The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)

T

The Leader Desk

December 3, 2022 • 7:09 PM

ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනමුත් අප විසින් නැවත විමසා බැලිය යුතුව ඇත්තේ, රටක ඇතිවන ආර්ථික අර්බුදයක් - එරට පවතින දේශපාලන ක්‍රියාවලියෙන් වෙන්ව විවරණයට ලක් කර මෙවැනි සංකීර්ණ තත්ත්වයක් හරියාකාරව විග්‍රහ කළ හැකිද යන්නයි?
  • මන්ද යත්, පෙර කී ආර්ථික අර්බුදය ඔස්සේ හටගන්නා දේශපාලන අර්බුදය වැළැක්විය නොහැක්කක් වන්නා සේ ම, ඒ අතරම නොවැළැක්විය හැකි පරිද්දෙන් ව්‍යාප්ත වන සමස්ත සමාජ දේහයේම කඩා වැටීමත් මෙම ආර්ථික හා දේශපාලන අර්බුදයේම ප්‍රකාශනයක් ලෙස අපට අවසාන අර්ථයෙන් සලකන්නට සිදු වන නිසාවෙනි.
  • සාමාන්‍ය එදිනෙදා ව්‍යවහාරයේදී අප බොහෝ කලක සිට පුනරුච්චාරණය කරන්නේ, දකුණු ආසියානු කලාපයේ ජනගහනයට සාපේක්ෂව වැඩිම සාක්ෂරතාවයකින් යුතු ජනතාවක් වාසය කරන්නේ ශ්‍රී ලංකාවේ වන බවටයි.
  • මිත්‍යා විශ්වාසයන්ට අසීමිත අගයක් ලබා දෙමින්, විවිධ නිකායයන් හා ඇදහිලි පසුපස අන්ධයින් රැලක් පරිද්දෙන් පසු ගමන් යන අප සමාජයේ බහුතර පිරිසක් ලබා ඇති සාක්ෂරතාවය ඔවුන් නැවතත් අළුත් වටයකින් අත්හදා බලනුයේ මැතිවරණයකදී ලැබෙන ඡන්ද බලය තම සිතැඟි අනුව පාවිච්චි කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
අසාර්ථක මෙන්ම පටු දූපත්වාසී මානසිකත්වයෙන් හෙබි සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික බිඳ වැටීමේ කූටප්‍රාප්තිය සනිටුහන් කරන ලද්දේ, සැලකිය යුතු මට්ටමේ විශාල ජනවරමකින් 2019 වසරේ නොවැම්බර් මස බලයට පත් කෙරුණු ශ්‍රී ලංකා ජ්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කිරීමේදී පෙන්නුම් කළ අසමත්භාවය හේතුවෙන් එකී ධූරයෙන් ඔහු අවමන්සහගත ලෙස ඉවතට පන්නා දැමීමේ සාමූහික පුරවැසි මැදිහත්වීම විසිනි.

එදා වේල හරිහම්බ කරගන්නා සමාජ ස්ථරායනයේ පහළම තීරුව නියෝජනය කරනු ලබන දුගී දුප්පත් කම්කරු ජනතාව ගේ සිට මධ්‍යම පාන්තික පරිභෝජනවාදයේ සරණ යමින්, රූපවාහිනී නාලිකා තුළින් බලහත්කාරයෙන් දර්ශනය කෙරෙන භාන්ඩ හා සේවාවන් අත්පත් කරගැනීමේ අනවරත තරඟයක නියැලෙන අතරේ, කෙසේ හෝ මුදල් ඉපයීමෙන් මධ්‍යම පන්තිය වෙත පොළා පනින්නට හැකි යැයි සිතා ඊට වෙර දරන පහල මධ්‍යම පන්තිය ද ඇතුළුව, තමන්ගේ ම කියා නිවසක්, මෝටර් රථයක්, ස්ථාවර ආදායමක් සහතික කෙරෙන රැකියාවක්, ව්‍යාපාරයක් හෝ ධනෝපායන මාර්ග හිමි, යම් අනාගත ආයෝජනයක රැකවරණය ලද, ඒ අනුහසින් තම දරුවන්ගේ ද්වීභාෂා අධ්‍යාපන කටයුතු සිරිත් පරිදි පවත්වාගෙන යමින් සිටි මධ්‍යම පාන්තික පුරවැසි සමූහයා ද යන මෙකී සියලු සමාජ කොටස් විසින් මෙම සමාජයීය මැදිහත්වීම කරා තම දායකත්වය ලබා දුන් බව රහසක් නොවේ.

