The Leader News
BREAKING
ජාතික ආරක්ෂාවට මුවා වී තොරතුරු සැඟවිය හැකිද?●ගොන්කෝ සම්මානලාභී ප්‍රංශ ලේඛකයා පොත ලියන්න AI යොදාගත් හැටි●මහාචාර්ය නාමල් විජයසිංහ හෙළිදරව් කරන ස්වභාවික මරණයේ විද්‍යාව●සිරසට දුන් කෝටි 10 ආණ්ඩුවට කැලලක්ද?●Gen Z රැල්ල සහ ඇමරිකානු නිල් සුනාමිය!●බුදුන්ගේ රස්තියාදුව, කේ.කේ. සමන් කුමාර සහ තිස්ස ජනනායක●නාලන්දාව කේන්ද්‍රකර ගනිමින් පාසල්වලට එන ඉන්දීය විද්‍යාගාර විප්ලවය●අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: රනිල්ගේ මනමේ මතකය සහ කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාව●ක්‍රිෂ් ගනුදෙනුවේ ජානකී යළි රිමාන්ඩ්: නාමල්ටත් අධිකරණ නියෝගයක්●බදු සහන පොරොන්දු සහ බිම් මට්ටමේ ආර්ථිකය: නාමල්ගෙන් ප්‍රශ්න●
Top Ad
Life

මහාචාර්ය නාමල් විජයසිංහ හෙළිදරව් කරන ස්වභාවික මරණයේ විද්‍යාව

Awara

Awara

November 6, 2026 • 3:44 PM

මහාචාර්ය නාමල් විජයසිංහ හෙළිදරව් කරන ස්වභාවික මරණයේ විද්‍යාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිගු කලක් රෝගාතුරව, සිහිය දුර්වල වී සිටි තම පියාණන් ඉතා විස්මිත අයුරින් හිටි හැටියේම හොඳින් කතා කොට, අවට සිටින ඥාතීන් හඳුනාගෙන පමණක් නොව පැරණි මතකයන් ද සිහිපත් කර, ඊට ඉතා ආසන්න මොහොතක මියගිය බව පසුගිය දිනයක අපගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි කාන්තාවක් පැවසුවා ය.
  • ඇය මෙම තත්ත්වය හැඳින්වූයේ තම පියාණන්ගේ පරලොව දිවිය යහපත් වීම පිළිබඳ පැහැදිලි පෙරනිමිත්තක් ලෙසිනි.
  • එය සෑම මරණාසන්න පුද්ගලයකුටම සිදුවන දෙයක් නොවන අතර, යම් රෝගියකු හදිසියේ සිහියෙන් කතා කිරීම පමණින් මරණය ආසන්න බව කිසිසේත්ම නිගමනය කිරීමට ද නොපුළුවන.
  • මේ අතර සමහර මරණාසන්න පුද්ගලයෝ තමන්ට කලින් මියගිය මව, පියා හෝ සමීප ඥාතියකු පෙනෙන බව හඟවමින් ඔවුන් සමඟ කතාබස් ද කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

දිගු කලක් රෝගාතුරව, සිහිය දුර්වල වී සිටි තම පියාණන් ඉතා විස්මිත අයුරින් හිටි හැටියේම හොඳින් කතා කොට, අවට සිටින ඥාතීන් හඳුනාගෙන පමණක් නොව පැරණි මතකයන් ද සිහිපත් කර, ඊට ඉතා ආසන්න මොහොතක මියගිය බව පසුගිය දිනයක අපගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි කාන්තාවක් පැවසුවා ය. ඇය මෙම තත්ත්වය හැඳින්වූයේ තම පියාණන්ගේ පරලොව දිවිය යහපත් වීම පිළිබඳ පැහැදිලි පෙරනිමිත්තක් ලෙසිනි.

ඒ සම්බන්ධයෙන් විවිධ ආගමික අර්ථ නිරූපණ තිබිය හැකි වුවත්, මෙය මරණයට ආසන්න අවස්ථාවේදී හදිසියේ ඇතිවන මානසික පැහැදිලිභාවය (Terminal Lucidity) ලෙස හඳුනාගත හැකි බවත්, විශේෂයෙන්ම මතකය හා සංජානනය දුර්වල කරන ඩිමෙන්ෂියා (Dementia) රෝගයෙන් පෙළෙන අය සම්බන්ධයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත් මම ඇයට පැවසුවෙමි.

