The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සීඅයිඩී, නීතිපති සහ සමාජ මාධ්‍ය VS 'ජනමාධ්‍ය' | Sanath Balasooriya

T

The Leader Desk

June 23, 2025 • 2:28 PM

සීඅයිඩී, නීතිපති සහ සමාජ මාධ්‍ය VS 'ජනමාධ්‍ය' | Sanath Balasooriya

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපති දෙපාර්තමේන්තුව කකුල කටේදමාගැනීම ගැන අප විසින් දින 17කට පෙර පළමු වතාවට මේ අවකාශය භාවිත කරමින් වාර්තා කරන ලද පුවතක්, කිසියම් පාර්ශවයක් අලුත් ම පුවතක් ලෙස ප්‍රධාන මාධ්‍ය ආයතනයකට සපයා ඇති බව ඊයේ දවසේ අපට නිරීක්ෂණය විය.
  • ලංකාවේ කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක් උක්ත වාර්තාකරණයේ දී මේ සමාජ මාධ්‍ය අවකාශය අභිබවා යාමට සමත් වූයේ නැතිය යන්න අපේ අවබෝධය යි.
  • දින 18ක් සහ දින 27ක් පරණ මේ පුවත් දෙක මේ වනවිට මේ සමාජ මාධ්‍ය අවකාශය තුළ විශාල වශයෙන් බෙදාහැරී ඇති අතර, අපගේ තොරතුරු මාර්ගවලට අනුව ෆේස්බුක් අවකාශයෙන් පිටස්තරව WhatsApp සමූහ වැනි වෙනත් මාධ්‍ය ඔස්සේ ද විශේෂයෙන් අධිකරණයට සම්බන්ධ ප්‍රජාවන් අතර විශාල වශයෙන් හුවමාරු වී තිබේ.
  • (එම වාර්තා දෙකට ම අදාළ සබැඳි මෙහි පහතින් පළවේ.) පිළුණු පුවත් නැවත බෙදීමේ කලාව එහෙත් සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් බෙදාහැරී දැන් පිළුණුවී ඇති මෙම දෙවැනි පුවත ඊයේ සන්ඩේ ටයිම්ස් හා ලංකාදීපය පළකර තිබුණේ අලුත්ම පුවතක් ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නීතිපති දෙපාර්තමේන්තුව කකුල කටේදමාගැනීම ගැන අප විසින් දින 17කට පෙර පළමු වතාවට මේ අවකාශය භාවිත කරමින් වාර්තා කරන ලද පුවතක්, කිසියම් පාර්ශවයක් අලුත් ම පුවතක් ලෙස ප්‍රධාන මාධ්‍ය ආයතනයකට සපයා ඇති බව ඊයේ දවසේ අපට නිරීක්ෂණය විය.

ඒ විජය පුවත්පත් සමාගමේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ය. එම වාර්තාව ම ලංකාදීපය ද පළකර තිබිණි.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම්භාරයේ පසුවන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට ඇප දෙන්නැයි පසුගිය මැයි මස අග දී නීතිපති දෙපාර්තමේන්තුව CIDයේ නිලධාරීන් තිදෙනකු කැඳවා නියෝග කර තිබිණි. ඊට එකඟ නොවූ CID ය, පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නැවත වතාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හමුවී ඇප දීමේ තීන්දුව ආපසු හරවාගෙන තිබිණි.

විශාල වශයෙන් මහජන අවධානයට හා ආන්දෝලනයට බඳුන් වූ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ මේ නව තත්ත්වය පළමු වතාවට ප්‍රසිද්ධියට පත්කරන ලද්දේ අප විසින් මේ අවකාශයේ ය.

ඒ පසුගිය මැයි 27වැනිදා ය.


ලංකාවේ කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක් උක්ත වාර්තාකරණයේ දී මේ සමාජ මාධ්‍ය අවකාශය අභිබවා යාමට සමත් වූයේ නැතිය යන්න අපේ අවබෝධය යි. එය ලංකාවේ ප්‍රධාන මාධ්‍යවලට මුළුමනින් ම මඟහැරුණු පුවතක් වී තිබිණි. (එසේ නොවේ නම්, සාක්ෂි සහිතව මෙය නිවැරැදි කරන්නැයි අදාළ පාර්ශවවලින් ඉල්ලමු.)


කකුල කටේ දමාගත් හැටි

මේ ප්‍රවෘත්තියෙන් දින කිහිපයකට පසු නීතිපති දෙපාර්තමේන්තුවේ දෙකොන පත්තු වූ බවත්, තමන්ගේ ම කකුල කටේ දමාගනිමින් අපට මේ තොරතුරු ලබාදුන්නේ කවුරුන්දැයි සොයන මෙන් අදාළ සිද්ධියට නම ඈඳුණු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක ගේ ඉල්ලීම පිට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවත් ඉන් දින 9කට පසු, එනම් ජුනි 05වැනිදා වාර්තා කරන ලද්දේ ද අප විසින්ම ය.

