The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට වසර පහක් - වන්දියට මොකද වුණේ? | Saroj Pathirana

T

The Leader Desk

May 22, 2026 • 12:32 PM

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට වසර පහක් - වන්දියට මොකද වුණේ? | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයිට්‍රික් අම්ලය කාන්දුවෙන කන්ටේනරයක් ඇතුළු කන්ටේනර් 1486ක් පටවගෙන, කහපාට දුමාරයකුත් පිටකරගෙන X-Press Pearl නෞකාව ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වුණේ 2021 මැයි 19 වෙනිදා.
  • ඒ නඩු විභාගය ආරම්භ වෙන්නේ, ව්‍යසනය වෙනුවෙන් ගෙවන වන්දිය ඩොලර් මිලියන 25කට සීමාකරන්න කියල බ්‍රිතාන්‍ය අධිකරණයක පවරලා තියෙන නඩුව අවසන් වුණාට පස්සේ.
  • ඒ අතරේ නීතිපති දෙපාර්තමේන්තුව නෞකාවේ දේශීය නියෝජිත සමාගම ඇතුළු පාර්ශවකරුවන්ට විරුද්ධව ලංකාවේ අධිකරණයේ පවරපු අපරාධ නඩුවේ චුදිතයෙක් වන නෞකාවේ කපිතාන් Vitaly Tyutkalo ට අද වෙනතුරුම ලංකාවෙන් පිටවෙන්න තහනම්.
  • ඒ, පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක්, කාදිනල් මැල්කම් රන්ජිත්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමග ධීවරයින් පිරිසක් සහ ආචාර්ය අජන්තා පෙරේරා පවරපු මූලික අයිතිවාසිකම් පෙත්සම්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ කියන්නේ අදින් අවුරුදු පහකට කලින්. ඊට පස්සේ සිද්දවුණ දේ ලංකාවේ හැමෝම දන්නවා. ඒ ව්‍යසනය සැලකෙන්නේ නෞකාවකින් සිදුවුණ ලෝකේ බරපතලම ප්ලාස්ටික් කැබලිති සමුද්‍ර දූෂණය සහ බරපතලම රසායනික දූෂණයක් විදියට.

මේ ව්‍යසනයෙන් ලංකාවේ සමුද්‍රීය පරිසරයට, සමුද්‍ර ජීවීන්ට, ධීවර ප්‍රජාවට සහ සමස්තයක් වශයෙන් ලංකාවට සිද්දවුණ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලලා නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවේ පවරපු සිවිල් නඩුවේ විභාගය තවමත් ආරම්භ වෙලා නැහැ. ඒ නඩු විභාගය ආරම්භ වෙන්නේ, ව්‍යසනය වෙනුවෙන් ගෙවන වන්දිය ඩොලර් මිලියන 25කට සීමාකරන්න කියල බ්‍රිතාන්‍ය අධිකරණයක පවරලා තියෙන නඩුව අවසන් වුණාට පස්සේ.

ඒ අතරේ නීතිපති දෙපාර්තමේන්තුව නෞකාවේ දේශීය නියෝජිත සමාගම ඇතුළු පාර්ශවකරුවන්ට විරුද්ධව ලංකාවේ අධිකරණයේ පවරපු අපරාධ නඩුවේ චුදිතයෙක් වන නෞකාවේ කපිතාන් Vitaly Tyutkalo ට අද වෙනතුරුම ලංකාවෙන් පිටවෙන්න තහනම්.  

 

X-Press Pearl: ව්‍යසනය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වන්දි ගෙවන මෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කරයි


ඒ නඩුවලට අමතරව තවත් නඩුවක් අවුරුදු හතරක් විතර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කෙරුණා. ඒ, පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක්, කාදිනල් මැල්කම් රන්ජිත්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමග ධීවරයින් පිරිසක් සහ ආචාර්ය අජන්තා පෙරේරා පවරපු මූලික අයිතිවාසිකම් පෙත්සම්.

මම මාස ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයට සහභාගි වුණා. දෙපැත්තම මතුකරන තර්ක, විතර්ක අහගෙන හිටිය.

