සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන්, මා කුණු ටෙලි නොබලන අතර, කුණු ටෙලි සම්මාන උළෙල ද ඇහේ වැදුන ද නොබලන්නේ ය. එහෙත් මෙදාපාර ටෙලි නාටක දෙකක් /තුනක් බලන්නට අමතක කළේ නැත. එයට හේතු සාධක කීපයකි. එනම්:
කැමති ම ටෙලි නිර්මාණ දෙක

මගේ ප්‍රියතම වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන් ම දීර්ඝකාලීන මිත්‍රයෙක් වන ප්‍රසන්න ජයකොඩිගේ ටෙලියක් විකාශය වන නිසා ය; ඒ, ‘‘එයා දැන් බැඳලා’’ නම් වූ ටෙලිය යි. මා එම ටෙලි නාටකය නොවරදවා නරඹන්නට පුරුදු වූ අතර මම එයට ඇබ්බැහි වීමි. එය කොතරම් ද යත්, අන්තර්ජාලය හරහා එක ම කොටස නැවත නැවත කීප වතාවක් ම නැරඹුවෙමි. මේ ලියන්නට පෙර ද නැවතත් නැරඹුවෙමි.
එහි රඟන, මා කැමති ම රූපණවේදීහු දෙදෙනෙක් වෙති. එනම්, මහානළු (‘‘Big boss’’) මහේන්ද්‍ර පෙරේරා සහ අසහාය රූපණවේදියෙකු වන සරත් කොතලාවල ය.

මයිමා හෙවත් මනියාගේ ප්‍රථම ටෙලියෙන් ම, ඔහු වැඩ ඇල්ලූ අතර මම ඔහුට ද ඇබ්බැහි වීමි.
සේමිණී ගේ පැරණි රැඟුම්වලට මා එතරම් ප්‍රිය නො කළ ද, ‘‘එයා දැන් බැඳලා’’ තුළින් සුද්දිට ද, සුද්දි නිසා සේමිණීට ද අසීමිත ලෙස ආදරය කළ අතර, ඇයගේ අපූර්වතම රංගනයට ද ඇබ්බැහි වූයේ නිරායාසයෙන් ම ය.

ජගත් මනුවර්ණගේ සරලත්වයට හා පෙනුමට මා කැමති ය.
ඔහුගේ රංගනය මා සිතන පරිදි මට මහා රැඟුමක් නො වූවත් එය බලා සිටිය හැකි අපූර්වත්වයකින් යුක්ත ය.
ඔහු ජාතික ජන බලවේගයේ උදාර කලාකරුවෙක් වන බැවින් ද, ජන නියමු කලාකරු සංවිධානය ආදරණීය සහෝදරයෙක් වීම නිසා ද, මම ජගත්ගේ කොඩි ගහට බලන්නට පෙලඹෙන්නට ඇත.

දිල්හානි සහ තරින්ඳිගේ රංගනයට ද මම වහ වැටුනෙමි. ඒ දෙදෙනා ද, නලින් ලුසේනාගේ වෙනස් ම රංගන අර්ථකථනයක පැතිකඩක් දුටු බැවින් එයට ද, මම වශී වුණෙමි. නමුත් ටික දිනක් ගතවන විට ‘‘කොඩි ගහ යට’’ ටෙලියට තිබුණ උනන්දුව හීන වී ගියේ ය. එහෙත් ‘‘එයා දැන් බැඳලා’’ ටෙලියට දිනෙන් දින ම මම ඇබ්බැහි වීමි. තත්ත්වය එසේ වුව ද මම මෙම ටෙලි නාටක දෙක ම අවසන් වන තුරු නැරඹුවෙමි.

