The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාලයේ තාලයට අලුත් වන අපේ රටේ White Magic | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

October 16, 2025 • 7:32 AM

කාලයේ තාලයට අලුත් වන අපේ රටේ White Magic | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් වත්මන් ජනප්‍රිය බුද්ධාගම හා සබැඳි අභිචාර විධි අතරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විෂයෙහි කිරි ආහාර පූජාව වේගවත් ප්‍රවර්ධනයක් ලබා තිබේ.
  • පාත්‍ර සියය, දහස ආදී වශයෙන් යොදා ගෙන කරනු ලබන මෙම කිරි ආහාර පූජාව මේ වන විට කෙතරම් ව්‍යාප්තියක් ලබා තිබේ ද යත් අනුරාධපුර වන්දනා කරුවන් සඳහා නවාතැන් පහසුකම් සපයන්නකු මා හා කියා සිටියේ කිරි ආහාර පිළියෙල කර ගැනීමේ පහසුව ද එවන් නවාතැන් පළක තිබිය යුතු අනිවාර්ය අංගයක් බවකි.
  • එමෙන්ම පසුගිය සමයේ අගනුවරින් පැමිණි පිරිසක් අනුරාධපුර රුවන්වැලිසෑය හමුවේ කිරි ආහාර පාත්‍ර අසූ හාර දහසක පූජාවක් කළ බවට මට දැන ගන්නට ලැබුණු පුවත ඇදහීමට පවා නොහැකි විය.
  • සමාජයීය චර්යාවන් යනු ඕනෑම සමාජයක කාලානුරූපී ලෙස නිරතුරුවම වෙනස් වෙමින් පවත්නා සංසිද්ධීන් දාමයකි.ඒ සම්බන්ධයෙන් පොදු ජනතාව කෙසේ වෙතත් සමාජ විද්‍යාඥයන් සහ සමාජ මනෝ විද්‍යාඥයන් තම සංතීක්ෂණ අවධානය යොමු කළ යුතු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් වත්මන් ජනප්‍රිය බුද්ධාගම හා සබැඳි අභිචාර විධි අතරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විෂයෙහි කිරි ආහාර පූජාව වේගවත් ප්‍රවර්ධනයක් ලබා තිබේ. පාත්‍ර සියය, දහස ආදී වශයෙන් යොදා ගෙන කරනු ලබන මෙම කිරි ආහාර පූජාව මේ වන විට කෙතරම් ව්‍යාප්තියක් ලබා තිබේ ද යත් අනුරාධපුර වන්දනා කරුවන් සඳහා නවාතැන් පහසුකම් සපයන්නකු මා හා කියා සිටියේ කිරි ආහාර පිළියෙල කර ගැනීමේ පහසුව ද එවන් නවාතැන් පළක තිබිය යුතු අනිවාර්ය අංගයක් බවකි.

එමෙන්ම පසුගිය සමයේ අගනුවරින් පැමිණි පිරිසක් අනුරාධපුර රුවන්වැලිසෑය හමුවේ කිරි ආහාර පාත්‍ර අසූ හාර දහසක පූජාවක් කළ බවට මට දැන ගන්නට ලැබුණු පුවත ඇදහීමට පවා නොහැකි විය.

 

kiripidu
සමාජයීය චර්යාවන් යනු ඕනෑම සමාජයක කාලානුරූපී ලෙස නිරතුරුවම වෙනස් වෙමින් පවත්නා සංසිද්ධීන් දාමයකි.ඒ සම්බන්ධයෙන් පොදු ජනතාව කෙසේ වෙතත් සමාජ විද්‍යාඥයන් සහ සමාජ මනෝ විද්‍යාඥයන් තම සංතීක්ෂණ අවධානය යොමු කළ යුතු වේ. නමුත් විද්‍යාත්මක ව ශ්වේතාභිචාර (White Magic ) ලෙස හඳුනාගෙන ඇති ශාන්ති කර්ම සම්බන්ධයෙන් වත්මන් සමාජය තුළ පවත්නා නැඹුරුව එසේ සමාජ විද්‍යාඥයන්ගේ සහ සමාජ මනෝ විද්‍යාඥයන්ගේ නිසි අවධානයට යොමු වී නොමැති විෂය පථයකි.

