The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විකට නළුවකු යුධ විරුවෙක් වෙද්දී යුධ විරුවෙක්ට වෙච්ච දෙයක් ! - අයි.එස්. ජයරත්න

T

The Leader Desk

February 28, 2022 • 12:26 PM

විකට නළුවකු යුධ විරුවෙක් වෙද්දී යුධ විරුවෙක්ට වෙච්ච දෙයක් ! - අයි.එස්. ජයරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොහු වැනි "ජෝකර්" කෙනෙකු බලයට ගෙන ඒමට අමෙරිකාව සහ බටහිර රටවලට දැඩි අවශ්‍යතාවයක් තිබුණා.
  • මේ වෙනකොට චීනයත් සැලකිය යුතු ලෙස යුක්‍රේනය තුල ආයෝජනය කිරීම හරහා තම අනසක පතුරවමින් සිටියා.
  • එහෙත්, 1991 සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වූ යුක්‍රේනය අමෙරිකාව සහ යුරෝපා සංගමයට සමීප වීම තුල ඔවුන් රුසියාවේ උදහසට ලක්වීමට පටන් ගත්තා.
  • ඔවුන් NATO සංවිධානයට තදින් ප්‍රකාශ කලේ කිසි ලෙසකවත් යුක්‍රේනයට එහි සාමාජිකත්වය ලබා නොදිය යුතුය කියලයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මොහු වැනි "ජෝකර්" කෙනෙකු බලයට ගෙන ඒමට අමෙරිකාව සහ බටහිර රටවලට දැඩි අවශ්‍යතාවයක් තිබුණා.

විශේෂයෙන්ම ඔවුන්ගේ අරමුණ වුනේ යුක්‍රේනය තුල තිබෙන සම්පත් කොල්ලකෑමට සහ රුසියාවට යම් බලපෑමක් කිරීමට. මේ වෙනකොට චීනයත් සැලකිය යුතු ලෙස යුක්‍රේනය තුල ආයෝජනය කිරීම හරහා තම අනසක පතුරවමින් සිටියා.

යුක්‍රේනය ලෝකයේ untapped ස්වාභාවික සම්පත් වලින් අනූන රටක්. යුරේනියම් , ටයිටේනියම්, මැංගනීස්, ගල් අඟුරු, වැනි සම්පත් ඉතා බහුලව ඔවුන් සතුව තිබෙනවා. ඒවගේම දියුණු කෘෂි කර්මාන්තයක් තිබෙන රටක්. රටේ ජනයා යම් මට්ටමකට සතුටින් සාමයෙන් ජීවත් වුනා.

එහෙත්, 1991 සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වූ යුක්‍රේනය අමෙරිකාව සහ යුරෝපා සංගමයට සමීප වීම තුල ඔවුන් රුසියාවේ උදහසට ලක්වීමට පටන් ගත්තා.  

 

මෑතක යුක්‍රේනය නේටෝ (NATO) සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටියා. ඒ තුල රුසියාව තවත් කැළඹීමට පත් වුනා. ඔවුන් NATO සංවිධානයට තදින් ප්‍රකාශ කලේ කිසි ලෙසකවත් යුක්‍රේනයට එහි සාමාජිකත්වය ලබා නොදිය යුතුය කියලයි. මන්ද, තම දොරකඩ බටහිරට ගැති රටක් නිර්මාණය වනවාට රුසියාව කැමති වුනේ නැහැ.

 

අමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය ප්‍රමුඛ රටවල් යුක්‍රේන ජනාධිපතිට ලනු දෙමින් ඔහුව ගොනාට ඇන්දුව බව ප්‍රසිද්ධ කාරනයක්.

ඔය අතර, රුසියානු හමුදා පෙබරවාරි මාසයේ මුල් සති කිහිපයේ සිට බෙලරූස් සහ යුක්‍රේනයේ කොටසක් වන ඩන්බාස් ප්‍රදේශයේ (රුසියාවට ලැදි තාවකාලික පාලනයක් ඇති ප්‍රදේශයක්) යම් යුධ අභ්‍යාසයක නිරතව සිටියා.

එය මුල් කරගෙන අමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය සහ තවත් රටවල් කිහිපයක් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ඔවුන්ගේ දැඩි විරෝධයක් ප්‍රකාශ කොට තිබුනා.

ඔය අතර ජෝ බයිඩන්, මැක්‍රෝන් සහ ජර්මන් චාන්සලර්වරයා රුසියානු ජනාධිපති පුටින් සමග සාකච්ඡා ආරම්භ කල අතර ප්‍රශ්නය තරමක් දුරට විසඳෙන බවක් පේන්න තිබුණා.  