ගිය අවුරුද්දේ ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ තීන්දුව සැලකෙන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ ඓතිහාසික තීන්දුවක් හැටියට. ඒත් මම දන්නා තරමින් ඒ තීන්දුවේ කිසිම කොටසක් මේ වෙනතුරු ක්‍රියාත්මක වෙලා නැහැ. කොටින්ම අධිකරණය ඩොලර් බිලියනයක වන්දියක් නියම කළත් නෞකා සමාගම මේ වෙනතුරු ගෙවල තියෙන්නේ ඩොලර් මිලියනයක් විතරයි. ඉතිරි මිලියන 999 ගෙවීම සමාගම ප්‍රතික්ෂේප කරනවා. නමුත් ආණ්ඩුව හෝ නීතිය පසිඳලන ආයතන ඒ ගැන කිසිම පියවරක් අරගෙන නැහැ.

පහත දැක්වෙන්නේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වෙන්න කලින් ගිය අවුරුද්දේ මැයි 19 වෙනිදා මම තියපු සටහනක සංශෝධිත පිටපතක්.

හානිය කීයද?

X-Press Pearl නඩුව : ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයක්
සමුද්‍රීය පරිසර අධිකාරිය පත්කරපු විශේෂඥ කමිටුවේ දෙවෙනි අන්තර්වාර වාර්තාවේ කියන විදියට එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ලංකාවට සිදුවුණ හානිය ඩොලර් බිලියන 6.4ක්. නමුත් ඒක අවසාන තක්සේරුව නෙවෙයි. විශේෂඥ කමිටුව කියන්නේ ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වල තමයි අවසාන තක්සේරුව කරන්න වෙන්නේ කියල. ව්‍යසනයේ සැබෑ හානිය අඩුම ගානේ ඩොලර් බිලියන 10ක් වත් විය යුතුයි කියන එක තමා ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ වගේ පරිසරවේදීන්ගේ මතය. 


ඒක අවසාන වාර්තාව නොවෙයි නම් ඇයි මීපා ආයතනය ඒ විශේෂඥ කමිටුවේ කාලය දීර්ඝ නොකළේ ? මට දැනගන්න ලැබුණ විදියට 2023 ජනවාරි මාසෙන් පස්සේ කමිටුවේ කාලය දීර්ඝ කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිල නැහැ.
 
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට වසර හතරක් - ලංකාවට වන්දිය අහිමි  වේවි ද? | Saroj Pathirana
ඒත් නෞකා සමාගම කියන්නේ නැව ගිනිගන්න වෙලාවේ ලංකාවේ බලධාරීන් වහාම පියවර ගන්න සමත්වුණේ නැහැ කියල. ඒ නිසා ඩොලර් බිලියන 6.4ක තක්සේරුව කිසිසේත්ම පිළිගන්න බැහැ කියල තමයි නෞකා සමාගමේ තර්කය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම විශේෂඥ වාර්තාවෙන් ඩොලර් බිලියන 3ක් පමණම වෙන්කරලා තියෙන්නේ කැස්බෑවන්ට සිදු වුණ හානිය වෙනුවෙන් වුණත්, කැස්බෑවන්ගේ මරණ පරීක්ෂණ සියල්ලේම පාහේ මරණයට හේතුව ගැන නිගමනයකට එළඹිලා නැති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්නලා දුන්න. එහෙම අසම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරලා ඩොලර් බිලියන තුනක් ඉල්ලන්නේ කොහොමද කියල ඔහු ප්‍රශ්න කළා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තවත් විශේෂ කරුණක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළා. ඒ තමයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධ පූර්ණ අධිකරණ බලය සිංගප්පූරුවට පවරමින් නීතිපති දෙපාර්තමේන්තුව සහ නෞකා සමාගම සම්මුතියකට අත්සන් කරලා තියන බව. ඒ බව අනාවරණය කෙරුණ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පුදුම වුණා.

