BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
විශේෂාංග

මල්ලිකා හෙවත් අගබිසවගේ විත්ති කතාව..... | Wimalanath Weerarathna

T

The Leader Desk

July 29, 2026 • 8:09 AM

මල්ලිකා හෙවත් අගබිසවගේ විත්ති කතාව..... | Wimalanath Weerarathna

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිමන් මුලින්ම අපේ ගෙදර එනකොට මම නෙට්බෝල් ගහන්න ගිහින් හිටියෙ. මැච් එක ඉවර වෙලා එනකොට මෙන්න කඩවසම් තරුණයෙක් මගේ කාමරේ හාන්සි
  • ඇය වසර 50කට වඩා ඈත අතීතයක් මනසින් ස්පර්ශ කිරීමට වෑයම් කරමින් සිටියාය.
  • සයිමන් එනකොට මල්ලිකා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
  • 61දී එයා විශ්වවිද්‍යාලයට තේරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


පුටුවේ ඉන්නවා. මං බයවෙච්ච පාර කුස්සියට දිව්වා. ඊට පස්සෙ එයත් කුස්සියට ආවා. මගෙන් ඇහුවා නංගි කොහෙද ගියේ කියලා. අපෙ අම්මා පණිවුඩයක් කීවනෙ ඒකට මාත් ආවා කියලා එයා කිව්වා. ඔය සිද්ධිය වුණේ 1959දි.

මා ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ මල්ලිකා නවගත්තේගම මහත්මියයි. ඇය වසර 50කට වඩා ඈත අතීතයක් මනසින් ස්පර්ශ කිරීමට වෑයම් කරමින් සිටියාය. සයිමන් එනකොට මල්ලිකා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. සයිමන්ට 19කි. හෙතෙම ඒ වනවිටත් ඇහැටුවැව පාසලේ ඉංග‍්‍රීසි ගුරුවරයාය. සයිමන්ට මල්ලිකා ගැන ඔත්තුව දී තිබුණේ අන් කිසිවකු නොව සයිමන්ගේ අම්මාය. මල්ලිකාගේ ගමේ පැවති මඟුල් තුලාවකදී මල්ලිකා දකින සයිමන්ගේ අම්මා ඇගේ වත ගොත විමසා, ඇඟෑලූම්කම්පා නැවත ගම්බිම් බලා යන්නේ කිසියම් තීන්දුවකට පැමිණය. මල්ලිකා කුරුණෑගල කඩියාගමය. සයිමන් අනුරාධපුර නවගත්තේගමය.

665927678 1728005285146498 6501755639850463665 n

මට මඟුල් ගෙදරකදී හුරුබුහුටි කෙල්ලක් හම්බ වුණා. උඹ ඉක්මනට ගිහින් ඒ ළමයව බලා කියාගෙන වරෙන්. කියලයි අම්මා නවගත්තේගමට කියල තියෙන්නෙ. එදා ඉඳලා ඉතිං හැම සිකුරාදාවකම එයා අපේ ගෙදර ආවා මාව බලන්න. 61දී එයා විශ්වවිද්‍යාලයට තේරුණා. මුලින්ම පේරාදෙණියට ගියෙත් අපේ අම්මයි තාත්තයි එක්ක. අපේ ගෙදර ඇවිත් හිටියත් පොත් කියවන එකමයි එයාගෙ වැඬේ. නාන්න ගියත් පොතක් අරගෙන යන්නෙ. ඒ විතරක් නෙමෙයි අපි බඳින දවසෙත් පොත අතේ තිබුණා. ඇයි තොප්පිය ඒකත් එහෙමයි. එයා මුලින්ම අපේ ගෙදර ආපු දවසේ මං කාමරේට යනකොට මෙන්න තොප්පියක් මේසෙ උඩ තිබුණා. ඔය තොප්පිය බඳින දවසෙත් දැම්මා. සමහරවිට නිදියන කොටත් දානවා. එයා මැරිච්ච දවසෙත් දාගෙන හිටියා.

