BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)

T

The Leader

January 14, 2024 • 12:00 AM

දෙවියන්ට ද නොපෙනෙන 'දෙවියන්ගේ මිනිස්සු' - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයකු සිය ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නා අනුභුතිය හෙවත් අත්දැකීම ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කරන්නේ නම් එය ප්‍රබන්ධයක් ලෙස ගිණිය නොහැකි ය; එය අයත්වන්නේ වාර්තාකරණය නමැති මාධ්‍යට ය.
  • එසේ වුව ද ප්‍රබන්ධය යනු සත්‍ය නොවන බව ද සත්‍යයකි.
  • (ප්‍රබන්ධය යනු කුමක් ද යන්න පිළිබඳ මගේ අදහස මා මීට පෙර මෙම වෙබ් අඩවියට ම ලියා ඇති අතර එය යළිත් වතාවක් ද සඳහන් කළේ ය.
  • එවිට මා ලිපිය ආරම්භයේ සඳහන් කළ දෑ වඩාත් පැහැදිලිව අවබෝධ කරගත හැකි ය.) ඒ අනුව ගත් විට කිසියම් ප්‍රබන්ධයක් සමාජ ගතකරන පුද්ගලයකුට සිය අත්දැකීම වෙනස් මානයකින් ඉදිරිපත් කළ හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුදු කිසිවකු තමන්ගේ ම වූ හෝ තමන් අසා හෝ දැක ඇති අත්දැකීමක් සිය ප්‍රබන්ධය සඳහා පාදක කරගන්නේ නම් එහි ප්‍රබන්ධමය ලක්ෂණ (Fictional characteristics) ද අන්තර්ගත විය යුතු ම ය. එසේ වුව ද ප්‍රබන්ධය යනු සත්‍ය නොවන බව ද සත්‍යයකි.

එසේ නම් ප්‍රබන්ධකරණයේ යෙදෙන පුද්ගලයා තම ප්‍රබන්ධයට පාදක කරගන්නා අනුභූතියෙහි අන්තර්ගත සත්‍ය මෙන් ම සත්‍ය නොවන එහෙත් සත්‍ය යැයි විශ්වාස කළ හැකි යමක් එකතු කළ යුතු ය. එසේත් නොවේ නම් තමා ලද අත්දැකීම වෙනස් ම ආකාරයකින් ප්‍රබන්ධකරණය කළ යුතු ය. ප්‍රබන්ධයක් සාර්ථක වන්නේ එවිට ය යන්න මගේ පුද්ගලික අදහස ය.

(ප්‍රබන්ධය යනු කුමක් ද යන්න පිළිබඳ මගේ අදහස මා මීට පෙර මෙම වෙබ් අඩවියට ම ලියා ඇති අතර එය යළිත් වතාවක් ද සඳහන් කළේ ය. එය සම්මුඛ නොවූ පාඨක පාඨකාවන්ට අවැසි නම්; මෙම ලින්කුවට ගොස් එය කියවිය හැකි ය. එවිට මා ලිපිය ආරම්භයේ සඳහන් කළ දෑ වඩාත් පැහැදිලිව අවබෝධ කරගත හැකි ය.)

ඒ අනුව ගත් විට කිසියම් ප්‍රබන්ධයක් සමාජ ගතකරන පුද්ගලයකුට සිය අත්දැකීම වෙනස් මානයකින් ඉදිරිපත් කළ හැකි ය. ඒ සඳහා පුරාතන ගද්‍ය පද්‍ය මෙන් ම නූතන ගද්‍ය පද්‍ය සාහිත්‍ය යෙන් අවැසි තරම් උදාහරණ ඉදිරිපත් කළ හැකි ය.

තුන්වන රූපය... - (හේමන්ත අරුණසිරි)

z p17 Distinctiveමහාචාර්ය සරච්චන්ද්‍රප්‍රධාන ම උදාහරණයක් ලෙස මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍ය ගෙනහැර දැක්විය හැකි ය. එම නාට්‍ය සඳහා ඔහු පාදක කරගන්නේ චුල්ල ධනුද්ධර ජාතකය යි. වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍ය සඳහා පාදක කරගන්නේ ගුත්තිල ජාතකය යි. ආචාර්ය ගුණදාස අමරසේකර විසින් රචිත ‘‘අසක් දා කව’’ කාව්‍ය සංග්‍රහයට පාදක වන්නේ ආසංඛවතී නමැති ජාතක කතාව ඇසුරිණි.