නීතිපති දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාකලාපය ගැන විමර්ශනය කරන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අපරාධ විමර්ශන කොට්ටාශයට නියෝග කළා. නමුත් මම දන්නා තරමින් එහෙම විමර්ශනයක් ආරම්භ වෙලා නැහැ. ඒ ගැන තොරතුරු ඉල්ලල ඉල්ලුම් පත්‍රයක් දාල මාස ගණනක් ගත වෙළත් අල්ලස් කොමිසමෙන් තවමත් කිසිම පිළිතුරකුත් නැහැ.

වරද ලංකාවෙලු!
එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?
නෞකා සමාගම දිගටම කියන්න උත්සහ කළේ ලංකාවේ අදාළ ආයතන තමන්ගේ වගකීම ඉටු කළා නම්, ගින්න නිවන්න නැවට සහයෝගය දුන්න නම් මේ ව්‍යසනය වලක්වගන්න තිබුණ කියල. ඒත් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ දිගින් දිගටම කිවුවේ නයිට්‍රික් අම්ල කාන්දුවට පිළියම් යෙදීම සහ ගින්න නිවා ගැනීම නෞකාවේ වගකීමක් කියල. ඒ සඳහා නෞකාවට පහසුකම් සැලසීම පමණයි ලංකාවේ ආයතනවල වගකීම කියල නෙරින් පුල්ලේ අවධාරණය කළා.

රොමේෂ් ද සිල්වා ඒ අතරේ තවත් තර්කයක් මතු කළා. හාබර් මාස්ටර් නිර්මාල් ද සිල්වා 2021 ජුනි 03 වෙනිදා මාධ්‍ය හමුවකදී කරපු ප්‍රකාශයක් ඔහු උපුටා දැක්වුවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් අම්ල කාන්දුව එතරම් බරපතල සිදුවීමක් නොවන බව නිර්මාල් ද සිල්වා එතෙන්දි සඳහන් කරනවා.
 
ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් රනිල් වික්‍රමසිංහ යටතෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ හැසිරීමයි, ජනාධිපති අනුර කුමාර යටතෙ හැසිරීමයි අතරෙ දැවැන්ත වෙනසක් තියෙනව. ලංකාවට එන්න කලින් නයිට්‍රික් අම්ල කාන්දුව දැනුම් දුන්නෙ නැහැ කියල අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ නෞකා සමාගමට චෝදනා කළා. ඒ වගේම නෞකාවෙ තිබුණ භාණ්ඩ (dangerous  goods) ගැන හිතාමතාම බොහෝ කරුණු වසං කළා කියල දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ඔහු පෙන්නල දුන්න. ඔහු කිවුවෙ, නෞකාවට අවශ්‍ය වෙලා තිබුණෙ ලංකාව කුණු බක්කියක් විදියට පාවිච්චි කරන්නයි කියල.
X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?
 
පැහැදිලිවම රොමේෂ් ද සිල්වා ගේ උත්සාහය වෙලා තිබුණේ ලංකාවේ බලධාරීන් පැත්තට බොලේ පාස් කරලා ගෙවිය යුතු වන්දි මුදල අඩුකර ගැනීම. ව්‍යසනය වෙලාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (මීපා ආයතනයේ) හැසිරීමත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ විවේචනයට ලක්වුනා.  ඇත්තෙන්ම ඒ වෙලාවේ මීපා ආයතනය ගත් පියවර ප්‍රමාණවත් ද කියල විභාගය අතරවාරයේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුත් කිහිප වතාවක්ම ප්‍රශ්න කළා. පෙත්සම්කරුවනුත් මීපා ආයතනය විත්තිකරුවෙක් විදියට නම් කරලා තියෙනව.

