BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ගෑනු හිටියෙම හිනාවීගෙන' කිව්වට ඒක ඇත්ත ද...? - (ජයසිරි අලවත්ත)

T

The Leader

March 3, 2024 • 12:15 AM

'ගෑනු හිටියෙම හිනාවීගෙන' කිව්වට ඒක ඇත්ත ද...? - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය කලා නිර්මාණකරණයේ යෙදෙන ඕනෑ ම පුද්ගලයකු තම නිර්මාණ සඳහා පාදක කරගන්නේ කිසියම් සිද්ධියක් බවත්,
  • ඒ අතුරින් ද විශිෂ්ට නිර්මාණ ලෙස හැඳින්විය හැකි නිර්මාණ අටක් තිබිණ.
  • එමෙන් ම කවි ලෙස විඳිය නොහැකි නිර්මාණ ද හතක් තිබිණ.
  • මගේ පුද්ගලික නිගමනය එසේ වුව ද මා කවි ලෙස රස විදි නිර්මාණ තවකකුට ‘කවි’ නොවිය හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුදු එය සාහිත්‍ය කලා නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමේ දී හුදු ‘සිද්ධියක් වාචකයක්’ ලෙස ඉදිරිපත් කළ හොත් එය සාහිත්‍ය කලා නිර්මාණයක් නොවන බවත් සඳහන් ලිපියක් මෙම වෙබ් අඩවියේ ම පළ කළේ පසු ගිය මස හතරවන දින ය. ඒ, රුවන් බන්දුජීවගේ අභිනව කාව්‍ය සංග්‍රහය වන ‘ධූමලාවණ්‍යාගාරය’ කෘතිය පිළිබඳ මගේ විඳීම සමාජ ගතකිරීම වෙනුවෙනි. එම ලිපිය නොකිය වූ අය වෙත් නම් සබැඳියෙන් එය කියවිය හැකි ය.

එම කාව්‍ය සංග්‍රහය රස විඳීමෙන් ඉක්බිති රස වින්දේ රසිකා මුහන්දිරම්ගේ විසින් රචිත ‘ගෑනු හිටියෙම හිනාවීගෙන’ (මෙම මාතෘකාවෙහි ‘හිටියෙම’ යන්න ‘හිටියෙ ම’යනුවෙන් යෙදුවා නම් එහි අරුත වඩ වඩාත් ඔප් නැංවෙන්නට ඉඩ තිබිණ.) නමැති කාව්‍ය සංග්‍රහය යි.

 

rasikaa 03
ගුණ අතර අගුණ

‘ගෑනු හිටියෙම හිනාවීගෙන’ කාව්‍ය සංග්‍රහයේ කාව්‍ය නිර්මාණ පනහක් අන්තර්ගත ය. ඒ අතුරින් මගේ බින්න රුචිකත්වයට අනුව මට විඳිය හැකි නිර්මාණ තිස් අටක් සම්මුඛ විය. ඒ අතුරින් ද විශිෂ්ට නිර්මාණ ලෙස හැඳින්විය හැකි නිර්මාණ අටක් තිබිණ. එමෙන් ම කවි ලෙස විඳිය නොහැකි නිර්මාණ ද හතක් තිබිණ. ඒ අතරතුර: සංකල්පීය වශයෙන් වැගත් වුව ද ඉදිරිපත් කිරීමේ දී කාව්‍ය ගුණය අවම, ‘කවි’ ද යැයි මට සිතෙන, ප්‍රශ්න සහගත නිර්මාණ සතරක් ද තිබිණ.

මගේ පුද්ගලික නිගමනය එසේ වුව ද මා කවි ලෙස රස විදි නිර්මාණ තවකකුට ‘කවි’ නොවිය හැකි ය. මට විඳීමට අපහසු වූ, ප්‍රශ්න සහගත වූ නිර්මාණ තවකකුට ‘කවි’ විය හැකි ය. ඒ, එක් එක් පාඨක පාඨකාවන් අදාළ කවි විඳින්නේ ඔවුනොවුන්ගේ බින්න රුචිකත්වය අනුව වන බැවිනි. කෙසේ වුව ද ඕනෑම කාව්‍ය සංග්‍රහයක් තුළ සියට සියයක් සාර්ථක නිර්මාණ අන්තර්ග තවන්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි. එය සාමාන්‍ය තත්ත්වයකි. එබැවින් පළමුව සාර්ථක නිර්මාණ යැයි මට සිතෙන නිර්මාණ කිහිපයක් පිළිබඳ මගේ කියවීම වෙත එළඹෙමු.