 
ජන අරගලයට හේතු වූ බාහිර හා අභ්‍යන්තර සාධක කිහිපයක්

එක් අතකින් බැලූ විට පැහැදිලිවම පෙනෙන්නට තිබූ අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟකම හෙවත් කිරි පිටි, ගෑස්, ඉන්ධන, ඖෂධ වර්ග ආදියේ දුලබතාවය පුරවැසි අසහනය හා කෝපය වර්ධනය වීම කෙරෙහි බලපෑ ආර්ථික කඩා වැටීමට අදාළ බාහිර සාධක ලෙස මතුපිටින් තිබෙද්දී, තරමක් ගැඹුරු - විදග්ධ තලයේ සංවාදයන්ට නිමිති වෙමින් සති අන්ත ජාතික හා විකල්ප ධාරාවේ මුද්‍රිත - විද්‍යුත් හා සමාජ මාධ්‍ය අවකාශයන්හි දිග්ගැස්සුනු සංවාදයන්ට ඉඩකඩ විවර වූ අකාර්‍යක්ෂම, අදූරදර්ශී ආණ්ඩුකරණ ක්‍රියාවලිය හරහා දේශපාලන බලය දරන කණ්ඩායම් විසින් මාරුවෙන් මාරුවට ජාතික සම්පත් හා ධනය සූරා කෑම, අසීමාන්තිකව සමාජය පුරා උඩු දුවා තිබෙන වංචාව හා දූෂණය, පිළිලයක් සේ රාජ්‍ය සේවය වෙළා ගත් නිළධාරීවාදය, නීතියේ පාලනය බිඳ වැටීම, ඒ හේතුවෙන් නීතිය පිළිබඳ සමාජයේ විශ්වාසය බිඳ වැටීම, පුරවැසියන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් කප්පාදුව මෙන්ම සමාජ හා සංස්කෘතික තලයන්හි ඇතිව තිබූ නොවැළැක්විය හැකි පුපුරා යෑම වැනි සංකල්පීමය තලයේ පවතින දේශපාලන කඩා වැටීමට අදාල කරුණු ද, අනෙක් අතින් මෙම පුරවැසි නැගිටීම පිටුපස සැඟවී තිබුණු අභ්‍යන්තර සාධක බව අපට පිළිගැනීමට සිදු වේ.

එනමුත් අප විසින් නැවත විමසා බැලිය යුතුව ඇත්තේ, රටක ඇතිවන ආර්ථික අර්බුදයක් - එරට පවතින දේශපාලන ක්‍රියාවලියෙන් වෙන්ව විවරණයට ලක් කර මෙවැනි සංකීර්ණ තත්ත්වයක් හරියාකාරව විග්‍රහ කළ හැකිද යන්නයි? මන්ද යත්, පෙර කී ආර්ථික අර්බුදය ඔස්සේ හටගන්නා දේශපාලන අර්බුදය වැළැක්විය නොහැක්කක් වන්නා සේ ම, ඒ අතරම නොවැළැක්විය හැකි පරිද්දෙන් ව්‍යාප්ත වන සමස්ත සමාජ දේහයේම කඩා වැටීමත් මෙම ආර්ථික හා දේශපාලන අර්බුදයේම ප්‍රකාශනයක් ලෙස අපට අවසාන අර්ථයෙන් සලකන්නට සිදු වන නිසාවෙනි.


මහජනතාව ගේ වගවීම?

සාමාන්‍ය එදිනෙදා ව්‍යවහාරයේදී අප බොහෝ කලක සිට පුනරුච්චාරණය කරන්නේ, දකුණු ආසියානු කලාපයේ ජනගහනයට සාපේක්ෂව වැඩිම සාක්ෂරතාවයකින් යුතු ජනතාවක් වාසය කරන්නේ ශ්‍රී ලංකාවේ වන බවටයි. නමුත් විචාරශීලීව කල්පනා කරන්නේ නම් අප මොහොතක් කල්පනා කළ යුතු වන්නේ එය කෙබඳු ආකාරයේ සාක්ෂරතාවයක් විය හැකිද යන්නයි?

මිත්‍යා විශ්වාසයන්ට අසීමිත අගයක් ලබා දෙමින්, විවිධ නිකායයන් හා ඇදහිලි පසුපස අන්ධයින් රැලක් පරිද්දෙන් පසු ගමන් යන අප සමාජයේ බහුතර පිරිසක් ලබා ඇති සාක්ෂරතාවය ඔවුන් නැවතත් අළුත් වටයකින් අත්හදා බලනුයේ මැතිවරණයකදී ලැබෙන ඡන්ද බලය තම සිතැඟි අනුව පාවිච්චි කරමිනි.