ව්‍යසනය වෙලාවේ මීපා ආයතනයේ සභාපති ධුරය දැරුවේ නීතිවේදිනී දර්ශණී ලහඳපුර. ඇයත් මේ පෙත්සම්වල විත්තිකාරියක්. මේ චෝදනා ගැන ඇහුවම නීතිවේදිනී දර්ශණී ලහඳපුර ඒ ගැන ප්‍රතිචාරයක් පළකිරීම ප්‍රතික්ෂේප කළා. ව්‍යසනය වෙලාවේ තමන් මුහුණ දුන්න තත්වය සහ ගත්ත ක්‍රියාමාර්ග ගැන සම්පූර්ණ වාර්තාවක් හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ගේ සභාපතිත්වයෙන් තිබුන පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළත්, ඇය දුන්න වාර්තාව කාරක සභාවේ අවසාන වාර්තාවට ඇතුළත් කරලා නැති බව ඇය සඳහන් කළා. ඒ නිසා කාරක සභාවට දුන්න වාර්තාවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඇය ලිඛිතව ඉදිරිපත් කරන පූර්ණ ප්‍රතිචාරයත් නඩු විභාගයෙන් පස්සේ ප්‍රසිද්ධියට පත්කරන බව දර්ශනී ලහඳපුර පවසනව. ඒ අතරෙ X Press Pearl නැව ලංකාවට එන අවස්තාවෙ මුහුදේ ගමන් කිරීමට නොසුදුසු තත්වයක (unseaworthy) තිබුණ බවට ඇය වෙනුවෙන් පෙනී හිටපු ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර තර්ක කළා.

වන්දිය ඩොලර් මිලියන 15යි!
 
එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයි ද? -(ගාමිණී වියන්ගොඩ)
කොහොම වුණත් මූලික අයිතිවාසිකම් පෙත්සම් කියන්නේ නෞකාවෙන් සම්පූර්ණ අලාභය ඉල්ලන සිවිල් නඩුවක් නෙවෙයි. වන්දි  ඉල්ලන නඩුව ලංකාවේ පවරනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අනුමැතිය ඇතුව එවකට නීතිපතිවරයා ඒ නඩුව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයට අරගෙන ගියා. එහෙම කළේ ඇයි කියල නීතිපති දෙපාර්තමේන්තුව මතුකරන තර්ක පිළිගන්න අමාරුයි කියන එක තමා ලංකාවේ බොහෝ දෙනාගේ මතය. ඒත් සිංගප්පූරුවේ නඩුව වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා. නඩුව සිංගප්පූරුවේ පවරන්න උපදෙස් දීපු Sparke Helmore ඕස්ට්‍රේලියානු නීතිඥ සමාගම වෙනුවෙන් වැය කරල තියන මුදල හෙලිකිරීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන විදියට ශ්‍රී ලංකාව ඒ සමාගමට ඩොලර් මිලියන 3.5 ක් ගෙවල තියෙනව.
 
නමුත් ඔබ දන්නවද මෙතෙක් ලංකාවට ලැබුණු සම්පූර්ණ වන්දිය ඩොලර් මිලියන 15කට වැඩි නෑ කියල? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ සමාගමේ දේශීය නියෝජිතයා තවත් ඩොලර් මිලියනයක් ගෙවුව. එහෙම බැලුවම මේ වෙනතුරු ලංකාවට ලැබිල තියන සම්පූර්ණ වන්දිය ඩොලර් මිලියන 16ක් විතරයි.
ඒ කියන්නේ ඩොලර් මිලියන 16ක වන්දියක් ලබාගන්න ලංකාව අඩුම තරමින් ඩොලර් මිලියන 13.5ක්වත් වියදම් කරනව. (බොහෝ විට ඊට වැඩි මුදලක්) ඇත්තටම ඊට වඩා හොඳ නැද්ද මේ එක නඩුවක්වත් නොදා හිටිය නම්?

මේක නූල් බෝලයක් වගේ පැටළුණු හරිම සංකීර්ණ කතාවක්. මේ ඒ කතාවේ කුඩා සාරාංශයක් විතරයි. Pulitzer Centre ආයතනයේ Ocean Reporting Network කණ්ඩායමේ සාමාජිකයෙක් (Fellow) විදියට මේ ව්‍යසනය ගැන අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ කරපු ගවේෂණයේ නිරීක්ෂණ සහ නිගමන ඇතුළත් වාර්තාවල ලින්කුව කොමෙන්ටුවේ සඳහන් කරන්නම්.  

ඇයි ලංකාදීප මෙහෙම බොරු කියන්නෙ? | Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මැයි 22

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට වසර පහක් - වන්දියට මොකද වුණේ? | Saroj Pathirana | The Leader