මෙම ලියැවිල්ලේ දී කාව්‍ය උපුටා දක්වන්නට මම බලාපොරොත්තු නොවෙමි. ඊට ප්‍රධාන හේතුව මෙහි අන්තර්ගත බොහෝ නිර්මාණ ඉතා දීර්ඝ වීම ය. එබැවින් මා බලාපොරෙත්තු වන්නේ අදාළ නිර්මාණයේ මාතෘකාව පමණක් ඉදිරිපත් කර ඒ පිළිබඳ මගේ විඳීම සමාජ ගතකිරීම ය.

සැබෑ සිරකරුවන් කවුද

 

සිරකාර මනුෂ්‍යයන් වසංගතයට බිලිවෙනු ඇතැයි බියක්!
කොළඹ අට සහ නමය සීමාව අතර පිහිටි බේස්ලයින් මාවතෙහි බොරුල්ල දෙස සිට දෙමටගොඩ දෙසටත්, දෙමටගොඩ දෙස සිට බොරැල්ල දෙසටත් ගමන් කරන විට වැලිකඩ බන්ධනාගාර පවුරෙහි ‘‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’’ යනුවෙන් සඳහන් පාඨයක් දක්නට තිබේ. එම පාඨයෙන් සඳහන් කෙරෙන්නේ කිසියම් වරදකට (වැරැදි කර හෝ නොකර) දඬුවම් විඳින ප්‍රජාවක් පිළිබඳව ය. එමෙන් ම ඔවුන් කිසියම් සීමාසහිත බිම් කඩක, සීමාසහිත ඉඩකඩැති ශාලාවක හෝ කුටියක රැඳි සිටින බැවිනි; රඳවා සිටින බැවිනි. නමුදු කිවිඳිය ඇගේ 49වන නිර්මාණයෙන් (පිටු 82, 83) ප්‍රකට කරන්නේ වෙනස් ම ආකාරයේ සිරකරුවන් පිරිසක් පිළිබඳව ය.

කිවිඳිය, මෙහි සඳහන්වන ‘සිරකරුවා’ නම් කරන්නේ ‘පියසිරි’ යනුවෙනි. නමුදු මේ ‘පියසිරි’ගේ තත්ත්වය පමණක් නොවේ. අපි කිසිවකු නොදැන සිටිය ද කිවිඳිය මෙලෙස සමාජ ගත කරන්නේ පියසිරි බඳු: ඔබ, මම හෝ තවත් පුද්ගලයකු පිළිබඳව ය; තමන් ද සිරකරුවකු බව නොදන්නා සිරකරුවන් පිළිබඳව ය. ඉදින් තමන් සිරකරුවකු බව තමන් නොදැන සිටීම කෙතරම් ඛේදවාචකයක් ද...? එකී ඛේදවාචකයෙහි අති ඛේදනීය තත්ත්වය මෙතරම් සුක්ෂ්ම ලෙස ඉදිරිපත් කළ හැකිවන්නේ කාව්‍ය හෝ වෙනත් සාහිත්‍ය නිර්මාණයකින් පමණක් ම ය යන්න මගේ හැඟීම ය. රසිකා මුහන්දිරම්ගේ කිවිඳිය එය ඉතා සූක්ෂමාකාරයෙන් මෙන් ම මනරම්ව ඉදිරිපත් කර ඇත. ඒ, අන් කිසිවක් නිසා නොව ඇගේ කවිතාව හේතුවෙනි.

