The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා හෙවත් මගේ පරිවර්තනයේ එක් මුල්ගුරුවරයෙක් (1) - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

August 26, 2022 • 7:42 AM

විජේ ඩයස්: නිකායික මාක්ස්වාදයේ අපේ අවසාන යෝධයා හෙවත් මගේ පරිවර්තනයේ එක් මුල්ගුරුවරයෙක් (1) - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජේගුණසිංහ (විජේ ඩයස්) ය.
  • විජේ ඩයස් වසර අසූදෙකක් ආයු වලඳා පසුගිය ජුලි 27 වැනිදා මියයන තෙක්, ඔහුගේ ශිෂ්‍ය ජීවිතයේ පටන් එක දිගටම නොසැලී මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් පෙනී සිටි භෞතිකවාදියෙකි.
  • තමන් වචනයෙන් කියන සෑම දෙයකටම සියයට සියයක් අනුගතව ජීවත් වූ, මා දැක ඇති එකම පුද්ගලයා ඊ.
  • ගණන්වලදී (ලංකාවේ බොල්ෂෙවික් ව්‍යාපාරයේ) ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කොට ඇති ආචාර්ය ඊ.
අකුරු ප්‍රමාණය (Font Size):

විජේගුණසිංහ (විජේ ඩයස්) ය. තෙවැන්නා ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය.

ඒ දිනවල නිකහැටියෝ සඳදෝ හිමියෝ සංඝයාවහන්සේ කෙනෙකු වූවත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් භෞතිකවාදියෙකි. සමසමාජ පක්ෂයේ ක්‍රියාධරයෙකි. වැඩසිටියේ, නාරාහේන්පිට අභයාරාමයේ ය.

 විජේ ඩයස් වසර අසූදෙකක් ආයු වලඳා පසුගිය ජුලි 27 වැනිදා මියයන තෙක්, ඔහුගේ ශිෂ්‍ය ජීවිතයේ පටන් එක දිගටම නොසැලී මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් පෙනී සිටි භෞතිකවාදියෙකි.

EGg5vdxkEQprnuXu cover

තමන් වචනයෙන් කියන සෑම දෙයකටම සියයට සියයක් අනුගතව ජීවත් වූ, මා දැක ඇති එකම පුද්ගලයා ඊ. ඩබ්. අදිකාරම් පමණි.

 

1940 ගණන්වලදී (ලංකාවේ බොල්ෂෙවික් ව්‍යාපාරයේ) ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කොට ඇති ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්, ඒ කාලයේම ඒ දේශපාලන දර්ශයෙන් ඉවත් වී බොහෝ වියපත්ව මරණයට පත්වන තෙක්ම අවිහිංසාව කෙරෙහි පමණක්ම විශ්වාසය තැබූ විඥානවාදියෙකු විය. තමන් වචනයෙන් කියන සෑම දෙයකටම සියයට සියයක් අනුගතව ජීවත් වූ, මා දැක ඇති එකම පුද්ගලයා ඊ. ඩබ්. අදිකාරම් පමණි.

බෞද්ධ ධර්මය, ඉතිහාසය, විද්‍යාව සහ දර්ශනවාදය පිළිබඳ මහා ප්‍රාඥයෙකු වුවත්, සියලු ආගම් බැහැර කළ මොහු සිය නිරාගමික හේතුවාදී දර්ශනය රටවැසියා සමග බෙදාගත්තේය.

ඒ දිනවල, (1970 ගණන්වල) විජේ ඩයස් සහ ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් අතර ගුවන් විදුලි සංවාද බොහොමයක් තිබුණි. ලෝකයේ ගාමක සාධකය වන්නේ භෞතිකය හෙවත් ආර්ථිකය යැයි විජේ ඩයස් සිතුවේය. ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් සිතුවේ, එහි අනිත් පැත්ත හෙවත් විඥානය (සිත) විසින් මිනිස් ප්‍රගමණය/පරිහානිය ඇති කරන බවයි.