දින 18ක් සහ දින 27ක් පරණ මේ පුවත් දෙක මේ වනවිට මේ සමාජ මාධ්‍ය අවකාශය තුළ විශාල වශයෙන් බෙදාහැරී ඇති අතර, අපගේ තොරතුරු මාර්ගවලට අනුව ෆේස්බුක් අවකාශයෙන් පිටස්තරව WhatsApp සමූහ වැනි වෙනත් මාධ්‍ය ඔස්සේ ද විශේෂයෙන් අධිකරණයට සම්බන්ධ ප්‍රජාවන් අතර විශාල වශයෙන් හුවමාරු වී තිබේ.

ඒ අනුව මෙය දැන් 'පිළුණු වූ' ප්‍රවෘත්තියකි.

(එම වාර්තා දෙකට ම අදාළ සබැඳි මෙහි පහතින් පළවේ.)

පිළුණු පුවත් නැවත බෙදීමේ කලාව

xgseeff

එහෙත් සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් බෙදාහැරී දැන් පිළුණුවී ඇති මෙම දෙවැනි පුවත ඊයේ සන්ඩේ ටයිම්ස් හා ලංකාදීපය පළකර තිබුණේ අලුත්ම පුවතක් ලෙසිනි.


අප අනුදත් ජනමාධ්‍යකරණයේ දී සාමාන්‍යයෙන් මෙවැනි 'පිළුණු වූ පුවත්, එනම් කොතරම් වැදගත් වුවත් වෙනත් මාධ්‍යයක පළවී, පුළුල් වශයෙන් ප්‍රචාරය වී, පරණවී ගිය පුවත්, පිළුණු කෑමක් බීමකටත් වඩා නරක විදියට පිළිකෙව් කෙරෙන්නේ ය.


ඉහත ප්‍රවෘත්තිය වාර්තා කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ අප දන්නා හඳුනන, අපට වඩා බොහෝ අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදියකු වන Ranjith Padmasiri ය.

රංජිත්ලා යනු අප යෞවනයන් ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පා තබන විටත්, වැඩිහිටියන් ලෙස දිනපතා උසාවි යමින් වාර්තා සම්පාදනය කරමින් සිටි උදවිය ය‍.

රංජිත් ගේ වාර්තාවෙන් කියැවෙන්නේ, "විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉලක්ක කොට සමාජ මාධ්‍යයේ අසත්‍ය චෝදනා සංසරණය වන බව" ය. ප්‍රවෘත්තියේ වැඩි ඉඩක් අත්පත් කරගෙන ඇති මේ චෝදනාව, පැහැදිළිව ම අප විසින් ඉහත ප්‍රවෘත්ති දෙකෙන් කරන ලද අනාවරණය සම්බන්ධයෙනි.

කළයුතු දේ නොකර මාධ්‍ය පස්සේ පැන්නීම

dvsfawew

පුවතට අලුතෙන් ඈඳා ඇති ‘අනුෂංගී කෑල්ලට’ අනුව, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පවතින නඩුවකදී, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥයෙකු යොමු නොකොට, කණිෂ්ඨ නීතීඥයෙකු යොමු කර තිබෙන බවට වන චෝදනාවක් ද විමර්ශනයට ඇතුළත් ය.

අපට පෙනෙන අන්දමට මේ කොටසින් තර්ජනාංගුලිය දිගුකරන්නේ රටින් බැහැරව සිටින අපට නොව, රටතුළ සිටින වෙනත් ධෛර්යවන්ත මාධ්‍යවේදීන් කිහිපදෙනකුට ය.

අපේ අවබෝධයේ හැටියට නම් ඒ මාධ්‍යවේදීන් ද ඉහත ගැටලුව මතුකර තිබුණේ, නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ අගතිදායක අදහසකින් නොව, රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති නඩුකටයුත්තක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් වශයෙන් තමන්ට ඇතිවූ සාධාරණ ගැටලුවක් සිය මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීමක් වශයෙනි.


ඒ ආකාර මහජන ලැදියාවන්ට තුඩුදෙන සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ ලෙස ප්‍රශ්න කිරීම විමර්ශනාත්මක ජනමාධ්‍යයක අනිවාර්ය වගකීමක් වන අතර, නීතිපති දෙපාර්තමේන්තුව කළයුත්තේ එවැනි ප්‍රශ්නකිරීමකට තමන් සතුව කිසියම් සාධාරණ පැහැදිළි කිරීමක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම මිස ජනමාධ්‍ය පස්සේ සීඅයිඩීය පැන්නවීමට දැඟලීම නොවේ ය යන්න අපේ අදහස යි.


පිළුණු නිවුස් දෙන ‘ආරංචි මාර්ග’

අපගේ උපකල්පනයට අනුව, රංජිත් පද්මසිරිට මේ ප්‍රවෘත්තිය අලුත්ම එකක් ලෙස කවුරුන් විසින් හෝ ලබාදී තිබේ. ප්‍රවෘත්තියේම කියන විදියට ඔහු එය ලියන්නේ ඒ 'ආරංචි මාර්ග'වලට අනුව ය.

