'ඩේලි නිව්ස්' පුවත් පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන් 26 දෙනා අතුරින් ඉහළම ලකුණු ලබාගත් දෙදෙනා බවය.
ශ්‍රී ලංකාව අවසාන වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේ මීට වසර 43කට පෙරය. ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, මිනි මැරීම මරණ දඬුවම ලබාදිය හැකි වරදවල් ලෙස ගැනෙන අතර, නමුත් 1976න් පසු මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරුණි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිහිප වරක් පවසා තිබේ.
2019 පෙබරවාරි මාසයේදී අළුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවීය.
එ සඳහා පුද්ගලයින් 102ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි. ඒ අතුරින් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිණි.
ඇමෙරිකානුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අළුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබු බව සඳහන් වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අළුගෝසු තනතුර මීට වසර පහකට පමණ පෙර පුරප්පාඩු වූයේ එම තනතුරේ සිටි පුද්ගලයා ඉල්ලා අස්වීමෙන් පසුවයි.
ඉන්පසු තවත් අයෙක් එම තනතුර සඳහා පසුගිය වසරේ බඳවා ගෙන තිබු අතර ඔහු සේවයට වාර්තා නොකළ බව පැවසේ.
මරණ දණ්ඩනයට එරෙහි උද්ඝෝෂණයක්
ජුනි 26 වෙනිදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී තමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළිකළේය.
"මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනකුට මරණ දඬුවම් ලබා දීමට මේ වන විට අත්සන් තබා තියෙන්නේ," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී පැවසීය.
"ඒ පුද්ගලයන්ට තවම මේ පිළිබඳව දැනුම් දී නැහැ. අපි ඒ වැරදිකරුවන්ගේ නම් හෙළිකරලා නෑ. නම් හෙළි කළොත් බන්ධනාගාර තුළ ගැටුම් ඇති වේවි."
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 200,000 පමණ සිටින බව පැවසු ජනාධිපතිවරයා සිරකරුවන්ගෙන් 60%ක් පමණ මත්ද්‍රව්‍ය වැරදි නිසා දඬුවම් විඳින අය බවද කීය.
නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම තීරණය නිසා ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය ඉහළ යා හැකි බවය.
ඊළඟ ජනාධිපතිවරණය 2019 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය.
මේ වන විට මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා ඉදිරිපත් කර සිටින මුළු සිරකරුවන් ගණන 1261 කි.
බන්ධනාගාර වාර්තා අනුව එයින් 297 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.
මරණ දඬුවම හිමිවී ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 823 දෙනෙකි. ඉන් 36 දෙනෙකු කාන්තාවක් වේ.
තෝරාගත් ආකාරය ගැන ගැටලුවක් !
මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 04 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය මේ වනවිට රටපුරා ප්‍රබල සංවාදයක් ඇතිකර තිබේ.
එහෙත් මරණ දඬුවම නියම වූ බොහෝ පිරිසකගෙන් එම දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෙලෙස 04 දෙනෙකු තෝරාගත්තේ කෙසේදැයි ජනාධිපති නීතිඥ යු. ආර්. ද සිල්වා ප්‍රශ්න කරයි. මෙහි කාර්ය පටිපාටියේ දෝෂයක් පවතින බව 'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් ඔහු පැවසිය.
"2018 වසරේ සංඛ්‍යාලේඛන අනුව 1299ක් මරණීය දණ්ඩනය සඳහා නියම වෙලා තියෙනවා. නමුත් මරණ දඬුවමට අභියාචනයන්ගෙන් පසුව නියම වෙලා ඉන්නේ 459 දෙනයි. කාන්තා 05 දෙනයි, විදේශිකයින් 06 දෙනයි. මේ අයගෙන් එතුමා කොහොමද 04 දෙනෙක් තෝරන්නෙ..." යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
(උපුටා ගැනීම් :බීබීසී සිංහල සේවය)



