The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගණිකා මඩම්වලින් SPA ආයතන වෙන් කර ගනිමු | | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

September 22, 2025 • 10:49 AM

ගණිකා මඩම්වලින් SPA ආයතන වෙන් කර ගනිමු | | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ස්පා හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ පසුගිය දා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙරට ස්පා ආයතන නීතිගත කිරීමට සහ නියාමනයට අවශ්‍ය සියලුම ලියකියවිලි භාර දී ඇතත් එම ක්‍රියාවලිය තව දුරටත් ප්‍රමාද වෙමින් පවතින බවයි.
  • එමෙන්ම කිසි විටෙකත් කාන්තාවන් ඔවුන්ගේ කැමැත්තට එරෙහිව සේවයේ නොයොදවන අතර ශ්‍රී ලංකා පදනම් ආයතනය සමග එක්ව ස්පා චිකිත්සකයින් සඳහා පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවත් කොළඹින් පිටත ද එවැනි පාඨමාලා පැවැත්වෙන බවත් ඔහු පවසා තිබේ.
  • එමෙන්ම අද වන විට ස්පා කර්මාන්තය ඔස්සේ සෘජු රැකියා 300,000ක් සහ වක්‍ර රැකියා 600,000ක් නිර්මාණය වී ඇති බව ද ශ්‍රී ලංකා ස්පා හිමියන්ගේ සංගමයේ සභාපති වරයා පෙන්වා දී තිබේ.
  • නමුත් තම ආයතන ගණිකා නිවාස නොවන නිසා ගණිකා නිවාස සේ සලකා තම ආයතන නොවටලන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටින සභාපති වරයා ගණිකා නිවාස වැටලීම සම්බන්ධයෙන් තම සංගමය විරුද්ධ නොවන බව ද පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා ස්පා හිමියන්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ පසුගිය දා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙරට ස්පා ආයතන නීතිගත කිරීමට සහ නියාමනයට අවශ්‍ය සියලුම ලියකියවිලි භාර දී ඇතත් එම ක්‍රියාවලිය තව දුරටත් ප්‍රමාද වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකා ස්පා හිමියන්ගේ සංගමයේ සභාපති වරයා අවධාරණය කරනුයේ තම සංගමයේ සියලු සාමාජිකයන් සිය ස්පා ව්‍යාපාරවල සේවයේ යොදවන්නේ බලපත්‍ර සහිත, පුහුණුව ලත් චිකිත්සකයන් පමණක් බවයි.

 

image baf8bcb7de

එමෙන්ම කිසි විටෙකත් කාන්තාවන් ඔවුන්ගේ කැමැත්තට එරෙහිව සේවයේ නොයොදවන අතර ශ්‍රී ලංකා පදනම් ආයතනය සමග එක්ව ස්පා චිකිත්සකයින් සඳහා පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බවත් කොළඹින් පිටත ද එවැනි පාඨමාලා පැවැත්වෙන බවත් ඔහු පවසා තිබේ. එමෙන්ම අද වන විට ස්පා කර්මාන්තය ඔස්සේ සෘජු රැකියා 300,000ක් සහ වක්‍ර රැකියා 600,000ක් නිර්මාණය වී ඇති බව ද ශ්‍රී ලංකා ස්පා හිමියන්ගේ සංගමයේ සභාපති වරයා පෙන්වා දී තිබේ.

නමුත් තම ආයතන ගණිකා නිවාස නොවන නිසා ගණිකා නිවාස සේ සලකා තම ආයතන නොවටලන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටින සභාපති වරයා ගණිකා නිවාස වැටලීම සම්බන්ධයෙන් තම සංගමය විරුද්ධ නොවන බව ද පවසා තිබේ.

මේ අතර, නුගේගොඩ ප්‍රදේශයේ ස්පා හිමියන්ට හිරිහැර කළ බවට චෝදනා කරමින් පොලිස් නිලධාරියෙකුට එරෙහිව එම සංගමය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව ද අනාවරණය විය. ඒ කෙසේ හෝ අද වන විට ශ්‍රී ලංකාවේ ස්පා ව්‍යාපාරය හා ගණිකා ජාවාරම නිවුන් සොයුරන් සේ සමාජ ගත වීමටට හේතුව ස්පා නාම පුවරු යටතේ ගණිකා නිවාස ද ප්‍රසිද්ධියේම පවත්වා ගෙන යන බැවිනි.

 

spa sey

මාධ්‍ය සාකච්ඡාව

 

අප රටේ තත්වය මෙය වුවද මෙම ස්පා යනු විකල්ප රෝග චිකිත්සාවක් සේම කායික මානසික සහන ක්‍රියාවලියක් ලෙස මෑතක සිට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.

’ස්පා’ යනු ‘ජලයෙන් සෞඛ්‍යය’ යන අර්ථය ඇති Salus per Aquam යන ලතින් වාක්‍ය ඛණ්ඩයේ කෙටි යෙදුමකි. ඊට ‘ස්පා’ යන නම ලැබී ඇත්තේ ස්පා නම් බෙල්ජියම් ගම්මානය අනුව යමින් බව පැවසෙයි. මෙය රෝම සොල්දාදුවන් හට සටන් වලදී ඇති වන මාංශ පේශි සහ තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා උණුසුම් ඛනිජ උල්පත් භාවිතා කළ ස්ථානය බව ද පැවසෙයි. අද වන විට බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා විකල්ප වෛද්‍ය ක්‍රම හා චිකිත්සක ක්‍රම වල විශේෂ තැනක් හිමි කරගෙන ඇති මෙම චිකිත්සක ක්‍රමයේ එන ඇතැම් අංග සම්බන්ධයෙන් බෞද්ධ විනය පිටකයෙන් පවා තොරතුරු සපයා ගත හැක. ඒ අනුව මෙය දුරාතීතයේ පෙරදිග ද ප්‍රකටව පැවැති චිකිත්සක ක්‍රමයකි.