කවර හෝ ජන සමාජයක් ශ්වේතාභිචාර වෙත යොමු වීමට හේතු රැසක් තිබේ.ඒවා සාම්ප්‍රදායිකව අර්ථකථනය කරනු ලබන්නේ පොදු අරමුණු සඳහා හෝ පොදු යහපත සඳහා භාවිතා කරන අධි භෞතික උපාය මාර්ගයන් ලෙසිනි. යම් ප්‍රජාවක්, සමාජ ඒකකයක් වශයෙන් අත් විඳීමට සිදු වන අවිනිශ්චිතතාවය සහ අස්ථාවරත්වය ඒ සඳහා පාදක වූ බව පෙනේ.

madu karma

විශේෂයෙන් අතීත කෘෂිකාර්මික සමාජයට අත්‍යවශ්‍ය දෙයක් වූ වර්ෂාව නිසි කලට නොලැබීම ඔවුන් සාමූහිකව මුහුණ දෙන අර්බුදයකි.එමෙන්ම අද මෙන් විද්‍යා තාක්ෂණය දියුණු නොවූ අතීතයේ වසංගත රෝග පැතිර යාම ද එවක ගැමියන් මුහුණ දුන් පොදු ආපදාවකි. එහි දී ඔවුහු තමන් එකි`නෙකා අතර පවත්නා නොහොඳ නෝක්කාඩු තරහ මරහ පවා අමතක කොට එම පොදු ආපදාවෙන් අත් මිදීම පිණිස මඩු ශාන්ති කර්ම වැනි අභිචාරාත්මක කටයුතු සඳහා සාමූහිකව එක් රොක් වූහ. ඒ අනුව ඉන් එම ප්‍රජා ඒකකයන් හි පුද්ගල හා පවුල් සබඳතා තහවුරු වූ බව පෙනේ.

නමුත් ගත වූ සියවස හමාර දශක කිහිපය තුළ සමාජය, දේශපාලනික,ආර්ථික සහ සමාජයීය අර්බුද වැනි ඉතාමත් අස්ථාවර කාලපරිච්ඡේදයන් අත්විඳිමින් සිටී.සම්මත ආයතන ව්‍යුහයන් කෙරෙහි පවත්නා විශ්වාසය බිඳ වැටීම, විභාග ප්‍රතිඵල ආදී විධිමත් යැයි සැලකෙන ක්‍රමවේද වල සාර්ථකත්වය පිළිබඳ කෙරෙහි සමාජය තුළ පවත්නා අසංතෘප්තතාව, ආගමික සහ සමාජයීය සංස්ථා ප්‍රධානීන් හා එම ආයතන කෙරෙහි සමාජය තුළ පවත්නා විශ්වාසය අඩු වූ විට ඇති වන ඉච්ඡා භංගත්වය මුල් කොට බොහෝ දෙනෙක් නව බලාපොරොත්තු ගොඩ නංවා ගැනීමට සහ සහනයක් ලබා ගැනීම සඳහා වෙනත් විකල්ප මාර්ග සොයති.එමඟින් සැනසීම සහ සහනය ලැබීම කෙසේ වෙතත් තමන් තුළ පවත්නා අසංප්තතාව, ඉච්ඡා භංගත්වය පිටුදැකීම පිණිස එය මෙවලමක් කර ගනිති. ගුප්ත බලවේග මඟින් රෝග සුවය හෝ ආශිර්වාද ලැබීම ආරක්ෂාව සහ සාමය වැනි දේ කෙරෙහි අවධානය යොමු වීම මත යථාර්ථයෙන් ඔබ්බෙහි ඇති අධි යථාර්ථවාදී ලෝකයක තමන්ට යම් සැනසීමක් සහ සහනයක් ලබා ගත හැකි වෙතැයි බොහෝ දෙනෙක් සිතති.

සමාජ ආර්ථික වශයෙන් අස්ථායී සමාජයක ජනතාව ඉච්ඡා භංගත්වයට පත් වීම ඉතා සුලභ සාමාන්‍ය සංසිද්ධියකි.බොහෝ දෙනෙකුට තම ජීවිතයේ පුද්ගලික බලයක් හෝ පාලනයක් හෝ කලමණාකරණයක් නොමැති බව හැඟෙන විට හටගන්නා අසංතෘප්තතාව හමුවේ ඔව්හු දේශපාලන බලය වෙනස් කිරීම,වෙනත් රටකට යාම,ජීවන රටාව මුළුමනින් වෙනස් කර ගැනීම ආදී කටයුතු කෙරෙහි ස්වාභාවිකවම නැඹුරු වෙති.එහෙත් ඉනුදු අපේක්ෂිත සංතෘප්තිය නොමැති විට යළි යළිත් එවැනි වෙනස් කම් සඳහා යොමු වෙති.ඒ අතරේ යථාර්ථවාදී නොවන ගුප්ත ක්‍රම මඟින් තමන්ගේ ඉරණම හැඩගස්වා ගැනීමට සහ තම ජීවිතයේ යහපත් වෙනස්කම් ඇති කර ගැනීමට හැකියාව ඇතැයි යන විශ්වාසය ද සමාජය පුරා වේගයෙන් පැතිර යන්නට පටන් ගනී.එමඟින් තමාගේම බුද්ධිය,කායික මානසික හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ ගුප්ත ශක්තියක් හැකියාවක් ලැබෙනු ඇතැයි යන්න බොහෝ දෙනකු ගේ විශ්වාසය වී තිබේ.