ප්‍රේමය නම් කිමැයි

20240302 113017ස්පර්ශනීය හෝ අස්පර්ශනීය කිසියම් දෙයක් පිළිබඳ එක් එක් පුද්ගලයා සතුව පවතින්නේ වෙනස් ම වූ හැඟුම් සමුදායකි. ආදරය, ප්‍රේමය, විරහව, ලිංගිකත්වය යනාදිය පිළිබඳව වුව ද තත්ත්වය සමපාත ය. ‘ප්‍රේමය’ (පිටු 72, 73) නමැති නිර්මාණය තුළින් කිවිඳිය සමාජ ගතකරන්නට යත්න දරන්නී ‘ප්‍රේමය’ නමැති ප්‍රපඤ්චය එක් එක් පුද්ගලයාට දැනෙන ආකාරය යි. කිවිඳිය, සමස්ත නිර්මාණය පුරා ම: ව්‍යංගාර්ථ, වක්‍රෝක්ති, වක් බිණුම්, සංකේත, රූපක යනාදි කාව්‍යලංකාර ඉතා මනරම් ආකාරයෙන් උපස්තම්භක කරගන්නී ය. පුහුණ කාව්‍ය පාඨක ප්‍රජාව මෙකී කාව්‍යලංකාර මැනවින් කියවා ගන්නේ නම් ප්‍රේමය පිළිබඳව කිවිඳිය ඉදිරිපත් කරන අරුත් වටහා ගැනීම එතරම් අපහසු නොවන්නේ ය. 

 
මෙහි දී ඇතැමකුට (මා ද ඇතුළුව) ඇගේ කවිතාව හඳුනාගැනීමට අපහසු විය හැකි ය. නමුදු එය කිවිඳියගේ වරදක් නොව නිර්මාණය කියවන පාඨක පාඨකාවගේ දුර්වලතාවක් විය හැකි ය. මා යට සඳහන් කළ, මට රසි විඳිය නොහැකි යැයි පැවසූ නිර්මාණ වුව ද එසේ විය හැකි ය. එය එසේ ම ද යන්න වඩාත් පැහැදිලි කරගැනීමට මා ලිපිය ආරම්භයේ දක්වා ඇති ලිපිය ද කියවන්නේ නම් මැනවි.

වැස්සක් බඳු සම්භෝගය
 
‘ගෑනු හිටියෙම හිනාවීගෙන’ නිර්මාණ සංග්‍රහයේ මා වඩාත් ම කැමති නිර්මාණය වන්නේ එහි 6වන (පිටු 11, 12) නිර්මාණය යි. කිවිඳිය එය නම් කර තිබෙන්නේ ‘‘වැස්ස’’ යනුවෙනි. මතු පිටින් දක්නට ලැබෙන රූපක සියල්ල සිතුවම් කරන්නේ ද වැස්සක් පොළොවට පතිත වීමට පෙර සිට වැසි දියෙන් පොළොව තෙත් කරන අවස්ථාව දක්වා වු රූපක පෙළකි. නමුදු මගේ වින්දනයට හෙවත් කියවීමට අනුව නම් කිවිඳිය මේ ප්‍රකට කරන්නී හුදු වැස්සක් පිළිබඳව නොවේ; ඇය ප්‍රකට කරන්නී ස්ත්‍රියක සහ පුරුෂයකු අතර ඇතිවන ලිංගික සම්භෝග අවස්ථාවකි; එහි ආරම්භයේ සිට අවසන දක්වා වූ සිදුවිම් පෙළකි. එකී සිද්ධිය ‘සිද්ධි වාචකයක්’ ලෙස නොව ‘කවියක්’ ලෙස ඉදිරිපත් කරන්නට කිවිඳිය වෙසෙස් සමත්කමක් දක්වන්නී ය; එය සුවිශේෂී දක්ෂතාවකි.
 
තව දුරටත් පවසන්නේ නම්, මට හැඟෙන්නේ ‘කවි නම් මෙය ම නොවේ ද’ යන්න ය. මන්ද එය එතරම් ම: රසවත්ය, මනරම් ය, වින්දනීය ය. කිවිඳය මෙම නිර්මාණයේ දී කවිය යනු කුමක් දැයි එස්. ටී. කොලරිජ් පැවසූ ‘‘කවිය යනු හොඳ ම වචන හොඳම පිළිවෙළට යෙදීම ය’’ යන අදහස (නුතන කවියේ දී එම අදහස නිශේධනය වන අවස්ථා ද තිබිය හැකි ය.) කදිමට ස්ඵුට කර ඇත.

