The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

X-Press Pearl: අධිකරණ කොමිසමට මොකද වුණේ? අල්ලස් කොමිසම පරීක්ෂණ පටන් ගත්ත ද? | Saroj Pathirana

T

The Leader Desk

September 16, 2025 • 9:37 AM

X-Press Pearl: අධිකරණ කොමිසමට මොකද වුණේ? අල්ලස් කොමිසම පරීක්ෂණ පටන් ගත්ත ද? | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාගම වන්දිය ගෙවන එකක් නැහැ කියල තීන්දුවෙන් පස්සේ සමහර මාධ්‍ය නාලිකා එහෙම සෑහෙන්න උඩ පැන්නත්, X-Press Feeders සමාගම අගෝස්තු 15 වෙනිදා නිකුත්කරපු නිවේදනයේ වන්දිය නොගෙවන බවට කිසිම සඳහනක් නැහැ.
  • නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරපු විදියට නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම - විශේෂයෙන්ම සිංගප්පූරුවේ නඩු පැවරීම - ඇතුළු දූෂණ, වංචා චෝදනා ගැන අල්ලස් කොමිසමත් CID එකත් අලුතෙන් පරීක්ෂණ ආරම්භ කළා ද කියල තවමත් දැනගන්න නැහැ.
  • ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ මතුවෙලා තියන තත්වය ගැන මම පසුගියදා ලංකාවට ආපු වෙලාවේ චැනල් 7 නාලිකාවේ Meet the Press වැඩසටහනත් එක්ක කරපු සාකච්ඡාවකදී පැහැදිලි කළා.
  • ඩොලර් මිලියන 250ක අල්ලසක් දීල කියල හිටපු ඇමති විජේදාස රාජපක්ෂ කරපු ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණ අතරමග නැවැත්තුවේ ඇයි කියන එක ගැනත් සමහර විට වෙනම පරීක්ෂණයක් කරන්න වෙන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):


සමාගම වන්දිය ගෙවන එකක් නැහැ කියල තීන්දුවෙන් පස්සේ සමහර මාධ්‍ය නාලිකා එහෙම සෑහෙන්න උඩ පැන්නත්, X-Press Feeders සමාගම අගෝස්තු 15 වෙනිදා නිකුත්කරපු නිවේදනයේ වන්දිය නොගෙවන බවට කිසිම සඳහනක් නැහැ. ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය පත්කරපු කොමිසමෙන් වන්දිය තවත් වැඩි කිරීම වලක්වා ගන්න සමාගම උත්සහයක් දරල තිබුණ.

ඒ අතරේ X-Press Pearl සමාගමේ ලංකා නියෝජිත Sea Consortium Lanka සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් දෙන්නෙක් පසුගියදා අත් අඩංගුවට අරගෙන පස්සේ ඇප පිට නිදහස් කරලා තිබුණ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරපු විදියට නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම - විශේෂයෙන්ම සිංගප්පූරුවේ නඩු පැවරීම - ඇතුළු දූෂණ, වංචා චෝදනා ගැන අල්ලස් කොමිසමත් CID එකත් අලුතෙන් පරීක්ෂණ ආරම්භ කළා ද කියල තවමත් දැනගන්න නැහැ.

ඒ වගේව තමයි මූලික වන්දියෙන් පස්සේ ඉතිරි වන්දි මුදල් ගැන තක්සේරු කරන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකරගේ ප්‍රධානත්වයෙන් පත්කරපු කොමිසම වැඩ ආරම්භ කළා ද, නැද්ද කියන එකත් තවමත් දැනගන්න නැහැ. අනික ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරපු කමිටුවට මොකද වුණේ?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ මතුවෙලා තියන තත්වය ගැන මම පසුගියදා ලංකාවට ආපු වෙලාවේ චැනල් 7 නාලිකාවේ Meet the Press වැඩසටහනත් එක්ක කරපු සාකච්ඡාවකදී පැහැදිලි කළා.