බොහෝ ඡන්දදායකයින් පිරිසක ගේ පොදු අදහස වන්නේ, මැතිවරණයකදී තම ඡන්දය භාවිතා කිරීමෙන් පසු ඔවුන් සතු පුරවැසි කාර්යභාරය මීලඟ මැතිවරණය පැවැත්වෙන තෙක් තාවකාලිකව අවසන් වන බවටයි. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පැවතිය යුතු පුරවැසි සහභාගීත්වයේ හා ක්‍රියාකාරීත්වයේ අඛන්ඩතාවය මෙබඳු ආකල්ප හරහා සමාජයක් වශයෙන් අපට සාක්ෂාත් කරගත හැකිද?


ජන අරගලයේ ස්වරූපය

තනි තනි වශයෙන් අප විසින් ලඟා කරගත යුතු මූලික මිනිස් අවශ්‍යතා කෙරෙහි සංවේදී වනවා සේම, සමාජයක් වශයෙන් අප විසින් ලඟා කරගත යුතුව ඇති පොදු සමාජ වටිනාකම් කෙරෙහි ද සාමූහික අර්ථයෙන් කැපවන්නට අප බැඳී සිටී. එය අත්හළ නොහැකි පුරවැසි වගකීමකි. නමුත් අප වඩාත් ආශක්ත වී ඇත්තේ මේ අතරින් තනි තනිව රැස් කරගත හැකි දෑ කෙසේ හෝ අත්පත් කරගැනීමට ය. එදිනෙදා ව්‍යවහාරයෙන් පවසන්නේ නම් තනියම බුදු වන්නට ය.

නමුත් ගෝඨාභය ජනාධිපතිවරයා ප්‍රමුඛ දූෂිත හා කොල්ලකාරී රාජපක්ෂ දෘෂ්ඨිවාදය තීරණාත්මක පරාජයකට පත් කිරීම වෙනුවෙන් සංඛේතාත්මකව ගෝල්ෆේස් පිටියට මාස ගණනාවක් තිස්සේ නොකඩවා රැස් වූ පුරවැසි සමූහයා මෑත ඉතිහාසයේ පළමු වතාවට තනි තනි පුද්ගල අරමුණු දෙවැනි කොට - එක් පොදු සමාජයීය අරමුණක්, පරමාදර්ශී දේශපාලන බලාපොරොත්තුවක් වෙනුවෙන් (ඇතැම් විවේචකයින්ට අනුව මෙය හුදු මනෝරාජික සිතිවිල්ලක් පමණි) සටන් කිරීමට පෙළඹීමම, මෙරට ක්‍රියාත්මක වූ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ විකාරසහගත බව හේතුවෙන්, ඒ වෙනුවට පවතින විකල්ප ක්‍රියාමාර්ගයක් වන සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කරගත් එක්තරා සුවිශේෂී දේශපාලන හැරවුම් ලක්ෂයකි.

නමුත් අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් වන්නේ, දියුණු සමාජ ක්‍රමයක් හෝ පාලන ව්‍යුහයක් යනු බලාපොරොත්තුවක් හෝ ප්‍රාර්ථනාවක් පමණක් නොවන බවයි.


වඩාත් තියුණු විචාරාක්ෂියකින් යුතු සබුද්ධික පුරවැසියෙකු නිර්මාණය කර ගැනීමකින් තොරව අපට - අපව පාලනය සඳහා, අප වෙනුවෙන් තීරණ ගැනීමේ ව්‍යවස්ථාදායක හෝ විධායක බලය පවරා දීම සඳහා අදට වඩා දියුණු සමාජ සම්මුතියක් ඇති කර ගැනීමේ කාලීන අවශ්‍යතාවය වනාහි හුදු ප්‍රාර්ථනාවක් හා සිහිනයක් ම පමණක් වනු ඇත.
එහෙත් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා බිඳ වැටී අබල - දුබල වී තිබෙන සමාජ ක්‍රියාකාරීත්වයක් සමඟින් දෛනිකව පොරබදන්නට සිදුව පවතින අප සමාජයට අදට වඩා යහපත් හෙටක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් කළ යුතුව ඇති තීරණාත්මකම කාර්යයක් වන්නේ ජාතිකත්වය, වාර්ගිකත්වය, ආගමිකත්වය හෝ ස්ත්‍රී - පුරුෂ සමාජභාවය වැනි යල් පැන ගිය ප්‍රාථමික මට්ටමේ සීමාවන් පදනම් කරගත් පටු මානසිකත්වයෙන් මිදුණු, විශ්වීය මානව වටිනාකම් අගයන දියුණු පුරවැසියකු හා දියුණු මානව සම්පතක් නිර්මාණය කර ගැනීමයි.