බලලා මල්ලෙන් එලියට පැන්නේ යුක්‍රේන ජනාධිපති පසුගිය 25 වනදා මාධ්‍ය අමතා කල ප්‍රකාශයකින්."මාව තනිකොට අමෙරිකාව සහ යුරෝපා සංගමය පලා ගියා" කීමත් සමග මේ අර්බුදයේ සැබෑ සැලැසුම් කරුවන් හෙළිවුනා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිට අමෙරිකානු සහ යුරෝපා සංගමයේ රටවල නායකයින් උපදෙස් දී තිබුනේ "ඔබ යුද්ධයට යන්න, අපි ඉතුරු ටික බලා ගන්නම්" කියලයි. අවසානයේ "ජෝකර්" සෙලෙන්ස්කි ඔවුන් ගේ ගැටයට හසුවුන බව නම් පැහැදිලියි. මේ වනවිට තම රට සහ ජනයා විනාශ කරගනිමින් පසුගිය පෙබරවාරි 23 වෙනිදා සිට මේ මොහොත දක්වා යුක්‍රේනය සහ රුසියාව බිහිසුණු යුද්ධයක පැටලී සිටිනවා.  

 

අපේ පාලකයන්ට මෙයින් උගත හැකි පාඩම් බොහොමයි. මන්ද තම විදේශ සම්බන්ධතා කෙසේ පවත්වා ගත යුතුද යන්න පිළිබඳ නැවැත සිතා බැලීමට මෙය හොඳ පූර්වාදර්ශයක්. වරෙක චීනයට ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලංකාව  තවත් විටෙක ඉන්දියාවට ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. වාසි පැත්තට හෝයියා න්‍යාය විදෙස් ප්‍රතිපත්ති සමග ගැලපෙන්නේ නැහැ. දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය පටලවා නොගත යුතු වෙනවා.

 

මේ අතර ඊයේ යුක්‍රේන ජනාධිපතිට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දුරකථනය හරහා කතා කරල කියනවා "ඔබ රටේ පාලනය අතඇරල රටින් ඉවත් වී පණ බේරාගෙන අමෙරිකාවට එන්න" කියල. එම ඉල්ලීමට පිළිතුර වශයෙන් යුක්‍රේන ජනාධිපති වරයා ප්‍රකාශ කලේ "I don't need a ride. I need ammunition. I will not leave my country and people." 

 
" මට අවශ්‍ය ගුවන් ගමනක් නොවෙයි. මට අවශ්‍ය උන්ඩ. මම මගේ රටත්, මගේ ජනයාත් අතහැර පලා යෑමට සූදානම් නැහැ." ජෝකරයෙක් වුවත් ඔහුගේ ප්‍රකාශය මා පෞද්ගලිකව අගය  කරනවා.
 
The Rajapaksas are back in power in Sri Lanka | The Economist
 
අපේ රටේ ජනයා යුක්‍රේනයේ ජනයාට වඩා වෙනස් විදිහට තමයි 2019 හිතුවේ..
 
 
අපේ රටේ ජනයා යුක්‍රේනයේ ජනයාට වඩා වෙනස් විදිහට තමයි 2019 හිතුවේ. එම නිසා අපිට සිදුවී තිබෙන්නේ යුධ විරුවෙකු ජනාධිපති කොට, ඔහුගේ "ජෝකර් වැඩ" නිසා දුක් විඳින තත්ත්වයට පත්වීමට.

රටේ ජනයා ඉතා කැමැත්තෙන් 2019 දී දේශපාලකයකු නොවූ යුධ විරුවකු යැයි කියාගත් හිටපු ආරක්ෂක ලේකම් වරයා රටේ ජනාධිපති වරයා කරගන්නේ සුවහසක් බලාපොරොත්තු ඇතිව. රටේ දූෂණය වංචාව පිටුදැක රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරයි කියන බලාපොරොත්තුවෙන්.

ඒ වගේම 2/3 බලයක් ලබා දෙමින් පාර්ලිමේන්තු බලයත් ඔහුටම ලබා දුන් ජනයා බලන් හිටියේ ඔහු යුධ විරුවෙක් ලෙස රට නිවැරැදි දිසාවට රැගෙන යයි කියලා.

අහෝ ඛේදයකි. විරුවා විහිළු සපයන්නෙකු බව මේ වෙනකොට මුළු ලෝකයටම ඔප්පු කොට හමාරයි.

පසුගිය යල කණ්නය ආරම්භ වෙනවාත් සමග එක රැයෙන් ඔහු කියනවා වහාම මුළු රටම 100% ක් කාබනික කෘෂිකර්මය සඳහා සූදානම් වියයුතු බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායනික යෙදවුම් සියල්ල ආනයනය වහාම නවතා දමන ලෙස.

 ලංකාවේ ජනාධිපති 2021 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහභාගි වෙමින් කියනවා "මගේ රට තමයි ලෝකයේ 100% කාබනික කෘෂිකර්මය කරන එකම රට" කියල.

එංගලන්තයේ තිබුන COP 26 සමුළුවට ගිහිල්ලත් ඒකම කිව්වා. එහෙත් අද වන විට රටේ ආහාර නිෂ්පාදනය 60% කින් පහල ගොස් ඇති බව වාර්තාවෙනවා. මියන්මාරයෙන් අවුරුද්දකට හාල් මෙට්‍රික් ටොන් 150000 බැගින් අවුරුදු දෙකක් මිලදී ගන්න ගිය මාසයේ ගිවිසුම් අත්සන් කරනවා.
 