මේ ආකාරයට එක් එක් වකවානුවල දී සිදුවූ විවිධ සිදුවීම් පාදක කරගෙන විවිධ සාහිත්‍ය කලා නිර්මාණ බිහි කර ඇත. මගේ (ලියුම්කරුගේ) ම නිර්මාණයක් උදාහරණයක් ලෙස ගෙනහැර දක්වන්නේ නම් ‘‘ගෞර ග්‍රන්ථ’’ ප්‍රබන්ධය යනු මීට වසර කිහිපයකට පෙර ලාකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් පාදක කරගනිමින් ප්‍රබන්ධිත කෘතියකි.

අභිමන්ලා අවැසි ම යුගයක ලියැවුණ 'ගෞර ග්‍රන්ථ'

එහෙත් ප්‍රබන්ධකරණයේ දී උකහා ගන්නේ අදාළ සිදුවීමේ නිමිත්ත පමණි. ඒ ඇසුරෙන් කතුවරයා, ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිමය දේපළ සොරකම පිළිබඳව සාකච්ඡා කරයි. එය සත්‍ය සහ ප්‍රබන්ධය සංකලනය වූ නිර්මාණයකි.

ප්‍රබන්ධකරණය පිළිබඳ මෙබඳු හැඳින්වීමක් කරන්නට සිදුවූයේ අයර්ලන්ත ජාතික කතුවරියක වන Claire Keegan විසින් රචිත ‘Small things like these’ කෘතියේ සිංහල පරිවර්තනය වන ‘දෙවියන්ගේ මිනිස්සු’ කෘතිය පිළිබඳ මගේ කියැවීම ඉදිරිපත් කිරීම සඳහා ය. මෙම කෘතිය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කෘතහස්ත පරිවර්තකයකු වන උපාලි උබයසේකර ය.

Claire Keegan

Claire Keegan

ප්‍රමාණයෙන් ඉතා කුඩා කෘතියක් වුව ද කතුවරිය සිය ප්‍රබන්ධය තුළින් ආගමික සංස්ථා විසින් සිදු කරනු ලබන බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ මෙන් ම සම්මතයට අනුව අතිජාත හෝ අවජාත යැයි බෙදා වෙන්කෙරෙන මිනිසුන් අතර අවජාතක යැයි සැලකෙන පුද්ගලයකු ස්වොත්සාහයෙන් සිය ජීවන පැවැත්ම ගොඩනගාගන්නා අන්දම ද විග්‍රහ කෙරේ.

ලිපිය ආරම්භයේ කළ හැඳින්වීමට පාදක වන්නේ කෘතියේ මුල් කතුවරිය සිය අත්දැකීම ලබාගන්නේ කෘතියේ අන්තර්ගත කතාවට වඩා හාත්පසින් ම වෙනස් නිමිත්තක් වීම ය. නමුදු කතුවරිය අදාළ සිද්ධිය එසේත් නොමැති නම් ඛේදවාචකය නිමිති කරගනිමින් වෙනස් ම ආකාරයේ ප්‍රබන්ධයක් රචනා කරන්නී ය. එම ප්‍රබන්ධ රචනාවට අදාළ අනුභූතිය ම පාදක කර නොගත්ත ද කතුවරිය සිය ප්‍රබන්ධය මගින්: මිනිස්සු ලෙස ඉපිද, මිනිස්සු ලෙස ජීවත්වීමට තිබෙන අයිතිය මිනිස්සු විසින් ම පැහැරගනු ලැබ ඇති බව ඉතා සූක්ෂමාකාරයෙන් සිය ප්‍රබන්ධය තුළ අන්තර්ගත කරන්නී ය.

එමෙන් ම ඇගේ රචනා ශෛලිය ද බෙහෙවින් ම වෙසෙස් ය; වෙනස් ය; නව්‍යය ය. ඇතැම් විට සාම්ප්‍රදායික රචනා ශෛලියකින් කියවීම පුහුණු කර ඇති සිංහල පාඨක ප්‍රජාවට මේ රචනා ශෛලිය තරමක් වෙහෙසකර වන්නට ද පිළිවන. නමුදු අප නව්‍ය සාහිත්‍ය කලා මාන හදාරන්නට නම්, කියවන්නට නම්, විඳින්නට නම් යම් වෙහෙසක් දැරිය යුතු ය. එසේ නොවුන හොත් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ මතුවන නව ප්‍රවණතා සමග ගනුදෙනු කරන්නට, එකී නිර්මාණ රස විඳින්නට හෝ ගැඹුරින් කියවාගන්නට අපහසු වන්නේ ය.