නිකහැටියේ සඳදෝ හිමියන් මීට මාස කිහිපයකට කලින් අපවත් වන විට, ඉස්සර සමසමාජකාරයෙකු වූවත්, මුළුමණින්ම විඥානවාදය/ආගම වැලඳගෙන තිබුණි. (මේවා, අපේ සාකච්ඡාවට අදාළ රළු නිර්වචනයන් පමණක් බව කරුණාවෙන් සලකන්න).

 

ඒ තිදෙනාම ‘මුල්ගුරුවරුන්’ වශයෙන් පමණක් මා සලකන්නේ, මගේ නව යොවුන් වියේදී පමණක් මගේ කල්පනා ලෝකය එළිය කිරීමට සහ විවිධ අර්ථයේ මඟපෙන්වීමවලට ඔවුන් තීරණාත්මකව දායක වී ය යන අර්ථයෙනි. ඉන්පසුව, අද පවතින මගේ වැඩිහිටි වෙනස්කම් සියල්ල වූ කලී, මගේම ස්වෝත්සාහයෙන් සහ කියවීමෙන් ඇති කරගත් ප්‍රගතීන් හෝ පිරිහීම් වන නිසා, ඔවුන් ඒවාට කිසිසේත් වගකිව යුතු නොවේ.

 

1980 පමණ සිට අද දක්වාමත් මගේ වැඩිහිටි ගුරුවරුන් වශයෙන් මා සලකන්නේ, පොත්පත් සහ මොන තරම් අඩුපාඩු සහිතව විය හැකි වෙතත්, මගේම ස්වාධීන විචාරශීලී චින්තනයයි.

1965 සිට 1990 ගණන් දක්වා මා ට්‍රොට්ස්කිවාදියෙකි. 1965 දී මා සමසමාජ පක්ෂයට බැඳෙන්නේ, එවක ඒ. ටී. ආරියරත්න මහතාගේ සර්වෝදය ව්‍යාපාරයේත්, සමසමාජ පක්ෂයේත් නිකහැටියේ සඳදෝ හිමියන් තරුණ සහ උගත් භික්ෂූන් නමක් වහන්සේ වශයෙන් පෙරමුණේ සිටි නිසා ය. මා සමසමාජකාරයෙකු බවට පත්කෙළේ උන්වහන්සේ ය.

 මුල්ලපිටියේ මුහන්දිරම් කේ. එච්. ද සිල්වා සහ උන්වහන්සේ අතර ඒ දිනවල ඉරිදා සිළුමිණ පුවත්පතේ බොහෝ වාදවිවාද තිබුණි. ඒ පුවත්පත් විවාද කියවීමේදී පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් මගේ හිතගත්තේ මුල්ලපිටියේ මුහුන්දිරම් මිස මගේ (අවිධිමත්) ගුරුවර නිකහැටියේ සඳදෝ හිමියන් නොවේ. හේතුව, සඳදෝ හිමියන් කුලවාදය සහ නිකායවාදය වෙනුවෙන්, මේ සංවාද තුළ තදින්ම පෙනී සිටීම නිසා ය.

උන්වහන්සේ අපවත්වන තෙක්ම, ඒ සියලු නොගැලපීම් මධ්‍යයේත් අප දෙදෙනා අතර එක දිගට තිබුණු බැඳීම වෙනම ලිපියකට ප්‍රස්තුත විය යුත්තකි.  


ට්‍රොට්ස්කිවාදයෙන් පීලි පැනීම දෙකක්

 

fb1f82d0b65c30e9 1024x682

ලියොන් ට්රොට්ස්කි

 

මේ අතරතුර 1973 සිට 1977 දක්වා කෙටි කාලයක් තුළ මගේ (ට්‍රොට්ස්කිවාදයෙන්) පීළිපැනීම් දෙකක් සිද්ධ වුණි.