කොහොම හරි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය නිසා රටට වුණ හානිය වෙනුවෙන් වන්දියක් ගන්න උත්සහ කරනවා වෙනුවට පුද්ගලික වාසි ගන්න රනිල් වික්‍රමසිංහ පරිපාලනයේ නිළධාරීන් - රනිල් ගේ අනුදැනුම ඇතිව - උත්සහ කළත්, හේමන්ත විතානගේ සහ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ඇතුළු යුක්ති කේන්ද්‍රය සහ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ ධීවර නායකයින්ගේ මැදිහත්වීම නිසා ඒ උත්සාහය ව්‍යවර්ථ කෙරුණ. එතෙන්දි මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් සහ ආචාර්ය අජන්තා පෙරේරා කවුරු වෙනුවෙන් ද කියල තවමත් පැහැදිලි නැහැ.

ව්‍යසනයෙන් අවුරුදු හතරකට පස්සේ හානි පූරණයේ එක් පරිච්ඡේදයක් අවසන්.

V FM සිද්දමුල්ල වැඩසටහනේ ශාන් විජේතුංග එක්ක කරපු සාකච්ඡාවේදීත් මම කියපු විදියට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියටත් මේ කටයුත්තට මැදිහත් වෙන්න නියමිත වුණත් දැන් පන්දුව තියෙන්නේ පොලිසිය සහ අල්ලස් කොමිසම අතේ.

ඩොලර් මිලියන 250ක අල්ලසක් දීල කියල හිටපු ඇමති විජේදාස රාජපක්ෂ කරපු ප්‍රකාශය ගැන පොලිස් පරීක්ෂණ අතරමග නැවැත්තුවේ ඇයි කියන එක ගැනත් සමහර විට වෙනම පරීක්ෂණයක් කරන්න වෙන්නත් පුළුවන්.


ඒත් මේ සා දැවැන්ත ව්‍යසනයක් ගැන වගේම පෙර නොවූ, විරූ අකාරයේ දැවැන්ත අල්ලස් චෝදනාවක් ගැන රටවැසියන්ටත්, මාධ්‍යවලටත් එහෙම පිටින්ම අමතක වෙලා තිබුණ කියන එක අවුරුද්දක් පුරා ඒ ගැන ගවේෂණයක් කරද්දී මම දැක්ක. ඒ නිසාම මේ විමර්ශනය යටපත් වෙන්න ඉඩ නොදී නිරන්තරයෙන් ඒ ගැන සිහිපත් කිරීම වැදගත් කියල මට හිතෙනවා.    

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක මගේ ගවේෂණයෙත් එක අදියරක් අවසන්. ඉතිරි අදියර ඊට වඩා දුෂ්කර වුණත් අපේ රටේ අනාගතය යහපත් කරන්න තිරය පිටුපස ඉඳගෙන වැඩකරන කණ්ඩායමක සහයෝගයෙන් අසීරුවෙන් වුණත් අපි ඒ අදියරෙත් හෙමින් හෙමින් ඉදිරියට යමින් ඉන්නවා.

ඒ අතරේ අවුරුද්දක් පුරා මේ ගවේෂණයට රුකුල් දෙමින් මාත් එක්ක හිටපු මිනිසුන් පිරිස කෘතවේදීව සිහිපත් කළ යුතුයි කියල මට හිතුණා.

 

549293158 10161412050347155 6064966071753501557 n
අයහපත් සෞඛ්‍ය තත්වයකින් පෙළෙමින් සිටියදී පවා ඒ ගැන නොසලකා, ව්‍යසනයට මුහුණ දුන්න ධීවරයින් එකතු කරගෙන ඔවුන් වෙනුවෙන් සටන් කරමින් ඉන්න අතරවාරයේ සරත් ඉද්දමල්ගොඩ පියතුමා දුන් සහය ඇත්තෙන්ම මතක් කළ යුතුමයි. ධීවර නායක රොජර් සහ ප්ලාස්ටික් කැබලි අහුලන කාන්තාවන් පිරිසක් මට සම්බන්ධ කරලා දීල, මේ කතාව මුල ඉඳලම හොයාගෙන යන්න උපකාර කළේ ඉද්දමල්ගොඩ පියතුමා.

