BREAKING
Top Ad
පුවත්

ජාතක කතා විමර්ශන 11 - ජාතක කතාවෙන් පිළිබිඹු වන ළමා අපයෝජන

T

The Leader

September 25, 2021 • 2:20 AM

 ජාතක කතා විමර්ශන 11 - ජාතක කතාවෙන් පිළිබිඹු වන ළමා අපයෝජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘ළමා අපයෝජන’’ නමැති දෙවදන සවන වැකුණ සැණින් ම බොහෝ දෙනෛකු සිතන්නේ ළමයකුට කිසියම් ලිංගික ක්‍රියාවක් සිදුකළා හෝ සිදුකිරීමට යත්න දැරුවා ය යන්න ය.
  • මීට අමතරව ළමා ශ්‍රමය ලබාගන්නා හාම්පුතුන් අතින් ද බරපතළ ලෙස ළමා අපයෝජන සිදුකෙරේ.
  •       # ඡත්තපානි ජාතකය   # තිපල්ලත්ථ මිග ජාතකය   # චුල්ල ධම්මපාල ජාතකය   # ලොසක ජාතකය       යට සඳහන් ජාතක කතා සියල්ලෙහි ම සඳහන් වන්නේ ළමා අපයෝජන පිළිබඳ සිද්ධි දාමයකි.
  •     ඡත්තපානි ජාතකය:   මෙම ජාතක කතාව, ජාතක කතා පොතේ සඳහන් කුරිරු ම සිද්ධියක් අන්තර්ගත ජාතක කතාව යැයි පැවසුව ද එය අතිශයෝක්තියක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
නමුදු ‘‘අපයෝජනය’’ යනුවෙන් හැඳින්වෙන්නේ ළමයෙක හට බලහත්කාරී හෝ ස්ව කැමැත්ත ඇතිව ලිංගික ක්‍රියාවක් සිදු කිරීම පමණක් ම නොවේ. ළමයෙකුගේ ශාරීරික හෝ මානසික වර්ධනයට හානි පමුණුවන ඕනෑම ක්‍රියාවක් ‘‘ළමා අපයෝජනයක්’’ලෙස හැඳින්විය හැකි ය. 
 
ඒ අනුව ළමයින් වඩ වඩාත් අපයෝජනයට ලක් වන්නේ සිය දෙමාපියන්ගෙන්, පසුපෙළ ආසන්නතම ඥාතින්ගෙන් (කුඩම්මා, කුඩප්පා, පියාගේ හෝ මවගේ පෙර විවාහයේ දරුවන්),  සහ ගුරුවර ගුරුවරියන්ගෙනි. මෙය පිළි ගත්ත ද නොගත්ත ද යථාර්ථය මෙය යි. මීට අමතරව ළමා ශ්‍රමය ලබාගන්නා හාම්පුතුන් අතින් ද බරපතළ ලෙස ළමා අපයෝජන සිදුකෙරේ.
 
ජාතක කතා අවධානයෙන් පරිශිලනය කරන්නේ නම් යට කී ළමා අපයෝජන පිළිබඳව කියැවෙන කතන්දර කිහිපයක් ම දැකගත හැකි ය.
 
 
 
# ඡත්තපානි ජාතකය
 
# තිපල්ලත්ථ මිග ජාතකය
 
# චුල්ල ධම්මපාල ජාතකය
 
# ලොසක ජාතකය
 
 
 
යට සඳහන් ජාතක කතා සියල්ලෙහි ම සඳහන් වන්නේ ළමා අපයෝජන පිළිබඳ සිද්ධි දාමයකි. මේ අතර ඍජුව ම ළමා ලිංගික අපයෝජන සිද්ධි පිළිබඳ කියවෙන ජාතක කතා කිහිපයක් ද ජාතක පොතේ අන්තර්ගත ය. 
 
ඒ පිළිබද විමර්ශනයක් ඉදිරියේ දී ලිවීමට බලාපොරොත්තු වන අතර අද විමසුමට ලක් කරන්නේ යට සඳහන් ජාතක කතා කිහිපයෙන් ප්‍රකට කෙරෙන ‘‘ළමා අපයෝජන’’ ක්‍රියා සම්බන්ධයෙනි.
 