මරණාසන්න මානසික පැහැදිලිභාවය සහ දර්ශන


මරණාසන්න මානසික පැහැදිලිභාවය (Terminal Lucidity) පිළිබඳ වාර්තා තිබුණ ද එහි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය තවමත් පැහැදිලිව තහවුරු වී නැත. එය සෑම මරණාසන්න පුද්ගලයකුටම සිදුවන දෙයක් නොවන අතර, යම් රෝගියකු හදිසියේ සිහියෙන් කතා කිරීම පමණින් මරණය ආසන්න බව කිසිසේත්ම නිගමනය කිරීමට ද නොපුළුවන.

මේ අතර සමහර මරණාසන්න පුද්ගලයෝ තමන්ට කලින් මියගිය මව, පියා හෝ සමීප ඥාතියකු පෙනෙන බව හඟවමින් ඔවුන් සමඟ කතාබස් ද කරති. මේ සඳහා විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් තුළ විවිධ අර්ථකථන තිබේ. මෙවැනි අත්දැකීම් සඳහා දර්ශන අත්දැකීම් (Vision-like Experiences) යන යෙදුම භාවිත කළ හැකිය.

වෛද්‍ය විද්‍යාවේදී භ්‍රාන්තිය (Hallucination) යනු බාහිරව සැබෑ උත්තේජනයක් නොමැතිව යමක් දකින, අසන හෝ දැනෙන අත්දැකීමකි. මරණාසන්න අවධියේදී මෙවැනි අත්දැකීම් ඇතිවීමට මොළයේ රසායනික සමතුලිතතාව වෙනස් වීම, ඖෂධවල අතුරු ප්‍රතිඵල, ඔක්සිජන් හිඟවීම, ආසාදන, උණ සහ හදිසියේ ඇතිවන සිහිවිකල් බව (Delirium) හේතු විය හැකිය.

මරණය සහ මිනිසා තුළ පවතින කුතුහලය


මරණය යනු ජීවිතයේ කවරදාක හෝ මුහුණදීමට සිදුවන අනිවාර්ය ජීව විද්‍යාත්මක සංසිද්ධියකි. එහෙත් මරණය පිළිබඳ මිනිසා තුළ පවතින කුතුහලය කිසිදා අවසන් වන්නේ නැත. ස්වභාවික මරණයක් ආසන්න වන විට තමන්ට ඒ බව යම් ආකාරයකින් දැනෙනවාද? මරණයට පෙර ශරීරයේ වෙනස්කම් සිදුවන්නේ කෙසේද? තමන්ගේ අත්පා තමන්ට අයිති නැති බවක් දැනීම, අවට ලෝකයෙන් ඈත්වූ බවක් හැඟීම හෝ කලින් මියගිය ඥාතීන් පෙනෙන බව පැවසීම වැනි අත්දැකීම්වලට වෛද්‍ය විද්‍යාත්මක පදනමක් තිබේද? මේවා බොහෝ දෙනකු තුළ දැඩි කුතුහලයක් දනවන මාතෘකාවන්ය.

මේවා හුදෙක් ජනප්‍රවාද හෝ අද්භූත විශ්වාස ලෙස බැහැර කළ හැකි කරුණු නොවේ. ඒවායින් සමහරක් මරණාසන්න අවධියේදී ඇතිවිය හැකි කායික හා මානසික වෙනස්කම් සමඟ කවරාකාරයකින් හෝ සම්බන්ධ වන අතර, තවත් සමහරක් පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීම් තවමත් සම්පූර්ණ වී නැත. එපමණකින්ම ප්‍රමාණවත් කරුණු නොමැතිව ඒවා අද්භූත සංසිද්ධීන් ලෙස සැලකිය යුතු ද නොවේ.

මෙහිදී අප මුලින්ම පැහැදිලි කරගත යුතු වැදගත්ම කරුණ නම්, ස්වභාවික මරණයක් යනු මරණයට පෙර අනිවාර්යයෙන්ම දින කිහිපයක් තිස්සේ විශේෂ ලක්ෂණ පෙන්වන මරණයක් පමණක් නොවන බවයි. හෘදයාබාධයක්, ආඝාතයක් හෝ වෙනත් අභ්‍යන්තර රෝගී තත්ත්වයක් හේතුවෙන් කිසිදු පැහැදිලි පූර්ව දැනුම්දීමකින් තොරව ද හදිසි ස්වභාවික මරණ සිදුවිය හැකිය.


