මුලින්ම මේක කියන්න ඕනේ. චුදිතයෙක් අධිකරණය විසින් නිදහස් කළා කියන්නේ ඔහු/ඇය ඒ වරද කළේ නැහැ කියන එක නෙවෙයි; ඔහු වරද කළ බව සැකයෙන් තොරව සනාථ කරන්න අධිකරණයට සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ කියන එක. සමහර වෙලාවට ඇත්තටම සාක්ෂි නැතුව ඇති, එහෙමත් නැත්නම් ලංකාවේ ගොඩක් වෙලාවට සිද්දවෙන විදියට පොලිසිය, අධිකරණ වෛද්‍ය නිලධාරීන් නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි වසන් කරලා ඇති.

මාලිමාව පැත්තෙන් ඉදිරිපත්වෙන තර්කය තමයි එමිල් රන්ජන් කියන්නේ කවුද කියල හර්ෂණ දැනගෙන හිටියේ නැහැ කියන එක.
මේ තරම් තිරිසන් ඝාතනයකට චෝදනා ලබපු එමිල් රන්ජන් වගේ කෙනෙක් ගැන මාලිමාවේ අධිකරණ ඇමති දැනගෙන හිටියේ නැහැ කියන එක කොහෙත්තම නිදහසට කාරණයක් නෙවෙයි. ඒ නිසා එතෙන්දි හර්ෂණට සමාවක් නැහැ.
ගෝඨාභය ගේ අන්තේවාසිකයින් විදියට එමිල් රන්ජන්, මෙරිල් රන්ජන් දෙබෑයෝ ඒ දවස්වල හැසිරුණු විදිය, වැලිකඩ ඝාතනය විමර්ශනය කිරීම නිසා ශානි අබේසේකරගෙන් පළිගන්න හදපු විදිය ගැන වැඩි විස්තර දන්නේ නැත්නම් දැන්වත් කියවන්න. ඒ ගැන තවත් ඕනෑ තරම් ලියවිලා තියෙනව.
මම හිතන්නේ හර්ෂණ මුහුණ දුන් තත්වය මාලිමාවට හොඳ පාඩමක්. මේ වගේ වැරදි දිගින් දිගටම සිද්ද නොවෙන්න අනිවාර්යයෙන්ම මාලිමාව/ජවිපෙ ආණ්ඩුව වගබලාගන්න ඕනේ.

මෙතෙන්දි හර්ෂණ ගේ මේ හැසිරීමත් එක්ක මතුවෙන ප්‍රධානම කරුණක් තියෙනව. ඒ තමයි පළපුරුද්දක් නොමැති වීම සහ නිසි උපදෙස් දෙන්න කාර්ය මණ්ඩලයක් නැති වීම. මේක හර්ෂණ නිදොස් කිරීමේ වෑයමක් නෙවෙයි, නමුත් මම කියන්නේ හර්ෂණ කරපු වැරැද්ද ලංකාවේ පාර්ලිමේන්තු system එකේ change එකකට අවස්තාව කරගන්න පුළුවන් කියල.
උදාහරණයක් විදියට ලංකාවේ මැති, ඇමතිවරුන්ට ලේකම්ලා ගොන්නක් ඉන්නවා. හැබැයි caseworker කෙනෙක්/ research assistant කෙනෙක් නැහැ.
හිටපු කතානායක අශෝක රන්වල පාර්ලිමේන්තුව විවෘත කරපු දවසේ මුහුණ දුන්න අත්දැකීම, දිනපතාම වගේ ආණ්ඩුවේ මැති, ඇමතිවරු මුහුණ දෙන තත්වයන්.

මේ හැම දෙයකින්ම කියන්නේ ලේකම්ලා රොත්තක් පිරිවරාගෙන ඉන්නවා වෙනුවට පාර්ලිමේන්තු කටයුතු ගැන, පොදු අවකාශයෙදී හැසිරෙන අදහස් පළ කරන ආකාරය ගැන මන්ත්‍රීවරයාට, ඇමතිවරයාට උපදෙස් දෙන්න හැකියාවක් තියෙන කණ්ඩායමක් සිටීමේ අවශ්‍යතාව.
නීති සම්පාදනයේදී අවශ්‍ය තොරතුරු සොයල දෙන්න, රැස්වීමකට යන අවස්ථාවල ඒ රැස්වීමේ පසුබිම ගැන උපදෙස් දෙන්න වගේම මහජනතාවගේ ප්‍රශ්න ගැනත් මන්ත්‍රීවරයා දැනුවත් කරන්න පුළුවන් caseworker කෙනෙක් පත්කර ගැනීමේ අවශ්‍යතාව.

ලෝකේ බොහෝ රටවල මන්ත්‍රීවරුන්ට ඒ වගේ caseworker ල නැත්නම් research assistant ල ඉන්නව.
ඇත්තටම ලංකාවෙත් ඒ වෙනුවෙන් මුදලක් වෙන් කෙරෙන බව පසුගිය දවසක අජිත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීතුමා කියන තුරු මම දැනගෙන හිටියේ නැහැ. මුදල් වෙන් කරලා තිබුණත් තමන්වත් එහෙම research assistant කෙනෙක් යොදා ගත්තේ නැහැ කියල මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීතුමා අවංකව කිවුව.
ඉතින් ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ ආකල්පමය වෙනසක්. දැනටමත් අවශ්‍ය ප්‍රතිපාදන තියෙනව. අවශ්‍ය නම් තවත් ප්‍රතිපාදන ලබාදෙන්නත් පුළුවන්.
ඒ නිසා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ කමිටුවලට නිසි බලතල ලබාදීල, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය සහ පසු විපරම් කිරීමේ බලය ශක්තිමත් කරලා, මන්ත්‍රීවරයාගේ භූමිකාව මළ ගෙදර, මගුල් ගෙදර දුවන පුද්ගලයෙකුට වඩා පූර්ණ කාලීනව රටේ නීති සම්පාදනය සහ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය ගැන පසු විපරම් කරන්නාගේ තත්වයට නගා සිටුවමින් system change එක පාර්ලිමේන්තුවෙන්ම පටන් ගන්න මේක තමයි හොඳම වෙලාව කියල.
මේ මට හිතෙන හැටි.
ඔබේ අදහසත් කමෙන්ට් කරන්න
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජනවාරි 16
සබැඳි පුවත් :
එමිල් රන්ජන් ළමාහේවා: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට ලබා දුන් සම්මානය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් එල්ල වන්නේ ඇයි?
මේක විහිළුවක් නොවේ | අජිත් පැරකුම් ජයසිංහ
වැලිකඩ 'ඝාතන' වාර්තා කෝ? - ජවිපෙ
වැලිකඩ ඝාතන නඩු තීන්දුව ප්‍රකාශ කෙරෙයි - පළමු විත්තිකරු නිදහස්