 
ඡත්තපානි ජාතකය:
 
මෙම ජාතක කතාව, ජාතක කතා පොතේ සඳහන් කුරිරු ම සිද්ධියක් අන්තර්ගත ජාතක කතාව යැයි පැවසුව ද එය අතිශයෝක්තියක් නොවේ. මන් ද මෙම ජාතක කතාවෙන් කියවෙන්නේ ජත්තපානි නම් රජෙක් තමාගේ ම පුතා මරා, පිස ඒ මස් අනුභව කළ බව යි. 
 
 
 
 
ජාතක කතාවේ සඳහන්වන පරිදි ඡත්තපානි නම් රජු දැඩි ලෙස මාංශ අනුභවයට ලොල් වූවෙකි. එක් පොහොය දිනෙක ඔහුගේ ආහාර වේල සඳහා මස් නොතිබුණ හොයින් හෙතෙම බලවත් ලෙස කෝපයට පත්වන්නේ ය. ඔහුගේ කෝපය සන්සිඳවනු වස් බිසව රජු ඉදිරියට පැමිණ සිය පුතු පෙන්වන්නී ය. සුරා පානයෙන් මත්ව සිටින රජු එම ක්‍රියාවෙන් තව තවත් කෝප ගන්නේ ය. ඔහු වහා ඉදිරියට පැන  බිසවගෙන් දරුවා උදුරාගෙන, දරුවාගේ ගෙල මිරිකා මරයි.  වහාම අරක්කැමියා කැඳවා දරුවාගේ මස් පිසගෙන එන ලෙස අණ කරයි. අරක්කැමියා ද රජ අණට පිටුපෑ නොහැකි බැවින් රජුගේ ම දරුවාගේ මස් පිස දෙයි; රජු ද ඔහුගේ ම දරුවාගේ මස් අනුභව කරයි.
 
ජාතක කතකරුවා පවසන පරිදි රජු සුරා මතින් මිදුණ පසු සිය පුත් කුමරු තමා හමුවට රැගෙන එන්නැයි බිසවට පවසා ඇත.  බිසව රජුට ඔහු මීට පැය කිහිපයකට පෙර කළ සියලු ම දෑ පැවසීටමන් ඉත්බිති රජු පශ්චාත්තාපයට පත්වී ඇත. මෙම කතාව ජාතක කතා පොතේ සඳහන්වන්නේ සුරාපානයේ ආදීනව පසක් කරනු පිණිස ය.
 
Jathak
 
 
 
තිපල්ලත්ථ මිග ජාතකය:
 
 
මෙම ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන්නේ භික්ෂූහු සාමණේර වහන්සේලා නොතකා හැරි ආකාරය යි.
 
වර්තමානයේ මෙන් ම බුදුන් ධරමාන යුගයේ ද වැඩිමාලු භික්ෂූන් විසින් සාමණේර භික්ෂුන් සමලිංගික ක්‍රියා සඳහා පොලඹවාගන්නා ලද බව ද මෙම ජාතක කතාවෙන් ප්‍රකට කෙරෙන අතර එකම සෙනස්නෙහි වැඩිමාලු භික්ෂූන් සහ සාමණේර භික්ෂුන් එකට නොනිදන්නැයි යන (පාචිත්තියාපත්ති) විනය නීතිය පැනවූ බව සඳහන් කෙරෙන්නේ ද මෙම ජාතක කතාව තුළ ය. 
 
ඒ අන් කිසිවක් නිසා නොව වැඩිමාලු භික්ෂුන් විසින් සාමණේර භික්ෂුන් ලිංගික වශයෙන් මතු නොව වෙනත් ආකාරයෙන් ද අපයෝජනයට ලක් කරන බැවිනි; වැඩිමාලු භික්ෂුන් විසින් සාමණේර හිමිවරු නොතකා හරිනු ලබන බැවිනි.
 
මෙම ජාතක කතාව පිළිබඳ වු විමර්ශනයක් ජාතක කතා විමර්ශන 03 යටතේ පළ වුණි.
 
 
 
චුල්ල ධම්මපාල ජාතකය:
 
 
මෙම ජාතක කතාවේ විස්තර වන සිද්ධිය ද ඉතා බිහිසුණු ය; කුරිරු ය; තිරශ්චින ය. ජාතක කතාකරුවා පවන පරිදි මෙම කතාවෙන් පිළිබිඹු කෙරෙන්නේ පියා විසින් ඝාතනය කරන ලද දරුවකු පිළිබඳව ය.
 