සිද්ධියකි; එහෙත් කවියකි

ලිපිය ආරම්භයේ දී ම පැවසූ පරිදි රසිකා කිවිඳිය සිය නිර්මාණ සංග්‍රහයේ දී යම් යම් සිද්ධි කවියට නගා ඇත; සැබැවින් ම ‘කවියට’ නගා ඇත. ඒ අතර මා විඳි තවත් නිර්මාණයක් ලෙස 20වන කවිය (පිටු 31, 32) ‘කරල කන්ඩෙම්’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය.

සමස්ත නිර්මාණය තුළින් කියැවෙන්නේ බාල අවදියේ දී ම පුරුෂ ග්‍රහණයට ලක්වන හිරිමල් වියේ දැරියක මුහුණ දෙන ඛේදනීය තත්ත්වයකි. ඇය එකී අතවරයට ලක්වන්නී මල්වර වීමට ද පෙර ය. නමුදු එකී සිද්ධිය රහසක් ලෙස තබාගන්නට නොහැකි වීම හේතුවෙන් තව දුරටත් ඇය පුරුෂ හස්තයට ග්‍රහණය වන ආකාරයත්, අවසන ඇය එසේ බහුතර පුරුෂ ග්‍රහණකයට ලක් කර ඇත්තේ ඇගේ ම මව, පියා, හෝ ඥාතියකු බවත් කිවිඳිය ප්‍රකට කරන්නී ය.

‘කරල කන්ඩෙම්’ නිර්මාණය කියවා, රස විඳ අවසන් වු සැණින් මීට පෙර විඳි නිර්මාණ ද්විත්වයක් මට සිහියට නැගිණ. ඒ: යනුෂා ලක්මාලි කිවිඳිය විසින් රචිත ‘වරා මලක් ගිනි අරගෙන’ නමැති නිර්මාණය සහ හරිත විශ්වජිත් මනමේන්ද්‍ර විසින් රචිත ‘අයිතිය’ නමැති නිර්මාණ ද්වය යි. මෙම නිර්මාණ ද්වයට ම පාදක වන්නේ පියාගේ ලිංගික අතවරයට පත් දියණිවරු දෙදෙනකුගේ ඛේදනීය තත්ත්වය යි. අදාළ නිර්මාණ ද්වය අන්තර්ගත වන්නේ තිඹිරියාගම බණ්ඩාර විසින් සංස්කරණය කරන ලද, 2012 වසරේ දී ප්‍රකාශිත මකරන්ද කව් සරණිය තෙවැනි වෙළුමෙහි ය.
 
රසිකා කිවිඳිය විසින් රචිත ‘කරල කන්ඩෙම්’ නිර්මාණයේ අදාළ දැරිය අතවරයට ලක් කරන්නේ කවුදැයි සඳහන් නොවුව ද අවසන ඇය: අතින් අත යන, අලෙවි කෙරෙන භාණ්ඩයක් බවට පත්කෙරෙන බව සඳහන් කරන්නී ය. එබඳූ ඛේදනීය සිද්ධියක් ඉතා මනරම් ආකාරයෙන් කවියට නගන්නට කිවිඳිය සමත් වන්නී ය. සමස්ත නිර්මාණය පුරා ම කිවිඳිය කවියක තිබිය යුතු කාව්‍යලංකාර සියල්ලම පාහේ භාවිත කරන්නී ය. එනිසා ම අදාළ නිර්මාණය ‘කවියක්’ ලෙස රස විඳීමේ අවස්ථාව පාඨක ප්‍රජාව වෙත ලැබෙන බව සක් සුදක් සේ පැහැදිලි ය.
 
විචාරයෙන් ඉක්බිති    
 
375572304 3748743102022901 7802186582031583965 n
අගනා කාව්‍ය නිර්මාණ බහුතරයක් අන්තර්ගත ‘ගෑනු හිටියෙම හිනාවීගෙන’ කාව්‍ය සංග්‍රහයේ ‘කවි’ යැයි මට නොසිතෙන නිර්මාණ කිහිපය පිළිබඳව ද යමක් සඳහන් කළ යුතු ය. මෙය මෙලෙස සඳහන් කරන්නේ කිවිදිය අපහසුතාවට පත්කිරීමට නොව ඇගේ ඉදිරි කාව්‍යාගමනයට දිරි දීමක් ලෙසිනි.