එබැවින් ලාංකීය සිංහල පාඨක ප්‍රජාව මෙබඳු නව්‍ය සාහිත්‍ය කෘති විඳිය යුතු ම ය; කියවිය යුතු ම ය. නමුදු කතුවරිය සිය ප්‍රබන්ධය රචනා කිරීම සඳහා අත්දැකීම ලබාගන්නේ කෙබඳු සිදුවීමකින් ද යන්න හෝ ඊට අදාළ නිමිත්ත කුමක් ද යන්න මම මෙහි සඳහන් නොකරමි. ඒ, අනාගතයේ දී මෙම කෘතිය කියවන්නට බලාපොරොත්තු වන පාඨක ප්‍රජාවට එය බාධාවක් වෙතැයි මට සිතෙන බැවිනි.

මෙම ප්‍රබන්ධය ප්‍රමාණයෙන් කුඩා වුව ද එහි: මිනිස් ජීවිතයට සම්බන්ධ, මිනිස් ජීවිත හසුරුවන, මිනිස් ජීවිත වෙත බලපැම් එල්ල කරන භෞතික බලවේග, පාරභෞතික බලවේග මෙන් ම ආදිකල්පික, චිරාගත සම්ප්‍රදායට අයත් ආකල්ප හේතුවෙන් මිනිස් ජීවිත කෙතරම් අගාධයකට ඇද වැටෙනවා ද යන්න පිළිබඳව ඉඟි කෙරේ. එමෙන් ම එබඳු බලවේග මැඩගෙන තම ජීවන ගමන ජයග්‍රාහි මාවතකට හරවා එකී මාර්ගයේ ඉතා සාර්ථක අන්දමින් ගමන් කරන්නේ කෙසේ ද යන්න පවා සාකච්ඡා කෙරේ.

drviyange minissuමෙහි ප්‍රධාන චරිතය වන ෆර්ලෝන්ගේ ජීවන ඛේදවාචකය; එනම් ඔහු කුඩා අවධියේ සමාජයෙන් වියුක්ත කිරීම පිළිබඳ කියවාගන්නට කතුවරිය ඉතා කෙටි වාක්‍ය කිහිපයක් භාවිත කරන්නී ය.

‘‘කොහේද මගේ තාත්තා දැන්? සමහර වෙලාවට, වයසක මිනිස්සු දිහා බලාගෙන ඉඳලා තමන්ට ම අහුවෙනවා සමාන ශරීර ලක්ෂණ හොයලා; නැත්නම් මිනිස්සුන්ට නොහැඟෙන්න මිනිස්සු කියන කතාවල් අහගෙන ඉන්නවා මොනවා හරි කොනක් පාදා ගන්න පුළුවන්ද කියලා තාත්තා ගැන. සහතිකෙන් ම ගමේ සමහරක් මිනිස්සු දන්නවා ඇති එයාගෙ තාත්තා කවුද කියන්න - හැමෝට ම තාත්තා කෙනෙක් ඉන්නවා නෙ - එයා ඉන්න තැනක කිසි දෙයක් කතා කරන්නෙ නෑ ඒ ගොල්ලො බැඳිල ඉන්න නිසා. එයා දැනගෙන හිටියා - මිනිස්සු තමන් දන්න බව එළිකළෙත් නැහැ තමන් දන්න දේවල් එළිකළෙත් නැහැ ඒගොල්ලන්ගෙ කතා බහේ දි.’’

පිටුව 26

පියා කවුදැයි නොදන්නා දරුවකු මෙලොවට ජනිත වීමෙන් ඉක්බිති එම දරුවා සමාජයේ ගැරහුමට, අවමානයට, අපහාසයට, උපහාසයට ලක්වන ආකාරය මෙම කෘතියෙහි ඉතා සංවේග ජනක අන්දමින් ඉදිපත් කෙරේ. එය ෆර්ලෝන්ගේ මතු නොව ලොව වෙසෙන එබඳු සියලු දරුවන් පිළිබඳ කතාන්දරය යි; ඛේදාන්තය යි.

ෆර්ලොන්ගේ අතීතය සිහිපත් කෙරෙන එක් ස්ථානයක කතුවරිය මෙලෙස සඳහන් කරන්නී ය.

