The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

අනායාස මරණයක් ඉල්ලූ සංක්‍රාන්ති ලිංගික කාන්තාව

T

The Leader Desk

February 9, 2022 • 5:54 AM

අනායාස මරණයක් ඉල්ලූ සංක්‍රාන්ති ලිංගික කාන්තාව 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනීරා කබීර් පවසන්නේ ඇය රැකියා සම්මුඛ පරීක්ෂණවල දී සංක්‍රාන්ති ලිංගික භීතිකාවෙන් යුත් ප්‍රකාශවලට මුහුණදුන් බව යි.
  • මේ තිස්පස් හැවිරිදි සංක්‍රාන්ති ලිංගික කාන්තාව පවසන්නේ, පෙර සම්මුඛ සාකච්ඡාවල දී ඇය මුහුණදුන් සංක්‍රාන්ති ලිංගික භීතිකාවෙන් යුත් ප්‍රකාශයන් නිසා එසේ කරන්නට පෙළඹුණු බව යි.
  • නමුත් මාස දෙකකටත් අඩු කාලයකින් තමා අසාධාරණ ලෙස සේවයෙන් පහකෙරුණු බවට ඇය චෝදනා කරයි.
  • ක්‍රිෂ්ණන් පැවසුවේ කබීර් මහත්මිය සේවයෙන් පහකර නොමැති බවත්, තත්ත්වය "වරදවා වටහාගෙන" ඇති බවත් විදුහල්පතිවරයා තමාට දන්වා ඇති බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අනීරා කබීර් පසුගිය වසරේ නොවැම්බරයේ දී, මාස දෙකක් තුළ ඇය සහභාගී වූ 14 වැනි රැකියා සම්මුඛ පරීක්ෂණයට ගමන් කළේ තොප්පියක්, මුහුණේ වැඩි කොටසක් වැසෙන ආවරණයක්, සහ පිරිමි ඇඳුම් ඇඳගෙන ය.

මේ තිස්පස් හැවිරිදි සංක්‍රාන්ති ලිංගික කාන්තාව පවසන්නේ, පෙර සම්මුඛ සාකච්ඡාවල දී ඇය මුහුණදුන් සංක්‍රාන්ති ලිංගික භීතිකාවෙන් යුත් ප්‍රකාශයන් නිසා එසේ කරන්නට පෙළඹුණු බව යි.

ඇයට දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ රජයේ පාසලක අර්ධකාලීන රැකියාවක් ලැබුණි. නමුත් මාස දෙකකටත් අඩු කාලයකින් තමා අසාධාරණ ලෙස සේවයෙන් පහකෙරුණු බවට ඇය චෝදනා කරයි.

පාසලේ විදුහල්පතිවරයා ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය. දිස්ත්‍රික් නිලධාරියෙකු වන පී. ක්‍රිෂ්ණන් පැවසුවේ කබීර් මහත්මිය සේවයෙන් පහකර නොමැති බවත්, තත්ත්වය "වරදවා වටහාගෙන" ඇති බවත් විදුහල්පතිවරයා තමාට දන්වා ඇති බව යි.

කරගන්නට දෙයක් නොමැති වූ කබීර් ජනවාරි මාසයේ දී රජයේ නෛතික උපකාර සේවාව වෙත පැමිණියා ය. ඇයට අවශ්‍ය වූයේ, නීතිඥයෙකු ලවා තමා වෙනුවෙන් අනායාස මරණය හෙවත් "සුඛමෘත්‍ය" ඉල්ලමින් පෙත්සමක් ඉදිරිපත් කරවා ගැනීම ය.

"මට අවශ්‍ය වුණේ රැකියාවක් කරලා ජීවත් වෙන එක විතර යි. ඒත් ඒකවත් කරගන්න බැරි වුණා," කබීර් පවසයි.

 

ඇය අනායාස මරණයට අවසර දුන් රටවල් ගැන කියවා ඇත. ඉන්දියාව අවසර දෙන්නේ නිෂ්ක්‍රීය අනායාස මරණය සඳහා පමණි.

 

"මම දැනගෙන හිටියා මට මෙතන නීත්‍යානුකූල අවසරයක් ලැබෙන්නේ නැහැ කියලා. නමුත් මට [සමාජයට] පණිවිඩයක් දෙන්න අවශ්‍ය වුණා," ඇය පවසයි.

වඩාත්ම පැහැදිලිව කිවහොත්, ඇයට අවශ්‍ය වූයේ රජයේ අවධානය ලබා ගැනීම යි. එය ඇයට ලැබුණි. රජය ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අතර ඇයට දැන් වෙනත් රැකියාවක් ලැබී තිබේ.


