The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පශ්චාත් පාස්කුව : රට අසරණ කරන අඩ නිරුවත් සත්‍යය | Udaya R. Tennakoon

T

The Leader Desk

April 23, 2025 • 5:03 AM

පශ්චාත් පාස්කුව : රට අසරණ කරන අඩ නිරුවත් සත්‍යය | Udaya R. Tennakoon

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැටලුව වී ඇත්තේ සත්‍යයන් සියල්ල එක් කර පරම සත්‍යය සෙවීම ය.
  • පාස්කු ප්‍රහාරය පශ්චාත් පාස්කුවක් වී ඇත.
  • පශ්චාත් කරුණු බවට පත් කර ඇත.
  • පශ්චාත් සත්‍යය බවට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගැටලුව වී ඇත්තේ සත්‍යයන් සියල්ල එක් කර පරම සත්‍යය සෙවීම ය. පරම සත්‍යය යනු එක සත්‍යයකි. මේ සත්‍යය අපගේ මනසේ ගොඩ නැගෙන හෝ ගොඩ නංවන ලද සත්‍යයට වඩා වෙනස් විය යුතු ය. එය කරුණු මත පදනම්ව හේතුඵල ධර්මයට අනුව සොයාගත යුත්තකි. මේ සත්‍යය එකක් කර ගැනීමට පවත්නා කරුණු අනුව ගැලපිය යුතුය. ඒ සඳහා පාස්කු ප්‍රහාරයට අදාල දැනුම නියම දැනුමක් විය යුතු ය. විශ්වාසයක් ඇති විය යුතුය. ඒවා සාධාරණීයකරණය කළ යුතු ය. එය ඥාවිභාගයක් විය යුතු ය. එය සත්‍යත් යුක්තියත් සහ ආචාර ධාර්මිකවත් විය යුතු ය.

නමුත් දැන් සිදුවන්නේ කුමක් ද?

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: චැනල් 4 ප්‍රහසනය හමුවේ සමාජ වගකීම - (අවසාන  කොටස)

පාස්කු ප්‍රහාරය පශ්චාත් පාස්කුවක් වී ඇත. පශ්චාත් කරුණු බවට පත් කර ඇත. පශ්චාත් සත්‍යය බවට පත් කර ඇත. එය සිදු වන්නේ තොරතුරුවලට ඇති අර්ථකතනයන් වැඩි වීමෙන් සත්‍යයන් ප්‍රතිනිෂ්පාදනය කිරීම ය. විශේෂයෙන් මාධ්‍යකරණය වීම නිසා සත්‍යයේ දිශාව ශාකා බෙදෙමින්, පටු සහ දේශපාලනික වෙළෙඳ උවමානාවන් ඉටු කිරීමේ වාසිය ඇති කර හැඟීම් ඇවිස්සවීම පශ්චාත් තොරතුරුවල ස්වභාවය වේ. මේ නිසා දැන් මෙහි නියම සත්‍යය සෙවීම වෙනුවට සත්‍යය සංකීර්ණ කරමින් විවිධ අරමුණු කරා වෙහෙයවීම සිදු කරයි.

 

පාස්කු ප්‍රහාරය අරමුණෙන් බැහැර වී ඇත. සැබැවින්ම බැහැර කර ඇත. සත්‍යය මතු කරගැනීම යන පැවැති අතීත පරීක්ෂණ  ක්‍රියාවලීන් තුල දී මතුව ආ කරුණු මත එලියට ආ ප්‍රථිඵලවලින් සත්‍යය නො පැමිණීමේ ගැටලුව විසින් පෙන්නුම් කරනු ලැබුවේ පරීක්ෂණවල ඇති සීමාකම්වලට වඩා සත්‍යය වෙත ගමන් කිරීමට තිබුණු බලපෑම් බාධාවන් හා පක්ෂපාතිත්වයන් ය. ඒ තුළ “මහා මොළකරුවෙක්” මෙම සිදු වීම පිටු පස සිටින බව ය. එය සැඟවීමට කරන දැනුවත් උත්සාහයක් මේ හෙළිදරව්කරන්නන් විසින් සිදු කරන බව ඊට ප්‍රතිචාර දක්වන බොහෝ දෙනා තුළින් දැකිය හැකි වේ.

ඒ සැඟවීම පිටුපස මුදල්, දේශපාලනය, හරස් සම්බන්ධතා, තර්ජන, බය, පැවැත්ම හා පක්ෂපාතීත්වයන් ආදී බොහෝ දෑ ඇත. සත්‍යය සොයා ගැනීමේ ප්‍රධාන පාර්ශවකරුවන් සේ පෙනී සිටි පැවැති ආණ්ඩු දෙකක් වූ මෛත්‍රීපාල සහ ගෝඨාභය පාලන කාලයත් පසුව රනිල් පාලන කාලයන් තුළ මෙම විවේචනයන් එල්ල විය. දැන් එම අවස්ථාව වර්තමානයේ බලයේ සිටින ආණ්ඩුවට ප්‍රමුක වගකීමක් ලෙස පැවැරී ඇත.

