The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුව ගොවීන් ගෙන් වී මිල දී ගන්න හදන්නේ Window shopping ක්‍රමයට ද?

T

The Leader Desk

January 26, 2025 • 11:15 AM

ආණ්ඩුව ගොවීන් ගෙන් වී මිල දී ගන්න හදන්නේ Window shopping ක්‍රමයට ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වී අලෙවි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කළමනාකාර සුනිල් ඕබඩආරච්චි පවසනුයේ මෙම මහ කන්නයේදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය මේ වන විට කටයුතු යොදා ඇති බව ය.
  • එම නිසා මෙම ගබඩා සංකීර්ණය ඒ සඳහා ඉතා වැදගත් වන බව ඔහු කියයි.
  • විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ වීමත් සමඟ වී මිලදී ගැනීමේ කටයුතු ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
  • වසරේ අප්‍රේල් මස 28 දින ආරම්භ කොට ඇති මෙම මධ්‍යස්ථානය අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් වැසී ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දිගු කලක් තිස්සේ නිසි නඩත්තුවකින් තොරව ජරාවාසව පැවති මෙම ගබඩා සංකීර්ණය ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනුයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ මැදිහත් වීමකිනි.මෙම ව්‍යාපෘතිය යටතේ වල් බිහිවී තිබූ ගබඩා භූමිය හා ඒ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීම, ප්‍රවේශ මාර්ග පහසුව සැකසීම, ගබඩා ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සහ වී ගබඩා කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම ආදී කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී. 

 

473361385 926546089642048 4686915622541042470 n
එකවර වී මෙට්‍රික් ටොන් 1,000ක් ගබඩා කිරීමේ ධාරිතාවකින් යුතු මෙම මෙම ගබඩා සංකීර්ණය මාතර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගැනීම රජයේ අපේක්ෂාවයි.

වී අලෙවි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කළමනාකාර සුනිල් ඕබඩආරච්චි පවසනුයේ මෙම මහ කන්නයේදී ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය මේ වන විට කටයුතු යොදා ඇති බව ය. එම නිසා මෙම ගබඩා සංකීර්ණය ඒ සඳහා ඉතා වැදගත් වන බව ඔහු කියයි. විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ වීමත් සමඟ වී මිලදී ගැනීමේ කටයුතු ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

රජයේ වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙළ යටතේ රජය ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන අතර, ඒ සඳහා ප්‍රමිතියෙන් යුත් වී පමණක් මිලදී ගැනීමට නියමිත ය. මෙම ගබඩා සංකීර්ණය නවීකරණය කිරීමෙන් පසු වී ගබඩා කිරීමේ පහසුකම් වැඩි දියුණු වන අතර එමගින් ගොවීන්ට තම වී අස්වැන්න වඩාත් විධිමත්ව භාර දීමේ අවස්ථාව උදා වනු ඇති බව ද ඔහු වැඩි දුරටත් පවසයි. 

 

473741052 926545676308756 1521818655712980187 n
මේ අතර දශක හතරකට පෙර ඉදි කළ දකුණු ආසියාවේ විශාලතම සහල් මෝල, සහල් ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ ජරාවාස වෙමින් පැවතුණි. 1977 වසරේ අප්‍රේල් මස 28 දින ආරම්භ කොට ඇති මෙම මධ්‍යස්ථානය අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් වැසී ගොස් ඇත.

වී මෙට්‍රික් ටොන් දහ හතර දහසක් එකවර ගබඩා කළ හැකි වන සේ නිර්මාණය කර ඇති ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානය එවක පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ චීන රජයේ ආධාර මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ඉදි කරන ලද්දකි. පසුව වී මිල දී ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණය අඩපණ වීමත් සමඟ මෙවන් සම්පත් බොහොමයක් නැති නාස්ති විය.