පළමුවැන්න වුණේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජාතික ශිෂ්‍ය සංගමයට අයත් කොමියුනිස්ට පක්ෂ අනුගාමිකයෙකු වීමෙනි. එසේ වුණේ, එවක සියලු විශ්ව විද්‍යාලවල බලය හෙබවූ කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය ව්‍යපාරයේ යෝධ බලයට, සමහරවිට ජනප්‍රියත්වයට මා තුළ තිබූ ආශාව හේතුකොටගෙන, පළමු වසරේදීම ලොල් වීම නිසා විය හැකිය.

 

ඒ කාලයේ කොමියුනිස්ට්කාරයෙකු (ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ) නොවී විශ්ව විද්‍යාලයේ ප්‍රගතිශීලි ශිෂ්‍යයෙකු වශයෙන් පෙනී සිටීම උගහට ය. හරියට, දැන් කාලයේ පෙරටුගාමී ශිෂ්‍යයෙකු නොවී සිටීම වාගේ ය.

 

1973 සිට 1977 දක්වා විජේ ඩයස් මගේ ප්‍රියතම සරසවි ඇදුරා විය. අපේ කතිකාචාරවරුන් අතරින් එතරම් දක්ෂ, පැහැදිලි සහ චතුර දේශකයෙකු මා දැක නැත.

ඔහුගේ දිසාවට දේශපාලනිකව මා බරවෙන්නට පටන් ගැනුණේ, 1976 නොවැම්බර් 11 වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය කිරීමෙන් පසුව ය.

ඒ වනවිට, විජේ ඩයස්ගේ පක්ෂයට (විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට) මුළු කොළඹ විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යයන් 5 දෙනෙකුට වඩා සිටි බවක් මතක නැත. එහෙත්, කොළඹ කේන්ද්‍රීය මාක්ස්වාදී බුද්ධිමය ස්ථරය අතර වඩාත් රැඩිකල් ව්‍යාපාරය වශයෙන් සැලකුණේ විප්ලවාදී කොමියුනිස්ට් සංගමයයි.

ඊට හේතු වුණේ, ඇවිදින පුස්තකාලයක් බඳු කීර්ති බාලසූරිය එහි නායකත්වයේ සිටීමයි. ඔහුගේ ප්‍රධාන ශිෂ්‍යයා/අනුගාමිකයා වුණේ විජේ ඩයස් යැයි කීවොත් නිවැරදි ය.

 

ඒ නිසා, 1987 දෙසැම්බර් 18 වැනිදා කීර්ති බාලසූරියගේ අකල් මරණයෙන් පසු එහි නායකත්වයට පත් විජේ ඩයස්, පසුගිය දා මියයන තෙක් එම ව්‍යාපාරයේ නායකයා විය. (බොහෝ දෙනා ඒ කාලයේ සිට එය හැඳින්නුවේ ‘කම්කරු මාවත’ කණ්ඩායම කියා ය). 

 

cover2 9 e1508830376907

වීරසූරිය ඝාතනය සිද්ධ වන අවස්ථාවේ (1976), එවක අධ්‍යාපන උපඇමති වශයෙන් සිටියේ කොමියුනිස්ට් පක්ෂයේ බී. වයි. තුඩාවයි. ඒ නිසා, කොළඹ විශ්ව විද්‍යාලය තුළ තවදුරටත් කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධිත ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වශයෙන් සිටීම මට කළ නොහැකි විය.

ඉහත කී වීරසූරියගේ අවමංගල්‍යයට (මට මතක හැටියට කුරුණෑගල පැත්තේ) සහභාගී වී කොළඹ පැමිණීමෙන් පසු, එළැඹුනු ඊළඟ සතියේදීම පැවති ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජික රැස්වීමේදි මම අපේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමි. එසේ කොට, “වාමාංශික ශිෂ්‍ය බලවේගය” නමින් ස්වාධීන ශිෂ්‍ය සංවිධානයක් ඇති කරගත්තෙමි.

