BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’ - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader

October 20, 2023 • 1:12 AM

බල්සාක් කැෆේ : පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’ - (මංජුල වෙඩිවර්ධන) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවසානයේ රත්න ශ්‍රී විජේසිංහ නම් අප ජ්‍යෙෂ්ඨ කිවිසුරු විසින් දෙමළා පීඩිතයා බවත් සන්නද්ධ සිංහල හමුදා නියෝජනය කරන්නේ ‘පීඩකයා’ බවත් උදෙසන ලදි.
  • මගේ අදහස වන්නේ ‘මතක පද’ අතරතුර සිදුවූ මෙම රත්න ශ්‍රීන්ගේ මෙම උදෙසීම, සමස්ථ සමාජය විසින් මඟහැර නොයා යුතු වැදගත් සංසිද්දියක් බව යි.
  • ගැමා විසින් ඒය මුලින් නිර්මාණය කෙරුණේ ගුවන් විදුලි නාලිකාවකට වන අතර ඔහු ස්වාධිනව රස්සා කටයුතු කරන්නට තීන්දු කළ පසු ඒය කැමරාවක් අභියස රූ ගත කෙරෙන රමනීය සංලාපයක් බවට පත්විය.
  • අප මිත්‍ර ගැමා දැන් දැන් ක්‍රමයෙන් ‘යූටියුබක්කාරයකු’’ ලෙස සිය ස්වකීය මුද්‍රාව අන්තර්ජාලය පුරා ද පතුරමින් සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


උදෙසනවා යනු ‘ඩික්ලෙයා’ කිරීම යන්න හඟවන සිංහල වචනයයි.  උදෙසනවා යනු තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ කියා පෑම යි. නොවළහා කියා පෑමයි. අවකංව කීමයි. බොක්කෙන් ම කීම යි. මගේ අදහස වන්නේ ‘මතක පද’ අතරතුර සිදුවූ මෙම රත්න ශ්‍රීන්ගේ මෙම උදෙසීම, සමස්ථ සමාජය විසින් මඟහැර නොයා යුතු වැදගත් සංසිද්දියක් බව යි.

ගැඹුරු මෙන්ම කර්ණ රසායන හඬ පෞරුෂයක් සහිත, ගැමුණු ජයන්ත වන්නිනායක නම් අප මිත්‍රවරයාගේ ‘මතක පද’ යනු සිංහල සහෘද ප්‍රජාව අතර බෙහෙවින් කීර්තිමත් මතකාවර්ජන ගීතමය සංලාපයකි. ගැමා විසින් ඒය මුලින් නිර්මාණය කෙරුණේ ගුවන් විදුලි නාලිකාවකට වන අතර ඔහු ස්වාධිනව රස්සා කටයුතු කරන්නට තීන්දු කළ පසු ඒය කැමරාවක් අභියස රූ ගත කෙරෙන රමනීය සංලාපයක් බවට පත්විය. අප මිත්‍ර ගැමා දැන් දැන් ක්‍රමයෙන් ‘යූටියුබක්කාරයකු’’ ලෙස සිය ස්වකීය මුද්‍රාව අන්තර්ජාලය පුරා ද පතුරමින් සිටියි.

ගැමා සිය මතක පද සංලාපය සඳහා බෙහෙවින් ගෙදර වැඩ කරනා කෙනෙක් බව පළමු කොටම පසක් වූයේ ඔහු විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් ධූරන්දර ටිල්වින් සිල්වා සහෝදරයා සමඟ කෙරුණු සංලාපයේ දී නැඟුණු එක් ප්‍රශ්නයක් නිසා ය.


ගැමුණුගේ ප්‍රශ්නය නිශ්චිත ය. ඔහු මෙසේ අසයි. ‘’ප්‍රධාන චරිත දෙකක් මතුවුණානෙ ලක්දිව පුවත්පත හරහා. විමලසිරි ගම්ලත් නමින් ලිව්ව විමල් වීරවංශ හිටියා, රෝහිත භාෂණ අබේවර්ධන හිටියා. මේ දෙන්නම මුලදි පක්ෂය නියෝජනය කරා. පස්සෙ පක්ෂෙ හැර ගියා. වීරවංශ සහෝදරයට වෙච්ච දේ අපි දැක්කනෙ. රෝහිත භාෂණ ඇයි පක්ෂෙ හැරගියේ?’’