 

474592079 926545832975407 2167039642484870661 n
මේ අතර වර්තමාන රජයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් ගේ ඉල්ලීමකට අනූව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගිය දා එහි නිරීක්ෂණ චාරිකාවක යෙදී තිබේ. එහි දී ඔහු පවසා ඇත්තේ ගොවි ජනතාව විසින් රජයට ලබා දෙන වී තොග ජාවාරම් කරුවන් ගේ ග්‍රහණයෙන් මුදා ඉතා සාධාරණ මිලක් යටතේ පාරිභෝගිකයන් අතට පත් කිරීම රජයේ අරමුණ බව ය. ඔහු ගේ මෙම කතාවට මාලිමාවේ පසුගිය ජනපතිවරණ, මහ මැතිවරණ වේදිකා අබියසින් නැඟුණු ආකාරයෙන්ම අත් පොලසන් හඬ ජන හදවත් වලින් නැඟීමේ කිසිදු අරුමයක් නැත.

 

ඒ අතර “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ද මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා නාවික හමුදාව විසින් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා පිරිසිදු කිරීම හා අළුත්වැඩියා කිරීම ද ඉකුත් 23 වැනි දින ආරම්භ කරන ලදී. ”ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කිරීම මත නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් ආරම්භ කෙරුණු මෙම රජයේ වී ගබඩා පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ වැඩසටහන යටතේ, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටි නොච්චියාගම, තලාව සහ අල්කඩවේලි යන රජයේ වී ගබඩා සංකීර්ණ පිරිසිදු කිරීම නාවික හමුදාව මඟින් ආරම්භ කොට ඇත.

ඒ අනුව එම දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා 24 ක් නාවික හමුදාව විසින් පිරිසිදු කර අළුත්වැඩියා කිරීමට නියමිතව තිබේ.මීට අමතරව දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක වල් බිහිව ඇති වී ගබඩා රජය මඟින් යළි ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතී.

නමුත් මෙහි පවත්නා සැබෑ ගැටළුව එය නොවේ. මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී ඇතත් ඒ සඳහා රජය විසින් එම මිල දී ගැනීමට අදාළව ඒ ඒ වී වර්ගය අනුව සහතික මිලක් රජය තීරණය කර නොමැති වීම ය.එය සරල උපමාවකින් කිව හොත් හෙන්ඩුවක් මිලට ගෙන අලියා මිලට ගැනීම කල් දමන්නක් මෙනි. මේ අතර මෙවර මහ කන්නයේ අස්වනු මෝල් හිමියන් මේ වන විට මිල දී ගැනීම ආරම්භ කර ඇති අතර තෙතමනය රහිත නාඩු වී කිලෝවක මිල රුපියල් 180 ක් දක්වා ද ඉහළ ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මෙවන් තත්වයන් යටතේ සිරස නාලිකාවේ පැවති සටන වැඩසටහනේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කොට ඇත්තේ වී කිලෝව රුපියල් 140 බැගින් මිලට ගත් මෝල් හිමියන් මේ වන විට සහල් කිලෝව රුපියල් 280ට පමණ අලෙවි කරමින් සිටින අතරේ වී කිලෝවක් රුපියල් 140ට මිලට ගෙන රුපියල් 220ට 230ට සහල් කිලෝවක් ලබාදිය නොහැකි බවකි.එමෙන්ම මහ මෝල් හිමියන් වී සඟවන බවට කළ “සහල් මෝල් මාෆියා” චෝදනාවෙන් ද ඔහු මෙවර ඉවත් වී තිබේ.

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද?

 

එමෙන්ම මෙවර මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා ආණ්ඩුව වී සදහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක පෞද්ගලික අංශයේ වී රැස් කරන්නන් කුඹුරටම පැමිණ තෙත වී කිලෝව රුපියල් 150 – 170 අතර මිලකට ලබා ගන්නා බවත් එවන් වටපිටාවක තුට්ටු දෙකට වී ගන්නට ආණ්ඩුව සිතාගෙන ඇත්නම් ආණ්ඩුවට වී ඇටයක් ලබා නොදෙන බවත් වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම පවසා තිබේ. 

