The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුක්රේන අර්බුදය: 'ස්විෆ්ට්' නිසා ලෝක නායකයින් අතර බෙදීමක් !

T

The Leader Desk

March 3, 2022 • 9:28 AM

යුක්රේන අර්බුදය: 'ස්විෆ්ට්' නිසා ලෝක නායකයින් අතර බෙදීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තහනම් කිරීමට අපොහොසත් වුවහොත් "ඔවුන්ගේ අත්වල ලේ" තැවරෙනු ඇති බවයි.
  • දී බෙල්ජියමේ දී නිර්මාණය වූ එය රටවල් 200කට වැඩි ගණනක බැංකු සහ ආයතන 11,000ක් සම්බන්ධ කරයි.
  • යුක්රේනයේ විදේශ අමාත්‍ය දිමිට්‍රෝ කුලේබා අනතුරු අඟවා ඇත්තේ බටහිර නායකයින් රුසියාවට ස්විෆ්ට් තහනම් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ අතේ ලේ ගෑවෙනු ඇති බවයි.
  • සමාගම් සහ රජයයන් අතර ඩොලර් ට්‍රිලියන ගණනින් මුදල් හුවමාරු වන බැවින් එය දිනකට පණිවිඩ මිලියන 40කට වඩා යවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තහනම් කිරීමට අපොහොසත් වුවහොත් "ඔවුන්ගේ අත්වල ලේ" තැවරෙනු ඇති බවයි.

දිමිත්‍රෝ කුලේබා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, "මම මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරන්නේ නැහැ. [එනමුත්] රුසියාවට ස්විෆ්ට් තහනම් නොකළ යුතු යැයි සිතන සෑම කෙනෙකුගේම අත්වල අහිංසක යුක්‍රේනියානු පිරිමින්ගේ, කාන්තාවන්ගේ සහ ළමයින්ගේ ලේ තැවරෙන බව ඔවුන් තේරුම් ගත යුතුයි."

එක්සත් රාජධානියේ, එස්තෝනියාවේ, ලිතුවේනියාවේ සහ ලැට්වියාවේ විදේශ ඇමතිවරු කුලේබා සමඟ එම ගෝලීය ගෙවීම් පද්ධතියට රුසියාවට ඇති ප්‍රවේශය කපා හැරීමට සම්බන්ධ වූ නමුත් අනෙකුත් යුරෝපීය රටවල් එවැනි පියවරක් ගැනීමට මැලි වෙති.

එසේනම් මෙම සම්බාධක රුසියාවට බලපාන්නේ කෙසේද සහ බටහිර රටවල් අතර එය එතරම් මතභේදාත්මක වන්නේ ඇයි?


ස්විෆ්ට් යනු කුමක්ද?


ස්විෆ්ට් (Swift- Society for Worldwide Interbank Financial Telecommunication) යනු දේශසීමා හරහා පහසුවෙන් හා වේගවත්ව මුදල් හුවමාරු කිරීමට ඉඩ සලසන ගෝලීය මූල්‍ය දාමයකි.

1973 දී බෙල්ජියමේ දී නිර්මාණය වූ එය රටවල් 200කට වැඩි ගණනක බැංකු සහ ආයතන 11,000ක් සම්බන්ධ කරයි.

 

Dmytro Kuleba

යුක්රේනයේ විදේශ අමාත්‍ය දිමිට්‍රෝ කුලේබා අනතුරු අඟවා ඇත්තේ බටහිර නායකයින් රුසියාවට ස්විෆ්ට් තහනම් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ අතේ ලේ ගෑවෙනු ඇති බවයි. (ඡායා- GETTY IMAGES)

 

නමුත් ස්විෆ්ට් යනු සම්ප්‍රදායික බැංකුවක් නොවේ. එය ගෙවීමක් ලැබුණු විට හෝ යැවුණු විට පරිශීලකයින්ට දැනුම් දෙන ක්ෂණික පණිවිඩ දෙනුලබන පද්ධතියකි.
සමාගම් සහ රජයයන් අතර ඩොලර් ට්‍රිලියන ගණනින් මුදල් හුවමාරු වන බැවින් එය දිනකට පණිවිඩ මිලියන 40කට වඩා යවයි.

එම පණිවිඩවලින් 1%කට වඩා රුසියානු ගෙවීම් සම්බන්ධයෙන් සිදුවෙතැයි සැලකේ.