 

රාජ්‍යය භාරව සිටින ආණ්ඩුවලට අමතරව ප්‍රහාරයේ වින්දිත පාර්ශවය නියෝජනය කරන කතෝලික පල්ලිය මෙහි ප්‍රධාන බලපෑම්කරුවා වී ඇත. කාදිනල් රංජිත් එහි ප්‍රධාන කසකරුවා වන්නේ ය. ඊට අමතරව බලපෑම් කණ්ඩායම් සහ විචාරක පිරිස් මේ අතරට අයත් ය. මේ අයගෙන් වැඩි දෙනෙක් විසින් ද සඟවන සත්‍යය කුමක් ද.

බලයට පත්ව සිටින මාලිමා ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී හෙළිදරව් කළ, හා ඒ ඔස්සේ සැබෑ යුක්තිය ලබාදෙන බවට දුන් ප්‍රතිඥා ක්‍රියාවේ යෙදවීම සිය අභියෝගය බවට පත්ව ඇත්තේ එදා පැවැති ආණ්ඩු සැඟ වූ සත්‍යය අද බලයේ සිටිය දී හෙළි දරව් කරන්නේ කෙසේද යන උභතෝකෝටිකය තුළ ය.



බලය නැතිව විපක්ෂයේ සිටිය දී, කියන ලද දේ සත්‍යයක් නම් බලය ලබා සිටින විට එය ක්‍රියාත්මක කිරීම න්‍යායාත්මකව පහසු ය. නමුත් බලය සහ දේශපාලනය තුළ ප්‍රායෝගිකව සිදු කිරීම දුෂ්කර ය. ඔවුන්ට ඒ සඳහා සාධාරණ හේතුවක් ඇත. ඔවුන් විපක්ෂයේ සිටිය දී බලයේ සිටි අය සැඟ වූ සත්‍යය සහ අද බලයේ සිටින අයගේ අරමුණ හා සමපාත වී ඇත. එදා මහා මොළකරු වූ ඉන්දියාව මෙදා එම භූමිකාවෙන් ඉවත් වී ඇත. තව දුරටත් මාලිමා ආණ්ඩුවට ඉන්දියාව නම් කළ නො හැකි වනු ඇත. ඒ අනුව එය සත්‍යයේ පරම බව නම්, දේශපාලනය සහ බලයත් ආරක්ෂාවත් පැවැත්මත් යන සාධක මත සත්‍යය වෙනත් මාර්ගයකට හැරවීමට සිදුව ඇත.

 



එදා නලීන්ද ජයතිස්ස විසින් තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද කරුණු අද බොරු යැයි කියන්නට මාලිමා ආණඩුවට හැකියාවක් නැත. එපමණක් නොව එම තොරතුරු එළියට පැමිණීම ද වසන් කළ යුතු තත්ත්වය පත්ව ඇත. ඒ අනුව සත්‍යයේ මාර්ගය වෙනස් වී ඇත. ලංකා භූමියෙන් පිටතට ගොස් සිටි සත්‍යය ලංකාව තුළට පමණක් හරවා තබා ගැනීමට සිදු වීම මාලිමා ආණ්ඩුවේ දේශපාලන සදාචාරය ප්‍රශ්න කිරීමක් බවට පත්වීම නො වැලක්විය හැකි ය. නමුත් ඉන්දියාව දෙසට නොගොස් මෙගොඩින් සත්‍යය සොයා ගන්නේ නම් ඊ ළඟට සිටින මොලකරුවා වන්නේ රාජපක්ෂලා ය. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පාස්කුව යොදා ගැනීමත්, ඊට බුද්ධි අංශවල මැදිහත් වීමත්, මේවා හෙළි දරව් කරමින් සත්‍යය වෙත පිවිසීම ආණ්ඩුවේ වගකීම වී ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ එවක පැවැති ආණ්ඩුවත්, බුද්ධි අංශත්, රාජපක්ෂවරුනුත් සහරාන් කණ්ඩායම හා පැවැති සම්බන්ධය බොන්ෂායි කර මහා මොළකරුවා රාජපක්ෂලා ද නැතිනම් සහරාන්ද යන නිගමනයට පමණක් පැමිණීමට අවශ්‍ය තොරතුරු දැන් මාලිමා ආණ්ඩ්වේ විෂය භාර පුද්ගලයින් සතු වේ ද සහ එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නට හැකි වේද යන්න මේ වසරේ පරීක්ෂණය යි. එය පාස්කුවට යුක්තිය සෙවීම නියම සත්‍යය ද නැතිනම් අඩක් ද යන්න නැවත ඉතිරි වන්නේ මාලීමාව විපක්ෂයේ සිටි ස්ථාවරය විසින්ම ය.

