The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංහිඳියාවේ මළගම සහ හානිපූර්ණ කාර්යාලයේ මිලිටරි හස්ත! | Vimukthi Dushantha

T

The Leader Desk

November 16, 2025 • 5:48 AM

සංහිඳියාවේ මළගම සහ හානිපූර්ණ කාර්යාලයේ මිලිටරි හස්ත! | Vimukthi Dushantha

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් දෛවයේ සරදමක් මෙන් එම කාර්යාලය තුළින්ම ජන අරගලයෙන් සිදු වූ හානිවලට වන්දි ලබා ගැනීමට එම නායකයන්ට සිදුවිය.
  • එය හානිපූර්ණ කාර්යාල පනත 2018 මගින් පිහිටුවා ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල සන්නද්ධ ගැටුමෙන් විපතට පත් වූවන්ට, විශේෂයෙන්ම 1983 න් පසු අහිමි වූ දේපළ සහ ජීවිත වෙනුවෙන් සහන සැලසීමේ අරමුණිනි.
  • තවද, හිටපු හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් (වි.) පාලිත ප්‍රනාන්දු ද සාමාජිකයෙකු ලෙස යළි පත් කර ඇත.
  • මොවුන් තිදෙනාට අමතරව පත්කර ඇත්තේ මනෝ සමාජයීය සහාය සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නසීහා අන්සාර් මහත්මිය සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇති සංජීව විමලගුණරත්න මහතායි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නමුත් දෛවයේ සරදමක් මෙන් එම කාර්යාලය තුළින්ම ජන අරගලයෙන් සිදු වූ හානිවලට වන්දි ලබා ගැනීමට එම නායකයන්ට සිදුවිය. එසේ ඔවුන්ට වන්දි ලබා දුන් හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන සේපාලිකා සමන් කුමාරි මහත්මිය පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබේ.

aoiv9ynhfv

විශේෂයෙන් 30 අවුරුදු යුද්ධයේ වින්දිතයන් පෙර සිටි තත්ත්වයට නැවත ගෙන ඒම (ප්‍රතිස්ථාපනය), ඔවුනට සිදුවූ හානි යථා තත්ත්වයට පත්කිරීම සහ ඒවායින් ඇතිවන බලපෑම් සමනය කිරීම, පුනරුත්ථාපනය කිරීම, මානසික සහන සැලසීම, මූල්‍යමය වන්දි ලබා දීම මෙන්ම මෙවන් තත්ත්වයක් යළි ඇති නොවන බවට තහවුරු කිරීම මෙම කාර්යාලයේ ස්ථාපනය කිරීමේ අපේක්ෂිත අරමුණ වූවද ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව ආණ්ඩුව, යුක්තිය, වගවීම සහ සංහිඳියාව පිළිබඳව ජාත්‍යන්තරයට මෙන්ම දේශීය ජනතාවට ද ලබා දුන් සියලු පොරොන්දු එක රැයකින් බිඳ දමන තීරණයක් ගෙන ඇති බව පෙනී යයි.

හානිපූර්ණ කාර්යාලයට ආරක්ෂක සෙවණැල්ලක්

හානිපූර්ණ කාර්යාලය යනු හුදෙක් රාජ්‍ය ආයතනයක් නොවේ. එය හානිපූර්ණ කාර්යාල පනත 2018 මගින් පිහිටුවා ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වල සන්නද්ධ ගැටුමෙන් විපතට පත් වූවන්ට, විශේෂයෙන්ම 1983 න් පසු අහිමි වූ දේපළ සහ ජීවිත වෙනුවෙන් සහන සැලසීමේ අරමුණිනි. එහි මූලික පරමාර්ථය වන්නේ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ අනාගත ගැටුම් වළක්වාලීමයි. මෙවැනි තීරණාත්මක මෙහෙවරක් සහිත ආයතනයකට පත් කරන නිලධාරීන්ගේ පසුබිම, වින්දිත පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වීම අනිවාර්ය සාධකයකි.

 

වසන්තා පෙරේරා - රියර් අද්මිරාල් (වි.) ටෙරන්ස් සුන්දරම් - මේජර් ජෙනරාල් (වි.) පාලිත ප්‍රනාන්දු

 

එහෙත් ආණ්ඩුව විසින් නිර්දේශ කර පත් කර ඇත්තේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු වන රියර් අද්මිරාල් (වි.) ටෙරන්ස් සුන්දරම් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කළ වසන්තා පෙරේරා මහත්මිය වැනි පුද්ගලයන්ය. මේ වන විට වසන්තා පෙරේරා මහත්මිය සභාපති ධූරයට ද පත් කර තිබේ.

තවද, හිටපු හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් (වි.) පාලිත ප්‍රනාන්දු ද සාමාජිකයෙකු ලෙස යළි පත් කර ඇත.

මොවුන් තිදෙනාට අමතරව පත්කර ඇත්තේ මනෝ සමාජයීය සහාය සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නසීහා අන්සාර් මහත්මිය සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇති සංජීව විමලගුණරත්න මහතායි.

 

rep mce9rh

මේ ආකාරයට, වින්දිතයන්ගේ සහනය සහ පුනරුත්ථාපනය සඳහා වෙන් වූ ආයතනයක, යුද්ධය සමඟ සෘජුවම බැඳී සිටි ප්‍රධාන නිලධාරීන් 5 දෙනෙකුගෙන් බහුතරය වන 3 දෙනෙක් ම පත් කිරීම, වින්දිත-කේන්ද්‍රීය ප්‍රවේශයකට (Victim-Centric Approach) හානිදායක බව නොකිවමනාය.

මෙහිදී මතු වන ප්‍රධානතම සදාචාරාත්මක හා දේශපාලන ප්‍රශ්නය වන්නේ, බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගකිව යුතු බවට චෝදනා එල්ල වන ආයතනවල හිටපු නිලධාරීන්, එම උල්ලංඝනයන්ගෙන් බැට කෑ වින්දිතයන්ට යුක්තිය සහ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය මෙහෙයවන්නේ කෙසේද යන්නයි.

මේ පිළිබඳව ලිපියක් යොමු කරමින් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයෙන් ජනාධිපතිවරයා වෙත දැඩි විරෝධයක් ද එල්ල කර තිබේ.

එම පක්ෂය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ ඇති සෘජු බව මෙම පත් කිරීම්වල භයානකකම තවදුරටත් පැහැදිලි කරයි: "ආරක්ෂක අංශ පසුබිමක් ඇති ඕනෑම අයෙකු මෙම තනතුරට පත් කිරීමෙන්, අපේ ජනතාව මේ සියලු දිනවල කියා සිටි දේ සහ ආණ්ඩුවේ නොසැලකිලිමත්කම තහවුරු කරනු ඇත."

IMG 6578
මෙය ආණ්ඩුවට එල්ල වන සරල විවේචනයක් නොවේ. මෙය යුද්ධයෙන් විපතට පත් වූ ජනතාවට එල්ල වන මානසික ප්‍රහාරයක් බඳුය. එසේම එය හුදෙක් දේශපාලන ප්‍රකාශයක් ලෙස නොව, යුක්තිය අපේක්ෂා කරන දෙමළ ජනතාවගේ හදවත්වල ගින්නෙන් නැඟෙන කඳුළු බිඳුවක් ලෙස සැලකිය යුතු බව ලියුම්කරුගේ අදහසයි.

පනතේ අරමුණු උල්ලංඝනය කිරීම

හානිපූර්ණ කාර්යාල පනතේ මූලික අරමුණ වන්නේ හුදෙක් මුදල් ලබා දීමෙන් ඔබ්බට ගිය ප්‍රතිස්ථාපන ක්‍රමවේදයක් සපයා දීමයි. මෙම පනත යටතේ සකස් කර ඇති ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ පැහැදිලිව සඳහන් කරන්නේ, වන්දි ලබා දීම, නැවත පදිංචි කිරීම, ජන සමාජ යටිතල පහසුකම් සංවර්ධනය, මනෝ සමාජයීය සහයෝගය සහ නැවත ප්‍රචණ්ඩත්වය ඇති නොවන බවට සහතික වීම වැනි පුළුල් පරාසයක සහන ඇතුළත් විය යුතු බවයි.

මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී වින්දිත-කේන්ද්‍රීය ප්‍රවේශයක් අනුගමනය කිරීම සහ කිසිදු වෙනස්කමකින් තොරව සියලු පාර්ශවයන්ට යුක්තිය ඉටු කිරීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම, යුද්ධයෙන් තුවාල ලැබූ කාන්තාවන්, ළමුන් සහ ආබාධිත පුද්ගලයන් වැනි අවදානමට ලක්වූ පිරිස් වෙත විශේෂ අවධානය යොමු කළ යුතු බව නීතියෙන්ම නියම කර ඇත.

shanac7rt

එහෙත්, X පණිවිඩයක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා අවධාරණය කරන පරිදි, වින්දිත පාර්ශ්වයන්ට කෙළින්ම සම්බන්ධ වූ ආයතනවල ඉහළ නිලධාරීන් මෙවැනි ප්‍රධාන තනතුරුවලට පත් කිරීම, කාර්යාලයේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳ දැඩි සැකයක් ජනිත කරයි. මෙම පත්වීම්, පනතේ සඳහන් වන 'වින්දිත කේන්ද්‍රීය' මූලධර්මයට සෘජුවම පටහැනි වන අතර, සමස්ත ප්‍රතිසන්ධාන ක්‍රියාවලියම සන්නද්ධ රාජ්‍ය යාන්ත්‍රණය යටතට ගෙන යාමේ උත්සාහයක් ලෙස පෙනී යයි.