එදා මගේ ස්ථාවරය පිළිගනිමින් තවත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් මා සමග කැඩී ආවේය. මේ බෙදීම ඇති වුණේ ඊළඟ ශිෂ්‍ය නිලවරණයක් ආසන්නයේ ය. එදා එම ශිෂ්‍ය නිලවරණයට අපේ අලුත් සංවිධානයේ සභාපති තනතුරට පී. එච්. රත්නසිංහත්, ලේකම් තනතුරට ආර්. ජී. හේමචන්ද්‍රත් ඉදිරිපත් කෙරුණි.

විශාල බලාපොරොත්තු තියාගෙන සිටියත්, කරට කර සටනකින් පසු අප නිලවරණයෙන් පැරදුණි. එහෙත්, අපට ඡන්දය පාවිච්චි කළ අතිබහුතරය, ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ (කොමියුනිස්ට්) පිරිස් නිසා එතෙක් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය තුළ අසහාය බලය හොබවමින් සිටි ලංකා ජාතික ශිෂ්‍ය සංගමය (කොමියුනිස්ට්) කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨය තුළ පරාජයට පත්විය.

දීර්ඝ කාලයකට පසු ලංකා සමසමාජ පක්ෂයේ ශිෂ්‍ය සංගමය පියනන්ද දළුගම යටතේ ජයග්‍රහණය කෙළේය. එදා අපේ ඒ පරාජය පවා අප යුක්තිසහගත කරගත්තේ, ‘අපේ ආසන්තම සතුරාගේ සතුරා අපේ මිතුරෙක්’ ය යන හැඟීමෙන් හිතහදාගැනීමෙනි.


දෙපැත්තට ඇදුණු කාලයක්



මෙතැන් පටන් මගේ කකුල් දෙක තිබුණේ දෙතැනකයි. එකක්, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි. අනෙක, ජනතා විමුක්ති පෙරමුණයි. මේ වන විට 1971 කැරැල්ලේ නායකයන් බහුතරය අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවෙන් වැරදිකරුවන් වී කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන්ව සිටියහ.


1971 අප්‍රේල් මාසයේ 4 වැනිදා රාත්‍රියේ අධි-ධාරිතාවෙන් යුත් විදුලි රැහැන්පට දෙකක් දම්වැල් කෑල්ලකින් පටලවා නිශ්ක්‍රීය කිරීමට තැත් කිරීම, කාසල් වීදියේ කම්කරු කාර්යාලයේ පැවති පංති පහට සහභාගී වී සිටීම, හයිඩ්පාක් පිටියේදී අවසාන වරට විජේවීර පැවැත්වූ දේශනයේ හඬ පටය අපේ ගෙදර මිදුලේ වාදනය කරමින් එම පළාතේ පිරිසකට අසන්නට සැලැස්වීම ආදී චෝදනා කිහිපයක් මත, අප්‍රේල් මාසයේ අවසාන භාගයේ දවසක බොරැල්ල පොලීසිය මා සොයා ආවේය.


ඊට දින දෙකකට හෝ තුනකට පසු, විවිධ සම්බන්ධකම් ඔස්සේ පොලීසියට භාර වූ මා, ඊට පසු දිනම එළියට ගන්නට අපේ අම්මාට හැකි විය. (එය වෙනම කතාවකි).

කෙසේ වෙතත්, ඒ දිනවල අපේ ප්‍රදේශයේ නායකයා වශයෙන් සිටිමින් අපට උපදෙස් දුන් සහ අපව පංතිවලට සහභාගී කළ මහ නඩුවේ විත්තිකරුවෙකුව සිටි ඔස්මන් ද සිල්වාගේ කිසි කටඋත්තරයක මගේ නම නොවුණි. එදා එම ව්‍යාපාරය තුළ ඔහු දැරූ ජාතික නායකත්ව මට්ටම තුළ මා ඉතා නොවැදගත් පුද්ගලයෙකු බැවින් විය යුතුය.