‘‘කොඩි ගහ යට’’ ටෙලි නාටකය එපා වන්නටත්, ඒ පිළිබඳව ඇති උනන්දුව හීන වන්නට ත් බලපෑ හේතු කීපයකි. ඒ: අභව්‍ය කතා වින්‍යාසය දිගින් දිගට ම රබර් පටියක් ලෙස ඇදගෙන යෑම, නදීෂා හේමමාලි, රන්දික ගුණතිලක, නිපුණි ශාරදා, සැලුන් කෙල්ල වැන්නන්ගේ ඕලාරික රැගුම් බලා සිටින්නට බැරි තරම් අප්‍රිය ජනක වීම යන කරුණු ය. එමෙන් ම කළූ හිර ගෙදරදි හමුවීම සාධාරණ ය. එහෙත් ඒ ටෙලියට කළූගේ නංගි, නංගිගේ ස්වාමිපුරුෂයා, ඔවුන්ගේ දරුවා සහ කළූගේ අම්මා කුමකට ද...? අවසානයේ ඒ චරිතවලට සිදු වුණේ කුමක් ද...? යන සිතිවිල්ල මගේ දුර්වලතාවක් ද...? එසේ නම් එය හොඳ ම ටෙලිය වන්නේ කෙසේ ද...?
අසේල හිර ගෙදරදි වසන්තට හමුවීම සාධාරණ යයි සිතමු. මේ ටෙලියට අසේලගේ අක්කා, අක්කගෙ මිනිහා සහ ළමයි, අසේලගේ නංගි, අක්කගේ ස්වාමි පුරුෂයාගේ යාළුවෝ... ඔවුන් කුමකට ද..? ඔවුන්ට සිදු වූයේ කුමක් ද...? විනිශ්චය මණ්ඩලය ටෙලි නාට්‍ය දැකලා ම නැතිද ...? එසේ නම් මෙය හොඳ ම ටෙලිය වන්නේ කෙසේ ද...? ටෙලි නාට්‍යයක වුව ද, වේදිකා නාට්‍යයක වුව ද, චිත්‍රපටයක වුව ද කම්මැළියකුගේ චරිතයක් රඟපාන නළුවා හෝ නිළිය කම්මැළි වීම විය යුතු නැත. කම්මැළි විය යුත්තේ චරිතය සහ භූමිකාව පමණි. නිපුණි ශාරදාගේ රංගනය තුළ ඒබව දක්නට ලැබුණි.
බල්ලෙකු අකමැත්තෙන් නාවන්නට රැගෙන යන විට බ්‍රේක් ගහනවාට අප කීවේ බලු බ්‍රේක් කියා ය. මෙහි ඇතැම් නළු නිළියන්ගේ රඟපෑම් ද බලු බ්‍රේක්වලට සමාන ය.
සුලෝචනා සහ අනුරාධගේ රංගන තුළ තිබූ හුරුබුහුටි බව නිසා හැර එම චරිත ටෙලි නාටකයට අවශ්‍ය නැත. එසේ නම් ‘‘කොඩි ගහ යට’’ හොඳම ටෙලි නාට්‍යය වන්නේ කෙසේ ද..? අසේල අතින් ඝාතනය වූ මිතුරාගේ බිරිඳ සහ ළමයාට කුමක් වී ද ..? කළූගේ ඒඩ්ස් රෝගයට සිදුවූයේ කුමක් ද...?

මුස්ලිම් මුදලාලිගේ පුතා, පොලිස්කාරයන්, වැඩ තහනම් පොලිස් නිලධාරීන්, නීතිඥයා, ඔහු සමග සිටින සිංහල බැරි තරුණිය, හාමුදුරුවරු යන මේ චරිත මේ ටෙලියට ඒ ආකාරයට කුමකට ද...? බුද්ධික දමයන්ත නිරූපණය කළ අතිශය භීෂණකාරී මිනීමරු චරිතය සහ සෆීර් නිරූපණය කළ ගාමන්ට් මැනේජර් චරිතය කාටත් හොරෙන් ටෙලියෙන් මාරු වී ඇත.
තරින්දි සහ ඇයගේ පැරණි පෙම්වතා...? මේවා අසම්බන්ධ සබඳතා නොවේ ද...? ඒ සියල්ල ම එදා වේල ටුවර්ස් බඳු, එදිනෙදා කොටසට ඇමිණූ විසූකදස්සන නොවේ ද...? ජනෙට් ගේ රඟපෑම් බලා සිටීමට බැරි තරම් ඒකාකාරී ය. සෑම ටෙලියක ම එකාකාරයෙන් පෙනී සිටින මේ පුද්ගලයාගේ රඟපෑම් මේ ටෙලිනාට්‍යයට මහා වදයකි. ඒ චරිතය ද එහි භූමිකා ද බලෙන් ඇතුළත් කළ ඒවා නොවේ ද...?
හොඳම නළුවා ජගත් මනුවර්ණ නො වේ.
හොඳම ටෙලි නාට්‍ය කොඩි ගහයට නො වේ .
හොඳම සහාය නළුවා රන්දික ගුණතිලක නො වේ.
එබැවින් ප්‍රථමයෙන් ම මොවුන් සියලු දෙනා ම මෙම සම්මාන ලබා ගැනීම පිළිබඳ ලජ්ජා විය යුතු ය.
එයා දැන් බැඳලා විශිෂ්ට නොවූයේ ඇයි...?
‘‘එයා දැන් බැඳලා’’ ටෙලිය මෑත කාලයේ මා දුටු ඉතා ම ප්‍රශස්තතම සංස්කරණය ඇතුළත් ටෙලි නාටකය යි. එහි භාවිත කර ඇති සංස්කරණ රීතිය අතිශයින්ම සිනමා රූපී ය. සමහර තැන් කලාත්මක හොලිවුඩ් චිත්‍රපටයක සංස්කරණ රීතිය හා සැමතැන් ගනී. විනිසුරුවන් ලෙස ක්‍රියා කළ පිරිස එය දැන සිටියේ නැත. මහෙන්ද්‍ර පෙරේරාගේ සුවිශාල රංගනය සමස්ත ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට අංශය යන සියල්ල ම ආවරණය වූ අතිසාර්ථක සුවිශේෂ රංගනයකි.