කෘතියේ අන්තර්ගත පළමු කවිය (‘පද්මලතා’ පිටු 1, 2, 3) එබන්දකි. යට සඳහන් කළ ආකාරයට මෙම නිර්මාණය ද කිසියම් සිද්ධියකි. නමුදු මගේ කියවීමට සාපේක්ෂව නම් මෙම නිර්මාණ සංග්‍රහයේ අන්තර්ගත බොහෝ නිර්මාණවලට සාපේක්ෂව එකී සිද්ධිය ‘කවියක්’ ලෙස ඉදිරිපත් කරන්නට කිවිඳිය අසමත් වන්නී ය. එය හුදෙක් ‘සිද්ධි වාචකයක්’ පමණි. එය ‘කවියක්’ වන්නට නම් තව බොහෝ කාව්‍යලංකාර එකතු විය යුතු ය.

‘ගෑනු හිටියෙම හිනාවීගෙන’ කෘතියේ එන දෙවන නිර්මාණය (‘යසෝදරාගෙයි මගෙයි ඇනවසරිය’ පිටු 4, 5) ද එබඳු ය. අදාළ නිර්මාණ වෙනුවෙන් කිවිඳිය පාදක කරගන්නා ප්‍රස්තුතය (සාකච්ඡාවට බඳුන් කරන සිදුවීම) කෙතරම් වැදගත් වුව ද එය ‘කවියක්’ ලෙස ඉදිරිපත් කර ඇති ආකාරය මගේ විඳිමට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතී.

කෘතියේ අන්තර්ගත 17වන නිර්මාණය (පිටුව 27) ද එබඳු කවියකි. කිවිඳිය යමක් පවසන්නට යත්න දරන්නී ය. නමුදු මගේ කියවීමට සාපේක්ෂව එහි කවිතාවක් නොමැත. හුදු සිද්ධි වාචකයක් ම පමණි.

එමෙන් ම 40වන නිර්මාණය වන ‘පෝරුවේදී ය’ (පිටු 64, 65) තවත් එබඳු ම නිර්මාණයකි. මගේ විඳිමට සහ කියවිමට සාපේක්ෂව එම නිර්මාණයේ ද කිසිදු කවිත්වයක් දක්නට නොලැබිණ. එය ද හුදෙක් සිද්ධි වාචකයක් ම පමණි. අනාගතයේ දි මෙබඳු අනුභූති කවියට නැගීමේ දී හැකිතාක් ‘කවියක්’ ලෙස ම ඉදිරිපත් කරන්නේ නම් මැනවි.

මා යට සඳහන් කළ නිර්මාණ ත්‍රිත්වය මගේ බින්න රුචිකත්වයට සාපේක්ෂව ‘කවි’ නොවුණ ද තවකකු එම නිර්මාණ ‘කවි’ ලෙස විඳින්නට ඇත; ඉදිරියේ ද විඳින්නට හැකි ය. එබැවින් මා යළි යළිත් සිහිපත් කරන්නේ මගේ මේ ලිවීම මගේ බින්න රුචිකත්වයට සාපේක්ෂ බවයි.
 
අවසන් වශයෙන්, මා ඉතා හොඳින් රස විඳි අගනා නිර්මාණ කිහිපයක් ලෙස: ‘සාදය හමාරයි’, ‘හඳ උඹ මං වගෙ ද’,  ‘දැන්වීමයි’, ‘මම නො වේ මම ඉන්න’, ‘උඹ ටිකක් ප්‍රැක්ටිස් වෙයන් මනමාලකං’, විනිශ්චය’,  ‘ඇළ ඉවුරේදී ය’, ‘කළු පාටයි එයයි මමයි’ සහ ‘වත්සලාගේ බොඩිය’ නමැති නිර්මාණ කිහිපය ද සඳහන් කළ යුතු ම ය. එම නිර්මාණ කිහිපය ද කාව්‍යාත්මක ය; විඳිය හැකිය.

ආලින්දයෙන් ඔබ්බට 21: ප්‍රේක්ෂක ප්‍රජාව රස්තියාදු නොකළ 'සුසුම් රස්තියාදුව' -  (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2024/03/03      

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...