සමහරවිට ඔබ නවගත්තේගම නොහඳුනනු විය හැකිය. එහෙත් ඔහු හඳුන්වාදීමට මම අපොහොසත් වෙමි. එහෙත් මේ පොතේ පිටු කීපයක් පෙරළීමෙන් ඔබටම ඔහු හඳුනාගත හැකිය. (ඔහුගේ කතාව ප්‍රස්ථාවනාව – කේ. ජයතිලක)

mageසයිමන් සිය ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව ඇහැටුවැව පාසලේ උගන්වන කාලයේ පටන් ලියමින් සිටියේය. එය ප්‍රකාශයට පත්වන්නේ 1960දීය. ජයතිලක කියන්නා සේ සයිමන් හඳුනා ගැනීමට හොඳම දේ ඔහුගේ පොත පත පරිශීලනය කිරීම බව අප අදත් සිතමු. මල්ලිකා සයිමන් හඳුනාගත්තේ කෙසේද?

එයා අපේ ගෙදර හිටියෙ සහෝදරයෙක් වගේ. අපේ පවුලෙත් අටදෙනෙක් හිටියා. නවගත්තේගම එන්න යන්න ගත්තට පස්සෙ අපෙ අම්මා කියන්නෙ මට දැන් ළමයි නවයක් ඉන්නවා කියලයි. ඔහුගේ කතාව පිටවෙච්ච දවසෙ මම කැවුනුත් ඉව්වා. මම ඉතිං දැක්කදා ඉඳලා නවගත්තේගමට කැමතියි. ඒත් හැටතුනේදි තමයි මම අපේ අම්මගෙන් ඇහුවෙ බඳින්නද කියලා. බැන්දෙ 65 පෙබරවාරි 8.

ඔවුහු මහා වංශයේ නව කාලපරිචජේදයක් කරා තම උද්යෝගිමත් අසුන් ධාවනය කළහ… අතීත නිශ්චිත බලාපොරොත්තුව ඔවුන්ගේ ධාවනයේ හෘදය ස්ඵන්දනය හා නාඩිය විය. (සාපේක්ෂනී)

 

img 20220609 0052
සයිමන් ජීවත් වූයේ පරිකල්පනීය ලෝකයකය. ප්‍රායෝගික ජීවිතයේ දෛනික ප්‍රශ්න සමග ඔහුගේ ගනුදෙනුව කෙබඳුවීද?

එයාගෙ ලියන වැඩවලට මම කවදාවත් බාධා කළේ නෑ. එයාගෙ මරණ මංචකයේදිත් ඒක කිව්වා. නවගත්තේගමගෙන් මොන වරද වුණත් මම ඉවසගෙන සිටින බව ඔහු සිහිපත් කළා. දරුවොයි, පොත් පතුයි, තව මොනවහරි වටිනා දෙයක් තියනවා නම් ඒ සේරමයි ඉතුරුවෙලා තියෙන්නෙ මල්ලිකා නිසා කියලා එයා කිව්වා. එයා කඬේ යනවා, බඩු ගේනවා. අපිට කිසි අඩුවක් කරන්නෙ නෑ. මං ගේන්න ඕනෙ බඩු ලිස්ට් එක ලියන්නෙ එයාගෙ අතේ. කොළ කෑල්ලක් ලියලා සාක්කුවට දැම්මොත් එහෙම කෙයිවෙලේහරි ඒකෙන් සිගරැට් එකක් පත්තු කරනවා. මමයි ළමයිනුයි කොහේ හරි ගියොත් අපි එනකොට එයා එළවළු කීපයක් එකට දාලා හත්මාළුව වගේ එකක් හදලා පාන් රාත්තල් තුනක් ගෙනත් තියනවා. නවගත්තේගම හදන හත්මාළුව පුදුම රසයි.

සයිමන් මල් වවන්නට බෙහෙවින් ප්‍රිය කළේය. බැරිවෙලාවත් මල් පෝච්චියක කකුල නොවද්දන හෙතෙම ඒවාට දෛනිකව සාත්තු කරමින් තමන් වාසය කළ කුමන ස්ථානයක වුවත් කුඩා මිදුල පිළිවෙළකට තබා ගන්නට වෙර දැරුවේය.