මහේන්ද්‍ර නම් රංගන ශිල්පියා
මෙබඳු පාදඩ ජීවිතයකට හුරුව සිටි සිරිල්, සුද්දි දැකීමෙන් ඔහු තුළ ඇති වූ, විපර්යාසය මහේන්ද්‍ර පෙරේරා ඉතා අපූරුවට ප්‍රතිනිර්මාණය කළේ ය. එසේ ම මේ පවුලේ සාම්දායික පොදු සබඳතා, සහෝදර සබඳතා පිය පුතු සබඳතා යන සියල්ල අසම්මත, විකාර රූපී සංස්කෘතික තත්ත්වයක් බවට පත්ව තිබිය දී, ඒ චරිතවල හැසිරීම් රටා අධ්‍යක්ෂවරයා විසින් මෙහෙයවා තිබූ ආකාරයත්, අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම යටතේ නළු නිළියන් එම භූමිකා තමාගේ පෞද්ගලික ශරීර තුළට ආරූඪ කර ගෙන තිබූ ප්‍රබල සමාරෝපයත් විස්මිත ය. ඒ කිසිවක් නො සලකා හැරීමෙන් විනිශ්චය මණ්ඩලයේ අමු ම අමු නිරුවත ප්‍රදර්ශනය වේ. නමුත් විනිස්සුරුවන් කෙරෙහි අපට අනුකම්පා කරනු හැර ඒ වෙනුවෙන් වෙනත් කළ හැකි කිසිවක් ම නැත.

විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ. එනම් සුද්දිගේ විවාහය දවසේ ප්‍රියන්ත සිරිකුමාර වෙරිමතින් කළ නර්තනය සුපිරි රංගනයකි. එහි රිද්මය සහ ගතිකත්වය ඉතා අපූරු ය. ප්‍රසන්න මහා නිර්මාණවේදියෙක් බව ඉන් සනාත වි ය. ප්‍රියන්තගේ ශරීරය තුළ වූ ඒ රංගන කුලප්පුව සහ වලිප්පුව එළියට පැමිණ තිබුණේ පෙර නොවූ විරූ ලෙස ය. ඒ මොහොත යනු මහා විශාල අර්ථයක් කැටි කර ගත් මොහොතකි.
එක සිරුරක්... චරිත ගොඩක්...
පතලේ වැඩ කරන සිරී, තාත්තා ගැන සැක කරන සිරි, තාත්තා පිළිකුල් කරන සිරි, සුද්දිට ආදරය කරන සිරි, කරුණාව දක්වන සිරී, සුද්දිව සැක කරන සිරී, මනී සැක කරන සිරි, මනීට ආදරය කරන සිරී, සුද්දි සමඟ ජීවත් වන්නට ආසා කරන සිරි, සුද්දි ගෙන් මිදෙන්නට තැත් කරන සිරි යනාදි සියලු චරිත එකම ශරීරයක් තුළ කෙසේ මැව්වා ද යන්න සිතාගත නො හැකි ය. සුද්දි ගැබ්බර වූ බව දැන ගත් දවසේ සිරීගේ ආශාව, බලාපොරොත්තුව සහ කලකිරීම එක ම මුහුණේ කීප පළකින් මතු කළ මහේන්ද්‍ර බිග් බොස් නුඹ පිළිබඳ මට තරහක් ද සිතේ.