මේ වන විට බඳගිරිය හා වලව කලාපයේත් ඇතැම් කුඹුරුවල අස්වනු නෙළමින් තිබෙන බවත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් මේ වන විට වැඩි මිලට වී අස්වනු මිලදි ගන්නා බවත් ඔහු පවසයි.දහසකුත් එකක් ප්‍රශ්න වලින් මිරිකී හිඳින ගොවියා තමන්ගේ අස්වැන්න වැඩි මිලකට අළෙවි කර ගැනීමට වෙර දැරීම අතිශය ස්වභාවික තත්වයක් වන අතර මේ දිනවල අස්වනු නෙළන කුඹුරු වල වී පෞද්ගලික අංශයෙන් වී කිලෝව 170ට මිලට ගෙන ඒ සමඟම ඒ වී ටික වියළා හාල් කිලෝව රුපියල් 290ත් 300ත් අතර මුදලකට විකුණන බවත් පවසන ඔහු මෙසේ ද කියා තිබේ.

 

සාධාරණ සමාජය' වී මිලට ගැනීමට සාධාරණ ක්‍රමයක් ඉල්ලයි
‘දැන් රටේ වී අස්වනු නෙළීම පටන් අරන්. නමුත් වී සඳහා සහතික මිලක් දෙන්න රජය තවමත් කල් මරමින් ඉන්නවා. මේ වෙනකොට මාධ්‍ය මගින් අපි දැක්කා රජය වී 130ට විතර ගන්න හදනවා කියලා. අපි වලව ගොවියෝ හැටියට කියනවා ගොවියගේ මේ අස්වැන්න තුට්ටු දෙකට ගන්න රජය හදනවා නම් එක වී ඇටයක් අපි රජයට දෙන්නේ නෑ කියලා. ආණ්ඩුවේ ගබඩා වලින් වී ගන්නේ 14%ක් වෙනකම් කබලේ දමලා බැද්ද වගේ වේළුවට පස්සේ. ඒ විතරක් නෙමෙයි. ආණ්ඩුවේ ගබඩාවට වී ටික අරගෙන ගිහින් දවස් ගාණාක් පෝලිමේ ඉදලා දිලා ඒකේ සල්ලි ටික ගන්නත් තව දවස් ගාණක් ඒ අයගේ පස්සේ යන්න ඕනේ. හැබැයි පෞද්ගලික අංශය එහෙම නෑ. ඒ අය කුඹුරටම ඇවිත් තෙත බරෙන්මයි වී ටික මිලදි ගන්නේ. වී කිලෝවක් 150ත් 170ත් අතර මුදලක් දෙනවා. එතකොට ගොවියට වී වේලන කම්කරු කුළියත් කාලයත් දෙකම ඉතුරුයි. ලොකු ලාභයකුත් ගොවියට ඇවිත් . පෞද්ගලික අංශයන් අමු වි ටික ගෙනිහින් වේළලා කොටලා වෙළඳ පොළට දමනවා. ඉතින් ඇයි ආණ්ඩුවට බැරි මේ විදියේ වැඩ පිළිවෙළක් හදන්න. ගොවියා ණය වෙලා; මේ කුඹුරු කරලා තියෙන්නේ. මේ වගේ අස්වනු නෙළන කාලෙට ණය කාරයෝ පස්සෙන් එනවා. ඒවා ගෙවන්නත් ඕනේ. ඒ නිසා ගොවියට වී ටික විකුණන කොට එවෙලේ අතට සල්ලි ලැබෙන්න ඕනේ. ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහා ඉදගෙන කයිවාරු ගැහුවට එක නිළධාරියෙකුවත් තවම ගොවි බිමකට ඇවිත් මේ ගැන හොයලා බලලා විමසලා නෑ. ගොවියගෙ දුක මේ ආණ්ඩුවටත් අද අමතක වෙලා. පහුගිය දවසක හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටුවේදීත් මේ වී මිල සම්බන්ධයෙන් සාකච්ජා වුණා. එහිදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා කිව්වේත් ඉදිරියේ දී වී සඳහා ස්ථාවර මිලක් නියම කරන්න රජය බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි. පෞද්ගලික අංශයේ අය වී මිලදී අරගෙන ඉවර වුණාම රජය වී වලට සහතික මිලක් නියම කරලා වැඩක් නෑ. අනික ආණ්ඩුවෙන් වී ගත්තත් ගන්නේ එක් ගොවියෙකුගෙන් සීමාසහිත කිලෝ ප්‍රමාණයක් විතරයි. ඒකේ සල්ලි ගන්නත් පෝලිමේ ඉන්න ඕනේ. ගොවියගේ ඉතුරු වෙන වි ටික පෞද්ගලික මෝල් හිමියන්ට දෙන්න වෙන්නෙ. එහෙම බැලුවම වී ටික එක සැරේම පෞද්ගලික අංශයෙන් එන ව්‍යාපාරිකයටම දෙන එක ගොවියට වාසියි. මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කළේ නෑ” යනුවෙන් ද වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම පවසා තිබේ.

