BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader

October 27, 2023 • 3:53 AM

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ.
  • නන්දා මාලිනීගේ 1989 සමයේ ගීත රැඩිකල් බලවේග අතර ජනප්‍රිය වූ අයුරින්ම සංජීව ලෝන්ලියස්ගේ ‘අමු’ ගී ද ජනප්‍රිය වී තිබේ.
  • මේ අතර, 1989 වකවානුවේ රැඩිකල් බලවේග ‘පවන’ වන්දනා මාන කළ අන්දමින් ‘අරගල’ බලවේගයේ අය ද ‘අමු’ වන්දනා මාන කරන ස්වභාවයක් ද දකින්නට ලැබේ.
  • මේ පද මාලා විග්‍රහ කර බලන විට දැකිය හැකි ලක්ෂණය වන්නේ ඒවා බොහෝ විට ගැඹුරු දේශපාලන දැක්මකින් තොර හිස් වහසි බස් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව එක්තරා ආකාරයකට 1989 කැරැල්ල සමයේ ජනප්‍රිය වූ නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයේ ගීත සමග සමපාත වේ.

නන්දා මාලිනීගේ 1989 සමයේ ගීත රැඩිකල් බලවේග අතර ජනප්‍රිය වූ අයුරින්ම සංජීව ලෝන්ලියස්ගේ ‘අමු’ ගී ද ජනප්‍රිය වී තිබේ. නන්දා මාලිනීගේ ‘පවන’ ප්‍රසංගයට එදා තිබුණු ඉල්ලුම වැනි වූ ඉහළ ඉල්ලුමක් අද වන විට ‘අමු’ ප්‍රසංගයට ද තිබේ.

IMG 20210307 064535

මේ අතර, 1989 වකවානුවේ රැඩිකල් බලවේග ‘පවන’ වන්දනා මාන කළ අන්දමින් ‘අරගල’ බලවේගයේ අය ද ‘අමු’ වන්දනා මාන කරන ස්වභාවයක් ද දකින්නට ලැබේ.

සන්ෆ්ලවර් ගායක කණ්ඩායමේ සිටින ගායකයකු ‘ජීවිතේ මල් – අපෙ අම්මා ඉන්න කල්’ ගීතය ගයන්නට එක්සත් ජාතික පක්ෂයේ සම්මේලන වේදිකාවට ගොඩ වූ අවස්ථාවේ හරින් ප්‍රනාන්දුගේ ඉල්ලීමට වරද්ද වරද්දා ‘පිටකවරේ’ ගීතය ගැයීමත් සමග බොහෝ අය ප්‍රතිචාර දැක්වූයේ පූජනීය දෙයක් කෙලෙසුවා වැනි ආකල්පයකිනි. දේශපාලන දැක්මකින් තොරව ජනප්‍රිය ගොන් පාට් සියල්ල වැළඳගන්නා යූඇන්පීකාරයන්ගේ සම්මේලනය ද මේ සිංදුව නිසා අවසානයේදී සමාජ මාධ්‍යවල කිච විය.



තමන් ‘අමු’ ගීත රසිකයන් යයි ආඩම්බරෙන් කියන අය අතර වාමාංශික දාර්ශනිකයන් දක්නට නැති මුත්, ඔවුන්ගේ අනුගාමිකයන් අතර ‘අමු’ ඉතා ජනප්‍රියය.

මේ ‘අමු’ ගීත කලාව සංජීව ලෝන්ලියස් විසින් කලක සිට ගොඩනගමින් සිටින අවමවාදී කලා සම්ප්‍රදායකි. ඔහු දක්ෂ ගායකයකු හා ගිටාර් වාදකයකු වන අතර ඔහුගේ සංගීතය තරමටම පද මාලා ද ඉතා වැදගත්ය.

මේ පද මාලා විග්‍රහ කර බලන විට දැකිය හැකි ලක්ෂණය වන්නේ ඒවා බොහෝ විට ගැඹුරු දේශපාලන දැක්මකින් තොර හිස් වහසි බස් බවයි. මෙය අජිත් කුමාරසිරිගේ ගීත කලාවේ ද ඉතා පැහැදිලිව දැකිය හැකි ලක්ෂණයකි. එහෙත්, ඔහුගේ පදවල තිබෙන සෞන්දර්යාත්මක ලක්ෂණවලට වඩා ‘අමු’ ගීත අමුවෙන්ම වහසි බස් වේ.