 

රට බංකොළොත් කළේ යහපාලන නඩයයි - මහින්ද රාජපක්ෂ
එසේ කළ හැකි නම් දෙවරක්ම බැසිය යුත්තේ එකම ගඟට ය. නලින්ද ජයතිස්සවත් එය කළ යුතු ය.

ඒ ආකාරයටම කාදිනල් තුමා මේ සත්‍යය සොයා ගැනීම තුළ දරණු අගාධයකට වැටී ඇත. ඔහු සත්‍යය සොයා යෑම වෙනුවට දේශපාලනික වීමෙන් මේ අගාධයේ තව තවත් ගිලී ඇත. ඔහුට ඉන් ගොඩ ඒමට නො හැකි වන්නේ තමා තුලම ඇති හෘද සාක්ෂියේ පැනය විසින් ය.  පාස්කු ප්‍රහාරය ගැන ඔහු  කලින් දැනුවත් වී සිටියේ ද යන පැනය සමාජයට නො විසඳී ඇතැත් එහි ඇත්ත නැත්ත බාර ඔහුටය. ඇත්තක් නම් ඔහු ද පැවැති දේශපාලනයේම කොටසකි. ගොදුරකි.    

එහෙම නම් මේ සඟවන සත්‍යය කුමක් ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය: අගෝස්තු 30ට පෙර වන්දි ගෙවා අවසන් කරන්නැයි හිටපු  ජනපති මෛත්‍රීට නියෝගයක්
දැනට ඇති සහ හිදැස් ඇති කරුණුවල සැඟ වී ඇති සත්‍යයන් අතරට රාජපක්ෂවරු හා ඉන්දියාව මේ ප්‍රහාරයට සම්බන්ධ යැයි හේතු ඵලව පැහැදිලිවන විශ්වාස ය. මේ විශ්වාසය අසම්පූරණව පවතින්නේ නම්, එය තහවුර කර ගැනීමට හෝ සැකය දුරු කරගැනීමට හෝ හිදැස් ඇති කරුණු සඳහා පරීක්ෂණ කළ යුතු ය. ඒ වෙනුවට  දෙකෙන් එකක් කළ හැකි ය. රාජපක්ෂලා හෝ පැවැති ආණ්ඩු දක්වා ගොස් මහ මොළකරුවාගේ ප්‍රශ්නය විසඳීම ය. නමුත් එම කරුණු පසුපස හුයක් මෙන් භාහිර සම්බන්ධ වන්නේ නම් සත්‍යය සම්පූර්ණ කිරීමට යෑම තුළ නැවත මුහුණ දෙන උභතෝකෝටිකය විසින් ඇති කරනු ලබන්නේ දේශපාලනය කිරීමට ය. එම නිසා මාලිමා ආණ්ඩුවට ද අනෙකුත් ආණ්ඩු ආකාරයේ රඟපෑම හැර වෙන යමක් කරගත නො හැකි වනු ඇත.

පාස්කු ප්‍රහාරයම දේශපාලනික උවමනාවක් බැවින් පරීක්ෂණ ද දේශපාලනිකය. ඒ අනුව මේ සොයා යන සත්‍යය ද දේශපානිකය. දැන් මතු කර ගැනීමට සැරසෙන්නේ අනාගත පැවැත්මේ දේශපාලනික සත්‍යය ය. නමුත් මේ දේශපාලන සත්‍යය පවා බලය හා පැවැත්ම මත හිර වී ඇති බැවින්, දේශපාලනයේ හා බලයේ මහා සත්‍යය මතු කර ගැනීම යන නාමයෙන් සිදුව ඇත්තේ උප සත්‍යයක් මතු කර මෙන්න සත්‍යය යැයි පෙන්වීමට ය. වෙනත් විදිහකට ගෝලීය සත්‍යය දේශීය සත්‍යයට කුඩා කර ගැනීම ය. ඉන්දියාව වෙනුවට ලංකවට කුඩා වීම ය. මෝඩි වෙනුවට බොහෝ දුරට ගෝඨා විය හැකි ය. ගෝඨාගේ සම්බන්ධයේ දිග පළල අනුව එය ද තීරණය වනු ඇත. මේ නිසා හය වැනි වසරේ දී පාස්කු ප්‍රවාදය නිර්මාණය වෙමින් පවතින්නේ  වී මහ මොළකරුවෙකු නැත යන්නට ය. එය ගෝලීය උවමනාව හා සමපාත ද වන්නේ ය. ඒ වෙනුවේ බොහෝ දෙනෙක් පෙනී සිටීම යූ ටියුබ් සිසාරා රැව් පිළිරැව් දෙමින් පවතී.