‘‘ඔහු ඒ වෙලාවෙ පිටතට ගියා, හරක් මඩුව දිහාවට, හිතේ ඇතිවෙචච්ච කලකිරීම මගහරවා ගන්න සහ අඬන්න. නත්තල් පප්ප ආවෙත් නෑ තාත්ත ආවෙත් නෑ. ‘ජිග්සෝ පසල්’ එකත් නෑ. ඔහු කල්පනා කළා ඉස්කෝලෙදි අනික් අය තමා ගැන කියපු දේවල්, දාගෙන තියෙන නම, තේරුම් ගත්තා ඒකට හේතුවක් තියෙන්න ඕනැ කියලා.’’

පිටුව එම

මිනිසා කෙතරම් දියුණ යැයි පැවසුව ද මේ ආකාරයට: අයුක්තියට, අසාධාරණයට, අපහාසයට, උපහාසයට ලක්වන දරුවන් අදත් ලංකාවේ පමණක් නොව වෙනත් රටවල වුව ද සිටිය හැකි ය. දරුවකු මතු නොව වැඩිහිටියකු වූ පසුව වුව ද විවාහ වන කාලසීමාවේ දී ද කාන්තා පිරිමි යන දෙපාර්ශ්වය ම මෙම ගැටලුවට මුහුණ දිය හැකි ය. සාහිත්‍ය කලාවේ නිරත පිරිස් සිය නිර්මාණ තුළින් සමාජ ගතකළ යුත්තේ මෙවන් ආකල්ප බැහැර කිරිම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට අවැසි මාන ය. ‘‘දෙවියන්ගේ මිනිස්සු’’ කෘතිය කියවීමේ දී Claire Keegan ලේඛිකාව එකී යුතුකම නොව වගකීම තමාට හැකි ආකාරයෙන් ඉටු කර ඇති බව දක්නට හැකි ය.

ආගමික සංස්ථා තුළ (මෙය සියලු ආගමික සංස්ථාවලට වලංගු ය) පවත්නා නරක සහ බියකරු බව කෙතරම් ද යන්න ෆර්ලෝන් එක් අවස්ථාවක දී මුහුණ දෙන සිද්ධියකින් විස්තර කෙරේ. නමුදු ඔහුට ඒ කිසිවකට එරෙහිවන්නට නොහැකි වන ප්‍රායෝගික වටපිටාවක් ද පවතී. එසේ තිබිය දී පවා හෙතෙම එකී අසාධාරණයට එරෙහිව කටයුතු කරන්නට යත්න දරයි. එවන් අවස්ථාවක දී ඔහුගේ චිත්ත ශක්තිය බිඳ වැටෙන් බලපෑම සිදුවන්නේ ද ඒ සියලු නොපනත්කම් දරාගෙන සිටින සමාජයේ වෙසෙන පිරිස් වෙතින් ම වීම කෙතරම් ඛේද ජනක ද. මේ, කතුවරිය එවන් අවස්ථාවක් ඉතා සියුම් ලෙස දක්වන ආකාරය යි.

‘‘ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න ඕනෑ නම්, සමහර දේවල් තියෙනවා ඔයා ගණන් ගන්නෙ නැතුව ඇහැ කන පියාගෙන ඉන්න ඕනැ ඒවා, එතකොට දිගටම යන්න පුළුවන්’’

පිටුව 47

upaali ubayasekara 00උපාලි උබයසේකර

ලංකාව නමැති කොදෙව්ව මතු නොව ලොව බොහෝ රටවල සිදුව තිබෙන්නේ ද, වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ද, අනාගතයේ දී සිදුවීමට නියමිතව ඇත්තේ ද මෙබඳු ඛේද ජනක තත්ත්ව නොවේ ද...? කතුවරිය සිය නිර්මාණය තුළ ඉතා සුක්ෂ්ම ආකාරයෙන් සඟවා ඉදිරිපත් කරන්නී මෙබඳු සමාජ වාතාවරණ ය.

මෙම ප්‍රබන්ධයේ ප්‍රධාන චරිතය වන ෆර්ලෝන් යනු තමන්ගේ ම වූ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. සිංහල ගැමි භාෂාවෙන් පවසන්නේ නම් මුදලාලි කෙනකි. ඔහු කෙතරම් ස්වාධින ලෙස තම ව්‍යාපාරයේ නියැළුණ ද ඔහු සහ ඔහුගේ ව්‍යාපාරයේ යථා ස්වභාවය කතුවරිය මෙසේ පාඨක ප්‍රජාව ඉදිරියේ දිගහරින්නී ය.