 

සහල් ආනයනය අලුත් ආණ්ඩුවේ අනුවණ කමක් ද? - (රේණුකා දමයන්ති ගමගේ)

මේ අතර මෙවර මහ කන්නයේදී වී කිලෝ ග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 140 – 170ත් දක්වා ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 300 ඉක්මවා යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පවසති.මේ අතර තෙත වී කිලෝ ග්‍රෑමයක මිල මේ දිනවල රුපියල් 115 – 120ත් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.තෙත බරට කමතේ දී වී අලෙවි කිරීම තමන් අතට ක්ෂණිකව මුදල් ලැබෙන ක්‍රමයක් නිසා ඇතැම් ගොවීහු ඊට කැමති වෙති.කෙසේ නමුත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ තෙත නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 95 බැගින් ද, වියළි නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 115 බැගින්ද මිලදී ගැනීමට අදාළව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය (ඔඩපණ ණය) නිකුත් කරන ලෙස දැනුම්දී තිබෙන බවකි.මේ අනුව සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 බැගින්ද, කීරි සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 බැගින්ද මිලදී ගැනීමට මෙලෙස ණය නිකුත් කෙරෙන බව ද රජයේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.පොදු ජන වහරට අනුව පැවසුව හොත් එය ද නොකෙරෙන වෙදකමකි.

 

නමුත් මෙතෙක් ගොවි ජනතාව ගේ “අපා දුකක් “සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විචිත්‍රවත් ලෙස කරුණු දක්වමින් සිටි වත්මන් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනුයේ වී සඳහා නිෂ්පාදන වියදම ගණනය කිරීමේදී ගොවීන්ගේ පැත්තෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සාධාරණ නොවන බවකි.පාර්ලිමේන්තුවට පත්වීමට පෙර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු සේම ගොවීන් ගේ ගැලවුම්කරු වශයෙන් කටයුතු කළේ ද නාමල් කරුණාරත්න ය.එමෙන්ම ඔහු ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණි ඔහු මෙලෙස ගොවීන්ට මින් පෙර මෙවන් චෝදනා,අවලාද එල්ල කොට නොතිබීම ද විශේෂත්වයකි.

“දැන් ගොවියා ගෙදර හිටියත් බුලත් විට කන්නෙ නැද්ද ? තේ බොන්නෙ නැද්ද ? ඒ වගේ සිල්ලර වියදමුත් වී සඳහා වී නිෂ්පාදන වියදමට එකතු කරලා තියෙනවා. ඒක වැරදියි. ගොවියාගෙ පැත්තෙන් මේකට දක්වන දායකත්වය මොකක්ද එතකොට ? එයාලගෙ මොකක්වත් දායකත්වයක් නෑනෙ. එයාලා බුලත් විටටත් ගණන් හදලා, තේ බොන හකුරු කෑල්ලටත් ගණන් හදලා” යනුවෙන් ගොවියා දෙස උපහාසාත්මක බැල්මක් හෙලන ඔහු මෙසේ ද කියයි. 