චැනල් ෆෝ සංවාදය : සහරාන්ගේ අවසන් වීඩියෝවේ සම්පූර්ණ කතාව මෙන්න

දේශපාලනිකව අවශ්‍යව ඇත්තේ උප සත්‍යය (Subordinate Truth) පරම සත්‍ය (ultimate truth) කර ගනිමින් මහා මොළ කරුවා සහරාන්ගේ කෙළවර කිරීමට ය. එසේ නො මැතිව මෙතෙක් ඇති හෙළිදරව්වීම්වලට අනුව සඟවන හා සැඟවීමට කරන උත්සාහන් අවබෝධ කර ගැනීමට උවමනාව ඇත්තේ සැබෑ යුක්තියටය. එය බලාපොරොත්තු වන්නේ කවරෙක් ද.  

පෙන්වන හා පැවැති ඇත්තට වඩා දෙයක් මේ ප්‍රහාරය පිටුපස ඇතැයි යන විශ්වාසයන් නිර්මාණය කරමින් බුද්ධි අංශ සහ දේශපාලනික සබඳතා අතර ඇති සහ සම්බන්ධතාවල කරණු යටපත් කරමින් සහරාන්මයි මහ මොළකරුවා යන තොරකුරු හා දෘෂ්ටිවාදී මෙහෙයුම දැන් ඇති අලුත්ම තත්ත්වය වී ඇත. ඒ වෙනුවෙන් දේශපාලනය සහ මුදල් ආයෝජය සිදු වීම දැනුවත්වීමෙන් ද නො දැනුවත්වම ද සිදු විය හැකි ය.

එම නිසා පාස්කු ප්‍රහාරයේ සත්‍යය උප සත්‍යයන් ගණනාවක හැඩය ගැනීම සිදුවීමක ඇති ස්වභාවයේ  තවත් එක් සත්‍යයකි. මේ උප සත්‍යය සොයා ගැනීමේ දී, මෙතෙක් කරන ලද පරීක්ෂණ තුළින් වසන් වී ඇති කරුණු හා සිදුවීම් ද දේශපාලනික අභිලාෂයන්ගේ ඇති විවිධත්වයන් විසින් වෙනත් වෙනත් මාර්ග කරා ගමන් කිරවීම දකින්නට පුලුවනි. මෙතෙක් පැමිණි දුර එයයි.

 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ?

නමුත් වසර හයක් ගතව ගියත් සිදුව ඇත්තේ එක සත්‍යයක් වසන් කර ගනිමින් ඒ හරහා නිර්මාණය වූ සෙසු කාරණාත් වසා ගෙන සත්‍යය සොයා යෑම යන මිත්‍යාවේ තමාත් සමාජයත් ගිල්වීම ය. මේ සියල්ලේ පසුබිම වන්නේ ලාංකිකයන් ලෙස අප කොතරම් නම් දුප්පත් ද, අසරණ ද, බයාදු ද, ගැති ද පාක්ෂික ද යන්න මිස වෙන කුමක් ද

දැන් සියලු දෙනාම එක සම්මුතියකට පැමිණිය යුතු ය. එනම් මහ මොළ කරුවෙකු හෝ වෙනත් සත්‍යයක් නැත යන්නට පැමිණීම ය. එතැනින්වත් මේ ක්‍රිඩාව අවසන් කළ යුතු ය. නැතිනම් සිදු වන්නේ සත්‍යය යන්න තව තවත් දූෂණය කිරීම ය. නමුත් එය දේශපාලනයට අවශ්‍ය නිසා එවැනි සම්මුතියක් අවශ්‍ය වන්නේ කාට ද යන්න ඇත්තේ සුළගේ ය.

මේ යුගය පශ්චාත් සත්‍යයේ යුගය වන්නේ ය. මේ යුගය පශ්චාත් කරුණු යුගය වන්නේ ය. මේ යුගය තොරතුරු වෙළෙඳ යුගය ය. මේ යුගය පශ්චාත් දේශපාලන යුගය ය. ඉතින් මේ වසර ද පශ්චාත් පාස්කු වසර ය. ආගමත් දේශපාලනයත්, යුක්තියත්, හෘද සාක්ෂියත් වසාගෙන රඟන රංගනයක් ය.

udayar(සටහන | උදය ආර්. තෙන්නකෝන්)

උපුටා ගැනීම - lankadailymail

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...