මා මිතුරු රුවන් ෆර්ඩිනැන්ඩස් (ප්‍රදිනන්දිස්) සහ The Leader වෙබ් අඩවියේ කතුවරිය තුෂාරා විතාරණ ගවේෂණයට අදාළ හැම ලිපියක්ම නොවලහා පළ කරලා ඒ වාර්තා ජනගත කළේ නැත්නම් අප සොයාගත් කරුණු ජනතාව අතරට නොයන්න ඉඩ තිබුන. ඒ වගේම ලීඩර් වාර්තා පළවුනාට පස්සේ තවත් බොහෝ දෙනෙක් මට කතා කරලා විස්තර දුන්න. රුවන්, තුෂී දෙන්නටත්, ලීඩර් එකටත් ස්තුතියි.  

පරිසර යුක්ති කේන්ද්‍රයේ පෙත්සම වෙනුවෙන් පෙනී හිටපු ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ, ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු ධීවරයින් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ හිමාලි කුලරත්න සහ ආචාර්ය (නීතිඥ) ඩෑන් මාලික ගුණසේකර ත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

මේ ගවේෂණයේදී මුල ඉඳලම නීතිපති දෙපාර්තමේන්තුව කළේ ඉල්ලන තොරතුරු ලබාදෙනවාට වඩා වචනවලින් සෙල්ලම් කරන එක. සිංගප්පූරුවේ නඩුවෙන් ඉල්ලලා තියන වන්දිය කීයද කියල අහපු කිසිම වෙලාවක නීතිපති දෙපාර්තමේන්තුව සෘජු උත්තරයක් දුන්නේ නැහැ.

 

n8o
ඕස්ට්‍රේලියාවේ Spark Helmore නීතිඥ සමාගමට ගෙවපු මුදල කීයද කියල ඇහුවම නීතිපති දෙපාර්තමේන්තුව ඒකට උත්තර දීමත් මග ඇරිය. ඒ නිසා කැබිනට් press එකට ගිහින් මේ ගැන අහන්න මට සිද්ද වුණා. එතෙන්දි බොහෝ අවස්ථාවල මට කරුණු හොයල දුන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර. තමන්ගේ රාජකාරි සීමාවෙන් ඔබ්බට ගිහිල්ල, රට වෙනුවෙන් යුතුකමක් විදියට සලකලා බොහෝ කරුණු හොයල දුන්න එතුමාටත් ස්තුතියි.  

ඉහත නම් කරපු කණ්ඩායම හැරුනම එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන අභ්‍යන්තර කරුණු හොයාගෙන යද්දී මාත් එක්ක සමීපව වැඩ කරපු, මට තොරතුරු ලබා දුන්න ඒත් මට නම් කළ නොහැකි තවත් පිරිසක් ඉන්නවා. මාධ්‍ය ආචාර ධර්ම අනුව මට ඒ අයගේ නම් කියන්න හැකියාවක් නැහැ. ඒ කවුද කියල ඔවුන් දන්නව. යුක්තිය වෙනුවෙන් පෙනී හිටපු ඔබ හැම දෙනාටමත් ස්තුතියි.

ඒ වගේම Pulitzer Centre's Ocean Reporting Network ආයතනය, එහි සංස්කාරක Jessica Aldred ඇතුළු කාර්ය මණ්ඩලය, Watershed Investigations ආයතනය, එහි සම නිර්මාතෘ Leana Hosea ඇතුළු කණ්ඩායමටත් මගේ හද පිරි ස්තුතිය පිරිනමන්න කැමතියි.

saroj u(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 16

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...