ඊට පස්සේ සිද්දවුණ දේ ලංකාවේ හැමෝම දන්නවා. ඒ ව්‍යසනය සැලකෙන්නේ නෞකාවකින් සිදුවුණ ලෝකේ බරපතලම ප්ලාස්ටික් කැබලිති සමුද්‍ර දූෂණය සහ බරපතලම රසායනික දූෂණයක් විදියට. මේ ව්‍යසනයෙන් ලංකාවේ සමුද්‍රීය පරිසරයට, සමුද්‍ර ජීවීන්ට, ධීවර ප්‍රජාවට සහ සමස්තයක් වශයෙන් ලංකාවට සිද්දවුණ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලලා ඩොලර් මිලියන 13ක් විතර වියදම් කරලා නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවේ පවරපු සිවිල් නඩුවේ විභාගය අද වෙනතුරුම ආරම්භ වෙලා නැහැ.
ඒ නඩු විභාගය ආරම්භ වෙන්නේ, ව්‍යසනය වෙනුවෙන් ගෙවන වන්දිය ඩොලර් මිලියන 25කට සීමාකරන්න කියල බ්‍රිතාන්‍ය අධිකරණයක පවරලා තියෙන නඩුව අවසන් වුණාට පස්සේ.

මේ විනාශය වෙනුවෙන් වන්දි අයකරගන්න ආණ්ඩුව පැත්තෙන් වැඩකටයුතු සිද්ද වුණේ ඒ විදියට වුණත්, පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ, කාදිනල් මැල්කම් රන්ජිත්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමග ධීවරයින් පිරිසක් සහ ආචාර්ය අජන්තා පෙරේරා පවරපු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අවුරුදු හතරක් විභාග කරලා ශ්‍රේෂ්ඨාධිකරණය ගිය අවුරුද්දේ ජුලි 24 වෙනිදා ඓතිහාසික තීන්දුවක් දුන්න. නමුත් කණගාටුවට කරුණ තමයි, ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව හෝ අනෙක් රාජ්‍ය ආයතන මෙතෙක් කිසිම සාධනීය පියවරක් අරගෙන නැහැ. ඒ වෙනුවට ජනාධිපති අනුර, නෞකා සමාගම එක්ක සාකච්ඡා කරන්න දැන් නීති විරෝධී කමිටුවක් පිහිටුවල තියෙනව.
මම මාස ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පෙත්සම් විභාගයට සහභාගි වුණා. දෙපැත්තම මතුකරන තර්ක, විතර්ක අහගෙන හිටිය.
හානිය කීයද?

සමුද්‍රීය පරිසර අධිකාරිය පත්කරපු විශේෂඥ කමිටුවේ දෙවෙනි අන්තර්වාර වාර්තාවේ කියන විදියට එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ලංකාවට සිදුවුණ හානිය ඩොලර් බිලියන 6.4ක්. නමුත් ඒක අවසාන තක්සේරුව නෙවෙයි. විශේෂඥ කමිටුව කියන්නේ ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වල තමයි අවසාන තක්සේරුව කරන්න වෙන්නේ කියල. ව්‍යසනයේ සැබෑ හානිය අඩුම ගානේ ඩොලර් බිලියන 10ක් වත් විය යුතුයි කියන එක තමා පරිසර යුක්ති කේන්ද්‍රයේ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ වගේ පරිසරවේදීන්ගේ මතය.
ඒක අවසාන වාර්තාව නොවෙයි නම් ඇයි මීපා ආයතනය ඒ විශේෂඥ කමිටුවේ කාලය දීර්ඝ නොකළේ ? මට දැනගන්න ලැබුණ විදියට 2023 ජනවාරි මාසෙන් පස්සේ කමිටුවේ කාලය දීර්ඝ කරන්න, රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිල නැහැ.
ඒත් නෞකා සමාගම කියන්නේ නැව ගිනිගන්න වෙලාවේ ලංකාවේ බලධාරීන් වහාම පියවර ගන්න සමත්වුණේ නැහැ කියල. ඒ නිසා ඩොලර් බිලියන 6.4ක තක්සේරුව කිසිසේත්ම පිළිගන්න බැහැ කියල තමයි නෞකා සමාගමේ තර්කය වෙලා තියෙන්නේ.

විශේෂයෙන්ම විශේෂඥ වාර්තාවෙන් ඩොලර් බිලියන 3ක් පමණම වෙන්කරලා තියෙන්නේ කැස්බෑවන්ට සිදු වුණ හානිය වෙනුවෙන් වුණත්, කැස්බෑවන්ගේ මරණ පරීක්ෂණ සියල්ලේම පාහේ මරණයට හේතුව ගැන නිගමනයකට එළඹිලා නැති බව නෞකා සමාගම වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්නලා දුන්න. එහෙම අසම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරලා ඩොලර් බිලියන තුනක් ඉල්ලන්නේ කොහොමද කියල ඔහු ප්‍රශ්න කළා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තවත් විශේෂ කරුණක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළා. ඒ තමයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධ පූර්ණ අධිකරණ බලය සිංගප්පූරුවට පවරමින් නීතිපති දෙපාර්තමේන්තුව සහ නෞකා සමාගම සම්මුතියකට අත්සන් කරලා තියන බව. ඒ බව අනාවරණය කෙරුණ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පුදුම වුණා.
වරද ලංකාවෙලු!