kerala ayurveda

 

එහි දී ජන්තාඝර නමින් හැඳින්වෙන උනු පැන් ශාලා වලින් භික්ෂුන් වහන්සේලා ට තාප ස්ථානය බුදුන් අනුදැන වදාළ බව බෞද්ධ විනය පිටකයේ සඳහන් ය. අප රටේ ද අතීතයේ ජන්තාඝර පැවැති බවට ආරාමික පුරා විද්‍යා නටබුන් වලින් නිසැක ලෙසම තහවුරු වී තිබේ. එමෙන්ම කායික යහපැවැත්මට හේතු වන එම චිකිත්සක ක්‍රම හා ආයුර්වේදීය චිකිත්සාවන් අතර ඇත්තේ අති සමීප සබැඳියාවකි.

එමෙන්ම ලෞකික සමාජයේ රෝග සමනය, මනෝ කායික යහපැවැත්ම සේම කායික මානසික ආශ්වාදය සඳහා ද ස්පා නමින් හැඳින්වෙන මෙම සත්කාර ක්‍රමයේ අතීතයේ සිට ලෝකයේ බොහෝ රටවල භාවිතා වී තිබේ.

බුද්ධ කාලීන ඉන්දීය සමාජයේ ප්‍රමුඛතම සමාජමය භූමිකාවන් අතර නගර සෝභිනියට ද මුල් තැනක් හිමි වේ. එහෙත් නූතන ව්‍යවහාරයට අනුව බොහෝ දෙනකු මෙම නගර සෝභිනිය දකිනුයේ ගණිකාවක ලෙසිනි. නමුත් බුද්ධ කාලීන භාරතයේ සමාජ, ආර්ථික, සංස්කෘතික පසුබිම විමසා බලන විට පෙනී යනුයේ එවක භාරත සමාජයේ පංච කාම සම්පත් උපරිමයෙන් ආශ්වාදනය කළ රජ, සිටු වශයෙන් වන ප්‍රභූ පැලැන්තියක් ද විසූ බවයි. නගර සෝභිනිය යනු ඔවුනට සේවා සපයන්නියක වන අතර ඇය ඒ සම්බන්ධ ශ්‍රමිකයන් රැසක් සේවයේ යොදවා ගෙන සිටි අතර වර්තමාන ව්‍යවහාරයට අනුව කිවහොත් ඇය ව්‍යවසායිකාවක ද වේ.

තමන් හමුවට පැමිණෙන රාජ රාජ්‍ය මහාමාත්‍යවරුන් හා සිටු වරුන් වෙත සේවය සැලසීම පිණිස මෙම නගර සෝභිනියන් තුරු ලිය බහුල සදාහරිත පරිසර පද්ධතීන් පස් පියුමින් සැදි පොකුණු ආදිය පවා යොදා ගෙන තිබූ බවත් එම ප්‍රභූන් ඇගේ ඇසුරට පත්ව ඒවායේ දින ගණන් සති ගණන් විසූ බවත් බෞද්ධ සාහිත්‍යයේ එන කරුණු වලින් මනාව පැහැදිලි වේ. ඒ අනුව අපට හැඟී යනුයේ එම නගර සෝභිනියක ගේ කාර්ය භාරය තුළ හුදු ලිංගික සංසර්ගයට වඩා පුළුල් ලෙස විහිද ගත් පංච කාම සම්පත් මත පිහිටා කායික මානසික යහපැවැත්ම තහවුරු කර ගැනීම සම්බන්ධ විකල්ප චිකිත්සා පද්ධතියක් ද වූ බව ය.

spa2

එම තත්වය පසෙක තිබියදී වත්මන් නව ලිබරල්වාදී සමාජ, ආර්ථිකය තුළ ද විකල්ප ප්‍රතිකාර හා චිකිත්සක ක්‍රම සඳහා මෙන්ම සංචකාම සම්පත් භුක්ති විඳීම සම්බන්ධ සුඛාස්වාදයන් සඳහා සුවිශේෂ තැනක් හිමිව තිබේ. වත්මන් සමාජ පරිනාමය හමුවේ එය ආපස්සට ඇදිය හැකි දෙයක් නොවේ. ඒ සඳහා සිදු කළ යුත්තේ එය විධිමත් අධීක්ෂණයකට හා නියාමනයකට ලක් කිරීම පමණි.

ඒ අනුව අප ද යෝජනා කරනුයේ ශ්‍රී ලංකාවේ ස්පා හිමියන් ගේ සභාපතිවරයා ගෙන ආ යෝජනාව එක්වරම කුණු මුල්ලට නොහෙළා එහි දක්වා ඇති සාධනීය කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු විය යුතු බවකි. ගණිකා වෘත්තිය නීතිගත කිරීමට වඩා සරල හා ප්‍රාථමික පියවරක් වන එය සිදු කිරීමට අපනයනය සඳහා ගංජා වගාව සඳහා අධීක්ෂණයක් හා නියාමනයක් කිරීමට ඉදිරිපත් ව හිඳින වත්මන් රජයට බැරිකමක් නැත. මෙන්ම රජය එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ ස්පා ව්‍යාපාරය තව දුරටත් වල් බිහි වූ කර්මාන්තයක්ම වනු නියත ය.

46ghhgg(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...