BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආන්තීකරණයට ලක්වන මනුෂ්‍යයන්ගේ ජීවිතවල දේදුනු පැහැය ඉස්මතු කරන 'සාරි ඇඳපු පිරිමි'

T

The Leader

February 12, 2024 • 3:47 AM

ආන්තීකරණයට ලක්වන මනුෂ්‍යයන්ගේ ජීවිතවල දේදුනු පැහැය ඉස්මතු කරන 'සාරි ඇඳපු පිරිමි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විෂ්ණු තමන්ගෙ පොතට පාදක කරගන්නෙ ලංකාවෙ තවමත් මිනිස්සුන්ගෙ නළල රැලි වට්ටන කලාපයක්.
  • ඒ කොබවෙල වතු යායට අයිති ලයිම්.
  • හැබැයි විවිධත්වය දකින්න කියා දුන්න තාත්තෙක් හිටපු නිසා මට එදත් ඒ පුද්ගලයා වින්ද අපහසුතා ඇති කළේ දැඩි කනගාටුවක්.      අනන්‍යතා අර්බුදය මොන තරම් දරුනුද කියල වටහා ගන්න අපිට වෙන කොහේටවත් හැරෙන්න ඕන නෑ.
  • මිනිස් සත්වයන් හැටියට ඉන්න පුළුවන් පිරිමි සහ ගැහැනු විතරයි කියලා හිතන්න පුරුදු කරන සමාජයක් ඇතුලෙ සංක්‍රාන්ති ලිංගිකයන්ට වගේම සමරිසි ඇතුළු වෙනත් පාර්ශවයන්ට අයිති පිටුවහල විතරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මට ඒක කියවන්න ගන්නකොටම මතක් වුනේ මගෙ ළමා කාලෙ අත්දැකීමක්. අපේ ගෙවල්වලට උඩින් පැතිරිලා තිබුන කන්දෙ ලයිම් කාමර පේලියක් තිබුණා. ඒ කොබවෙල වතු යායට අයිති ලයිම්. මේ ලැයිම් කාමරවල ඉඳලා දවසට දෙතුන් පාරක් දෙමල ගෑනු ළමයි කඩමංඩියට යනවා.

ඒ යන අය අතරෙ හීනියට රැවුල එන, කාලවර්ණ සරීරයක් තිබ්බ, දිග සායක් වගේ එකක් එක්ක බ්ලවුසයක් ඇඳපු චරිතයක් යනවා. යාන්තමට තොල් රතු කරලා වගේ පේන වෙලාවලුත් තිබ්බා. ඒ කාලෙ ඒක ටිකක් අමුතුයි වගේ. ඒ චරිතය යද්දි ගමේ ඉන්න පිරිමි සමහරු මූණ අඹරන්න ගන්නවා. එක දවසක්දා කට්ටියක් ඒ පුද්ගලයගෙ ඇඳුම ගලවලා පරීක්ෂණයක් කළා කියලා ආරංචියකුත් ආවා. පස්සෙ කාලෙක ඒ චරිතය දකින්නත් නැති වුනා. මතක විතරක් ඉතුරු වුනා. හැබැයි විවිධත්වය දකින්න කියා දුන්න තාත්තෙක් හිටපු නිසා මට එදත් ඒ පුද්ගලයා වින්ද අපහසුතා ඇති කළේ දැඩි කනගාටුවක්. 

 

 

අනන්‍යතා අර්බුදය මොන තරම් දරුනුද කියල වටහා ගන්න අපිට වෙන කොහේටවත් හැරෙන්න ඕන නෑ. අපි ඉන්න සමාජයම ඒකට හොඳටම ප්‍රමාණවත්. මිනිස් සත්වයන් හැටියට ඉන්න පුළුවන් පිරිමි සහ ගැහැනු විතරයි කියලා හිතන්න පුරුදු කරන සමාජයක් ඇතුලෙ සංක්‍රාන්ති ලිංගිකයන්ට වගේම සමරිසි ඇතුළු වෙනත් පාර්ශවයන්ට අයිති පිටුවහල විතරයි. ගර්හාව, අවමානය, ප්‍රහාර වගේම ජීවිත අනතුරු පවා මේ අයට ඈත තියෙන දේවල් නෙවෙයි. 

