The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුක්රේන ආක්‍රමණය: මැදපෙරදිග සිට චීනය දක්වා ආහාර මිලට බලපාන හැටි..

T

The Leader Desk

February 28, 2022 • 8:12 AM

යුක්රේන ආක්‍රමණය: මැදපෙරදිග සිට චීනය දක්වා ආහාර මිලට බලපාන හැටි..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා, ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට සැබෑ ජීවිතයේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි ය - ඒ, ඔවුන්ගේ කෑම මේසයේ දී ය.
  • යුක්රේනය 'යුරෝපයේ පාන් කූඩය' ලෙස සියවස් ගණනාවක් පුරා ප්‍රකට සිටින්නේ, උතුරු අප්‍රිකාවේ සහ මැදපෙරදිග සිට අග්නිදිග ආසියාව දක්වා රටවලට ධාන්‍ය සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස යි.
  • එම බෝග අතර තිරිඟු ප්‍රධාන වන අතර, යුක්රේනයේ අපනයන මත යැපෙන ජනගහනය සඳහා ප්‍රධාන ආහාර ප්‍රභවයක් ලෙස එය වඩාත් වැදගත් වේ.
  • "ලෙබනනය යුක්රේන තිරිඟු ටොන් 700,000ක් ආනයනය කරනවා - එය ඔවුන්ගේ සැපයුමෙන් 50%ට සමාන යි," එක්සත් ජනපදයේ බ්‍රේක්තෲ ආයතනයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණ විශ්ලේෂකයෙකු වන ඇලෙක්ස් ස්මිත් BBC වෙත පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා, ඊට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවකට සැබෑ ජීවිතයේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි ය - ඒ, ඔවුන්ගේ කෑම මේසයේ දී ය.

යුක්රේනය 'යුරෝපයේ පාන් කූඩය' ලෙස සියවස් ගණනාවක් පුරා ප්‍රකට සිටින්නේ, උතුරු අප්‍රිකාවේ සහ මැදපෙරදිග සිට අග්නිදිග ආසියාව දක්වා රටවලට ධාන්‍ය සපයන ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස යි.

එම බෝග අතර තිරිඟු ප්‍රධාන වන අතර, යුක්රේනයේ අපනයන මත යැපෙන ජනගහනය සඳහා ප්‍රධාන ආහාර ප්‍රභවයක් ලෙස එය වඩාත් වැදගත් වේ.

"ලෙබනනය යුක්රේන තිරිඟු ටොන් 700,000ක් ආනයනය කරනවා - එය ඔවුන්ගේ සැපයුමෙන් 50%ට සමාන යි," එක්සත් ජනපදයේ බ්‍රේක්තෲ ආයතනයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ පර්යේෂණ විශ්ලේෂකයෙකු වන ඇලෙක්ස් ස්මිත් BBC වෙත පැවසීය.

ජාතිය පෝෂණය කිරීම උදෙසා තිරිඟු ද තීරණාත්මක වන ලිබියාවට, ඔවුන්ගේ ආනයනවලින් 43%ක් පැමිණෙන්නේ යුක්රේනයෙනි.

"ටියුනීසියාවේ තත්ත්වයත් ඊට සමාන යි. ඔවුන් 32%ක් යැපෙන්නේ යුක්රේන තිරිඟු මත යි," ස්මිත් පවසයි.

"සමස්තයක් වශයෙන් ගත්විට, අවම වශයෙන් රටවල් 14ක් තම තිරිඟු අවශ්‍යතාවෙන් 10%ක් පමණ සපුරාගැනීම සඳහා යැපෙන්නේ යුක්රේනය මත යි."

 

An Egyptian woman carries flat breads in a street in Cairo

අරාබි ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ආහාරයක් වන්නේ පාන් ය. (ඡායා- GETTY IMAGES)

 

ගෝලීය තිරිඟු මිල මේ වනවිටත් ඉහළ යමින් පවතින අතර, රුසියාවේ ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයේ තිරිඟු නිෂ්පාදන ධාරිතාවය දැඩි ලෙස අඩාලවනු ඇතැයි යන බිය මතුවී ඇති අතර එය තවදුරටත් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

ඇස්තමේන්තුවලට අනුව, යුක්රේන තිරිඟුවලින් 35%ක් පමණ වගා කරනු ලබන්නේ රටේ නැගෙනහිරින්, කියෙව් අගනුවර සහ රුසියානු දේශසීමාවේ බෙදුම්වාදී ප්‍රදේශ අතර භූමියේ ය. එය රුසියාවේ ආක්‍රමණයට වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශයකි.

ආක්‍රමණය පිළිබඳ ප්‍රවෘත්තිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යුරෝපයේ තිරිඟු මිල වාර්තාගත ලෙස ඉහළ ගියේ ය.

යුක්රේනය සහ රුසියාව අතර නවතම ගැටුම මතුවීමට පෙර සිටම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මිළ ඉහළයාම ගැන කලින්ම අනතුරු අඟවා තිබූ අතර, ගෝලීය ආහාර මිල ගණන් 2021 දී වසර 10ක පසු වාර්තාගත අගයකට පැමිණ ඇතිබව එම සංවිධානය පෙන්වා දෙයි.

A graphic illustrating wheat price surges

උතුරු අප්‍රිකානු රටවල් කිහිපයකට බලපා ඇති කොවිඩ් වසංගතයේ සහ දැඩි නියඟයේ බලපෑමෙන් මිදෙමින් සිටින අරාබි ලෝකයට, යුද්ධය හේතුවෙන් තවදුරටත් මිල ඉහළ යාමෙන් දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදුවිය හැක.