විරෝධතා... සහ පොරොන්දු



තමාට සියදිවි නසා ගැනීමට කිසිදු අදහසක් නොතිබූ බවත්, තමා කළ දේ අන් අයට ආදර්ශයක් වීම ඇගේ අභිප්‍රාය නොවූ බවත් කබීර් පැහැදිලි කරයි.

එහෙත් එවැනි නාට්‍යාකාර විරෝධතා ඉන්දියාවේ දුලබ නොවේ.

වසර ගණනාවක් තිස්සේ, යුක්තිය හෝ වෙනසක් අපේක්ෂා කරන ඉන්දියානුවන් උපවාසයන්හි නිරතවීමේ සිට, දින ගණනාවක් පුරාවට ඉණක් උසට ජලයේ සිටගෙන සිටීමත්, පණ ඇති මීයන් මුඛයේ රඳවාගෙන සිටීමත් සිදුකර ඇත.

 

Indian statesman Mahatma Gandhi (Mohandas Karamchand Gandhi, 1969 - 1948) fasts in protest against British rule after his release from prison in Poona, India. (Photo by Keystone/Getty Images)

ගාන්ධි දේශපාලන අවියක් ලෙස උපවාස කිරීම භාවිත කළේ ය

 

මහත්මා ගාන්ධි සිදුකළාක් මෙන් දීර්ඝ කාලයක් පුරාවට උපවාසය කිරීම ඇතුළු අවිහිංසාවාදී සිවිල් උදේඝෝෂණයන්, රජය ප්‍රතිචාර දැක්වීමට බොහෝවිට ප්‍රමාද වන ඉන්දියාව වැනි රටක් තුළ "නිරූපණ" විරෝධතාවල බලය ඉස්මතු කළ බව සමාජ විද්‍යාඥයින් පවසා ඇත.

හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යාව උගන්වන අනඝා ඉන්ගෝල් පවසන්නේ, කබීර්ගේ ක්‍රියාව වැන්නෙන් රජය සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇති බව මතක් කිරීම බලාපොරොත්තු වන බව යි.

"මේ සිද්ධිය ගත්තොත්, පුරවැසියෙකුගේ රැකියාවක් කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම රකින්න රජය අසමත් වුණා," වෙනස්කොට සැලකීමේ සමාජ ගැටළු සම්බන්ධයෙන් පුළුල් ලෙස කටයුතුකර ඇති ඉන්ගෝල් පවසයි.

 

ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගිකයන් මිලියන දෙකක් පමණ සිටින බවට ගණන් බලා ඇතත්, සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බව යි. 2014 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඔවුන්ට වෙනත් ලිංගයන්හි පුද්ගලයන්ට සමාන අයිතිවාසිකම් ඇති බව යි.

 

කෙසේ වෙතත්, ඔවුහු තවමත් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්‍රවේශවීමේ දී බාධාවන්ට මුහුණ දෙති. තව ද, බොහෝ දෙනෙකුට හිඟාකෑමෙන් හෝ ලිංගික රැකියාවෙන් ජීවිකාව ගෙන යාමට බලකෙරේ.

තම ප්‍රජාවට දේශපාලන නියෝජනය සහ රැකියා අවස්ථා අවශ්‍ය බව කබීර් පවසයි.

"මට කවදාවත් එච්චර බරපතල පියවරක් ගන්න අවශ්‍ය වුණේ නැහැ. ඒත් මම වෙන මොනවා කරන්නද?" ඇය විමසයි.


තමා වෙනුවෙන් සටන් කිරීම


මධ්‍යම කේරලයේ පලක්කඩ් දිස්ත්‍රික්කයේ හැදී වැඩුණු කබීර් පවසන්නේ උපතේ දී තමාට පවරා ඇති ලිංගිකත්වය සමග එකඟවීමට තමා වසර ගණනාවක් වෙහෙස වූ බව යි.

තම පවුල තම සහෝදරයාගේ මෑතකාලීන මරණයෙන් පීඩා විඳිමින් සිටි හෙයින්, ඔවුන් ගැන කතා කිරීමට ඇයට අවශ්‍ය නොවීය.

නවයොවුන් වියේ පසුවෙද්දී ඇය පලක්කඩ්හි වෙනත් සංක්‍රාන්ති ලිංගිකයන් සොයා ගැනීමට උත්සාහ කළා ය. එහෙත් එවැනි එක් උත්සාහයක දී ඇයව අත්අඩංගුවට ගැනීමත් සමග සෙවීම නතර විය.