 Myanmar 2022 1
 
මියන්මාර සහල් වෙළෙඳ සංගමයේ ලේකම් පසුගිය දිනෙක එරටේ මාධ්‍ය වලට ප්‍රකාශ කොට තිබුනේ වෙනත් රටවල් ටොන් එක ඩොලර්  350 ට ගනිද්දී ලංකාවේ රජය ටොන් එකක් ඩොලර් 450 කට මිලදී ගන්නා බවත්, ඔවුන් හාල් වල ගුණාත්මක භාවය ගැන සොයා නොබලන බවත්, ලංකාව සමග සහල් ගනුදෙනුව ඉතා වාසි සහගත බවත්ය .
 
 
ඒ අනුව රජයට සම්බන්ධ ප්‍රබලයෙක් ටොන් එකට ඩොලර් 100 බැගින් කොමිස් ගැනීමක් සිදුවෙනවා. මෙම ගනුදෙනුවෙන් පමණක් වර්ෂ දෙකට ඩොලර් මිලියන 30 ක කොමිස් ගන්නවා. එසේ නම් කාබනික පොහොර මංකොල්ලය ගැන ඔබට හිතාගන්න පුලුවන් වෙයි.

මේ වෙනකොට රටේ බඩුමිළ අහස උසට නැගලා. මිල උද්ධමනය ඉහල යෑමේ ප්‍රතිශතය දෙසැම්බර් මස 14%, ජනවාරි 16% යි. පෙබරවාරි මෙය 18% හෝ 20% වීම නොවැළැක්විය හැකියි.

 මිල පාලනය කිරීමට රජය ගැසට් 20කට වැඩිය ප්‍රසිද්ධ කලත් අවසානයේ ඒවා සියල්ල හකුලා ගත්තා. දැනට රටේ ඖෂධ කිහිපයක් හැරෙන්න අනෙක් සියලු භාණ්ඩ මිල පාලනයෙන් ඉවත් කොට තිබෙනවා.

ඒ වගේම හෙට වනවිට විදුලිය කැපීම පැය 7 දක්වා ඉහළ දැමීමට නියමිත බව මාධ්‍ය කියනවා. රට බංකොලොත් වීමේ කටමුලට පැමිණ තිබෙනවා.

 සෞභාග්‍යය රැගෙන එන බව කියා ජනයාට පොරොන්දු වූ නායකයාගේ සහ ඔහුගේ ගෝලබාලයින්  පඹයන් සේ සකස් කොට ජනයා පහර දෙන දර්ශන මාධ්‍ය වල ප්‍රචාරය වෙනවා.

ජනාධිපති මැතිවරණ වේදිකාවේ තේමා ගීතය "රට කරන විරුවා" ඇසෙන විට ජනයා කෝපවී උපකරණ පොළොවේ ගසන තත්වයට පත්වී තිබෙනවා. ඉන්ධන පොලවල් අවට තිබෙන දිගු පෝලිම් වල සිටින මිනිසුන් පාලකයන්ගේ කෙරුවාව ගැන කියන කතා අසන විට ඔවුන් කෙසේ රෙදි ඇඳගෙන ජනයා ඉදිරියට යාවිද කියා හිතෙනවා.

රට කරවීමට පැමිණි විරුවා අවුරුදු දෙක යනකොට විහිළු කාරයෙක් වී සිටීම ඉතා කනගාටුදායක තත්වයක්. ඔහුට නොදෙවෙනි විපක්ෂ නායක වරයෙකුත් අපිට ඉන්නවා. ඔහු තරම් කාර්ය ශූර, දැන උගත්, තවත් කෙනෙක් නැහැ කියලයි ඔහු නම් කියන්නේ.

මොවුන් දෙදෙනාම එක වල්ලේ පොල් කියලයි මට නම් කියන්නට තිබෙන්නේ. සියලු ජයග්‍රහණ තමා සතු කරගැනීමත්, සියලු පරාජයන් අන් අය මත පැටවීමත් මේ දෙදෙනාගේම ආවේනික ලක්ෂණයක්. මොවුන් නායකයින් නොව හුදෙක් ආත්මාර්ථකාමී දේශපාලකයින් හැටියටයි මම නම් දකින්නේ.

අපිට අවශ්‍ය වන්නේ ජෝකර් පාලකයන් නොවෙයි. රටේ ඉදිරිය දකින, දිගුකාලීන සැලැසුම් තිබෙන, රටේ ජනයාගේ හෘද ස්පන්දනය තේරෙන, මාතෘභූමියට පනමෙන් ආදරය කරන නායකයින්. අපි තවදුරටත් අවුරුදු 5න් 5ට එන ජෝකර් ලාට රැවටිය යුතු නැහැ. අපි අවුරුදු 74ක් මොවුන් විශ්වාස කලා. මෙවර අපි නිවැරැදි තීරණය ගනිමු. ජාතික ජනබලවේගය වටා රොක්වෙමු . ඔවුන්ට ශක්තියක් වෙමු.




අයි. එස්. ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
(SLIDA )
 
Screenshot 2022 02 28 at 3.00.47 PM
 
 
 

Leader Whats app

  

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...