 

468600550 10161046419916033 6348115354122395443 n
මිහිපිට අපගේ කෙටි ජීවිත කාලය, සියලූ ඌනතාවන් බලපෑම් අභිබවා හැකි සෑම ජීවිත අර්ථයකින්ම (අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ) පෝෂණය කොට ගන්නේ කෙසේද? මෙය තවද වූ තෘෂ්ණාවකි. මීට වඩා කරන්නට දෙයක් නැත. (සාපේක්ෂනී පෙරවදන)

සයිමන් සිටි ස්ථානය පැහැදිලිය. ඔහුට සිය පරිකල්පන ලෝකයේ සිට මල්ලිකා වෙතට පොලා පනින්නට හැකිය.

ලියන වෙලාවට එයාට ඇහෙන්නෙ නැහැ. ඔළුව පාත් කරගෙන ලියනවා. පුටුව හොල්ලලා තමයි මම කොහොමහරි එයාව මේ ලෝකෙට ගන්නෙ. හැබැයි මං ගමනක් යමු කිව්වොත් කවදාවත් බෑ කියල නැහැ. තව දවස් තුන හතරකින් මං කියන්නම් කියල කිව්වොත් ඒ එයා අතේ සල්ලි නැති නිසයි. හැබැයි දවස් තුන හතරකින් ගමන එක්කරගෙන යනවා. ඇත්තටම මට දැනුත් පොඩි ලෙඩක් තියෙනවා. ඒ තමයි ගෙදර අගහිඟකම් ඇතිවුණාම උණ ගන්න එක. ඉස්සර සමහරදාට සනී පුතා කියනවා තාත්තෙ අම්මට උණ කියලා. නැහැ පුතේ අද හවසට මට පඩි හම්බවෙනවා. එතකොට අම්මගෙ උණ බහියි කියලා නවගත්තේගම ඒ වෙලාවට කියනවා. සල්ලි අඩුපාඩු වෙනකොට ඇත්තටම මට උණ ගන්නවා කියලා එයා දන්නවා.

සයිමන් ලිව්වේ සාමාන්‍ය ජනයාට නෙවෙයිද? ඔහුගේ පොත් තේරෙන්නේ දාර්ශනිකව හිතන පතන අයට විතරද? සයිමන් වැනි ලේඛකයකු එහෙම එක පිරිසකට විතරක් පොත් ලියයිද? සයිමන් ලියූ දේවල් ගැන මල්ලිකාගේ අදහස මොකක්ද? සයිමන්ගේ සාහිත්‍ය මැදිහත්වීම ගැන නිස්කාංසුවේ කල්පනා කරන බලන විට එහෙම ප‍්‍රශ්න වගයක් හිතට නැගෙන එක සාමාන්‍යයයි.

 

simon 1

සයිමන්ගෙ කතාවලින් මං වැඩියම කැමති සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා කතාවට. ඒකෙ හීන් කෙල්ලට මම කැමතියි. කතාවත් අනික් ඒවාට වඩා මට හොඳට තේරෙනවා. දඩයක්කාරයාගේ කතාවටත් මං කැමතියි. එයාගෙ සාහිත්‍ය ටිකක් තෝරා බේරාගන්න අමාරුයි. එක වගේ නම් තියන ඒවා හින්දා මට ටිකක් ඕවා පැටලෙනවා. ගමේ ජීවිතයයි, බුද්ධාගමයි, වනාන්තරේ ආභාසයයි තමයි එයාට ලැබුණේ. එයාගෙ තාත්තා හරි උස මහත මිනිහා, අම්මා සුදුයි පොඩියි. නවගත්තේගම අම්මා වගේ. තාත්තගෙ චරිතෙ එයා පොත්වලටත් ගත්තනෙ.