‘‘ෆර්ලෝන්, ලොරිය පිටුපස විවෘත කරලා ගල් අඟුරු කාමරයේ දොර අරින්නට ගියා. අගුල, හිම මිදිලා තද වෙලා තියෙනවා දැක්ක ඔහු තමන්ගෙන් ම අහගන්න ඕනැ නේ ද කියල හිතුවා තමන්ගේ ජීවිත කාලයෙන් හොඳ හරියක් අර දොර මේ දොර ළඟ ඒවා අරින තුරු හිටගෙන බලා ඉන්න ගත කරලා, තමන් දොරටු පාලයෙක් නැත්නම් දොරවල් නියෝජනය කරන මිනිහෙක් වෙලාද කියලා.’’

පිටුව 57

මෙම කොටස තුළින් ගම්‍ය කෙරෙන්නේ ඉතා සුළු කරුණක් යැයි බැලූ බැල්මට දක්නට ලැබුණ ද ය එසේ නොවනවා යන්න මගේ කියවීම ය. මේ දිග හැරෙන්නේ මධ්‍ය පරිමාණයේ වෙළෙන්දෙකු වුව ද ඇතැම් විට ඔහුටත් අඩු ආදායම් ලාභි ජන ප්‍රජාවක් ඉදිරියේ කෙතරම් පහත මට්ටමකට ඇද වැටෙනවා ද, ඇද වැටී ඇති ද යන යථාර්ථය යි. ඒ යථාර්ථය වටහා ගන්නට නම් කෘතිය ගැඹුරින් කියවිය යුතුය යන්න මගේ යෝජනාව ය.

claire kegan 346

ෆර්ලෝන්, පල්ලිය සහ එහි ක්‍රියිකාරිත්වයේ බියකරු සහ මුග්ධ භාවය හෙළි කරන්නට සූදානමින් සිටින මොහොතක ඔහුගේ හිතවතියක් විසින් වෙත පවසනු ලබන අවවාදාත්මක ප්‍රකාශ ද්විත්වයක් උපුටා දක්වමින් මම, මගේ අදහස් දැක්වීම අවසන් කරන්නට සිතුවෙමි. පාඨක ඔබ හොඳින් සිහි තබාගන්න, ෆර්ලෝන්ට මේ ආකාරයෙන් ප්‍රවේසම් වන්නැයි පසන්නේ පාතාල කණ්ඩායමකින් හෝ ඔහුගේ සතුරු ප්‍රජාවකගෙන් නොව ආගමික සංස්ථාවකිනි; එකී ආගමික සංස්ථාවේ යටිබිම්ගත ක්‍රියාදාමයකිනි.

‘‘මේක ඉතින් මගේ වැඩක් නෙවෙයි තමයි, ඔබට තේරෙනවනෙ, ඒත් එහේ තියෙන්නෙ මොනවද කියල කියනකොට පරිස්සමින් කියන්න ඕනෑ නේද? සතුරා ළඟින් තියාගන්න, නරක බල්ලා තමන් ළඟ, හොඳ බල්ලා හපන්නෙ නෑ. ඔබ දන්නවානෙ, මම කියන්න දෙයක් නෑනෙ.’’

පිටුව 87

‘‘මාව ගණන් ගන්න එපා, ඈ කිව්වා.‘ඒත් ඔයා හරියට මහන්සියෙන් වැඩ කරලා තියෙනවා මං වාගෙ ම, ඔයා දැන් ඉන්න තැනට එන්න. ඔයා ගෑනු ළමයි ඉන්න ලස්සන පවුලක් ගොඩනගල තියෙනවා - ඔයා දන්නවා එක බිත්තියක් විතරයි තියෙන්නෙ සෙන්ට් මා(රි)ගරට් එකෙන් වෙන්වෙන්න.’’

පිටුව 88

අවසන් වශයෙන් යළිත් සිහිපත් කරන්නේ ‘‘දෙවියන් ගේ මිනිස්සු’’ යනු ඉතා කුඩා ප්‍රබන්ධයකි. නමුදු එහි යටිපෙළින් හෙළි කෙරෙන්නේ ඉතා විශාල, බියකරු යථාර්ථයකි. එකී යථාර්ථය අවබෝධ කරගන්නට නම් දැඩි අවධානයෙන් යුතුව ම ‘‘දෙවියන් ගේ මිනිස්සු’’ කියවිය යුතු ය.

සැ. යු - කෘතියෙන් උපුටාගත් කොටස් සියල්ලෙහි ම අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම් යනාදිය කෘතියෙහි අන්තර්ගත පරිදි ම ය

අපලෝකන 14: දැන් මගේ හීනෙ කොටුව ඇතුළෙ ඇවිදින එක - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2024/01/14 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...