එහි පළමු වාරිකය මේ වසරේ සැප්තැම්බර් 23 වන දින වනවිට ගෙවිය යුතු බව ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළ අතර, මූලික වන්දියට අමතරව ගෙවිය යුතු අතිරේක වන්දි මුදල් පිළිබඳව තක්සේරු කිරීම පිණිස අධිකරණය විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරනු ලැබේ.
මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පදවියෙන් විශ්‍රාම යන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් යුත් යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.

ව්‍යසනය වැළැක්වීම සඳහා නිසි පරිදි ක්‍රියා කිරීමට අපොහොසත්වීම හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකා කණ්ඩායම මෙන්ම නීතිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා රජයේ ආයතනත් රටවැසියන් ගේ මූලික හිමිකම් උල්ලංඝනය කොට තිබෙන බව ද තීන්දුවේ දැක්විණ.
සම්පූර්ණ වන්දිය කීයද?
ව්‍යසනයෙන් අනතුරුව මීපා ආයතනය (MEPA) හෙවත් සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් ව්‍යසනයේ හානිය තක්සේරු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව 2022 නොවැම්බර් මාසයේ නිකුත්කළ අන්තර්වාර වාර්තාවට අනුව ඒ වනවිට තක්සේරු කොට තිබුණේ ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට වූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් බවය. එය කිසිසේත්ම අවසාන තක්සේරුව නොවන බවත්, අවසාන වන්දි මුදල සකස් කිරීම පිණිස ඉදිරියටත් පර්යේෂණ පැවැත්විය යුතු බවත් අන්තර්වාර වාර්තාවේ දැක්විණ.
කෙසේ නමුත් 2022 නොවැම්බර් මාසයෙන් පසුව විශේෂඥ කමිටුවේ කාලය දීර්ඝ කිරීමට රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සංජේ රාජරත්නම් නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව මීපා ආයතනයට අනුමැතිය දුන්නේ නැත. එයට හේතුව කවරක්ද යන්න පැහැදිලි නොමැති වුවත්, මීට ඉහතදී මා කළ විමසීමකට පිළිතුරු දෙමින් මීපා ආයතනයේ හිටපු සභාපති, නීතිඥ අසේල රැකව කියා සිටියේ විශේෂයෙන්ම කැස්බෑවුන් සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ තක්සේරුව නීතිපති දෙපාර්තමේන්තුව පවා අවඥාවෙන් බැහැර කරන බවය.

ව්‍යසනයෙන් 400 කට අධික කැස්බෑ මළ සිරුරු හමුවූ අතර, සාමාන්‍යයෙන් එක කැස්බෑවගේ මළ සිරුරක් වෙරළට ගොඩ ගසද්දී තවත් කැස්බෑවුන් පස් දෙනෙක් වත් මුහුදේ මිය යනු ඇති බවට (මෙය අවම තක්සේරුවකි - එය ඇතැම්විට වෙරළේ මිය යන එක කැස්බෑවෙකුට මුහුදේ කැස්බෑවුන් 100 දෙනෙකු මිය යාම දක්වා පරාසයක විහිද පවතී) කෙරෙන විද්‍යාත්මක නිගමනය ප්‍රකාර, කැස්බෑවුන් එතරම් විශාල ප්‍රමාණයක් මිය යාම හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සහ ආර්ථිකයට සිදු වූ හානිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.3ක් බවට තක්සේරු කර තිබිණ.
කැස්බෑවුන් සම්බන්ධයෙන් මෙය ඉතා විශාල මුදලක් නොවේ දැයි විශේෂඥ කමිටුවේ සම-සභාපතිනි මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන ගෙන් විමසීමක් කළ අවස්ථාවේ මහාචාර්යවරිය කියා සිටියේ, එය කිසිසේත්ම විශාල මුදලක් නොව හානියට සාපේක්ෂව ඉතාමත් සුළු මුදලක් බවය.
එවැනි වාතාවරණයක, නෞකාවෙන් මුහුදට මුදා හැරුණු රසායනික විෂ ද්‍රව්‍ය මගින් මරා දමන ලද කැස්බෑවුන් වෙනුවෙන් කරන ලද තක්සේරුව රටේ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොව මීපා ආයතනයේ ප්‍රධානියාත් අවඥාවෙන් බැහැර කිරීම, ව්‍යසනය වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ කටයුත්තේ දී ඇතැම් රජයේ නිලධාරීන් නෞකා සමාගම සමග එක්ව කටයුතු කළ බවට එල්ලවන චෝදනාව සනාථ කරන ආකාරයේ තත්වයකි. නඩු විභාගයේ දී නෞකා සමාගම පාර්ශවයෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාත්, අදාළ වාර්තාවේ කැස්බෑ මරණ සම්බන්ධයෙන් තිබෙන තක්සේරුව දැඩි විවේචනයට ලක් කළේය.