නෞකාවේ දේශීය නියෝජිත සමාගම ඇතුළු පාර්ශවකරුවන්ට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව ලංකාවේ අධිකරණයෙත් නඩුවක් පවරලා තියෙනව. ඒකෙ චුදිතයෙක් වන නෞකාවේ කපිතාන් Vitaly Tyutkalo ට අද වෙනතුරුම ලංකාවෙන් පිටවෙන්න තහනම්. ඒ නඩුව ගැන අදහස් දක්වමින් කපිතාන් විතාලි මෑතදී සංදේශය නාලිකාවට කිවුවේ සම්පූර්ණ වරද ලංකාවේ බලධාරීන්ගේ අතේ කියල (ලින්කුව කොමෙන්ටුවේ). නමුත් ඔහු කරන ඒ චෝදනාව සනාථ කරන්න කිසිම විශ්වසනීය සාක්ෂියක් නැහැ.
මූලික හිමිකම් පෙත්සම් විභාගයේදීත් නෞකා සමාගම දිගටම කියන්න උත්සහ කළේ ලංකාවේ අදාළ ආයතන තමන්ගේ වගකීම ඉටු කළා නම්, ගින්න නිවන්න නැවට සහයෝගය දුන්න නම් මේ ව්‍යසනය වලක්වගන්න තිබුණ කියල. හාබර් මාස්ටර් නිර්මාල් ද සිල්වා 2021 ජුනි 03 වෙනිදා මාධ්‍ය හමුවකදී කරපු ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් අම්ල කාන්දුව එතරම් බරපතල සිදුවීමක් නොවන බව නිර්මාල් ද සිල්වා සඳහන් කරපු බව.
ඒත් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ දිගින් දිගටම කිවුවේ නයිට්‍රික් අම්ල කාන්දුවට පිළියම් යෙදීම සහ ගින්න නිවා ගැනීම නෞකාවේ වගකීමක් කියල. ඒ සඳහා නෞකාවට පහසුකම් සැලසීම පමණයි ලංකාවේ ආයතනවල වගකීම කියල නෙරින් පුල්ලේ අවධාරණය කළා.
ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් රනිල් වික්‍රමසිංහ යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙ හැසිරීම සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යටතෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ හැසිරීම අතරෙ පැහැදිලි වෙනසක් දකින්න තිබුණ. ලංකාවේ සමුද්‍ර තීරයට එන්න කලින් නයිට්‍රික් අම්ල කාන්දුව දැනුම් දුන්නෙ නැහැ කියල අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ නෞකා සමාගමට චෝදනා කළා. ඒ වගේම නෞකාවෙ තිබුණ භාණ්ඩ (dangerous goods) ගැන හිතාමතාම බොහෝ කරුණු වසං කළා කියල දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් ඔහු පෙන්නල දුන්න. ඔහු කිවුවෙ, නෞකාවට අවශ්‍ය වෙලා තිබුණෙ ලංකාව කුණු බක්කියක් විදියට පාවිච්චි කරන්නයි කියල.

පැහැදිලිවම රොමේෂ් ද සිල්වා ගේ උත්සාහය වෙලා තිබුණේ ලංකාවේ බලධාරීන් පැත්තට බොලේ පාස් කරලා ගෙවිය යුතු වන්දි මුදල අඩුකර ගැනීම. ව්‍යසනය වෙලාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (මීපා ආයතනයේ) හැසිරීමත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ විවේචනයට ලක්වුනා. ඇත්තෙන්ම ඒ වෙලාවේ මීපා ආයතනය ගත් පියවර ප්‍රමාණවත් ද කියල විභාගය අතරවාරයේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුත් කිහිප වතාවක්ම ප්‍රශ්න කළා. පෙත්සම්කරුවනුත් මීපා ආයතනය විත්තිකරුවෙක් විදියට නම් කරලා තියෙනව.
ව්‍යසනය වෙලාවේ මීපා ආයතනයේ සභාපති ධුරය දැරුවේ නීතිවේදිනී දර්ශණී ලහඳපුර. ඇයත් මේ පෙත්සම්වල විත්තිකාරියක්. මේ චෝදනා ගැන ඇහුවම නීතිවේදිනී දර්ශණී ලහඳපුර ඒ ගැන ප්‍රතිචාරයක් පළකිරීම ප්‍රතික්ෂේප කළා. ව්‍යසනය වෙලාවේ තමන් මුහුණ දුන්න තත්වය සහ ගත්ත ක්‍රියාමාර්ග ගැන සම්පූර්ණ වාර්තාවක් හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ගේ සභාපතිත්වයෙන් තිබුන පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළත්, ඇය දුන්න වාර්තාව කාරක සභාවේ අවසාන වාර්තාවට ඇතුළත් කරලා නැති බව ඇය සඳහන් කළා. ඒ නිසා කාරක සභාවට දුන්න වාර්තාවත්, ශ්‍රේෂ්ඨාධිකරණයට ඇය ලිඛිතව ඉදිරිපත් කරන පූර්ණ ප්‍රතිචාරයත් නඩු විභාගයෙන් පස්සේ ප්‍රසිද්ධියට පත්කරන බව දර්ශනී ලහඳපුර පවසනව.
ඒ අතරෙ ඇය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී හිටපු ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර Dan Malika Gunasekera අවධාරණය කළේ, X-Press Pearl නැව ලංකාවට එන වෙලාවේ එය මුහුදේ ගමන් කිරීමට නොසුදුසු තත්වයක (unseaworthy) තිබුණ බව.
වන්දිය ඩොලර් මිලියන 15යි!