“දැන් අපි පොහොර සහනාධාරය ගොවියාට නොලැබුණා සේ සලකලා පොහොර සම්පූර්ණයෙන් ගොවියා සල්ලිවලටම ගත්තා සේ සලකලා නිෂ්පාදන පිරිවැය හදන්න කියලා තමා උපදෙස් දුන්නෙ. අපි මේ ක්‍රම දෙකටම නිෂ්පාදන පිරිවැය හදලා තියෙනවා, පොහොර සහනාධාරය ඇතිව;පොහොර සහනාධාරය නැතිව. පොහොර සහනාධාරය ඇතිව හදන එකට වඩා නැතිව හදන එකේ නිෂ්පාදන පිරිවැය ටිකක් වැඩියි. මේකෙදි නිෂ්පාදන පිරිවැයට 30%ක් මුදලක් එකතු කරලා අපි ගොවියාට දෙනවා. රතු නාඩු වගා කරන ගොවියාට මේකෙ ටිකක් වැඩි චාන්ස් එකකුත් එනවා. මොකද රතු නාඩු වල අස්වැන්න වැඩියි. හැබැයි ඒකට අපි සම තැනකට එන තීරණයේ තමයි ඉන්නෙ. කොහොමත් ඉතිහාසයේ පළමුවෙනි වතාවට ගොවියාට තමන්ගෙ නිෂ්පාදන පිරිවැය මහන්සිය ඇරියාට පස්සෙ සතුටු වෙන්න පුළුවන් ලාබදායී පරිසරයක් තියලා වී වල මිලක් අපි නියම කරනවා. ගොවියාට මේකෙ කිසිම අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. හැබැයි එහෙමයි කියලා මේකෙ ගොවියාගෙ පැත්තෙන් කියලා කල්පනා කරලා අසීමාන්තික තැනකට යන්නත් අපිට බෑ. මොකද එහෙම ගියොත් හාල් පාරිභෝගිකයාගෙ පැත්තෙන් ආයෙ ප්‍රශ්නයක් එනවා. හැබැයි අපි එකක් කරනවා, අපි ගන්න වී ඇටයක්වත් අපි විකුණන්නෙ නෑ. අපි වගකීමෙන් කියනවා මේ වී ඔක්කොම අපි ගබඩා කරනවා, ආරක්ෂා කරනවා, අපි මේ වී හාල් කරනවා. පවතින තත්වය යටතේ හාලුත් අපි අඩු මිලට විකුණනවා”

 



ඉහත සඳහන් සියළු කරුණු කෙසේ වුව ද ආණ්ඩුවේ මෙම වැඩ සටහනේ ඵලදායකත්වය ඔස්සේ ගොවීන් ආණ්ඩුවට වී දීමට දක්වන උනන්දුව හා වත්මන් ආණ්ඩුවේ වී මිල දී ගැනීමේ සැබෑ හැකියාව තව නොබෝ දිනකින් සමාජ කරලියට එනු ඇත. එවිට කතාව දෝලාවෙන් සේම ගමන කුමකින් ද යන්න අපට වටහා ගත හැකි වනු ඇත. 

කවුළු සාප්පු සවාරි( Window shopping ) යනු භාණ්ඩ මිලදී ගැනීමේ චේතනාවකින් තොරව පාරිභෝගිකයෙකු විවේකය ගත කිරීම හෝ බාහිර සෙවුම් හැසිරීමක් ලෙස වෙළඳසැලක,සාප්පුවක වෙළඳ භාණ්ඩ පිරික්සීමේ හෝ පරීක්ෂා කරන මානව චර්යාවකි. මෙය වෙළඳපලේ භාණ්ඩ විකුණුම් මිල පිළිබඳ විස්තර තොරතුරු ලබා ගැනීමට ද භාවිතා කරනු ලැබේ.

මෙම කවුළු සාප්පු කතාව අප ගේ සිහියට නැඟෙනුයේ මේ වන විට පවතින තත්වය අනුව ආණ්ඩුවේ වී මිල දී ගැනීම හා එම කවුළු සාප්පු සවාරි අතර යම් සබැඳියාවක් බැලූ බැල්මටම පෙනෙන බැවිනි.එහෙත් එහි අවසන් ප්‍රතිඵලය ලෙස කලින් වල් වැදී මේ වන විට එළි පෙහෙළි කොට ඇති රජයේ වී ගබඩා යළි වල් බිහි වන තැනට කටයුතු නොයෙදේවා! ය යන්න අපගේ ද පැතුම ය.


මෙතෙරින් සැලකුම් නැතත් ලක් පොළොවට සුව සදන එතෙරින් ආ ශාක අහිංසකාවිය;  ග්ලිරිසිඩියා – (රේණුකා දමයන්ති)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...