එහෙත්, වසර ගණනක් සිරකඳවුරක හෝ හිරේක නොසිට ඇත්තෙන්ම මා බේරුණේ, එදා අධි-ධාරිතා විදුලි රැහැන්පට නිශ්ක්‍රීය කිරීමට මා සමග ගිය අනිත් දෙන්නාගෙන් කිසිවෙකු මගේ නම සඳහන් නොකොට තමන් විසින් තනියෙන් වරද භාරගෙන තිබීම නිසා ය. ඔවුන් දෙන්නාම (මට මතක හැටියට) අවුරුදු තුනක් පමණ හිරේ සිටියහ.

 (මේ දෙන්නාම ඊට බොහෝ කලකට පෙර සිට මගේ අතිජාත මිතුරන් ය. ඉන් කෙනෙක්, ඩබ්. එස්. ලෙස්ලි අද ජීවතුන් අතර නැත. අනිත් කෙනා, එඩ්වඩ් විජේසිංහ, කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රීතිමත් විශ්‍රාමික පවුල් ජීවිතයක් ගතකරයි).

ප්‍රජාතාන්ත්‍රික විප්ලවය සහ ජැකොබින්/සමුරායි භූමිකාව - (සුමිත් චාමින්ද)

මහචාර්ය ජයදේව උයන්ගොඩ

 

71 කැරැල්ලේ මහ නඩුවේ නායකයන්ගේ නාමලේඛනයක් දිනමිණ පුවත්පතක පළවන දවස තෙක්, එම නඩුවේ තුන්වැනි විත්තිකරුවා වන්නේ, මගේ තාත්තාගේ නංගීගේ පුතා වන ජයදේව උයන්ගොඩ බව, මමවත් අපේ ඥාතීන් කිසිවෙකුවත් දැන සිටියේ නැත. අප සිතා සිටියේ ඔහු තවමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් ඇත කියාය.



අවසානයේ 71 කැරැල්ලේ පරාජයෙන් පසු එය අතිධාවනකාරී ක්‍රියාවක් වශයෙන් සලකමින් සිටි මම, මගේ සහෝදරයෙකු එහි පළමු පෙළ නායකයෙකුව සහ න්‍යායාචාර්යවරයාව සිටි බව මෙසේ පසුව දැනගැනීම නිසාදෝ නැවත වරක් ජවිපෙ වෙත මගේ ළෙන්ගතුකමක් ඇති විය.

විජේවීර, ලයනල් බෝපගේ, නයනානන්ද විජේකුලතිලක, චුකී ප්‍රේමරත්න, සුනිල් රත්නසිරි සිල්වා, පොඩි ලකී (ලක්ෂ්මන් මුණසිංහ), පොඩි අතුල (වික්ටර් අයිවන්), කේලි සේනානායක සහ සුනන්ද දේශප්‍රිය වැනි අයවළුන් මා හඳුනාගන්නේ, මගේ සහෝදරයා බැලීමට මාසයකට සැරයක් හිරගෙදරට යන (විසිට්) ගමන්වලදී ය.

මේ අය අතරින්, මහ නඩුව අවසන් වන තෙක් ජේවීපී මතවාදය අතනොහැර සිටියේ විජේවීර, බෝපගේ සහ උයන්ගොඩ ඇතුළු කිහිප දෙනෙකු පමණි. ලොකු අතුල, කුමානායක සහ ටී. ඩී. සිල්වා කෙලින්ම රජයේ සාක්ෂිකරුවෝ වූහ. ඉතිරි අයගෙන් බොහෝ දෙනා (වික්ටර් අයිවන් සහ මහින්ද විජේසේක වැනි අය) රජයේ සාක්ෂිකරුවන් නොවුණත්, දැඩි විජේවීර-විරෝධීන් වූහ.