යුරෝපීය ජාතීන්ට මෙන් හැකි තරම් මිල ඉහළයාම් දරාගැනීම සඳහා රජයට මූල්‍ය සම්පත් නොමැති කලාපයේ වඩාත්ම සුලබ අඩු වියදම් ආහාර ප්‍රභවය වන්නේ පාන් ය.

කලාපයේ විශේෂඥයෝ, 2011 අරාබි වසන්ත විරෝධතා පිටුපස ඇති එක් සාධකයක් ලෙස ආහාර මිල ඉහළයාම පිළිබඳ මහජන කෝපය බොහෝවිට උපුටා දක්වති.


රුසියානු අපනයන


යුක්රේනය හැරුණු විට, ලෝක වෙළඳපොළට තිරිඟු සපයන තවත් ප්‍රධාන සැපයුම්කරුවෙකු වන රුසියාව පසුගිය වසර 20 තුළ 50%ක් ආහාර ආනයනය කරන්නෙකු වීමේ සිට ශුද්ධ අපනයනකරුවෙකු බවට පත්ව ඇත.

A protester raises a loaf of bread in Tunis

තිරිඟු අපනයනකරුවෙකු ලෙස පස්වන ස්ථානයේ සිටින යුක්රේනයට වඩා රුසියාව වසරකට ටොන් මිලියන 35 දක්වා අපනයනය කරමින්, ලොව ප්‍රමුඛතම තිරිඟු නිෂ්පාදකයා බවට පත්ව තිබේ.

යුක්රේන ආක්‍රමණය ක්‍රියාත්මක වනවිට රුසියානු තිරිඟු සඳහා ඇති ඉල්ලුම තියුණු ලෙස ඉහළ යා හැකි අතර, එය ආහාර සුරක්ෂිතතා ගැටලුව තවදුරටත් තීව්‍ර කරනු ඇත.

ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ දත්ත සපයන වෙබ් අඩවියක් වන Observatory of Economic Complexity (OEC) විසින් නිකුත් වූ 2019 වාර්තාවකට අනුව, රුසියාව සහ යුක්රේනය එක්ව ලෝකයේ තිරිඟු අවශ්‍යතාවෙන් හතරෙන් එකක් පමණ සපයනු ලබයි.

ලොව විශාලතම තිරිඟු ආනයනය කරන්නා වන ඊජිප්තුවට එය කණස්සල්ලට කරුණකි.

ඊජිප්තුවේ ප්‍රධාන තිරිඟු සැපයුම්කරු රුසියාව යි. එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව රුසියාව ඔවුන්ගේ තිරිඟු අවශ්‍යතාවෙන් 80%ක් පමණ සපයන අතර සෙසු අවශ්‍යතාව සපුරනු ලබන්නේ යුක්රේනය යි.

කැබිනට් ප්‍රකාශක නාදර් සාද් උපුටා දක්වමින් අල් අහ්රාම් පුවත්පත වාර්තා කළේ, රුසියානු - යුක්රේන අර්බුදය රටේ තිරිඟු සැපයුම කඩාකප්පල් කළහැකි බවට අනතුරු අඟවමින්, පාන් පරිභෝජනය සලාක කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටි බව යි.


බඩ ඉරිඟු ගැන උනන්දුව


තිරිඟු සම්බන්ධයෙන් බොහෝ රටවලට ඇති සමාජ හා දේශපාලන සම්බන්ධය නිසා තිරිඟු පිළිබඳව වැඩි සැලකිල්ලක් පැවතිය ද, යුක්රේනයේ අනෙකුත් ප්‍රධාන කෘෂිකාර්මික බෝගවල මිල ද ඉහළ යාමේ අවදානමක් ඇත.

රොයිටර් වාර්තාවක් පෙන්වා දෙන්නේ, සූරියකාන්ත තෙල් සපයන ලොව ප්‍රමුඛතම සැපයුම්කරුවා යුක්රේනය වන අතර ගෝලීය බඩ ඉරිඟු අපනයනයෙන් 16%කට යුක්රේනය හිමිකම් කියන බව යි.

චීනයේ බඩ ඉරිඟු ආනයනයෙන් 90%ක් පමණ පැමිණෙන්නේ යුක්රේනයෙනි.

 

A Ukrainian girl wearing a red floral scarf holds a sheaf of wheat during a Christmas ceremony

තිරිඟු මිටක් යුක්රේනයේ නත්තල් සැරසිල්ලක් ලෙස (ඡායා- GETTY IMAGES)

 

යුක්රේනයේ තිරිඟු අපනයනය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී වේගවත් වන නමුත්, බඩ ඉරිඟු නැව්ගත කිරීම වඩාත් හදිසි කාරණයක් වී තිබේ.

ආක්‍රමණය ආරම්භවීමට පෙර, යුක්රේනයේ අපේක්ෂිත බඩ ඉරිඟු පරිමාවෙන් අඩකට වඩා විදේශයන්ට නැව්ගත කිරීම සඳහා සකස්කෙරුනේ ඉදිරි මාස පහ තුළ ය.

ඇලෙක්ස් ස්මිත් පවසා සිටියේ, යුක්රේනයේ සහ රුසියාවේ කෘෂිකර්මාන්තයට යුද්ධයෙන් ඇතිවන බලපෑම පිළිබඳව ලෝකය සමීපව අවධානයෙන් සිටිය යුතු බව යි.

"රුසියාව සහ යුක්රේනය පිළිබඳ ඇති සංවාදය බොහෝ දුරට තෙල් හා ගෑස් මත කේන්ද්‍රගත වෙලා තියෙනවා, නමුත් සිතීමට අවශ්‍ය කාරණය තමා ආහාර සුරක්ෂිතතාව," ඔහු BBC වෙත පැවසීය.


(BBC සිංහල සේවය)

 

Leader Whats app

  

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...