පුවත්පතකින්, බැංගලෝර් නගරයේ වෙසෙන සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ඡායාරූප දැකීමෙන් පසු ඇය නිවසින් පැන බැංගලෝර් වෙත ගියා ය. ඇය පිළිගත් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවක් ඇයට හමුවිය. නමුත් ජීවිතය දුෂ්කර විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ස්ත්‍රීපුරුෂභාවය වෙනස් කිරීමේ සැත්කම සඳහා වසර ගණනාවක් හිඟමනේ යෙදීමට සිදුව තිබුණි.

Members of the Indian transgender community take part in a protest against the Transgender Persons (Protection of Rights) Bill 2016, in New Delhi on January 20, 2019.

සංක්‍රාන්ති ලිංගිකයන් තවමත් ඉන්දියාවේ අගතීන් රැසකට මුහුණ දෙයි.(ඡායා-GETTY IMAGES)

 

අධෛර්යමත් වූ කබීර් නැවත නිවස බලා පැමිණියා ය.

"මගේ පවුලේ අයට ඕන විදිහට ජීවත් වෙන්න මම ගොඩක් උත්සාහ කළා" ඇය සිහිපත් කරයි.

මෙයට සිගරට් පානය කිරීම, ව්‍යායාම් මධ්‍යස්ථාන සහ පෞරුෂ සංවර්ධන පාඨමාලාවලට සම්බන්ධ වීම ආදිය ඇතුළත් විය. මේ සියල්ල ඇයව "පිරිමියෙකු" බවට පත්කරනු ඇතැ යි සමීපතයන් පැවසීය.

නමුත් තමා නොවන කෙනෙක් බවට පත්වීම ඇයව තවත් අගතියට තල්ලු කරන්නක් විය.

ඇය වෙහෙස මහන්සි වී ඉගෙනගත්තා ය. කුඩාකල සිටම ගුරු වෘත්තියට දැඩි ආශාවක් දැක්වූ ඇය අසල්වැසි දරුවන්ට ඉගැන්වීමට ද යොමු වූවා ය.
අවසානයේ, ඇයට අවශ්‍ය ජීවිතය ගත කිරීමට නිවසින් පිටව ගිය පසුව ද ඒ ආශාව මඟ නොහැරිණි.

කබීර්ට දැන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධියක් ඇතුළු ශාස්ත්‍රපති උපාධි තුනක් ඇති අතර, ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන්ට ඉගැන්වීමට සුදුසුකම් ලැබෙන රාජ්‍ය විභාගයකින් ද සමත් වී ඇත.

නමුත් රැකියා සම්මුඛ පරීක්ෂණවල දී ඇය අපහසුතාවට පත්වන ප්‍රශ්නවලට මුහුණ දුන්නා ය. එක් සම්මුඛ පරීක්ෂකයෙක් ඇයගෙන් විමසා සිටියේ ඇය ලිංගික හැඟීමෙන් සිසුන් දෙස නොබලනු ඇතැ යි විශ්වාස කරන්නේ කෙසේ ද යන්න යි.

"මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණු රැකියා පවා ලැබුණේ නැහැ," ඇය පවසයි.

අවසානයේ, සමාජ විද්‍යාව පිළිබඳ තාවකාලික කනිෂ්ඨ ගුරුවරියක ලෙස ඇය පාසලකට බඳවාගත් අවස්ථාවේ, කබීර් පාසලේ නිලධාරියෙකුට සත්‍ය කතාව කීවාය.

"මම සංක්‍රාන්ති කාන්තාවක් බව එයාට කිව්වා. සම්මුඛ පරීක්ෂණයට එලෙස පෙනී සිටීම ගැන මම සමාව ඉල්ලුවා. රස්සාවක් නැතුව මගේ ගෙවල් කුලිය පවා ගෙවාගන්න බැරි බව මම පැහැදිලි කළා," ඇය පවසයි.

Aneera Kabeer

කබීර් පවසන්නේ ඇයට කුඩාකල පටන්ම ගුරුවරියක්වීමට අවශ්‍ය වූ බව යි.

 

2021 නොවැම්බරයේ ඉගැන්වීම ආරම්භ කළ විට අන් ගුරුවරුන්ගේ අවමන්සහගත ප්‍රකාශවලට මුහුණදුන් බවට චෝදනා කරන නමුත්, සිසුන් එසේ නොකළ බව ඇය පවසයි.

නමුත් ජනවාරි 6 වන දා, පාසලට පැමිණීම නවත්වන ලෙස හදිසියේම තමාගෙන් ඉල්ලාසිටි බව කබීර් පවසයි. ඇය ඉවත්කිරීම නීතිරීතිවලට පටහැනි බව ඇය චෝදනා කරයි.