ඒ අනුව, විජේවීරට බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වාද, පළමු සැකකරු වූ පියතිලකට සහ දෙවැනි සැකකරු වූ බෝපගේට සහ තුන්වැනි සැකකරු වූ උයන්ගොඩට බරපතල වැඩ සහිතව අවුරුදු 15 සිර දඬුවම්ද නියම විය.


උයන්ගොඩ ‘ද්‍රෝහියෙකු’ වීම


නඩුව අවසන් වී හිරේට නියම වූ කාලයේම උයන්ගොඩ, හිරගෙය තුළදීම විජේවීරගෙන් සහ බෝපගේගෙන් කැඩී වෙන් වී ඇති බවක් වටින් ගොඩින් මිස මා දැන සිටියේ නැත. ඒ නිසා වෙනදා සේම, මාසයකට වරක් ලැබෙන ‘විසිට්’ එක පාවිච්චි කොට අවස්ථා කිහිපයකදී විජේවීර බැලීමටත්, තවත් අවස්ථා කිහිපයකදී බෝපගේ බැලීමටත් මම ගියෙමි.

එක දවසක්, විජේවීරගේ ඉල්ලීම උඩ, සම්පතී (ස්වර්ණා ගුණරත්න) සහ මම එකම වෙලාවක විජේවීර සහ බෝපගේ බැලීමට යොදාගතිමි. (බන්ධනාගාර නිලධාරියෙක් අපේ සහයට සිටියේය).

 

සම්පතී, 71 කැරැල්ලේ පටන් විජේවීරගේ සමීපතමයෙකි. අගමැති සිරිමා බණ්ඩාරනායක අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේ මෙහෙයුමට හෝ වෙනත් සිද්ධිදාමයකට සම්බන්ධ වීමේ චෝදනාව මත ඈ යම් කාලයක් හිරේ සිටියාය.

 

පසුව 1970 ගණන් අවසානයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් වශයෙන් සිටි ඈ අපේ ‘වාමාංශික ශිෂ්‍ය බලවේගයට’ සම්බන්ධව උන්නාය. මේ කියන දවසේ, සිරකරුවන් මුණගැහෙන බන්ධනාගාරයේ මේසයට ඇවිත් අප දෙදෙනා සමග ඔවුන් දෙන්නා වාඩි වූ ගමන් විජේවීර මගෙන් ඇසූ ප්‍රශ්නය මෙයයි:


“සහෝදරයත් අයියා වගේ වෙන්නද හදන්නෙ?”

ඒ ඇයිදැයි මා ඇසූ විට, “එයා ට්‍රොට්ස්කිවාදියට ගිහිල්ලා අපේ ද්‍රෝහියෙක් වෙලා.” යන්න ඔහුගේ උත්තරය විය. කෙසේ වෙතත්, මට උත්තරයක් දීමට නොදී බෝපගේ කතාව වෙනත් පැත්තකට හැරෙව්වේය.

ඔහුගේ මේ ප්‍රශ්නය ඈඳෙන්නේ, ඊට සති කිහිපයකට කලින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කලාගාරයේ පැවති “වාමාංශික ශිෂ්‍ය බලවේගය” රැස්වීමකට, කතිකයෙකු වශයෙන් අත්තනායකට මා ආරාධනා කර තිබීම නිසා ය. 
 
අත්තනායක ඒ වන විට කොළඹ විශ්ව විද්‍යාලය තුළ ‘විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය’ නියෝජනය කළ ශිෂ්‍ය නායකයන් දෙන්නාගෙන් කෙනෙකි. පසුව ඔහු එම විශ්ව විද්‍යාලයේම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සිටියදී මෑතකදී අකාලයේ මියගියේය.