‘ජාතික ප්‍රශ්නය’ අරභයා සිදුකෙරුණු සංවාදයකින් පසු රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා ඇතුළු කණ්ඩායමක් ජවිපෙ හැර ගොස් ‘හිරු කණ්ඩායම’ ලෙස ‘’දේශපාලනය කරන බව’’ ජවිපෙ හෝ පෙසප ඔවුන්ගේ නිල ලේඛන වල කිසිවිටෙකත් සඳහන් නොකරන - සැබැවින්ම නම් හිතාමතාම සඟවන -  පසුබිමක එකී නිශ්චිත දේශපාලන ඛන්ඩනය තහවුරු වෙන එකම තැන ගැමුණුගේ මෙකී ‘මතක පද’ සංලාපයයි. එහිදී ටිල්වින් සහෝදරයා සිය පිළිතුර මෙසේ ගොනු කරයි.

‘’මේ වගේ දේවල් තනි උත්තරේකින් කියා ගන්න බැරි දේශපාලන ක්‍රියාවලියක් ඇතුළෙනෙ සිද්ධ වෙන්නෙ. ඒ වෙලාවෙ ගත්තම අපි පක්ෂයක් හදන්න හදනවා. විසිරිච්ච පක්ෂයක්. අපිට මුණගැහිච්ච හමුවෙච්ච දේවල් වලින් තමයි අපි මේක හදන්නෙ. එතකොට ඒක ඇතුළෙත් ගත්තම විවිධ මත තිබුණා. විමල් වීරවංශ වගේ එක්කෙනෙක් ගත්තොත් ඒ වෙලාවෙ ලොකු මතයක් තිබුණෙ නෑ. නමුත් එයා ඒ වෙලාවෙ පක්ෂෙ ප්‍රකාශකයෙක් විදිහට වැඩ කරමින් හිටියා. රෝහිත භාෂණ ගත්තම ඒගොල්ලන්ට, ජාතික ප්‍රශ්නයෙදි ස්වය තීරණ අයිතිය පිළිගන්න ඕනා, දෙමළ ජනතාවගෙ ප්‍රශ්නයෙදි අපි ඉන්න තැනට වඩා ටිකක් එහාට එන්න ඕනා වගේ හැඟ‍ීමක් තිබ්බ. හැබැයි ඒවත් එක්ක අපිට කතා බහ කරමින් යන්න ඉඩකඩක් තිබුණට එවෙලේ සමහර අය කතා බහ කරලා විසඳ ගන්නවා වෙනුවට ඒවා පදනම් කරගෙන දේශපාලන කටයුතු වලින් ඈත් වෙනවා වගේ කරපු උත්සහයනුත් තිබුණා. භාෂණ ඒ ප්‍රශ්නෙ පදනම් කරගෙන තමයි අපෙන් ඈත් වුණේ.’’

ඉඳහිට මොලෝ රහක් නැති මහන්තත්ත චරිත ද ගෙන්නාගෙන සංලාප කළ ද, ගැමුණුගේ බොහෝ සංවාද ටිල්වින්ගේ සංවාදය මෙන් ම අතිශය රසවත් ය. මේ මෑතකදී කෙරුණු රත්න ශ්‍රී සංවාදය ද එ බඳු ය. රසවත් ය. නිදහස් ය. හෝරා දෙකක්ම ඉක්මවා කෙරෙන සාවධාන සංලාපයේ විටින් විට ඉසියුම්ව ගැමුණු රත්න ශ්‍රී රිද්දමින් ඔහුගේ ඇතුළු හද අවදි කරවා ගන්න අයුරු වාචාල යූටියුබක්කාර දුහුනන්ට අපූරු පාඩම් කියා දෙයි.

මෙකී රත්න ශ්‍රී සංලාපයේ අවසාන භාගයේ ගැමුණු විසින් ඒ නිශ්චිත ප්‍රශ්නය ඇසෙයි. රත්න ශ්‍රීන්ගේ සුප්‍රකට ගීත රචනා දෙකක් අරභයා ය. එකක් රමනීය රචනාවකි. අනෙක මරනීය රචනාවකි.