එමෙන්ම විශේෂඥ කමිටුව විසින් පරීක්ෂාවට ලක් කළ යුතුව තිබූ අංශ තිස් හයක් අතරින් 2022 නොවැම්බර් වනවිට සම්පූර්ණයෙන් අවසන් වී තිබුණේ අංශ තුනක් පමණක් බව, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ විවෘත අධිකරණය හමුවේ සවිස්තරව පෙන්වා දුන්නේය. මේ තත්වය යටතේ අඩුම තරමින් වන්දිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් නොව, ඩොලර් බිලියන් 10ක් වත් විය යුතු බව ඔහු Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් කියා සිටියේය.
එමතු නොව, තවත් පෙත්සම්කාරියක වන පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පවසන පරිදි, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය මගින් ශ්‍රී ලංකාවට සිදුව තිබෙන සමස්ත හානිය ඩොලර් බිලියන 56කි.
එහෙත් 24 වෙනි බ්‍රහස්පතින්දා නිකුත් වූ අධිකරණ නියෝගයේ සඳහන් වූයේ ඩොලර් බිලියනයක වන්දියකි. එමෙන්ම තීන්දුව ලබා දීමට ප්‍රථම නෞකා සමාගම විසින් මෙතෙක් ගෙවා තිබෙන වන්දිය පිළිබඳව දෙපාර්ශවය අතර එකඟත්වයක් නොමැති බව ද අධිකරණය පෙන්වා දෙයි.
කෙසේ වුවත් අධිකරණ තීන්දුවේ සඳහන් වූයේ අවසාන වන්දි මුදල නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. සිය තීන්දුවේ අධිකරණය සඳහන් කරන්නේ "මූලික ගෙවීමක්" ගැන විනා අවසාන වන්දි මුදල ගැන නොවේ. මේ ලිපියේ මුලින්ම සඳහන් කළ පරිදි අවසාන වන්දි මුදල ගණනය කිරීම පිණිස අධිකරණය විසින් MV X-Press Pearl Compensation Commission (එම්වී එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම) නමින් කොමිසමක් පිහිටුවනු ලබන අතර, දැනටමත් එහි සභාපතිවරයා පත්කරනු ලැබ තිබේ.
වන්දිය ගන්න පුලුවන්ද?

ශ්‍රී ලංකාවේ අධිකරණය කවර තීන්දුවක් දුන්නත්, නෞකා සමාගම සිංගප්පූරු සමාගමක් බැවින් සහ රක්ෂණ සමාගමේ මූලස්ථානය පිහිටියේ බ්‍රිතාන්‍යයේ බැවින් මේ වන්දි මුදල ලබා ගැනීමට හැකි වේවිද යන්න බොහෝ දෙනා මතුකරන ප්‍රශ්නයකි. විශේෂයෙන්ම එය, නෞකා සමාගමට එරෙහිව ශ්‍රී ලංකාවේ නඩු නොපවරා සිංගප්පූරුවේ නඩු පැවරීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුව මතු කළ එක් ප්‍රධාන තර්කයකි.
කෙසේ වුවත් ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ පෙන්වාදෙන පරිදි, මේ තත්වය හොඳින් අවධානයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මගින් එයට විසඳුමක් ද ඉදිරිපත් කොට තිබේ. අදාළ වන්දිය ගෙවන මෙන් අධිකරණය නියෝග කොට තිබෙන්නේ එක් සමාගමකට නොව නෞකා සමාගම, මෙහෙයුම් සමාගම සහ දේශීය නියෝජිත සමාගම ඇතුළත් "එක්ස්ප්‍රස් පර්ල් කණ්ඩායමට" ය. විශේෂයෙන්ම විදේශීය සමාගම්වලට එය නොතකා හරිය හැකි වුවත්, සමාගමේ දේශීය නියෝජිතයා වන 'සී කන්සෝටියම් ලංකා' (Sea Consortium Lanka) සමාගම ශ්‍රී ලංකාවේ අධිකරණ නියෝගයක් නොපිළිපැදීම අධිකරණයට අපහාස කිරීමකි. සංදේශය නාලිකාව සමග අදහස් දක්වමින්, සාගර නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර ද එය අනුමත කළේය.
එමෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලය අතරින් පිරිසක් අත්අඩංගුවට පත්වූ නමුත්, නැවේ කපිතාන්වරයා හැර අන් සියලු දෙනා පසුව මුදා හරින ලදි. කෙසේ වුවත්, නෞකාවේ කපිතාන් රුසියානු ජාතික විතලි තුයිත්කලෝ ට (Vitaly Tyutkalo) තවමත් ශ්‍රී ලංකාවෙන් පිටවීමට අවසර නැත. ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේ අවසාන අදියරේදී නෞකා සමාගමේ බ්‍රිතාන්‍ය නීතිඥ සමාගමේ නියෝජිතයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ. ඒ අවස්ථාවේ මා සමග අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය නීතිඥවරියක් ඔහු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ කොටු වී සිටීම ගැන ඉතා කණගාටුවෙන් අදහස් පළ කළාය.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් කපිතාන් විතලි තුයිත්කලෝ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරුන් තිදෙනාම මුණ ගැසී තමන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට අවසර දෙන මෙන් පුද්ගලිකවම ඉල්ලා සිටි බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දිවයිනට අනාවරණය වේ. මේ තත්වය යටතේ සිය කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගම අනතුරේ හෙලමින් වන්දිය නොගෙවා සිටීමට නෞකා සමාගම කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.
අනෙක් අතට, නෞකා සමාගම ශ්‍රී ලංකාවේ අධිකරණයේ ආධිපත්‍යය පිළිනොගන්නේ නම් මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් එතරම් විශාල නීතිඥවරුන් පිරිසකගේ සහය ලබාගත්තේ මන්දැයි යන ප්‍රශ්නය ද පැන නගී.
අධිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක්