පොරොන්දු සහ බිඳුණු විශ්වාසය

පසුගිය කාලය පුරාවටම ජාතික ජන බලවේගය සහ එහි නායකයින් ප්‍රකාශ කළේ ඔවුන් රටට නව, පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගෙන එන බවයි. ඔවුන් ජාත්‍යන්තර යාන්ත්‍රණ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, "අපි දේශීයව යුක්තිය ඉටු කරන්නෙමු" යනුවෙන් ශපථ කර තිබේ.

 

vejb6unefgh

යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වන ආණ්ඩුව, එම යුක්තිය ඉටු කිරීමේ ආයතනයටම වින්දිතයන්ගේ විශ්වාසය බිඳ දමන ආකාරයේ පත්වීම් ලබා දෙන්නේ නම්, දේශීය යාන්ත්‍රණ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ද යන්න අප හමුවේ ඇති ප්‍රශ්නයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා තවදුරටත් ඔහුගේ X පණිවිඩයෙන් අවධාරණය කරන්නේ, "තමන් දුක් විඳීමට සම්බන්ධ වූ එම පුද්ගලයන් විසින්ම මෙහෙයවනු ලබන ආයතන විශ්වාස කළ නොහැකි බව" වින්දිත පවුල් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි.

මාස 4ක නිහඬතාවය පිටුපස ඇති දේශපාලනය

ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් පෙන්වා දෙන තවත් කණගාටුදායක කරුණක් වන්නේ, තමන් මෙම කරුණ පිළිබඳව මාස 4කට පෙර ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර සාකච්ඡාවක් ඉල්ලා සිටියද මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් එළඹෙන සතියේ දෙමල දේශපාලන පක්ෂ වෙත සාකච්ඡාවක් ලබා දීමට නියමිත බව ද ලියුම්කරුට දැනගන්නට තිබේ. එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙම සංවේදී කරුණ පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට මාස හතරක් වැනි දීර්ඝ කාලයක් අවශ්‍ය වූයේ ඇයි දැයි යන්න සැලකිය යුතු ප්‍රශ්නයකි.

සාකච්ඡාවට දොර විවෘත නොකර, වින්දිත පාර්ශ්වයන්ගේ මූලික ඉල්ලීම නොසලකා හරිමින්, හමුදා පසුබිම් සහිත නිලධාරීන් මෙවැනි තනතුරුවලට පත් කිරීමෙන් වින්දිතයන්ගේ විශ්වාසය සහ හැඟීම් වලට වඩා, රාජ්‍ය ආරක්ෂක ව්‍යුහයේ අවශ්‍යතා ඉහළින් තබන බවට ආණ්ඩුව පැහැදිලි සංඥාවක් ලබා දෙන බව ලියුම්කරුගේ විශ්වාසයි.

මෙම තීරණය, මීට පෙර රජයන් විසින් අනුගමනය කරන ලද ප්‍රතිසන්ධාන උත්සාහයන් අසාර්ථක වීමට හේතු වූ ප්‍රධානතම සාධකය වූ ප්‍රතිසන්ධානය සඳහා අවංක දේශපාලන කැමැත්තක් නොමැතිකම නැවතත් නව ආණ්ඩුව තුළින් මතු වන බවට භයානක සංඥාවකි.

ජාතික ජන බලවේග ආණ්ඩුවට යුක්තිය, වගවීම සහ සමස්ත ජාතික සංහිඳියාව පිළිබඳ තම පොරොන්දු විශ්වාසනීය ලෙස ඉටු කිරීමට අවශ්‍ය නම්, මෙම පත්වීම් පිළිබඳව වහාම යළි සලකා බැලිය යුතුය. එසේ නොවුණහොත්, උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ විශ්වාසය සදහටම අහිමි වීම නොවැලැක්විය හැකි අතර, එමඟින් ජාතික සංහිඳියා ක්‍රියාවලිය සදහටම පමාවීම සිදුවනු ඇත.

ghtu567
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මෙම තීරණය සංහිඳියා ක්‍රියාවලියේ මළගම සනිටුහන් කරනු ඇත්දැයි අද අපට බියෙන් යුතුව ප්‍රශ්න කිරීමට සිදුව තිබේ.

30 වසරකට අධික කාලයක් පුරා අප අත්විඳි කටුක අත්දැකීම සමුදාය අප අනාගත පරපුරට ශේෂ කල යුත්තේ අතීතයෙන් පාඩම් උගත යුතු මතකයක් ලෙස විනා, බිඳුනු ජාතිකත්වය අඳුරු සෙවනැලි සමුදායක් ලෙස නොවේ. සංහිඳියාව යනු වන්දි ගෙවීම හෝ අමතක කිරීම නොවේ. සංහිඳියාව යනු තිරසර සංවර්ධනයක මූලික පදනමයි.

wimukthi dushantha(සටහන | විමුක්ති දුෂාන්ත)
Social Activist | Communications & PR Strategist
vimukthidushantha@gmail.com

Vimukthi Dushantha ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...