නඩේසන් හා විනීතා

කොටි පොලිස් ප්‍රධානියාව සිට, තමිල් සෙල්වම් ඝාතනය කෙරුණායින් පසු කොටි දේශපාලන අංශ නායකත්වය පවා ඉසිලූ, සමසමාජ ව්‍යාපාරයේ මෙන්ම නව සමසමාජ ව්‍යාපාරයේදී ක්‍රියාකාරිකයකුව සිටි නඩේසන් හා ඔහුගේ ප්‍රේමවන්තිය වූ මාතර කඹුරුපිටියේ විනීතා සමරසිංහ අතර වූ ජීවන පවත පදනම් කරගනිමින් රත්න ශ්‍රී ලියූ ‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී’ මෙනෙහි කරමින් ගැමුණු සිය ප්‍රශ්නයට පිවිසෙයි.

‘’එහෙම ලියපු ඔබ ‘ආයු රක්ඛත්තු ආවඩා’ කියලා හමුදාවෙ ඉන්න සොල්ලාදුවන් වෙනුවෙනුත් ගීතයක් ලියනවා. මේකෙ පරස්පරතාව ගැන මොකක් හරි....’’

ප්‍රශ්නය රවුම් කර අවසන් කරන්නට පෙරම රත්න ශ්‍රී වහා වහා පිළිතුරට පිවිසෙන්නේ  ‘’පරස්පරයි තමයි’’ කියමිනි. ඉක්බිති ‘’මං හුඟක් කණගාටුවෙන, පසුතැවිලිවෙන ගීතයක් තමයි ඒක.’’ යැයි කියමින් දේශපාලන අධ්‍යාත්මය අවදි කිරීමෙහි නිරත වෙයි.

අප ජ්‍යෙෂ්ට කිවිසුරු පසුතැවිලි වන ඔහු විසින් ලියැවුණු මෙකී රණවිරු අභිනන්දන ගීය මෙයාකාර ය.



‘’රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා

 ’’රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ළඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා
චිරන් ජීවතු
ආයු රඛ්ඛන්තු ආවඩා
පවුරු බැඳ සිවු දිගින් වටකළ සමුදුරේ ගොස පරදවා
ඔබ නඟන ජයගොසින් මවු බිම සිනාසෙන්නී රෑ දිවා
චිරන් ජීවතු
ආයු රඛ්ඛන්තු ආවඩා’’

ratna sri ayu

ඔහුට අනුව මෙකී රණවිරු මොරාලීය පද රචනය එතරම් බරපතළ ලෙස නො හිතා, යාළුමිත්‍ර ඉල්ලීමක් වෙනුවෙන් ලිව්වකි. ඒ ගැන පසුතැවිලිවීම මිස කළ හැකි අන් යමක් නැතැයි ද ඔහු පවසයි. මෙකී ගීතය ගයන්නා වන සුගත් හඳුන්ගේ වෘත්තීයෙන් නීතිඥයෙකි. පානදුර මහේස්ත්‍රත් අධිකරණයේ නිතර දක්නට ලැබුණු චරිතයකි. පානදුර මහවිල ‘සිංහ සමාජයේ’ සභාපතිවර සිංහයෙකි. රුසියාවේ පවා කරක් ගසා ඇති හඳුන්ගේ ව්ලැදිමීර් පුටින් වෙනුවෙන් පවා ගීත ගයා ඇති නීතිඥ වෘත්තික ප්‍රජාව අතර ජනප්‍රිය අමුතුම චරිතයකි. ඔහු මෙකී රණවිරු ගීතය රත්න ශ්‍රීන් ලවා ලියවා ගැනීමෙන් නො නැවතී තමන් විසින් ගැයුණු රණවිරු මොරාල ගී ඇතුළත් ‘මානුෂීය මෙහෙයුම’ සංයුක්ත තැටිය එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම් තැන්පත් ගෝඨාභය රාජපක්ෂට පිරිනමන්නට රත්න ශ්‍රී කැඳවාගෙන යයි. හඳුන්ගේගේ මෙම ‘මානුෂිය මෙහෙයුම’ පිටපත් දහස් ගණනක් රත්න ශ්‍රීන්ගේ අනුදැනුම ඇතුව, හමුදා සොල්දාදුවන් අතර නොමිලේ බෙදා හැරුණේ යුද පිටියේ ‘මොරාල වඩවනු පිණිස’ ය.