සමස්තයක් වශයෙන් ගත් කළ එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය පිළිබඳ නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහිතව රටවැසියන් දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියදී, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ප්‍රකාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ව්‍යසනය වෙනුවෙන් වන්දි ලබාගැනීම පිණිස උත්සුක වනු වෙනුවට මෙතෙක් හෙළි නොවූ අබිරහස් හේතුවක් නිසා විදේශීය විශේෂඥයින් සහ නීතිඥ සමාගම්වලට තවත් විදේශ විනිමය වැය කරමින් රට තවත් අගාධයට දැමීමට දැරූ උත්සහයක් අධිකරණය විසින් ව්‍යවර්ථ කරනු ලැබීම සාධාරණය අගයන සැම දෙනාගේම සතුටට හේතුවනු නිසැකය. එමතු නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව, බහුජාතික සමාගම්වල ආධිපත්‍යය හමුවේ දණ නොනැමීම පිළිබඳව අනෙක් තුන්වෙනි ලෝකයේ රටවලට ද ආදර්ශයක් සපයනු නොඅනුමානය.
168/21 මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් නීතිඥ, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ සහ සවන්ති පොන්නම්පෙරුම, 176/21 පෙත්සම වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න, 184/21 පෙත්සම වෙනුවෙන් ක්‍රිෂ්මාල් වර්ණසූරිය, චතුරංග හතුරුසිංහ, ඩිනාලි නිශ්ශංකා සහ දිමුති ගිනිගද්දර, 277/21 පෙත්සම වෙනුවෙන් නිල්ශාන්ත සිරිමාන්න සහ දෙශාරා ගුණතිලක පෙනී සිටියහ.
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සහ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර, මීපා ආයතනයේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර වෙනුවෙන් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ, ආචාර්ය රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, නිරාන් අන්කටෙල්, ආදීස් තුරෙයිරාජා, ෂහිලා විජේවර්ධන, මාලින් රුද්‍රිගු සහ යසිත් ජයසුන්දර "එක්ස්ප්‍රස් පර්ල් කණ්ඩායම" වෙනුවෙන් පෙනී සිටියහ.
මේ තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය ලබාගැනීම පිණිස බීබීසී ය නෞකා සමාගමේ නියෝජිතයින් ඇමැතූ අවස්ථාවේ, මේ මොහොතේ ප්‍රතිචාරයක් පළ කළ නොහැකි බව දන්වා එවා තිබිණ.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
Fellow, Pulitzer Centre’s Ocean Reporting Network (ORN)
(දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් සම්පාදනය කරන ලද ලිපියකි)
සබැඳි ලිපි :
උගුල් මැද රට දින වූ එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව - නීතිපතිටත් අතුල් පහරක් | Saroj Pathirana
X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?
'එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අඩු වුණේ නිසි නීති ක්‍රියාමාර්ග නොගත් නිසයි' - ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කියයි
Xpress Pearl නෞකාව ගිනි ගැනීම: රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශව වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි




