BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අමල් : මුරණ්ඩුකාමීත්වයේ හැඟුම් කලාපය - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader

February 2, 2024 • 3:24 AM

අමල් : මුරණ්ඩුකාමීත්වයේ හැඟුම් කලාපය - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිලානෝවේ මා සිටි ඉසව්වට හෙතෙම සම්ප්‍රාප්ත වනතුරු මා ‘නවීලියේ’ ඇලබඩ රැක උන්නෙමි.
  • එසේ වෙන්නට ඉඩ ඇතැයි මා තුළ පූර්ව අනුමානයක් ද තිබිණ.
  • මා දැන් එසේ නොවන කල්හි ඔහුගේ මනසේ පරිකල්පිත මා රුව හා සැබෑ මා සසඳාගන්නට බැරි වන්නට ඇත.
  • අමලා මට භෞතිකව හමුවූයේ වසර 13කට පසුව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ කිහිප මසකට පෙර වූ ගිම්හානය යි. ඒ පතරංග ගයුවාණෝ මා රැක සිටි ඉසව්වට හැරුණ හ. තවත් මිලානෝ මිත්‍රයකු ද සමඟිනි. මා උන්නේ ඔහුගේ පියවි ඇසට පෙනෙන තරම් දුරකිනි. නමුත් ඔහු මා හඳුනා ගත්තේ නැත. එසේ වෙන්නට ඉඩ ඇතැයි මා තුළ පූර්ව අනුමානයක් ද තිබිණ.  ඔහු විමසමින් එන්නේ ඔහු වැනිම පතරංග ශරීරයකි. මා දැන් එසේ නොවන කල්හි ඔහුගේ මනසේ පරිකල්පිත මා රුව හා සැබෑ මා සසඳාගන්නට බැරි වන්නට ඇත.  

‘අඩෝ අමලා’ කියා මා හඬ නැඟීය.

ඔහු මා දෙස බැලුයේ එවිට ය. අමලා හොල්මං විය. මගේ සයිස් එකට ය.

සියලු විශ්මිත හැඟුම් එසේම තිබියදී අපි දෙදෙනා මහ මඟ මැද්දෑවේ සුපුරුදු සහෝදරත්වයෙන්, පළපුරුදු මිත්‍රත්වයෙන් තදින් වැළඳ ගතිමු. ඉතිබිත්තේ ගතවැ ගියේ, ජින්මය හැඟුමින් ආතුර හෝරා කිහිපයකි.

අමලා මට භෞතිකව හමුවූයේ වසර 13කට පසුව ය. කලින් වතාවේ, එනම් 2010දී, දෙ දෙනා ම එක සේ පතරංග ශරිරධාරීවැ සිටි සමයෙක, පැරිසියේ ය. එදින ගතවුණු හෝරා කිහිපය නාමකරණය කරන්නේ නම් එය, ‘වොඩ්කාමය සිහිනයකි’. ඔහු සමඟ පැරීසියට පැමිණ සිටි, සංගීත් විජේසූරිය ද, ඔහුගේ සනිධප සනුහරයේ ඇතැමුන් ද, චාමර වීරසිංහ ද විටින් විට ඇතුළු වූයේ මෙකී සිහිනයට ය. අවසන, අමලා ඉතාලි යන අහස් යාත්තරාව මිස් කර ගත්තේ ය. අපේ හෑම හමුවීමක් ම එහෙම ය; කුමක් හෝ ස්වයං කඩාකප්පල්කාරී, නො හික්මුණු, මුරණ්ඩුකාමී සංසිද්ධි සිදුවේ.  

 



භෞතිකව හමු නොවූ ගෙවුණු කාලය පුරා අමලාත් මමත් බොහෝ විට ඉතා තදින් ඇසුරු කළෙමු. විශ්වාසවන්ත මිත්‍රයෙකුට කිව්ව හැකි ජීවිතයේ අතිශය පෞද්ගලික කාරණා ඔහු මා සමඟ හැම නිතරම බෙදා ගත්තේ ය. ඇතැම් සංවාද සංලාප පැය ගණනින් ගෙවී ගිය ඒවා ය. ඒවා අතර සිහිනහවන් ද, කඳුළු ද විය; ආදරය ද විරහව ද විය; සන්ත්‍රාසය ද ශෘංගාරය ද විය; ස්වරයන් ද සුසුමන් ද විය.

කිසිවෙකුට හෝ කිසිම දෙයක් පිළිබඳ උපදේශ අනුශාසන දීම මගේ ජීවන භාවිතයක් නොවුණත් මම ඔහුගේ ඇතැම් භාවිතයන් හා චර්යාවන් පිළිබඳ මගේ අදහස කීවෙමි. මා වහරනා වෙනස් වූත්, විකාර වූත්  කතා, අවනතකාමීව අසා සිටින්නට මුරණ්ඩුකාමී අමල් පෙරේරාට හැකිවන්නේ කෙසේදැයි මම ඇතැම් විට සිතමි.

ඇතැම් විට ඔහු මා කියනා දේ අසා සිටින්නට කැමැත්තේ දැයි මට සිතිණි. මා ඔහුට සැබැවින්ම ආදරය කරනා බව ඔහුට දැනෙනා නිසා වන්නට ද පිළිවන. කවර සංකීර්ණතා තිබියේ වුව අමලා යනු මිත්‍රත්වය පිළිබඳ ඉගැඹුරු දාර්ශනික අර්ථයෙන්ම සම්මුඛ විය හැකි මිත්‍ර පරාණයෙකි. ඉදින් එය, ඇතැම් හද කකියවන, වේදනාබර අද්දැකීමක්, ඔහුගේ සන්තානයට පිවිස, නො එසේ නම් ඔහු මගේ සන්තානයට කැඳවා, වචන බවට පත් කරන්නට මට පිළිවන් වන තරමේ මිත්‍රත්ව කලාපයකි.

මේ 2016 වසරේ මතුවැ ආ එවන් සරාගී වචන ළෙලවිල්ලකි.



‘’සාරාගී අතීතේ කළඹන්න
අවසරයි සොඳුරියේ සමුගන්න
ගිතාරුවෙ තත් අතර තවම
ඇසිපිය නිනද නැඟේ
කැමති නම් අවසාන මඳහසත්
ගෙනියන්න මගේ

හද සර්ප විමානෙට ඔබ ඇවිත්
දෙවඟනක් වගේ
තුරුලු වී සිටියා ද මොන තරම්
සිහිනවල මගේ

හිත රිදී නික්ම ගිය දා
නපුරු හීනයක් දිගේ
මම නැවත ඔබ සොයා ඇවිත්
ඔබ කර ගතිමි මගේ

මම වැරදි වෙන්න ඇති
ඒ වුණත් ඒ වැරදි මගේ
දැවි දැවී ඉනු කෙළෙස
ගී වලින් පවා ගිනි නැඟේ
මහද මොළවන ඒ ගී
අරන් යනු මැන පැමිණි මගේ
උන්මාද මිනිහෙකුට
ආදරය හීනයක් වගේ’’

ඉල්ලීම් වලට ගී ලියන්නට මට බැරි ය. ලියූ දෙයක් ඇතොත් ඉල්ලීමක ස්වරූපය අනුව එය බෙදා හදා ගැනීම මගේ ගීත ලිවීමේ සම්ප්‍රදාය වේ. නමුත් අමලා සම්බන්දයෙන් එය ඇතැම් විට වෙනස් වන්නේ වෙයි. ‘සරාගී අතීතේ’ එහෙම මොහොතකි. ඉල්ලීම අමලාගේ වුව මා එයට පිවිසෙන්නේ මාගේ ආත්මීයතා මඟ ඔස්සේ ය. මා 2014 පළකළ ‘නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක’ කාව්‍ය කෘතියේ එ නමින් යුතු කවිය අවසන් කරන්නේ මෙලෙසිනි. එහි වන්නේ මගේ ආත්මීයතාව ය.

‘ගීතාවලියෙ ගී වල
අරුත මඟහැර යන්නෙමි
වැරදි වෙන්නට ඉඩ දී
වැරදි කරුවෙකු වෙන්නෙමි’’

අමලා වෙනුවෙන් ලියූ ‘සරාගී අතීතේ’ ප්‍රවිශ්ඨය බොහෝ විට මෙතැන වන්නට පිළිවන. එ බැවින් එහි වන්නේ මගේ ආත්මීයතාව වුව අමලාගේ කටහඬ හරහා ගමන් කරනා විට එහි අඩංගුව මුළුමනින් ම ඔහු ම අත්පත් කර ගනියි. ඒ කටහඬ විශ්මයකි. ඒ කටහඬෙහි ගිගුම් නැඟෙන හැඟුම්, භාවලීලා, වර්ණ හා හැඩතල ආදරය පිටාර ගලනසුළු විශ්වයක අප අතරමං කරවයි. අමලා යනු මගේ පරපුරේ ආත්මීය කටහඬ සංරචකයා යැයි හඳුන්වාලන්නට තරම් ධාරිතාවක් ඔහුගේ සමස්ත ඉගැයුම් ක්‍රියාවලිය තුළ කියවා ගන්නට පිළිවන. ඔහු මිත්‍රවරයකු නිසා මගේ මේ ප්‍රකාශය ලැදියාවන් අතර වන ගැටුමෙහි ගොදුරක් යැයි කිසිවකු හෝ නො කියනු ඇතැයි මම සිතමි. මන්දයැත් මා මේ වර නඟන්නේ අමල් පෙරේරා ව ය.

අප අතර වන මිත්‍රත්වය පවතින්නේ දෙදෙනා එක්ව නිර්මාණය කළ ගීත කිහිපය හන්දා නොවේ. ඔහු ගයන්නට තීන්දු කරන හෝ ඔහුට ගයන්නැයි ඇරියුම් ලැබෙන බොහෝ අලුත් නිර්මාණ බොහෝ විට ඔහු මට ද එවයි. මගේ අදහස දැන ගනු පිණිස ය. ජ්‍යෙෂ්ට මෙන්ම විශිෂ්ට වචන කැටයම්කරුවකු වන බන්දුල නානයක්කාරවසම්ගේ ‘විරාග රාගය’ මෙන් ම සෙනුක වික්‍රමසිංහගේ ‘දැකුම්කළු සෙවැණැල්ලේ’ පවා ඒ අතර ඇත.

ඇතැම් විට ඒ වචන අරභයා මා පවසනා දෑ, වචන තුළ කිමිද ගොස් අත්‍යවශ්‍යම හැඟුම් රැගෙන මතුවන්නට අමලාට කිසියම්ම වූ ධාරණාවක් වනවා වන්නට පිළිවන. කලාව තුළ වුව අප දෙදෙනා නඩත්තු කරන මිත්‍රත්වය එයාකාර වෙයි.

17358929 428019087551113 4126830232074666786 oගීතයක, වචන විසින් මතුකරලන ජීවන අද්දැකීම, ආත්මීය ප්‍රවේශයකින් ඔප්පුකරලන්නට හැකිවන අමලා වැනි හැඟුම් ගයන්නකු සමස්ත සමාජය ම සතු මහානාර්ඝ කලාත්මක සම්පත්තියකි. ඔහුගේ මුරණ්ඩුකාමී හා දේශපාලන ස්ථාවරයක නොරඳන චර්යාවත් නිසා ම අමල් පෙරේරා බාර ගත් යුත්තේ පවත්නා සමාජ ප්‍රවාහයේ ම පිළිබිඹුවක් ලෙස ය. වෙනත් පරමාදර්ශ ඔහු මත තබා විග්‍රහ කර පළක් නැත. අමල් පෙරේරා මෙන් ම ඔහුගේ අනන්‍යතාව මෙකී චර්යා පද්ධතියෙන් ව්‍යුක්තව ගත නොහේ. මුරණ්ඩුකාමිත්වයෙන් වෙන කර තැබුවහොත් මෙකී ආදරයේ හැඟුම් ගැයිල්ල පවතින්නේ නොවේ. අමල් පෙරේරාගේ ගායනය යනු මෙකී චර්යා පද්ධතියේ සමස්ථ ප්‍රකාශනයයි.

තමන්ගේ ම තාත්තා වූ මර්වීනුන්ගේ ගීත මතු නොව අමරදේව, වික්ටර්, ජෝති, ලන්ත්‍රා, මිල්ටන්ගේ සිට නාමල් උඩුගම හරහා තමන්ගේ ම පුත්‍රයා වන නදීමාල්ගේ ගීත දක්වාම අමල් ගයන ‘කවර් ගීත’ අතිශයින් ම රහවත් ය. එකී මුල් ගීත ඔහු කිසිවිටෙකත් අනුකරණය නොකරයි. ඒවා නවමු අර්ථකනයන්ට ම ලක්කරයි. කොටින් ම ඒ සියලු ගීත, මගේ පරම්පරාවේ ආදරයෙන් පුරවයි.

 

amal k

සී.ටී.ගේ බෙග්ගේ සිට මිල්ටන් දෙබෑයන් දක්වා ජ්‍යේෂ්ට ගායන පරම්පරාවේ පුත්‍ර සනුහරය, නිතැතින්ම සහ නිරායාසකරව පරම්පරා උරුමයක් බඳු මහරු ගීත ම ගැයීම සිංහල ගීත සංස්කෘතිය තුළ අධිනිෂ්චය වී තිබුණ ද, අමල් පෙරේරා ඊට එරෙහිව හිට ගත්තේ මෙකී මුරණ්ඩුකාමී අධ්‍යාත්මය නිසා ම බව මම විශ්වාස කරමි.

පසුකලෙක පත්තු වූ ලස්සන ගීත කිහිපයක්ම ඇතුළත්, ‘ලස්සනයි ආදරේ’ නමින් අමලා සමාජගත කළ ගීත 14ක ඇල්බමය නොව අමලාගේ පුපුරා යෑම ලෙස මා දකින්නේ කසුන් කල්හාරගේ ස්පැනෂියීය ස්වර සංකලනයෙහි සම්මිශ්‍රිත චාමින්ද රත්නසූරියගේ මනරම් වචන පෙළහරපෑම වන ‘මල් පිට මල්’ ය.

 

 

ම විසින් ලියැවුණු ‘හීනයක් වගේ ඔබ ආවා’ හරහා අමල් පෙරේරා සම්මානනීය ගායකයකු බවට එසැවිණ. විශිෂ්ටතම ගායකයා ලෙස ලත් සුමති ටෙලි සම්මානය අතැතිව, සම්මාන රාත්‍රියේ ගෙදර යමින් සිටින අතරතුර අමලා මට කෝල් කළේ ය.

සතුට වෙනුවෙට ඔහුගේ හඩ තුළ නිනද නැඟුණේ දුක ය. ‘’දුකයි හු** තාත්තත් නෑ උඹත් නෑ’’ කොළඹ සිටි අමලාගේ දෑසේ මතුවුණු කඳුළු පැරිසියේ සිටි මගේ උරහිසේ තැවරිණ. ඈත සිටිය ද අප දෙදනා සිටියේ තරයේ වැළඳගමිනි. ජීවිතයේ ලද පළමු සම්මානයේ සතුට, සතුටක අර්ථයෙන් ම විඳගන්නට සිටිය යුතු ම දෙදෙනා යැයි ඔහු සිතූ දෙදෙනා ම ඔහු අසල නැත. තාත්තා යනු ඔහුගේ ජීවිතයේ ද සංගීතයේ ද පදනම ය. මර්වින් පෙරේරා නම් වූ ඒ සොඳුරු නිරහංකාර සරල මිනිසා උන්නේ ජීවිතයෙන් නික්ම ගොසිනි. ඔහු ලද සම්මානයේ ආසන්නම අනෙක් චරිතය ලෙස ඔහු සිතූ ‘හීනයක් වගේ ඔබ ආවා’ වචනයට නැගූ මා උන්නේ විප්‍රවාසයේ ය. සතුට හැමවිටම ඇත්තේ දුක සමඟ සම්මිශ්‍රව ය.



මර්වින්-අමල්-නදීමාල් පරම්පරා තුනම එක්ව අබිමුඛ වුණු මොහොතක් ‘සමනළුන්ට වෙඩිතියන්න’ ඔන්න මෙන්නවැ තිබූ සමයේ උදාවිය. මා විසින් ලියැවුණු ප්‍රදීප් ධර්මදාස විසින් අධියුරුකම් කෙරුණු මෙම දෘෂ්‍යකාව්‍ය ක්‍රියාවලිය හරහා අමල් පෙරේරා සංගීත නිර්මාපයකු කරන්නට මටත් ප්‍රදීප්ටත් හැකිවිය. ඔහුගේ මධුර තනු කවරාකාරදැයි තේරුම් කර ගන්නට ‘හීනයක් වගේ ඔබ ආවා’ පමණක් වුව සෑහේ ය. ඒත්  මා නම් වඩා කැමැත්තේ ‘ඔබ ගඟක්’ ගැයෙන වැයෙන විදිහට ය.

 



‘සමනළුන්ට වෙඩි තියන්න’ වෙනුවෙන් හැදුණු ගීතත් රැගෙන අමලා, ප්‍රදියා සහ මම පයියාගල ඇද්දෙමු. ඒ මර්විනූන්ට ගීත ඇහෙන්නට සලස්සන්නට ය. මර්විනීයානු මනරම් අතීත කතා අසමින් ‘රන් මී විත පුරවා’ ලූ එකී රාත්‍රිය විසල් කලාකරුවකුට කෙතරම්ම සරල විය හැකි දැයි ප්‍රත්‍යක්ෂවම  අත්දුටු රාත්‍රියකි. ‘මග්ගොන’ පවා ලගින්නට සිදුවුණු අමලාගේ මුරණ්ඩුකාමී අතීතය තාත්තාගේ දෘෂ්ටිකෝණයෙන් අසන්නට ලැබීමම අමලාගෙ චර්යා ව්‍යුහය කියවා ගන්නට විශාල පිටිබලයක් විය.

මිත්‍රයකු ලෙස,  අමලාගේ ජීවන විලාසිතාව උත්කර්ෂයට නංවන්නට මට උවමනා නැතත්, අමලාගේ මුරණ්ඩුකාමී ජීවිතය වෙනස් කර ගන්නට යෝජනා කර පලක් නැතැයි සිතමි. ඔහුගේ හැඟුම් කලාපය නොහොත් ආදරයෙන් පිරුණු කටහඬ මතුවන්නේ ගායනයෙන් ඔබ්බෙහි වන මෙකී මුරණ්ඩුකාමීත්ව නිසා යයි සිතමි.

අමලාගේ මෙකී මුරණ්ඩුකාමීත්ව ය තවමත් තාරුණ්‍යයෙන් ආඪ්‍ය ය. ඔහුගේ ආදරණීය කටහඬ නොහොත් මෙකී හැඟුම් කලාපය තවමත් තාරුණ්‍යයෙන් ආඪ්‍යවැ පවතින්නේ එ බැවිනි.

417700208 402056339017527 5181500241146067338 n
( 'තිදෙනා' නමින් පැවති ප්‍රසාංගික ගීතමය අත්දැකීමට සමාන්තරව මුද්‍රිත 'තුන්ගුණාකාරය' කෘතිය වෙනුවෙන් ලියැවුණු ලියැවිල්ලකි.)

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී
mwediwardena@gmail.com

http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-man
https://www.flickr.com/photos/wedi_man/

සබැඳි පුවත් :

යුග තුනක සංගීත වියමන 'තුන්ගුණාකාරය' නමින් එළියට


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...