 

දිනක් විය මංගල නොමැති මංගල - (සුමුදු මද්දුමආරච්චි)

විෂ්ණු තමන්ගෙ පළමු කෘතිය සිම්පල් සයිමන්ගෙන් තියපු පියවර වඩාත් තිරණාත්මක විධිහට ඉදිරියට ගන්නවා. ඒ අර්ජුන් නම් චරිතය හරහා. ශූර කතන්දරකරුවෙක් බවට පත්වෙලා ඉන්න විෂ්ණු අර්ජුන්ගෙ කතාව හරහා අපේ සමාජයේ තවමත් තහනම් සේ සැලකෙන මාතෘකාවක් විවරණය කරන්න අවස්ථාවක් ගන්නවා. මේ කලාපය මොන තරම් නිර්භීත එමෙන්ම විවෘත යයි පෙනුන අයට පවා ජයගන්න බැරිවුනු තැනක්. මංගල වගේ රැඩිකල් භූමිකාවක් පවා ඒ අභියෝගය හමුවේ සීමා වුන හැටි අපට දකින්න ලැබුනා. නමුත් මොන බාධක මැද වුනත් පසුගිය කෙටි කාලය තුළ අපිට මේ මාතෘකාවන් ගැන වඩා විවෘතව කතා කරන්න යම් ඉඩක් හදාගන්න පුළවන් වෙලා තියෙනවා. ඒක සතුටුදායක නොවුනත් අවම තරමින් සාර්ථක ඉදිරියක් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කියන කොල එළිය දල්වනවා.

410315174 6949913818422434 8727787344017747346 n

 

විෂ්නුගෙ කෘතියෙ එන චරිත අතරේ කියවෙන වැදගත්ම කාරණාවක් තමයි මේ විධිහට ආන්තීකරණයට ලක්වන චරිත ඒ අසරණකමට පත්කරන්න වැඩියෙන්ම දායක වෙන පාර්ශවය ගැන කියන දේ. අර්ජුන් වගේම ලලිත් මේ දෙන්නටම තමන්ගෙ ජීවිත ඛේදවාවකයක් බවට පත්වෙන තැනට වැඩ හදන්නෙ පියා. ඔවුන්ට පළමු ගර්හාව එල්ල වෙන්නෙ පියාගෙන්. පිරිමි පාර්ශවය ගර්හාව තෝර ගනිද්දි මව් පාර්ශවය තමයි ඔවුන්ට සැබෑ කරුණාව දක්වන්නෙ. හැබැයි අර්ජුන්ගෙ ලිංගික අර්බුදය නිර්මාණය වෙන ආකාරය කියවද්දි මට හිතුනෙ අර්ජුන්ට ඒ අනන්‍යතාව හිමිවෙන්නෙ පියෙකුගේ බිඳුන සිහින මැද නිර්මාණය වන අර්බුදයකට ස්වප්නමය විසඳුමක් හොයන්න අම්මා කෙනෙක් දරපු අමනෝඥ උත්සාහයක් නිසා නේද කියලයි. අර්ජුන්ගෙ අම්මා තමයි අර්ජුන්ට කාන්තා අනන්‍යතාව කවන්නෙ. එහෙම නොවුන නං අර්ජුන්ට සාමාන්‍ය පිරිමියෙක් ලෙස ජීවිතය ගෙවන්න තිබුනෙ නැද්ද? මේ විෂ්නුත් එක්ක බේරගන්න තියෙන ගනුදෙනුවක්. 

WhatsApp Image 2024 02 12 at 11.27.13 AMවිෂ්ණු වාසුවිෂ්ණු තමන්ගෙ කතාව තුළ මේ ආන්තීකරණයට ලක්වන මනුෂ්‍යයන්ගේ ජීවිතවල දේදුනු පැහැය ඉස්මතු කරලා ගන්නෙ හරිම අපූරු ආකාරයකට. ඒ අතරෙම ඔහු පංති සාධක මැද මේ කොටස්වල ඉරණම වෙනස් වන ආකාරයත් සාකච්ඡාවට ගන්නවා. ඒ අතරෙම ඔහු අපට මේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ සාහිත්‍ය ඇතුලෙ ලාංකීය සමාජයේ පවත්නා කුල පීඩනය, ආගමික පීඩනය, අගතිගාමී ආකල්ප වැනි කලාපයන්ටත් පිවිසෙනවා. ඒ ආකාරයට ඔහු සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අර්ධ ප්‍රබන්ධමය සහ අර්ධ සත්‍ය සහිත කෘතියක් නිර්මාණය කරනවා. 