ස්වභාවික මරණය සහ නීති වෛද්‍ය වර්ගීකරණය

ස්වභාවික මරණය සඳහා ඉංග්‍රීසියෙන් භාවිත වන්නේ Natural Death යන යෙදුමයි. එයින් අදහස් වන්නේ අනතුරක්, ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ වෙනත් බාහිර බලපෑමක් නිසා නොව, ශරීරයේ අභ්‍යන්තර රෝගී හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් සිදුවන මරණයකි. උදාහරණ ලෙස හෘදයාබාධය, පිළිකා රෝගය, ආඝාතය, නිදන්ගත පෙනහළු රෝග, වයසට යෑම හා සම්බන්ධ ශාරීරික පිරිහීම සහ වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රිය රෝග දැක්විය හැකිය.

නීති වෛද්‍ය විද්‍යාවේදී මරණය සිදුවූ ආකාරය (Manner of Death) ප්‍රධාන කාණ්ඩ පහක් යටතේ හඳුනාගනී:


* ස්වභාවික මරණය (Natural): ශරීරයේ අභ්‍යන්තර රෝගී හෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් සිදුවන මරණය.
* හදිසි අනතුරකින් සිදුවන මරණය (Accident): අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් සිදුවන මරණය.
* සියදිවි නසාගැනීම (Suicide): පුද්ගලයා විසින්ම තම ජීවිතය අවසන් කරගැනීම.
* වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාවකින් සිදුවන මරණය (Homicide): වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාවක් හේතුවෙන් සිදුවන මරණය.
* නිශ්චය කළ නොහැකි මරණය (Undetermined): මරණය සිදුවූ ආකාරය නිශ්චිතව තීරණය කළ නොහැකි අවස්ථාව.


මෙහිදී Homicide යන්නෙන් සෑමවිටම මිනීමැරුමක් හෝ අපරාධයක් අදහස් නොවේ. එය වෙනත් පුද්ගලයකුගේ යම් ක්‍රියාවක් හේතුවෙන් මරණය සිදුවූ බව දැක්වෙන නීති වෛද්‍ය වර්ගීකරණයකි. මරණයට හේතුව (Cause of Death) සහ මරණය සිදුවූ ආකාරය (Manner of Death) යනු එකිනෙකට වෙනස් කරුණු දෙකකි. උදාහරණයක් ලෙස හෘදයාබාධයක් යනු මරණයට හේතුව විය හැකි අතර, එය ස්වභාවික මරණයක් ලෙස වර්ගීකරණය කෙරේ.

ජීවිතයේ අවසාන අවධියේ කායික වෙනස්කම්

වෛද්‍ය විද්‍යාවේදී ජීවිතයේ අවසාන අවධිය හැඳින්වීමට End-of-Life Phase සහ Active Dying Phase යන යෙදුම් භාවිත වේ. මෙය පිළිකා, හෘද රෝග, පෙනහළු රෝග සහ වෙනත් සුව කළ නොහැකි හෝ අවසාන අදියරට පැමිණි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ රැකවරණයේදී සැලකිල්ලට ගන්නා තත්ත්වයකි.
සියලුම පුද්ගලයන් මරණයට පෙර එකම ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත. බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) සහ ජාතික සෞඛ්‍ය හා සත්කාර විශිෂ්ටතා ආයතනය (NICE) පෙන්වා දෙන්නේ මරණාසන්න ලක්ෂණ හඳුනාගැනීම සඳහා එක් ලක්ෂණයක් පමණක් නොව, රෝගියාගේ සමස්ත ශාරීරික හා මානසික තත්ත්වය සැලකිල්ලට ගත යුතු බවයි.


| ආහාර හා ජලය ගැනීම අඩුවීම:
මරණය ආසන්න වන විට ආහාර ගැනීමට ඇති කැමැත්ත ක්‍රමයෙන් අඩුවේ. ඇතැම්විට ආහාර ගිලීම පවා අපහසු විය හැකිය. මෙය ශරීරයේ පරිවෘත්තීය
ක්‍රියාකාරීත්වය හා ආහාර ජීර්ණ අවශ්‍යතා වෙනස් වීමත් සමඟ සම්බන්ධ වේ.