ගෝල්ෆේස් “ගෝටාගෝගම” හරහා අපට විවර වූයේ එකී දියුණු පුරවැසියා නිර්මාණය කර ගැනීමට ලැබුණු දුර්ලභ හා තීරණාත්මක අවස්ථාවයි.
අවාසනාවට මෙන් අපට මෙම “අරගලය” නමින් හඳුන්වනු ලබන සමාජ, දේශපාලන සංසිද්ධිය හරහා ඉටු කර ගැනීමට නොහැකි වූයේත් එම අනාගතවාදී අරමුණයි.


අරගලයේ ස්වයං - විනාශකාරී අවසානය?

නිශ්චිත අනන්‍යතාවයකින් යුක්ත දේශපාලන නායකත්වයක් නොමැතිකම වැනි ජනප්‍රියවාදී මත පළ කිරීම් වල සිට, රාජපක්ෂවරු පාලනයෙන් නෙරපා දැමීමට පමණක් සීමා වූ හා ඉන් ඔබ්බට අවශ්‍ය කරනු ලබන ව්‍යුහාත්මක තලයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පොදු එකඟත්වයක් හා සාමූහික වැඩපිළිවෙලක් නොමැතිකම, අරගලයේ නාමයෙන් ගෙන ගිය සාමකාමී විරෝධය ප්‍රකාශ කිරීම - ප්‍රචන්ඩත්වය හරහා වෙනත් දිශානතියකට යොමු වීමෙන් උද්ගත වූ අරාජික සමයේදී එතෙක් පැවති සාමූහික ජනතා සහභාගීත්වයේත්, උද්යෝගයේත් පැහැදිලි ඛන්ඩනයක් සලකුණු වීම හා වාමාංශික යැයි කියාගන්නා දේශපාලන පක්ෂ හා ඒවායේ න්‍යායධරයන්, ක්‍රියාධරයන් විසින් මෙන් ම දුසිම් ගණනින් හතු පිපෙන්නාක් මෙන් බිහි වූ අරගලයේ නියෝජිතයන් යැයි කියාගන්නා සිවිල් කණ්ඩායම් විසින් ජන අරගලය ඔවුන්ගේ පාරම්පරික භුක්තියට වෙන් වූ දේපළක් සේ සලකා විවිධ වේශයන්ගෙන්, විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්‍රියාත්මක වීම වැනි කරුණු ද අප ඉදිරියේ ඉතිරි කරන්නේ පුරවැසි අරගලයේ කොතනකදී හෝ සිදුව ඇති බරපතල දේශපාලන අතපසුවීම් හා වැරදි තක්සේරුකිරීම් මාලාවක් නොවන්නේ ද?

එනමුත් අවසන් සමාලෝචනයේදී විවිධ අර්ථකථන පැවතියත් මෙම ලියුම්කරු මූලිකව මතු කරන්නට උත්සාහ කරන්නේ, අප සමාජයක් වශයෙන් දක්වන ආකල්පමය තලයේත්, මතවාදී තලයේත් මෙන්ම ප්‍රායෝගික තලයේ (මහ පොළොවේ සැබෑ දේශපාලන වුවමනාවන් අතර) පවතින බරපතළ සෝදා පාළුව මෙම ජන අරගලයේ අවසානයේදී ද නැවතත් කදිමට විද්‍යමාන වූ බවයි.

එබැවිනි, දියුණු සංස්කෘතික වටිනාකම් පිළිබඳ අවබෝධයක් සහිත පුරවැසියෙකු තනා ගැනීම අපට මඟ හැර යා නොහැකි අත්‍යවශ්‍යම කාර්යයක් වන බවත්, එයින් තොරව මෙකී කිසිඳු පරමාදර්ශී හෝ සුසමාදර්ශී වෙනසක් ලඟා කර ගැනීමට අපට නොහැකි වනු ඇති බවත් මීට පෙර සඳහන් කරන ලද්දේ.


ප්‍රායෝගික ලෝකයේ දී අප සිටින්නේ එවැනි දියුණු විශ්වීය ගුණාංගයන්ගෙන් පොහොසත් පුරවැසියෙකු නිර්මාණය කර ගැනීමට ක්‍රිස්තු වර්ෂයෙන් නොව, තවත් ආලෝක වර්ෂ ගණනාවක දුරකිනි.
යහපත් අනාගතයක් වෙනුවෙන් ජන අරගලයට එක් වූ පුරවැසියන් ගේ සමාජමය, ආර්ථිකමය, සංස්කෘතිකමය හා දේශපාලනමය සුබ සිහිනය සැබෑ වන ක්ෂේම භූමිය කරා ඇති සැබෑ දුරද එතරම්ම වන්නේ ඒ නිසාවෙනි.


සටහන හා ඡායාරූප :

(W.G.D. ප්‍රියංකර)
නිදහස් ලේඛක

dineshpriyankara746@gmail.com

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...