අජිත් කුමාරසිරිගේ ගීතයක පද බලමු:


“එක දවසක් පළඟැටියෙක් 
සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මංමුලා වුණා මල් හොයලා”
 

සංජීව ලෝන්ලියස්ගේ ජනප්‍රියම ගීය වන ‘පිටකවරේ’ පද බලන්න:

“කන විදල කොණ්ඩෙ පාට කරපු
ඇවිදින ගිනි අව්වේ
හිල් බාට ගල් තැලුම් මතු වුණු
තාරවලින් වැහුවේ
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ
පොළවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ

“පිටුව පෙරළුවට සීතා
පොත දන්නව රාමා
නටුව දන්නෙ මල් වෙනුවෙන් දරාගත් සීමා
ටැටුව දැකල චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා
මේ පපුව ඇතුළෙ චේ ගුවේර, ඕෂො, දලයි ලාමා

“සඳ මතින් ඇවිද ගිය විටකදි
ඉඳුවර නෙතු අතරේ
කොඩි වැලේ ඉඳන් වල වෙනකල්
තනියට හිටි මිතුරේ
වැලි නොවේ හැමදාම පාවුණෙ
පොරි ටිකමයි වතුරේ
මළ ගමක බණ කතා උන් ගැන
කියවුණෙ මොන සුතුරේ

“දඬු මොනර පිටින් ඉගිලිල යන
යකඩ හීන මලුවේ
මල් පිපෙන වාර බොහොමයි
සිත් කැනපි සුවඳ ගැලුවේ
හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ”
 


මෙම පදවල යම් සෞන්දර්යයක් හා රසයක් තිබෙන මුත්, එහි සාරයක් තිබේද යන්න ප්‍රශ්නයකි. සාරය යන්නෙන් මා අදහස් කරන්නේ, අර්ථයක්, බලපෑමක්, ප්‍රඥාවක්, දැක්මක්, දේශපාලනයක්, සෞන්දර්යය සමග මුසුව තිබීමයි. මේ වචන හා යෙදුම් අතර ඒකමිතියක් හෝ නැත. ඇත්තේ හුදු වහසි බස් සමූහයක එකතුවකි.
 
ගෝල්ෆේස් වේදිකාවේ අරගල සමයේ පවත්වන ලද කතා ද එබඳුය. හරයක් නැත. විරෝධයක් ඇත. සාරයක් නැතිකම වර්තමාන රැඩිකල් දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණයකි. මෙම ගීත කලාව අරගලයේ කලාව ලෙස හැඳින්විය හැක්කේ ඒ නිසාය.
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කොඩි ගහ යට මෙගා ටෙලිය ඔස්සේ ජනප්‍රිය කරන ලද අර්ජුමාන්ගේ ‘චූටි කාලෙ අපි වැස්සෙ නානකොට’ ගීය ද මෙවැනි තවත් සෞන්දර්යාත්මක වහසි බස් එකතුවකි. එහි ද සාරයක් නැත. බොළඳ වැඩිහිටි විරෝධයක් නම් ඇත. “ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදල එන්නකො බලන්න අනේ” යි කීවද, එම ගීතයේ මැරෙන්න ගිහින් එන්නට හේතු වුණ දේ වන්නේ “චූටි කාලෙ අපි වැස්සෙ නානකොට” වැනි පොඩි දේය. වැස්සෙ නාන එක වීරකමක් ලෙස සලකන්නට පුළුවන් ලෝකයක් වත්මන් පරම්පරාවලට හදා දුන් කලින් පරම්පරාවල කොකු පණු රෝගයෙන්, පෝලියෝවෙන්, නිවසේ සිදු වුණ දරු උපත්වලින්, කැරැලි කෝලාහලවලින්, යුද්ධවලින් මැරෙන්නට ගිහින් ආව වැඩිහිටි පරම්පරා විසින් බව වර්තමාන තරුණ පරපුර දන්නේ නැත. ඒ ගැන සාධාරණව සිතන්නට තරම් පුළුල් චින්තනයක් ඔවුන්ට ඇත්තේ ද නැත. ඒ පරම්පරා විරෝධය අරගලයේ ද ප්‍රධාන ලක්ෂණයකි.
 


එහෙත්, මෙම කලා කෘති එක්තරා ජීවන රටාවක ප්‍රකාශන ලෙස සැලකිය හැකිය. බටහිර බොහිමියානු, නිරාගමික, පුරුෂෝත්තමවාදී, ජාතික විරෝධී, නිදහස්කාමී, මත්ලෝලී, විනෝදකාමී, වගකීම් විරහිත ජීවන රටාව පිළිබඳ ස්වෝත්තමවාදී අදහසක් එහි තිබේ.

කෙසේ වෙතත්, අනන්‍යතාව සලකුණු කිරීමට මාර්ග සොයමින් සිටින අමු කුහකයන් යනු බලපෑමක් සහිත මාකට් සෙජ්මන්ට් එකකි. ඔවුන්ගේ අවශ්‍යතාවන් ඇඩ්‍රස් කරන කලාවට ලොකු ඉල්ලුමක් නිර්මාණය කරගත හැකිය.

මේ හා සන්සන්දනාත්මකව ගත් කල, වෙල් ෆැන්ටා වැනි රැප් වඩා යථාර්ථවාදී නිර්මාණ වන බව ද කිව යුතුය.

ආර්ථික යුක්තිය ඉටු කරන්නේ කෙසේද? - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...