| අධික නිදිමත හා ශක්තිය අඩුවීම:
පෙර මෙන් ක්‍රියාශීලීව සිටීමට නොහැකි වීම, වැඩි වේලාවක් නිදාගැනීම, අවදිව සිටින කාලය අඩුවීම සහ කතාබහට ඇති කැමැත්ත අඩුවීම මෙහිදී දැකිය හැකිය.

| හුස්ම ගැනීමේ රටාව වෙනස් වීම:
චේන්-ස්ටෝක්ස් ශ්වසන රටාවේදී (Cheyne-Stokes Respiration) හුස්ම ගැනීමේ ගැඹුර හා වේගය වරින් වර වෙනස් වේ. වේගයෙන් හුස්ම ගෙන පසුව සුළු වේලාවකට හුස්ම ගැනීම නතර වී නැවත ආරම්භ විය හැකිය. උගුරේ ශ්ලේෂ්මල එකතු වීම නිසා ගොරගොර ශබ්දයක් ඇසෙන අතර එය මරණාසන්න ශ්වසන ගොරෝසු ශබ්දය (Death Rattle) ලෙස හැඳින්වේ. එම ශබ්දය පවුලේ අයට බියජනක වුවත්, එයින් පමණක් රෝගියා දැඩි වේදනාවකින් සිටින බව නිගමනය කළ නොහැකිය.

| අත්පා සීතල වීම හා සමේ පැහැය වෙනස් වීම:
රුධිර සංසරණයේ වෙනස්කම් නිසා අත්පා සීතල විය හැකිය. සමහර ප්‍රදේශ නිල්, දම් හෝ පැල්ලම් සහිත ස්වභාවයක් ගැනීම Mottling of the skin ලෙස හැඳින්වේ.

| මුත්‍රා පිටවීම සහ සිහිය අඩුවීම:
වකුගඩු ක්‍රියාකාරීත්වය වෙනස් වීමත් සමඟ මුත්‍රා ප්‍රමාණය අඩුවී වර්ණය තද වේ. අවට පරිසරය පිළිබඳ අවබෝධය අඩුවීම, කතා කිරීමට අපහසු වීම සහ ප්‍රතිචාර නොදැක්වීම වැනි තත්ත්වයන් ද මතුවිය හැකිය.

මනෝකාය සංකල්පය සහ ශරීරයෙන් පිටවීම


මරණාසන්න මොහොතේ පසුවන සමහර පුද්ගලයෝ තමන්ගේ ශරීරය පිළිබඳ අමුතු අත්දැකීම් විස්තර කරති. තමන්ගේ අත්පා තමන්ට අයිති නැති බවක් දැනීම, තමන්ගේ ශරීරය පිටතින් බලා සිටිනවා වැනි හැඟීමක් ඇතිවීම, තමන් කරන ක්‍රියාවන් තමන්ගේ පාලනයෙන් තොරව සිදුවන බවක් දැනීම සහ අවට ලෝකය යථාර්ථයක් නොවන බවක් හැඟීම ඒ අතුරින් කිහිපයකි.

මනෝ වෛද්‍ය විද්‍යාවේදී මෙවැනි අත්දැකීම් හැඳින්වීමට Depersonalization සහ Derealization යන යෙදුම් භාවිත වේ. මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD-10 වර්ගීකරණය යටතේ F48.1 කේතයෙන් Depersonalization-Derealization Syndrome ලෙස නම් කර තිබේ. දැඩි මානසික ආතතිය, කාංසාව, ඇතැම් මානසික රෝග සහ ස්නායු පද්ධතියේ වෙනස්කම් සමඟ ද මේවා ඇතිවිය හැකිය.

ශරීරයෙන් පිටත සිට තමන් දෙස බලා සිටිනවා වැනි හැඟීම Out-of-Body Experience ලෙස හැඳින්වේ. සමාජයේ ප්‍රචලිත “මනෝකාය” නම් සංකල්පයේ මූලාරම්භය මෙවැනි අත්දැකීම් සමඟ සම්බන්ධ විය හැකි වුවත්, එය මෙලොවින් බැහැර පාරභෞතික අත්දැකීමක් සේ සලකන්නට විද්‍යාත්මක සාක්ෂි නොමැත. මොළය ශරීරය පිළිබඳ අවබෝධය ගොඩනඟන සංවේදන අතර සම්බන්ධීකරණය බිඳවැටුණු විට මෙවැනි අසාමාන්‍ය හැඟීම් ඇතිවන බව ස්නායු විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිය.