එළියේ නව නායකත්වයට උපතිස්ස ගමනායක
 
p 1
 
ජවිපෙ නායක විජේ­වීර සහ ගම­නා­යක 1982 ජනා­ධි­ප­ති­ව­රණ රැලි­ය­කදී
 
 
මේ කාලය වන විට විජේවීර කොළඹ විශ්ව විද්‍යාලයේ මා සමග සම්බන්ධතා පවත්වා ගැනීමට හඳුන්වා දී තිබුණේ එළියේ සිටි උපතිස්ස ගමනායකවයි. ඔහු සතියකට දෙකකට වරක් මා හමුවීමට විශ්ව විද්‍යාලයට පැමිණෙයි. ඔහුගේ සාකච්ඡා මා සංවිධානය කෙළේ බොහෝ විට, තුන්මුල්ලේ අපේ ඇක්වයිනාස් නේවාසිකාගාරයේ හෝ සරසවි කැන්ටිමේ ය.

ඉහත කී “වාමාංශික ශිෂ්‍ය බලවේගයේ” රැස්වීමට මා අත්තනායක කැඳවා තිබුණු බව විජේවීර දැනගෙන තිබුණේ ගමනායකගෙනි. ඔහුට ආරාධනා කිරීම බරපතල දේශපාලනික වරදක් බව මා දැන සිටියේ නම්, ගමනායකට වුව ඒ කතාව සමහරවිට මා නොකියන්ට තිබුණි. 
 
 
 
මගේ මතය වුණේ, “වාමාංශික ශිෂ්‍ය බලවේගය” තුළ ජනතා විමුක්ති පෙරමුණ උපායිකව සැඟවී සිටිය යුතු බවත්, බරපතල ආරෝවක් නැති ‘විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය’ සමග පාලමක්/හැඳිනීමක් ඒ හරහා ඇති කරගත යුතුව ඇති බවත් ය.
 
 
 
දීර්ඝ කතාවක් කෙටියෙන් කිව්වොත්, 1977 මගේ අවසාන උපාධි පරීක්ෂණයෙන් පසු විශ්ව විද්‍යාලයෙන් ඉවත් වීමත් සමග, “වාමාංශික ශිෂ්‍ය බලවේගය” සංවිධානය කොට දිගටම කරගෙන යාමේ කාර්යය භාරගෙන සිටියේ රංජිත් විජේනායක සහ ආර්. ජී. හේමචන්ද්‍රයි. ඉතා කෙටි කාලයක් තුළ ගමනායක විසින් ඔවුන් දෙන්නාවම ඒ වන විට මුළුමණින් බාගෙන තිබුණි.

අවසානයේදී රංජිත් විජේනායක, ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සහ ප්‍රචාරක අංශයේ යම් නායකත්ව මට්ටමකට සේන්දු වී තිබුණි. දවසක් මොවුන් දෙන්නා, (විජේවීර සහ රංජිත් විජේනායක) 1978 හෝ 1979 දවසක සෙනග පිරුණු (155) බසයක තෙරපීගෙන යද්දී පංචිකාවත්ත අසලදී මට මුණගැසුණි.

විජේවීර කට කොනකින් මා සමග සිනාසුණා මිස වචනයක්වත් කතා කෙළේ නැත. රංජිත් විජේනායක බසයේ සෙනඟ අස්සෙන් තෙරපීගෙන මා ළඟට විත් ආගිය තොරතුරු ටිකක් කෙටියෙන් කතා කෙළේය. විජේවීර ළඟ සිටියදී, අපේ පරණ මිතුරුකම එයාකාරයෙන්ම රංජිත් විජේනායකගෙන් පෙන්නුම් නොකෙරුණු බවක් මට හැඟුණි.

මේ කාලය වන විට මා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සමග වැඩ කරමින් සිටීම ඔවුන්ගේ කෝපයට හේතුවක් වී ඇති බව මට වැටහුණේ එදා ය.


 (ඉතිරි හරිය ඊළඟ සතියට).


අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා' - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...