රුසියාව එයින් කපා හරින ලෙස ඉල්ලා සිටින්නේ ඇයි?


දහස් ගනනක් බැංකු විසින් භාවිතා කරන මෙම පද්ධතිය රුසියාවට තහනම් කිරීම මඟින් එරට බැංකු ජාලයට සහ අරමුදල් වෙත ප්‍රවේශයට පහරක් එල්ලවනු ඇත.

එහෙත් රුසියාවෙන් තෙල් හා ගෑස් මිලදී ගැනීම වැනි ගණුදෙනු කඩාකප්පල්වී තමන්ගේම ආර්ථිකයට සහ සමාගම්වලට හානියක් වනු ඇතැයි බොහෝ ආණ්ඩු බිය වී ඇත.

රුසියාවට එම පද්ධතිය තහනම් කරන ලෙස එක්සත් රාජධානිය ද ඉල්ලීම් කර ඇති අතර, "අවාසනාවකට ස්විෆ්ට් පද්ධතිය අපගේ පාලනයේ නැහැ. එය ඒකපාර්ශ්වික තීරණයක් නොවෙයි," එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසීය.

ජර්මනිය ස්විෆ්ට් තහනමට විරුද්ධ බවට සැලකේ.

එසේම ප්‍රංශයේ මුදල් අමාත්‍ය බෲනෝ ලෙ මෙයාර් සහ නෙදර්ලන්ත අගමැති මාර්ක් රූත් යන දෙදෙනාමත් සිකුරාදා ප්‍රකාශ කළේ තහනම අවසාන තුරුම්පුවක් ලෙස පමණක් භාවිතා කළ යුතු බවයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා පවසා සිටියේ "මේ වන විට යුරෝපයේ සෙසු රටවල් ගැනීමට කැමති තීරණය එය [තහනම් කිරීම] නොවන" නමුත් එය ද තවත් විකල්පයක් ලෙස පවතිනු ඇති බවයි.


ස්විෆ්ට් අයිති සහ පාලනය කා සතුද?


ස්විෆ්ට් නිර්මාණය කරන ලද්දේ ඇමරිකානු සහ යුරෝපීය බැංකු විසින් වන අතර, තමන්ගේම පද්ධතියක් සකස් කර ගැනීමට සහ ඒකාධිකාරයක් තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවීය.

එම ජාලය දැන් බැංකු සහ මූල්‍ය ආයතන 2,000කට වැඩි ප්‍රමාණයකට හවුල් හිමිකාරීත්වය දරයි.

එය එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය සහ එංගලන්ත බැංකුව ඇතුළුව ලොව පුරා ප්‍රධාන රටවල මහ බැංකු සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක අතර එය බෙල්ජියමේ ජාතික බැංකුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

Person counting roubles

ස්විෆ්ට් එහි සාමාජිකයින්ට ආරක්ෂිත ජාත්‍යන්තර වෙළඳාමක් කිරීමට උපකාර කරන අතර ආරවුල් වලදී එය එක් පැත්තක් නොගෙන ස්වාධීනව කටයුතු කරයි.

කෙසේ වෙතත්, ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සම්බාධකවල කොටසක් ලෙස 2012 දී ස්විෆ්ට් වෙතින් නෙරපා හරින ලදී. එම අවස්ථාවේ එරට තෙල් අපනයන ආදායමෙන් අඩක් සහ විදේශ වෙළඳාමෙන් 30% ක් පමණ ඔවුන්ට අහිමි විය.

ස්විෆ්ට් පවසන්නේ සම්බාධක පැනවීම කෙරෙහි තමන්ට කිසිදු බලපෑමක් නොමැති බවත් ඒවා පැනවීමේ ඕනෑම තීරණයක් ගැනීමේ හැකියාව ඒ ඒ රජයන් සතු බවයි.


ස්විෆ්ට් තහනම් කිරීම රුසියාවට බලපාන්නේ කෙසේද?


රුසියානු සමාගම් වලට ස්විෆ්ට් විසින් සපයනු ලබන පහසු හා ක්ෂණික ගනුදෙනු සඳහා ප්‍රවේශය අහිමි වනු ඇත. එරට වටිනා බලශක්ති සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වන ගෙවීම් දැඩි ලෙස කඩාකප්පල් වනු ඇත.