මරණාසන්න නොසන්සුන්බව සහ යමපල්ලන්ගේ කතාව

මරණය ආසන්න වන විට ඇතැම් පුද්ගලයන් අසාමාන්‍ය ලෙස නොසන්සුන් විය හැකිය. මෙය Terminal Restlessness ලෙස හැඳින්වේ. ඇඳ ඇතිරිලි ඇදීම, නිතරම ඉරියව් වෙනස් කිරීමට උත්සාහ කිරීම, අත්පා සෙලවීම, හේතුවක් නොමැතිව කතා කිරීම හෝ කෑගැසීම, අවට සිටින අය හඳුනාගැනීමට අපහසු වීම වැනි ලක්ෂණ මෙහිදී මතුවේ.

ඇතැමුන් මෙය පුද්ගලයා අපායට ඇදගෙන යාමට යමපල්ලන් පැමිණ ඇති බවට අර්ථ දැක්වුව ද එය හුදු මනඃකල්පිතයක් පමණි. වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව, ආසාදන, ඖෂධවල බලපෑම සහ මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඊට හේතු විය හැකිය. එවැනි පුද්ගලයකුට අවශ්‍ය වන්නේ බිය ගැන්වීම නොව, අපහසුතාව හඳුනාගෙන සුදුසු වෛද්‍ය සහන සැලසීමයි.

සමහරු මරණයට පෙර තමන්ට ජීවිතයේ අවසානය ළඟා වී ඇති බවක් දැනෙන බව පවසා අවසන් උපදෙස් ලබාදීම හෝ සමාව ඉල්ලීම සිදුකරති. මොළයට හෘද ස්පන්දනය, හුස්ම ගැනීම සහ වේදනාව පිළිබඳ සංඥා ලැබීම Interoception ලෙස හැඳින්වේ. තමන් මියයන නිශ්චිත වේලාව හෝ දිනය අභ්‍යන්තර සංවේදනයක් මඟින් නිවැරදිව දැනගත හැකි බවට වෛද්‍ය සාක්ෂි නොමැති අතර, එය මරණය පුරෝකථනය කිරීමේ විශ්වාසදායක ක්‍රමයක් නොවේ.

සහනදායී සත්කාරය සහ අවසාන මොහොත


මෙහි සඳහන් සමහර ලක්ෂණ වෙනත් ප්‍රතිකාර කළ හැකි රෝගී තත්ත්වයන් නිසා ද ඇතිවිය හැකිය. හදිසියේ සිහිය වෙනස් වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මුත්‍රා පිටවීම අඩුවීම සහ අධික නොසන්සුන් බව කලින් එවැනි රෝගයක් නොතිබූ අයකුට හදිසියේ මතුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

සුව කළ නොහැකි රෝගයක අවසාන අවධියට පැමිණි පුද්ගලයකුට සහනදායී වෛද්‍ය සත්කාර (Palliative Care) අතිශය වැදගත් වේ. එහි අරමුණ වන්නේ වේදනාව සහ පීඩනය අවම කරමින් රෝගියාටත් පවුලේ අයටත් උපරිම සුවපහසුව සැලසීමයි.

මරණාසන්න ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම වැදගත් වන්නේ බිය ඇති කරගැනීමට නොව, ආදරණීයයකුගේ අවසාන මොහොතේදී ඔහුට හෝ ඇයට තනිකමක් නොදැනෙන් සේ අවශ්‍ය සහනය, ගෞරවය සහ රැකවරණය ලබාදීමටයි. මරණයට පත්වන පුද්ගලයකුගේ අවසාන මොහොත දක්වාම ඉතිරිව පවතින ඉන්ද්‍රිය සංවේදනය ශ්‍රවණය බවට සැලකෙන බැවින්, මුළුමනින්ම ශරීරය අකර්මණ්‍ය වූ අයකුට වුවද යම්තාක් දුරට ඇසෙන හා වැටහෙන දේ තිබිය හැකි බව තේරුම් ගැනීම අතිශය වැදගත්ය.

උපුටා ගැනීම -  vinivida.lk

වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හෘදවේද විශේෂඥ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

View all stories by වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...