විෂ්ණුගේ කෘතිය වර්තමානයට වඩාත්ම වැදගත් වෙන්නෙ ඒ මගින් අපට මෙතෙක් වසා දමන ලද ගුහාවක් විවර කරන්න නිර්භය පිවිසුමක් දෙන නිසා. සංක්‍රාන්ති ලිංගිකයෙකු, සමරිසියෙකැයි හඳුනාගන්නා අයෙකු සමග එලිපිට කතා කරන්න පවා තවමත් බය සමාජයක, රණ්බණ්ඩා සෙනෙවිරත්න ලිවුවා වගේ අඳුරේ පව් කරන දනා එලියෙ රවන වටපිටාවක විෂ්නු පලමු කැටපෝල පාර තියනවා.

 

416333026 7016082441805571 6178508207963431269 n

පසුගිය අරගල සමයේ මේ ප්‍රජාවට වීදි බහින්න ලැබුණ ඉඩ ආයෙම වැහිලා යාද කියලා සැක හිතෙන තරමටම නැවත සමාජය වල් වදින බවක් පෙනෙද්දි විෂ්නු යළි අරඹන සාකච්ඡාව ඉදිරියට ගෙන යාම වැදගත්. ඔහු මේ කෘතියේ කතා කරන දේවල් අතර නිදහස්ය කියන වෙළඳ කලාප ඇතුලෙ සිදුවන ලිංගික අපහාස සහ හිංසන වගේම අපේ දියවන්නා අම්බලමේ යන වම්බටු ගහලා පලා ගත්ත කතාවල් පවා නැවත බරපතල ලෙස සමාජයෙ අවධානයට ලක් කළ යුතු වෙනවා. 

 

විෂ්ණු දක්ෂ කතාකාරයෙක්. ඒත් මේ කෘතියෙ සමහර තැන්වල මේ චරිතවල කටුක තත්වයන් සම්බන්ධයෙන් කරන විග්‍රහයන්වලදි ඔහුගෙ චරිත කතා කරන ආකාරය ඇතැම් විටෙක තරමක් යාන්ත්‍රික නැතිනම් ඕලාරික වෙනවද කියලත් මට හිතුණා. හැබැයි විෂ්නු ඒ සැණින් ආයෙම මාව තමන්ගෙ කතා කෝච්චියට පටල ගන්නෙ කලින්ටත් වඩා වේගයෙන් කතියවාගෙන යන රිද්මයක් එක්ක.

 


වැල්වැටිතුරේ උසස් කුලයක උපත ලැබ පියාගේ බිඳුනු ස්වප්නයක ගොදුරක් බවට පත්ව සමාජයෙන් මෙන්ම පවුලෙන්ද ගර්හාවට ලක්ව තම උපන් බිමෙන් පිටමං වන්නට බල කෙරෙන අර්ජුන් වගේම පියාගේ නරුමකම හමුවේ තම ජීවිතය ඛේදයක් බවට හැරෙන ලලිත් ඇතුළුව විවිධ සමාජ සාධක නිසා තමන්ගේ ජීවිත බිහිසුනු රිද්මයන්ට හරවන ලද චරිත එකිනෙක සම්මුඛ කරමින් විෂ්ණු රචනා කරන කෘතිය අපිට අපේ සමාජයේ තිබෙන ආවෘත කම වගේම අගතිගාමී බව වටහාගන්නට අවශ්‍ය මගක් තනනවා.

මේ සියල්ල මැද විෂ්ණු මතු කරන තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒක විෂ්නුගේ සිම්පල් සයිමන් කෘතිය තුළත් බරපතල විධිහට මතුවුන කරුණක්. ඒ තමයි පිය සෙනෙහස අහිමිවීමේ වේදනාව. මේ කෘතිය තුළ අර්ජුන් හරහා විෂ්නු මේ කාරණාව වඩාත් තීව්‍ර විධිහට මතු කරලා ගන්නවා. අර්ජුන්ගේ යාපන පුනරාගමනය එහි කූටප්‍රාප්තිය. අර්ජුන හරහා විෂ්නු සොයන මේ පීතෘ ස්නේහය මට හිතෙන්නෙ විෂ්නු තමන්ගෙ ආත්ම කථනය තුළ කිසිදාක හෝ අත්නොහරින නිලයක්. මේ නිලය අන් සියල්ල අතරේ සාරි ඇඳපු පිරිමි කතාවට වෙනත් ආලෝකයක් සපයනවා කියල මං විශ්වාස කරනවා.

ගාඩි : ප්‍රසන්න විතානගේ -(චූලානන්ද සමරනායක)චූලානන්ද සමරනායක 

ප්‍රවීණ කතුවර


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...