 
ජාතක කතාකරුවා පවසන පරිදි චන්ද්‍ර දේවි නම් බිසව, සත්මසක් වයසැති  සිය දරුවා, නහවා, හඳුන් සහ සුවද විලවුන් ගල්වා මවු කිරි පොවමින් සිටි මොහොතක රජු බිසව සිටි කුටියට පැමිණ ඇත. ඒ මොහොතේ බිසව රජු පිළිබඳ කිසිදු තැකීමක් නොකර ම කුඩා දරුවාට කිරි පොවමින් සිට ඇත. 
 
එම සිද්ධියෙන් උරණ වූ රජු ආපසු රාජ සභා මණ්ඩපයට ගොස් සිංහාසනාරූඩව, වධකයා කැඳවා දරවා මරා දමන ලෙස අණ කර ඇත. රජ අණ යනු පිටුපෑ නොහැකි දෙයක් වූ බැවින් වධකයා ද බිසවගෙන් දරුවා උදුරාගෙන විත් කෑලි කෑලිවලට කපා මරා දමා ඇත. මෙය බොහෝ විට ලිංගික ඊර්ෂ්‍යාවෙන් කළ ක්‍රියාවක් බව පැහැදිලි ය. මෙය මිනී මැරුමක් සේ ම  එක්තරා ආකාරයක ළමා අපයෝජනයකි.
 
 
 
ලොසක ජාතකය:
 
මෙම ජාතක කතාවේ විශේෂත්වය වන්නේ මිථ්‍යා මත විශ්වාස කරන පිරිස් හේතුවෙන් සිදු වූ ඛේදවාචකයක් අළලා රචනා කර තිබීම ය. අනෙක් පසින් ‘‘ළමා අපයෝජන’’ යනු හුදෙක් ලිංගික අතවරවලට ලක්කිරීම පමණක් නොව ළමයෙකුට අවශ්‍ය ආහාර, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය ආරක්ෂණය, දෙමාපිය රැකවරණය සහ වෙනත් භෞතික අවශ්‍යතා නොතකා හැරීම යනාදිය ද ඊට අයත් වන බවයි.
 
buddha weekly buddha teaching the monks buddhism
 
ජාතක කතාකරුවා පවසන පරිදි බෝධිසත්වයෝ ආචාර්යවරයෙකුව වසන භවයක එගම විසු, බෝධිසත්වයන්ගෙන් ද ශිල්ප හදාරන එක්තරා දරුවෙක් පිළිබඳ ගම්දනව් පුරා ම මිථ්‍යා විශ්වාසයක් ගොඩනැගී ඇත. එනම් එගම වැසියන්ට සිදුවන සියලු ව්‍යසන සිදුවන්නේ එම දරුවාගේ උපතෙන් ඉක්බිති බවයි. 
 
එය හේතුවෙන් එගම වැසියෝ මේ දරුවා ගමෙන් පිටුවහල් කරන ලෙස බල කර ඇත. එතැන් සිට මේ දරුවා යන එන මං නොමැතිව, කුසට අහරක් නොමැතිව, නිසි සෞඛ්‍ය පහසුකමක් නොමැතිව, ඇඟ පත දොවාගැනීමට පවා දිය පොදක් නොමැති තරමට අසරණ වන්නේ ය. මෙම දරුවා මුහුණ දෙන සමස්ත ක්‍රියාවලියම අදාළ වන්නේ ද ළමා අපයෝජන තත්ත්වයට ය. 
 
යට සඳහන් කළ ජාතක කතා හතරෙන් ම ප්‍රකට කෙරෙන්නේ ලිංගික අපයෝජන නොවන එහෙත් ළමා අපයෝජන ඝනයට අයත් අපරාධ ය. ඉදිරි පියවරේ දී ජාතක කතාවල පිළිබිඹු කෙරෙන ඍජු ළමා ලිංගික අපයෝජන පිළිබඳ විමර්ශනයට ලක් කරමු.
 
 
Jayasiri Alawaththa
 
ජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
 
2021/09/25      
 
 
 
 
 
ජයසිරි අලවත්තගේ ජාතක කතා විමර්ශන කියවන්න :
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 

 

THE LEADER TV 
සිරිසේනගෙන් තව උගුලක්
 

බැසිල් - විමල් ගැටෙයි: අගමැති නිහඬයි !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතක කතා විමර්ශන 11 - ජාතක කතාවෙන් පිළිබිඹු වන ළමා අපයෝජන | The Leader