සයිමන් යහතින් මෙලොවෙ එළිය බලන්නේ ඔහුගේ අම්මාට උපන් දරුවන් පස්දෙනකුම උපන්ගෙයි මියගියාට පසුවය. නවගත්තේගම වැව පාමුල ගෙදර තවදුරටත් වසන්නට එපා කියන යෝජනාව සයිමන්ගේ තාත්තාට කැරෙන්නේ බයියා මස්සිනාගේ තාත්තා විසිනි. බයියාගේ අම්මාත් මියගියේ ඒ අතරය. සයිමන්ගේ මවත් පියාත් බයියාගේ ගෙදරට ගොස් වයස අවුරුදු 2 1/2ක පැංචකු වූ බයියාත් හදා වඩාගෙන එම නිවසේම නවතියි. බයියාගේ පියා, මව මියගිය සොවින් වෙනත් ගංතුලානක පදිංචියට යයි. එදා සිට සයිමන්ගේ ප්‍රාණ සම සොහොයුරා වන්නේ බයියාය.

බයියා මාමා නවගත්තේගමගෙ මළගෙදර ඇවිත් හොඳටෝම දුක්වුණා. ඊට ටික කාලෙකට පස්සෙ බයියා මාමත් මළා.

සයිමන් මහත්තයාට මේ වගේ විශිෂ්ට හැකියාවක් එන්නේ කොහොමද! ඒ ප්‍රශ්නයත් මල්ලිකා නෝනාටය. එයාගෙ අම්මයි තාත්තයි ඉස්කෝලෙ නොගියට හරි ඥානවන්ත මිනිස්සු. අම්මා මළපොතේ අකුරක් දන්නෑ. ඒ වුණාට බුද්ධිමත් විදියට ජීවිතේ දිහා බැලූවා. ඒ ශක්තිය නවගත්තේගමට ලැබිලා තිබුණා. රංකිරා මාමයි, නැන්දයි අපි බලන්න රත්මලානේ ගෙදරටත් එනවා. දවසක් රංකිරා මාමා කිව්වා එයා අඳුනන සුද්දෙක් හිටියලූ සයිමන් කියලා. ඒ නමලූ පුතාට දැම්මෙ.

සයිමන් මධුවිතට ආලය පෑ මිනිසෙකි. එහෙත් ඒ පෑහීම සයිමන් සමග මධුවිතට එක්රොක් වී රසවත් අත්දැකීම් ඇති අයට මේ මොහොතේත් වින්දනයක් ගෙන දෙනු නිසැකය. එහෙත් මල්ලිකා නෝනාට සයිමන්ගේ බීම මාර ලෙඩක් වුණාද නැද්ද කියා අපි නොදනිමු. මල්ලිකා ඊට පිළිතුරු වශයෙන් අපොයි නැහැ කීවාය..

601027304 1636555440958150 5763216293572897416 n
නවගත්තේගම ඉස්සෙල්ලම බිව්වෙ සුබ සහ යස 100 වැනි දර්ශනයෙදි. එදා අපි එයාව ගෙදර ගෙනච්චෙත් හරි අමාරුවෙන්. සිගරට් බිව්වෙත් ඔය සිද්ධියෙන් පස්සෙ. මං බොන්න එපා කිව්වොත් මං කරදරයක් කරන්නැහැනෙ කියලා එයා අහිංසක විදියට කියනවා. ගෙදර ඉඳගෙන නම් කවදාවත් බීලා නැහැ. යාළුවොත් එක්ක මගදි බීලා ගෙදර එනවා. සයිමන් මහා ලේඛකයකුවීමෙන් නොනැවතී නළුවකුද වූයේය. සුබ සහ යස නාට්‍යයේ යස ඔහු නිරූපණය කළ සදානුස්මරණීය භූමිකාවයි.

