝර්වේ ජාතික එරික් සොල්හයිම් වැන්නන් පවා උපදේශකයින් හැටියට පත්කරමින් මේ කරන්නාවූ නාස්තිය ප්‍රශ්න කල යුතු නොවේද ?

 

එහෙත් , රජය සිය සුපුරුදු වියදම් රටාව එලෙසින්ම පවත්වා ගෙන යමින් මැති ඇමැති වරුන් පත්කරමින්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වරුන්, සහ තවත් තනතුරු නිර්මාණය කරමින් නොනැවතී ජනාධිපති උපදේශකවරුන් හැටහුටහමාරක් පත්කර ගෙන තිබෙනවා. මාලදිවයිනේ හිටපු අගමැති මොහමඩ් නෂීඩ්, වගේම  LTTE  සාම සාකච්ඡා නියෝජිත නෝර්වේ ජාතික එරික් සොල්හයිම් වැන්නන් පවා උපදේශකයින් හැටියට පත්කරමින් මේ කරන්නාවූ නාස්තිය ප්‍රශ්න කල යුතු නොවේද ? ඔවුනුත් ලංකාවේ ඇමැති වරුන් මෙන් වැටුප් නොගන්නවා කියාවි. එහෙත්, ඔවුන්ගේ  ගුවන් වියදම් , නවාතැන්, ප්‍රවාහන වියදම් යනාදිය පවා දරන්නේ ඔබගේ බොටුව මිරිකා ගන්නා වූ බදු සල්ලි වලින් බව ඔබ දන්නේ ද ?


ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හිමියන් තම ව්‍යාපාර කඩා වැටීම තුල නන්නස්තාර වී සිටිනවා. සෘජු සහ වක්‍ර රැකියා ලක්ෂ 45 කට වඩා අහිමි වන බව එකී ව්‍යාපාර සංගම් (Chambers ) රජයට අනතුරු හැඟෙව්වේ දැනට මාස කිහිපයකට පෙරයි. ඔවුන්ගේ ණය ගෙවීමට නොහැකිව සිටින විට , අනෙකුත් වියදම් දරාගැනීමට නොහැකිව වික්ෂිප්තව බලා සිටින විට මෙසේ නව බදු පැනවීමත් සමග එම සංවිධානයේ සභාපතිනිය පසුගිය බදාදා මාධ්‍යට ප්‍රකාශ කලේ රජය විසින් ඔවුන්ව මරා දමනවා නම් මේ විඳින පීඩාවට වඩා සැප බවයි.

 

රජයේ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කලාපයේ වෙනත් රටවල් කරා ගෙනයමින් සිටිනවා. බොහෝ පරිඝණක සේවා සමාගම් දැඩි සේවක හිඟයකට මුහුණ දෙමින්  සිටිනවා. බොහෝ පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවන් එංගලන්තය, යුරෝපය සහ මැදපෙරදිග රටවල් කරා පදිංචියට යනවා. මෙම ආයතන වැසී යාම තුල හෝ වෙනත් රටවල ස්ථාන ගත කිරීම හේතුවෙන්  රජයට ලැබෙන බදු ආදායම පමණක් නොව ජාතික ආදායමට එකතු වන විදේශ විනිමය අහිමි වීම තුල අත්‍යාවශ්‍ය ආනයන වියදම් පියවා ගැනීමට පවා අවශ්‍ය ඩොලර් අහිමි වෙනවා.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලාංඡනයේ තිබෙන්නේ මලක වහන බඹරෙකුගේ පිංතූරයක්. ඉන් කියවෙන්නේ මල නොතලා රොන් ගන්නා සේ බදු ගෙවන්නන් පීඩාවට පත් නොකොට රාජ්‍ය බදු රැස්කරනා බවයි. එහෙත්, මේ සිදුවන්නේ එයද? රනිල් වික්‍රමසිංහ රජය මල තලා පෙති ගලවා දමා බඹරාටද යන එනමන් නැති කොට හමාරය. බොහෝ විට මෙසේ තවත් ටික කාලයක් ගත වුවහොත්, රනිල් වික්‍රමසිංහ රජයටත් තදබල ඹබර ප්‍රහාරයකට ලක්වීම නොවැළැක්විය හැකි බව පමණක් අවධාරණය කරමි.



shantha jayarahne(ශාන්ත ජයරත්න)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රෙඩින් විශ්වවිද්‍යාලය, එංගලන්තය
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු )
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය SLIDA



 


සබැඳි ලිපි :

බදුගෙවන මට රජයෙන් මොනවද ලැබිල තියෙන්නෙ ? - ( අජිත් පැරකුම් ජයසිංහ)

ධනවත් වසල පැළැන්තිය හා බදු - (අජිත් පැරකුම් ජයසිංහ)

බදු ගෙවන්න නම් අනවශ්‍ය වියදම් කපා හරින්න ! - (කුසල් පෙරේරා)

නව අදායම් බද්ද ජනතාවට දරා ගත හැකිද?

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...