ඒත් නීතිපති පාරින්ද රණසිංහ කියන විදියට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට නිල වශයෙන් භාර දීල තියෙන්නේ මීට සති දෙකකට කලින්!
The Morning පුවත්පතට Faizer Shaheid සකස් කළ වාර්තාවක දැක්වෙන විදියට දැන් නීතිපතිවරයා මේ තීන්දුව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න මාස තුනකට පස්සෙත් නීතිපති තාමත් ආණ්ඩුවෙන් වැඩිදුර උපදෙස් බලාපොරොත්තුවෙන් ඉන්නවලු!
සැප්තැම්බර් 23 වනවිට වන්දි මුදලින් කොටසක් ගෙවිය යුතු බවට වගේම මාස තුනක් ඇතුළත නීතිපති, පොලිසිය සහ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම ගතයුතු පියවර ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලිව දක්වල තිබුන.
ඒත් දෙයියනේ තීන්දුව දීල මාස තුනක් යනතුරු නීතිපති මොනවද කළේ? අනික මුළු රටටම මේ තරම් වින්නැහියක් කරපු දෙයක් ගැන රටේ ඉහළම අධිකරණය දීපු තීන්දුව ගැන ජනාධිපති කාර්යාලයත් හිටියේ බුදිය ගෙනද?

ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති කාර්යාලයට කිසිම නියෝගයක් දීල නැහැ. නමුත් ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට රටේ නීතිපතිවරයා පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කරපු බවට එදා අධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්න. ඒ වගේම යුද අපරාධ ගැන හොයන්න යුද වින්දිතයින් විදේශීය විනිසුරුවන් ඉල්ලනකොට රටේ භෞමික අඛණ්ඩතාව, ස්වාධිපත්‍යය එකී නොකී ඔය හැමදේම මතක්වෙන අපේ රටේ අපරාධ විමර්ශනය භාර ඉහළම රජයේ නිලධාරියා - නීතිපති - ලංකාවේ නඩු දාන්නේ නැතුව විදේශීය විනිසුරුවන් සොයාගෙන යාම ගැනත් විමර්ශනය කරන්න කියල අධිකරණය නියෝග කළා.
වහාම ඒ නියෝග ඉටුකරනවා වෙනුවට මාස තුනකට පස්සෙත් නීතිපති තවම ආණ්ඩුවේ උපදෙස් බලාගෙන ඉන්නවලු!
ඇත්තටම මේක අධිකරණයට කරපු අපහාසයක් නොවෙයිද?
අනිත් පැත්තෙන් අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් කියන්නේ, විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ X-Press Pearl ව්‍යසනය ගැන පාර්ලිමේන්තුව දෙවනත් කරමින් හඬ නගපු මන්ත්‍රීවරු.
එදා එහෙම කෑ ගහපු අනුර, ඒ වගේම අලුත් ආණ්ඩුව පළමුවෙනි කැබිනට් ප්‍රකාශකය විදියට එක්ස්ප්‍රස් පර්ල් ව්‍යවසනය ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කරනවා කියපු ඇමති විජිත හේරත් ඉන්න ආණ්ඩුවක් මේ තරම් වැදගත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ගැන නීතිපතිට උපදෙස් දෙන්න මාස තුනක් බලාගෙන ඉන්නේ ඇයි? මොකක්ද ආණ්ඩුවේ මේ දෙබිඩි පිළිවෙත?
ලංකාවේ විශේෂඥයින් කියන විදියට ව්‍යසනයෙන් රටට සිදුවුණ පාඩුව ඩොලර් බිලියන 6.4ක්. ඒ තක්සේරුව කවරක් වුවත් මූලික වන්දියක් විදියට ඩොලර් බිලියනයක් ගෙවන්න කියල අධිකරණය නෞකා සමාගමට නියෝග කළා. නමුත් දැන් සමාගම ඒ වන්දිය ගෙවීම ප්‍රතික්ෂේප කරනවා. සමාගමේ දේශීය නියෝජිතයා මේ වෙනතුරු ගෙවල තියෙන්නේ ඩොලර් මිලියනයක් විතරයි.

ව්‍යසනයෙන් පස්සේ සාකච්ඡා මාර්ගයෙන් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයකින් රටට සිදුවුණ හානිය පියවා ගන්නවා වෙනුවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හැසිරීම, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ගේ ක්‍රියාකලාපය, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම වගේ හැම දෙයක්ම අවුල් ජාලයක් වෙලා තිබුණ වෙලාවක පුරවැසියන් පිරිසක් එකතුවෙලා සාධාරණය ඉටුකරගන්න ගත්ත උත්සහයෙන් වත් වැඩක් ගන්න අලුත් ආණ්ඩුවටවත් උනන්දුවක් නැත්නම් ඊට පස්සේ පුරවැසියන්ට තියන විකල්පය මොකක්ද?
ඒ අතරෙ දැන් අධිකරණයේ ක්‍රියාකලාපයත් ගැටළු සහගතයි.

The Morning පුවත්පත කියන විදියට, මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා අධිකරණ ලේඛකාධිකාරීවරයාගෙන් හෝ අදාළ බලධාරීන්ගෙන් කොමිසමට තවමත් නිල දැනුම්දීමක් ලැබී නැති බව වන්දි කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු ගාමිණී අමරසේකර සඳහන් කරලා තියෙනව. එදා ඒ තරම් දැඩි තීන්දුවක් දුන්න අධිකරණයම දැන් ඒ කටයුත්ත මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි?
දැවැන්ත ව්‍යසනයකින් පස්සේ අනිවාර්යයෙන් හිමිවිය යුතු වන්දි මුදල ලබාගන්න ඇයි මේ රටේ හිටපු ආණ්ඩුවලට වත්, මේ ආණ්ඩුවට වත්, යුක්තිය පසිඳලන ආයතනවලටවත් කිසිම උනන්දුවක් නැත්තේ?
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 20
සබැඳි පුවතක් :
එක්ස්ප්‍රස් පර්ල් නඩුව : ඉදිරි ක්‍රියාමාර්ග ගැන නීතිපති ආණ්ඩුවේ උපදෙස් ඉල්ලයි