අවසානයේ ප්‍රමාදයන් සහ අමතර වියදම් ද ඇතිව බැංකුවලට එකිනෙකා සමඟ ඍජුව ගනුදෙනු කිරීමට සිදුවනු ඇත. එවිට රුසියානු රජයට ලැබෙන ආදායම කපා හැරෙනු ඇත.

රුසියාව මීට පෙර ස්විෆ්ට් තහනමක තර්ජනයට ලක් විය. ඒ, 2014 දී ක්‍රිමියාව ඈඳාගත් විට ය. රුසියාව එවිට පැවසුවේ එසේ කළහොත් එය යුද ප්‍රකාශ කිරීමකට සමාන වනු ඇති බවයි.

බටහිර මිත්‍ර රටවල් තහනම් කිරීමට පියවර ගත්තේ නැත. එහෙත් මෙම තර්ජනය නිසා රුසියාව තමන්ගේම, ඉතා නවීකරණය කරන ලද, දේශසීමා හරහා මුදල් මාරු කිරීමේ ක්‍රමයක් සංවර්ධනය කිරීමට පෙළඹීමක් ඇති විය.

එවැනි සම්බාධකයක් සඳහා සූදානම් වීම සඳහා, රුසියානු රජය විසින් කාඩ්පත් ගෙවීම් සඳහා Mir ලෙස හැඳින්වෙන ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතියක් නිර්මාණය කරන ලදී. කෙසේ වෙතත්, දැනට එය භාවිතා කරන්නේ විදේශ රටවල් කිහිපයක් පමණි.


බටහිර රටවල් ස්විෆ්ට් සම්බන්ධයෙන් බෙදී ඇත්තේ ඇයි?


රුසියාව ඉවත් කිරීම රුසියාවට භාණ්ඩ සපයන සහ මිලදී ගන්නා සමාගම්වලට සහ රටවල් වලට විශේෂයෙන් ජර්මනිය‍ට හානියක් වනු ඇත.

රුසියාව යුරෝපීය සංගමයේ ප්‍රධාන තෙල් සහ ජෛව වායු සපයන්නා වන අතර විකල්ප සැපයුම් සොයා ගැනීම පහසු නොවනු ඇත. බලශක්ති මිල දැනටමත් ඉහළ ගොස් ඇති හෙයින්, තවදුරටත් කඩාකප්පල් වීම බොහෝ ආණ්ඩුවලට බලාපොරොත්තු නොවන කාරණයකි.

රුසියාවෙන් මුදල් ලැබිය යුතු සමාගම්වලට මුදල් ලබා ගැනීමට විකල්ප මාර්ග සොයා ගැනීමට සිදුවනු ඇත. ජාත්‍යන්තර බැංකු ව්‍යාකූලත්වයේ අවදානම ඉතා විශාල බව සමහර අය පවසයි.

රුසියාවේ හිටපු මුදල් අමාත්‍ය ඇලෙක්සි කුඩ්‍රින් යෝජනා කළේ ස්විෆ්ට් වෙතින් කපා හැරීමෙන් රුසියාවේ ආර්ථිකය 5% කින් හැකිලී යා හැකි බවයි.

එහෙත් රුසියාවේ ආර්ථිකය මත කල්පවත්නා බලපෑම පිළිබඳව සැකයන් පවතී. රුසියානු බැංකු වලට තමන්ගේම ගෙවීම් පද්ධතියක් ඇති චීනය වැනි සම්බාධක පනවා නැති රටවල් හරහා ගෙවීම් සිදු කළ හැකිය.

තහනමක් යෙදවීම සඳහා එක්සත් ජනපද නීති සම්පාදකයින්ගේ උනන්දුවක් පවතින නමුත් අනෙකුත් ආර්ථිකයන්ට සහ රටවලට ඇති වන බලපෑම නිසා ජනාධිපති බයිඩන් පවසන්නේ වෙනත් සම්බාධක පැණවීම වැදගත් වන බවයි.

රුසියාවේ ප්‍රවේශය නැවැත්වීමේ තීරණයකට තවත් යුරෝපීය ආණ්ඩුවල සහාය අවශ්‍ය වනු ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තමන්ගේම ආර්ථිකයට හානි වෙතැයි යන බිය නිසා ඊට පසුබට වෙති.


(BBC සිංහල සේවය )


Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...