 war hospital 43

ගැමුණුගේ ‘මතක පද’ අතරතුර ‘ඒක බරපතළ වැරැද්දක්’ යැයි රත්න ශ්‍රීන් කියන්නේ ලිවීමෙන් නොනැවතී සිදුකළ මේ සියලු මැදිහත්වීම් ගැන විය යුතු ය. කෙසේ නමුත් ගීයේ කොතනකවත් තමන් ‘මරන්න කියලා නෑ’ යනුවෙන් රත්න ශ්‍රී ගැමුණුට කියයි. කවියෙහි පාරප්‍රාප්ත අප මහා කිවිසුරු මෙසේ පවසන්නේ එකල යුද පිපාසිත සිංහල තුඩ තුඩ රැව් දුන් මෙවන් ගීතයන් හරහා මොරාල වැඩවුණු රණවිරුවන් සිදුකෙරුවේ කුමක් ද යන්න නො දැන ද?  යුද්ධය හමාර කෙරුණේ කොපමණ දෙමළ ජීවිත ගණනක් සෙත්තපෝච්චි කර දමමින්ද යන්න නොදන්නා කිසිඳු කවියෙක් සිටින්නට විදිහක් නැත. අනික කවියක හෝ ගීතයක ධ්වනිය පවතින්නේ රචනාව තුළ නොහොත් වචන තුළ නොව ඉන් ඔබ්බේ වන බැවින් මෙම රණවිරු මොරාල ගීතය යෝජනා කරන්නේ කවන්න පොවන්න සිඹින්න නොව මරන්න බව රත්ත ශ්‍රීන් හොඳින්ම දන්නා සත්‍යයකි.

මෙකී ගීතය ජාතිවාදී සිංහල මනස් තුළ කෙතරම් ම උත්කර්ෂවත්ව පිළිරැව් නැඟෙන්නට ඇත්දැයි යන්න දැක්වීමට එකම එක නිදසුනකින් පමණක් වුව පිළිවන. ‘’ගන්න දේශීය දේ’ නම් වෙබ් අඩවියේ සඳහන් මෙම සටහන විමසා බලන්න.

‘Screenshot 2023 10 20 at 12.27.42’ඇත්තටම මෙම ගීතය යුද්ධයේ අවසාන අදියරේදි හැම ශ්‍රී ලාංකිකයෙකුගෙම මුවේ රැව් දුන්නු ගීතයක්. ඒ කාලෙ මේ ගීතය අපේ ජාතික ගීතය තරම්ම අපිට සමීප වුණා. මට නම් හිතෙන්නෙ යුද ජයග්‍රහණයට මෙම ගීතය 5%ක හෝ දායකත්වයක් දුන්නා කියලයි. මොකද, රටේ සියලුම ජනතාව එක අරමුණක් වෙනුවෙන් ඒකාත්මික කරගන්න, සියලුම ජනතාවගෙ චිත්ත ශක්තිය එහෙමත් නැත්නම් මෝරාල් එක හදන්න, අපිට මේ යුද්ධය දින්නන පුළුවන් කියාලා විශ්වාසයක් රටේ ඇති කරන්න රණ ගීයක් ලෙස ලොකු කාර්ය භාරයක් කළ ගීයක් මේක. නියම රණ ගීයක් කියන්නෙ මෙන්න මේ වගේ එකකට තමයි’’

දැන් මෙම ලියවිල්ලේ අවසානයට එළඹිය යුතු ය. මෙලෙසිනි.‍ කාව්‍ය පරම්පරා ගණනාවකට ම අඛන්ඩවම පරමාදර්ශයක් මෙන්ම මහත් අභාසයක් වුණු මහා කිවියර රත්න ශ්‍රි විජේසිංහයන් ‘මතක පද’ තුළ ‘’පීඩිතයා සහ පීඩකයා කියන දෙන්න වෙනුවෙන්ම කතා කරන්න යාම පරස්පරයි. ඒක මං පිළිගන්නවා. ‘’ යනුවෙන් පවසමින් තමන්ගේ ආස්ථානය ‘ඩික්ලෙයාර්’ කරයි.