 

588485345 1616471046299923 5027337500998706032 n
නවගත්තේගම යස චරිතය කරපු පළමුවැනි දවසෙ මමයි ළමයිනුයි ගියා ඒක බලන්න. ඔන්න අපි දැන් ඉස්සරහම පේළියෙ ඉන්නවා. යසට කඩුවෙන් ඇනලා මරනකොට ළමයි කෑගහලා ඇඬුවා. සේරම මිනිස්සු බැලූවෙ අපි දිහා. එතකොට සනීට අවුරුදු 5-6ක් විතර ඇති. එයා රඟපාන්න වෙනම පුරුදු වුණේ නැහැ. සමහරදාට ගෙදරදිත් නාට්ටිවලදි වගේ මට කතා කරන්නෙ දේවිය තිගේ කියලා ඔය මොකක් හරි කියනවා. මැරෙන මොහොතෙදිත් මගේ අතින් දුන්නු කිරි එක බීලා කිව්වනෙ මල්ලිකාට තේරෙන්නෙ නැහැ, මගේ මනෝකාය මැරිලා දැන් තියෙන්නෙ කියලා. ඇස් දෙක ගිනිබෝල දෙකක් වගේ වෙලා තිබුණා ඒ වෙලාවෙ. අන්තිමට මං එයා මැරිච්ච ඇඳේ සුමාන දෙකක් එක දිගට නිදාගත්තා ඒ රෙද්දවත් හෝදන්නෙ නැතුව.

585350535 1614191373194557 2287905577428972214 n
රාජ්‍ය නායකයන් අතරින් ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සයිමන් සමීපව වැඩ කළේය. එහෙත් අද ජනාධිපතිට කිට්ටු වී සිටින කලාකරුවන් මෙන් තම අදීනත්වයත් ආත්මයත් සිඳ බිඳ නොගත් සයිමන් ආණ්ඩුවේ ව්‍යාපෘතියක රැ කියාවක් කිරීම තමන්ගේ කලාවට බාධාවක් කරගත්තේ නැත. ඔහුගේ ලිවීම සැබෑ ලිවීමක් වූයේ ඒ නිසාය.

එයා ජීවත්වෙන්න ප්‍රමාණවත් මුදලක් විතරයි හෙව්වෙ. ගුරු රස්සාවෙන් විශ්‍රාම වැටුපක් ගන්න තිබුණා. එතකොට සල්ලි වැඩිවෙයි කියලා ඒක ගන්න උනන්දු වුණේ නැහැ. හැබැයි එයාට සල්ලි ඕනෙ නම් කාගෙන් වුණත් සාක්කුවට අතදාලා හරි ගන්නවා. තියන වෙලාවක ආපහු දෙනවා. පාන්දරම ගමනක් යන්න තියෙනවා නම් රෑම ඇඳුම් ඇඳගෙන නිදියනවා. ඔළුව පීරන්නෙ නැහැ. අතින් කොණ්ඩෙ පස්සට කරගෙන තොප්පිය දානවා. ටිකක් ඒ වගේ වෙනස් පුරුදු එයාට තිබුණා.

සයිමන් ස්ත්‍රී ඇසුරේදීත් විවෘත පුද්ගලයෙකි. බිරිඳක් මේක ඒ සා ඉවසන විෂයකුත් නොවේ. සයිමන්ගේ විවෘත දිවිසැරිය ගැන මල්ලිකා දරන අදහස කුමක් විය හැකිද?

486159883 1405426777404352 1718744469086132712 n
ඔය ගැන මොනවාහරි කිව්වොත් නවගත්තේගම කියනවා යකෝ රජ කෙනෙකුට පරිවාර කාන්තාවො ඉන්නවා. ඒ කොච්චර හිටියත් උඹනේ අගබිසව කියලා. මට අරියාදුවක් කරන්නේ නැත්නම් ආයෙ මොකද ඉතින්. එයාගෙන් මම කිසිම දෙයක් දෙපාරක් අහන්නෙ නැහැ. නැත්නම් ඉතිං කොහොමද එයා වගේ කෙනෙක් එක්ක ජීවත්වෙන්නෙ.


ගාඩි: රාජධානිය වෙනුවට ආදරය මුණගැසීම - (විමලනාත් වීරරත්න)(සටහන | විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya67@gmail.com

 [ මිට ඉහතදී රාවය පුවත්පතේ පළවූ ලිපියකි ]

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...