ඒ 'ආරංචි මාර්ග' පැමිණිය හැකි තැන් දෙකක් අපට එක් වර ම සිහියට නඟාගත හැකි ය. එකක් සීඅයිඩීය යි. ඊටත් වඩා වැඩි සම්භාවිතාවක් පවතින්නේ මේ ‘ආරංචි මාර්ගය’ නීතිපති දෙපාර්තමේන්තුව ම වීමට යි. (සිය ආරංචි මාර්ගය කුමක්දැයි හෙළි නොකිරීමේ පරම අයිතිය රංජිත් සතු වන අතර, තමන්ට පිළුණු පුවත් දී සිය ජනමාධ්‍ය භාවිතයේ විශ්වසනීයත්වයට වින කටින ‘ආරංචි මාර්ගවලින්’ පරෙස්සම් වීම ද රංජිත්ට ම අයිති වැඩකි.)

සීඅයිඩීය ෆයිල් එකක් ඇරලා විතරයි

xfbdrgrg

ඇත්තටම නම් මේ දෙපාර්තමේන්තු දෙකෙන් කෝක වුණත් මේ ‘නියෝග කර ඇති විමර්ශනය’ සම්බන්ධයෙන් දැන් කළයුතුව ඇත්තේ, පරණ පුවත් තව තව තැන්වලට බෙදමින් වෙන වෙන මත හැදීමට දැඟලීම නොව, අදාළ ‘විමර්ශනය’ හරිහැටි අවසන් කිරීම යි.

එහෙත් අපට දැනගන්නට ඇති අන්දමට විමර්ශන අංකයක් ලබාදී ලිපිගොනුවක් අරිනවාට වඩා මේ වනතුරු සිදුවූ විමර්ශනයක් නැත. නීතිපති දෙපාර්තමේන්තුවත් අද මේ වනතුරු ඒ සම්බන්ධයෙන් පසුවිපරමක් කර සීඅයිඩීයෙන් වාර්තා ඉල්ලලාත් නැත.

අපේ අවබෝධයේ හැටියට මේ විමර්ශනයෙන් අමුතුවෙන් හෙළිකරගන්නට දෙයක් ඇත්තේ ද නැත. විමර්ශන කරන්නට ගියොත් සිදුවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සැකසහිත හැසිරීම යළි හෙළිදරව් වීම පමණි.

උසස්වීම් බලාපොරොත්තුවෙන අය තවත් හෙළිදරව් වුවහොත් එය අපේ වරදක් නොවේ!

vbdfhdfgf

"විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉලක්ක කරගැනීමේ” අමුතු වුවමනාවක් අපට නැති බව ද අවධාරණය කළ යුතු ය.

පසුගිය වසර 3ක පමණ කාලය තුළ නීතිපතිවරයා විසින් අධිකරණයේ විමසුමකට භාජනය නොකොට සිය අභිමතය පරිදි චුදිතයින් නිදහස් කරන ලද අතිශය ආන්දෝලනාත්මක විමර්ශන ගණනාවක් සම්බන්ධයෙන් ද අප අත තොරතුරු තිබෙන අතර, ඉදිරියේ දී ඒවා එකින් එක සවිස්තරාත්මකව හෙළිදරව් කරන්නට අදහස් කරගෙන සිටිමු. ඒ හෙළිදරව්වලදී ද ‘උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්නා නිලධාරීන්’ ගේ නම් ඈඳුණොත්, එය වාර්තා කරන අපේ වරදක් නොව, නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපයේ ගැටලුවක් බව ද මතක් කරමු.


නීතිපති දෙපාර්තමේන්තුවේ ගැටලු සහගත තීන්දු තීරණ සම්බන්ධයෙන් සාධාරණ පදනමක සිට ප්‍රශ්න මතුකිරීම හා විවේචනය කිරීම යුක්තිය පතන පුරවැසියා සතු අනුල්ලංඝනීය අයිතියකි.


මේ වසර තුළ මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව විවිධ මහාධිකරණවල අධිචෝදනා 600කට වඩා ගොනුකර තිබෙන බව ද ඉහත සන්ඩේ ටයිම්ස් පුවත කියයි.

එසේ නඩු ගොනුකිරීම ගැන අප ද බෙහෙවින් සතුටු වන අතර, ඒ අන්දමින් අධිචෝදනා ගොනුකිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය මිස අන් කිසිවක් නොවන බව ද අමුතුවෙන් කියන්නට අවශ්‍යය නැතැයි සිතමු.

පෙර වාර්තා දෙකට සබැඳි ;
1. පිල්ලෙයාන්ට ඇප දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව කියයි‍, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෑ කියයි.
2. නීතිපති දෙපාර්තමේන්තුවේ කකුල ආයෙත් කටේ!

Sanath Balasooriya(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com

උපුටා ගැනීම -
Sanath Balasooriya ගේ FB පිටුවෙන්...

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...