වර්තමානයේ පවත්නා බොහෝ ක්‍රමවේද කෘත්‍රිම වන බවත් ස්වභාවධර්මය හා සම්බන්ධ වීම ඔස්සේ ඊට වඩා තිරසාර ප්‍රතිඵල ලද හැකි බවට පවතින විශ්වාසය මුල් කොට “ස්වාභාවික” “ශාකසාර” ආදී වශයෙන් වන හැඳින්වීම් වලට පවා මේ වන විට මින් පෙර හිමි නොවූ සමාජමය අගයක් හිමිව තිබේ.

turisam

ඒ වන විට අප ජීවත්වන විශ්වයේ මෙතෙක් විද්‍යාවට සොයා ගත නොහැකි එහෙත් මිනිසාට විපුල ඵල ලැබිය හැකි විශ්ව ශක්තියක් බලයක් ඇතැයි යන විශ්වාසය ද මේ වන විට සමාජය පුරා පැතිර ගොස් තිබේ. ඒ ඔස්සේ නූතන සංකීර්ණ ජීවන රටාවෙන් බැහැර වී, ලෝකය සමඟ වඩාත් සහසම්බන්ධ වූ සහ සොබා දහමට ගරු කරන ජීවිතයක් ගත කිරීමට ඇති සමාජමය ඉල්ලුම වැඩි වී ඇත. නමුත් මෙම උපාය මාර්ග තිරසර එකක් නොවනුයේ එමඟින් තම මානසික අසංතෘතිය මඳක් අවම වූ සැනින් බොහෝ දෙනා සුපුරුදු සමාජමය තරඟ බිමට අවතීර්ණ වීම ය.ඒ අනුව මහ මැදුර අත හැර අතු පැලක් සේ තැනූ නිවාඩු නිකේතනයක් සොයා එන පිරිස් තම මානසික ආතතිය අව ප්‍රමාණ වූ සැනින් යළි සුපුරුදු මන්දිර සොයා යති.

එවන් සමාජ මනෝ විද්‍යාත්මක සාධක හමුවේ ආතති නිවාරකයක් හා භාව විමෝචකයක් සේ සේ ගත හැකි ශ්වේතාභිචාර සඳහා ද නූතන ජනප්‍රිය සංස්කෘතිය තුළ අලෙවි වටිනා කමක් හිමි ව තිබේ. එය නව ලිබරල්වාදී සමාජයක් තුළ දකනට ලැබෙන ඉතා සුලබ සංසිද්ධියකි.

 

kiripidu 1
දහ නව වන සියවසේ දී පමණ ඇතැම් සමාජ විද්‍යාඥයන් අනුමාන කරන ලද්දේ ලෝකයේ සාක්ෂරතා මට්ටම ඉහළ යාම හා විද්‍යා තාක්ෂණය දියුණුවීමත් සමඟ මිනිසා තුළ පවත්නා ගුප්ත විශ්වාස කෙමෙන් දුරුවනු ඇතැයි කියා ය.

නමුත් පසුගිය දශක කිහිපය තුළ විශේෂයෙන් කැපී පෙනුණු අන්දමට විද්‍යා තාක්ෂණයෙන් සිදුව ඇත්තේ එම ගුප්ත විශ්වාස සමාජය පුරා පැතිර යාමට සුවිසල් පිටිවහලක් ලබා දීමකි..ඒ අනුව ඉහත සඳන් ශ්වේතාභිචාර සඳහා ඇති අලෙවි වටිනාකම ඉහළ යන අන්දමත් එමඟින් සමාජයට සිදු විය හැකි බලපෑමත් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීම සමාජ සහ සමාජ මනෝ විද්‍යාඥයන් සතු වැදගත් කාරියක් බව අප ගේ විශ්වාසයයි.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාලයේ තාලයට අලුත් වන අපේ රටේ White Magic | ප්‍රණීත් අභයසුන්දර | The Leader