කොහොම වුණත් මූලික අයිතිවාසිකම් පෙත්සම් කියන්නේ නෞකාවෙන් සම්පූර්ණ අලාභය ඉල්ලන සිවිල් නඩුවක් නෙවෙයි. වන්දි ඉල්ලන නඩුව ලංකාවේ පවරනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අනුමැතිය ඇතුව එවකට නීතිපතිවරයා ඒ නඩුව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයට අරගෙන ගියා. එහෙම කළේ ඇයි කියල නීතිපති දෙපාර්තමේන්තුව මතුකරන තර්ක පිළිගන්න අමාරුයි කියන එක තමා ලංකාවේ බොහෝ දෙනාගේ මතය.
ඒත් සිංගප්පූරුවේ නඩුව වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා. නඩුව සිංගප්පූරුවේ පවරන්න උපදෙස් දීපු Sparke Helmore ඕස්ට්‍රේලියානු නීතිඥ සමාගම වෙනුවෙන් වැය කරල තියන මුදල හෙලිකිරීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන විදියට ශ්‍රී ලංකාව ඒ සමාගමට ඩොලර් මිලියන 3.5 ක් ගෙවල තියෙනව.
නමුත් ඔබ දන්නවද මෙතෙක් ලංකාවට ලැබුණු සම්පූර්ණ වන්දිය ඩොලර් මිලියන 15කට වැඩි නෑ කියල?
ඒ කියන්නේ ඩොලර් මිලියන 15ක වන්දියක් ලබාගන්න ලංකාව අඩුම තරමින් ඩොලර් මිලියන 13.5ක්වත් වියදම් කරනව. (බොහෝ විට ඊට වැඩි මුදලක්) ඇත්තටම ඊට වඩා හොඳ නැද්ද මේ එක නඩුවක්වත් නොදා හිටිය නම්?
මේක නූල් බෝලයක් වගේ පැටළුණු හරිම සංකීර්ණ කතාවක්. මේ ඒ කතාවේ කුඩා සාරාංශයක් විතරයි. Pulitzer Centre ආයතනයේ Ocean Reporting Network කණ්ඩායමේ සාමාජිකයෙක් (Fellow) විදියට මේ ව්‍යසනය ගැන මම මාස ගණනක් ගවේෂණය කළා. ඒ ගවේෂණය තවමත් අවසන් නැහැ.

රනිල් ප්‍රමුඛ ආණ්ඩුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් කල් මරමින් ඉන්න අතරෙ විශේෂයෙන්ම පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ Hemantha Withanage සහ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ Dr. Ravindranath Dabare දෙදෙනාගෙ මැදිහත්වීමෙන් දැවැන්ත වෙහෙසක් දරල ඉදිරිපත් කරපු පෙත්සම්වල තීන්දුව දීල අවුරුද්දකට පස්සෙත් ඒ තීන්දුව ක්‍රියාත්මක කරගන්න මාලිමාව ආණ්ඩුවේ හෝ අනෙකුත් රාජ්‍ය ආයතනවල කිසිම උනන්දුවක් නැතිවීම මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේම අවාසනාවක්. ඒ වගේම එක අගවිනිසුරුවරයෙක් දීපු තීන්දුවක් ඊළඟ අගවිනිසුරුවරයා යටතේ නීති විරෝධී විදියට වෙනස්කිරීම ඇත්තෙන්ම ඛේදවාචකයක්.
ඒ ගැන සම්පූර්ණ විස්තරය ඉදිරි වාර්තාවකින් ඔබ වෙත ගෙන එන්නම්.
(සටහන | සරෝජ් පතිරණ)බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුලි 23
2025 මැයි 21 වෙනි දින තැබූ ෆේස්බුක් සටහනක සංස්කරණය කරන ලද පිටපතකි