දැන් මෙකී ගීතය නැවත කියවිය හැකි ය.‍ රත්න ශ්‍රීට අනුව ‘’රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා’’ ලෙස තමන් ලියූ වැකිය පීඩකයා නියෝජනය කරයි. ඒ අනුව මෙහි වර නරඟෙන්නේ උත්ප්‍රාසයකි. එනම්, පෙනෙන අදහසට වඩා හාත්පසින්ම වෙනත් අර්ථයකි. මෙකී උත්ප්‍රාසයට අවනතව මීළඟ පෙළ, ඒනම් ‘’ ඔබ නගන ජයගොසින් මවු බිම සිනාසෙන්නී රෑ දිවා’’ යැයි කියන විට හිනා යයි.

war time 356

සුදු කොඩි මතින් පැමිණෙමින් සිටියදී නඩේසන් සහ ඔහුගේ සිංහල සිංදු කියූ කිරිල්ලිය ඇතුළු පිරිසට අත්වූ ඉරණම හා රණවිරු මොරාල ගී අතර සම්බන්දය මහා ලොකුවට විග්‍රහ කළ යුතු නැත. සිංහලය ගැඹුරට කියවා ගත හැකි කාටත් තේරෙන දෙයකි. මෙකී ස්ථාවරය ප්‍රශ්න කරමින් මා රත්න ශ්‍රීන් ට ලියූ කවියක් ඇත. එහි, ඔහු සහ මා අතර පවතින ගැඹුරු ආත්මීය සම්බන්දය මා ‘ඩික්ලෙයා’ කර ඇත. ආදරය ධ්වනි නංවා ඇත. නමුත් ජරාජීර්ණව ගිය ඔහුගේ දේශපාලන ස්ථාවරය, නො එසේ නම් මහත් වූ මානවවාදිය ප්‍රශ්න කර ඇත.

එය අවසන් කරන්නේ මෙලෙසිනි.

‘’ඇස පෙළන ඔය උපැස ගලවන්න
බොඳ ඇහින් කඳුළු බිඳු දැකගන්න
තුඩ බිඳුණු පන්හිඳට පණ දෙන්න
ඔය මුහුණ යළි වරක්‌ දැක ගන්න’’

මගේ පෙරදැක්ම පසු කාලෙක හෝ හරි ගොස් ඇත. අවසානයේ, දෙමළා පීඩිතයා බවත් ධනපති ආණ්ඩු විසින් ආණ්ඩුමට්ටු කරන නිල සන්නද්ධ හමුදා පීඩකයා බවත් රත්න ශ්‍රී කිවිඳුන් විසින් ඩික්ලයර් කරනු ලැබ ඇත. මෙසේ කිව්වේ වී නමුත් තමන් දායක වූ ඉතිහාසය විසින් මහා කිවිඳුන් නිදොස් කොට නිදහස් කෙරෙන්නේ නැත. නමුත් ඔහුගෙන් අභාසය ලැබූ ‘මානව හිතවාදී’ කවියන්ට සාහිත්‍යකරුවන්ට මතු නොව ඔහුගේ රසික සහෘද ප්‍රජාවට නැවතිල්ලේ සිතා බැලීමට ගැඹුරු දේශපාලන යථාර්ථයක් ඒ ‘උදෙසීම’ තුළ පවතී. ‘තුයියකොන්තොන්මාදයේ’ වෙලුණු මාලිමා ප්‍රජාවට තමන්ගේ වේදිකාව මතදී ජීවිතයේ ගැඹුර කියා දෙන රත්න ශ්‍රී කිවිඳුන් මතු යම් දිනෙක ඉතිහාස වරද වේදිකා ගත කරමින් දෙමළා වනාහී පීඩිතයා බවත් හමුදාව වනාහී පීඩිකයා බවත් පිළිගන්නා ලෙස ‘බරාවිලෝලී’ ප්‍රජාවට යෝජනා කළ හොත් ඔහු වෙනුවෙන් නැඟෙන අත්පොළසන් ඔල්වරසන් කවර හැඩතලයක් ගැනු ඇද්ද?


(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී 

mwediwardena@gmail.com

http://www.jdslanka.org/


http://photo.net/photos/wedi-man
https://www.flickr.com/photos/wedi_man/

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 ඔක්තෝබර් 22)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...