රැකියාවක් නොමැතිව තැතිගත් ඇය පාසල අසල වෙළඳසැල්වලට පවා ගොස් සේවිකාවක ලෙස තම බඳවා ගන්නේදැ යි විමසුවා ය. නමුත් ඒවායෙන් ද ඇයව හරවා යැවුණි.

ඇය නීති ආධාර වෙත යොමු වූයේ එවිට ය.

ප්‍රවෘත්තිය ඇවිලී ගිය අතර, කේරළයේ අධ්‍යාපන අමාත්‍යවරයා වහාම ප්‍රතිචාර දැක්වීය. ඔහුට කබීර් හමුවී පලක්කඩ්හි රජයේ කාර්යාලයක තවත් තාවකාලික රැකියාවක් ලබාදුනි.

නමුත් ඇය වැනි තවත් අය තවමත් උදව් බලාපොරොත්තුවෙන් සිටිති.


යුක්තිය සඳහා යා යුතු මඟ දුරයි


2018 දී, ශානවි පොන්නුසාමි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් වෙත ලිපියක් ලිවීය. ඒ ද අනායාස මරණයක් ඉල්ලා සිටිමිනි.

ඊට පෙර වසරේ දී, සංක්‍රාන්ති ලිංගිකයන් කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තියක් නොමැති බැවින් එවකට ජාතික ගුවන් සේවය වූ එයාර් ඉන්දියා විසින් තමාට රැකියාවක් ලබාදීම ප්‍රතික්ෂේප වූ බවට චෝදනා කරමින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

ගුවන් සමාගම සහ රජය මාස ගණනාවක් තිස්සේ පෙත්සමට ප්‍රතිචාර දැක්වූයේ නැත. පසුව, සමාගම එම නඩුව "නිෂ්ඵල" ලෙස හැඳින්වූ අතර, ඇයට විරුද්ධව අපහාස නඩු පවරන බවට තර්ජනය කළේ ය.

 

Shanavi Ponnusamy

ශානවි පොන්නුසාමි ද 2018 දී "නිර්වේදනා මරණයක්" ඉල්ලා සිටියාය.

 

ඇගේ ඉතුරුම් වියදම් වෙමින් නඩුව ඇදී යද්දී, පොන්නුසාමි ජනාධිපතිවරයාට ලිපියක් ලිව්වා ය.

මොකක්ද ලැබුණු ප්‍රතිඵලය? "මුකුත් නැහැ," ඇය පවසයි.

ඇයට කිසිදා ප්‍රතිචාරයක් නොලැබුණි. එයාර් ඉන්දියා දැන් පුද්ගලික සමාගමක් විසින් මිල දී ගෙන ඇති අතර, රැකියාවක් ලබාගැනීම තවත් දුෂ්කරව පවතියි.

නමුත් ඇය මදුරාසි මහාධිකරණයේ නඩුවක් ගොනුකර, තමා මෙතෙක් දරන ලද නීතිමය වියදම් සඳහා වන්දි ඉල්ලා තිබේ.

"මේ වගේ තත්ත්වෙක දී අපි වගේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ?" ඇය ප්‍රශ්නකර සිටියි.


(BBC සිංහල සේවය)



ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයින් ද බරපතල පිඩාවන්ට මුහුණ දෙමින් සිටිති


ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයින් ද බරපතල පිඩාවන්ට මුහුණ දෙමින් සිටිති. සමාජය වෙතින් තම ප්‍රජාව මුහුණදී සිටින පිඩාව පැහැදිලි කරන සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වන මෙලනි ලියනගේ පවසන්නේ, මනුස්සයාගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය මත පදනම්ව කිසියම් කෙනෙකු ප්‍රතික්ෂේප කිරීම දේශප්‍රේමය දැයි කියාය.
 
''අපි මෙරටට ආදරෙයි. අපි හැමෝම කැමතියි ගෞරවනීය විදිහට මෙරටේ ජීවත් වෙන්න . ඒත් ගෞරවනීය විදිහට ජීවත් වෙන්න අපිට මේ සමාජයේ අවස්ථාවක්  තියනවාද ? ''  සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වන මෙලනි ලියනගේ එම කාරණය විමසා සිටියේ, කොළඹ ඩාලි පාරේ 'ෆ්‍රීඩම් හබ්' (Freedom Hub) හි පසුගිය වසරේ (2021) ජුලි 25 දින පැවති 'සැබෑ දේශප්‍රේමියෝ' මාධ්‍ය හමුව අමතමිනි.





සබැඳි පුවත් :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...