එය ස්ටැනිස්ලාව්ස්කිගේ මෙතඩ් ඇක්ටින් ද...? මාලන් බ්‍රැන්ඩෝ good father චිත්‍රපටයේ සහ the street car named desire වේදිකා නාට්‍යයේ මෙන් ම, චිත්‍රපටියේ ද භාවිත කළ ආකාරයේ මෙතෙඩ් ඇක්ටිං රංගනයක් ද...? එම දර්ශන: ඇල් පශිනෝ, පෝල්මුනි, ටොම් කෲස් ආදී හොලිවුඩ් නළුවන් ද, චාලි චැප්ලින්ගේ ඉතාම සංවේදී රඟන අවස්ථා ද සිහිගන්වයි. එසේ ම සුද්දී සහ තම පියා සැක කරන සිරීගේ සියුම් නිරූපණ අවස්ථා අතිශය සුන්දර ය.
සරත් කොතලාවල නම් රංගවේදියා

‘‘එයා දැන් බැඳලා’’හී අනෙක් ප්‍රබල රංගන ශිල්පියා සරත් කොතලාවල ය. සරත් කොතලාවල වෙනත් කිසිදු චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට භාවිත නො කළ ආකාරයේ අති විශේෂ රූපණ විධික්‍රමයක් මේ සඳහා භාවිත කළේ ය. ඔහුගේ ගමන - බිමන, කතා බහ, හැසිරීම යනාදිය මුළු ටෙලි නාටකය පුරා ම එක ම ආකාරයකට රඳවා තබා ගැනීමට ඔහු පානා සමත්කම ඉදිරියේ මහේන්ද්‍ර පෙරේරාට, සරත් කොතලාවල කිසි විටෙකවත් දෙවැනි නො වේ. එසේ තිතට නූලට continuity තබා ගැනීම නළුවකුට පහසුවෙන් කළ හැකි දෙයක් නො වේ. අතපය නොදැනුවත්ව ම සෙලවීම, වෙව්ලවීම්, ඇස්වල හැඩය, බැල්ම, උරුවම් බෑම සහ කුපාඩි, වල් - වනචර පෙනුම, තක්කඩි වැඩවල යෙදෙන සූක්ෂ්ම ක්‍රමවේදය ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් හොඳ ම නළුවාට නිර්දේශ විය යුත්තේ, සරත් කොතලාවල සහ මහේන්ද්‍ර පෙරේරා යන දෙදෙනා පමණි. ඒ අතරින් හොඳ ම නළුවා මහෙන්ද්‍ර පෙරේරා වී, හොඳ ම සහාය නළුවා විය යුත්තේ සරත් ය. එය විනිසුරු මඩුල්ලක මහා පෞරුෂය විදහා පාන සිදුවීමකි. තීන්දුවකි.

තිලංගට අවශ්‍ය පරිදි මාර්කට් කළ හැකි චරිත උඩ දමා මෙලෙස බහුරු කෝළම් පෑමට මහා නළුවන් දෙදෙනකු මෙලෙස අව භාවිත කිරීමට ඉඩ දිය නොහැකි ය. විචාරක, ප්‍රේක්ෂක , සහෘද හිතමිතුරු - සතුරු සියලු දෙනා මේ මොහොතේ නිදි වර්ජිත ද...?
ගිය වසරේ සුමිත් රත්නායකගේ අනර්ඝ ටෙලිය වූ මහ පොළොව කපා දමා, අති සුවිශේෂ රංගධරයා වූ ලක්ෂමන් මෙන්ඩිස්ගේ සම්මානය වළකා, තරින්දි ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ යනාදි නළු නිළියන් නොසලකා හැරි මොහොතේ: විචාරක, ප්‍රේක්ෂක පිරිස නිහඬ වී සිටීම තුළ මේ වසරේ මෙබඳු මහා විනාශයක් සිදුවී ඇති බව මගේ හැඟීමයි.
රන්දික ගුණතිලක තව ම අංකුර නළු බට්ටෙක් නිසා එලෙස හැසිරුණා විය හැකි ය. විලි ලැජ්ජා නැතුව තමාට අයිති නැති බව දැන දැන සම්මාන පිළිගන්නට දුවගෙන, පැනගෙන පිස්සන් වෙතට යෑමට තරම් පහත් තත්ත්වයට පත්වන්නේ ඔවුන්ගේ ඔළු ගෙඩිවල අශුචි පිරී ඇති වා සේ ය.
ජගත් කළ යුත්තේ කුමක් ද...?

ජගත් මනුවර්ණ මේරූ මිනිසෙකි; අත්දැකීම් බහුල වගකිවයුතු දේශපාලන මතවාදයක නියැළෙන අපූරු හිත මිතුරෙකි; දක්ෂයෙකි; චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඒ ගැන සැක සංකා නැත. සැබැවින් ම ජගත් ඔබ මෙවර (කොඩි ගහ යට) හොඳම නළුවා නො වේ. හොඳම අධ්‍යක්ෂ නො වේ. එය හොඳම ටෙලිය නො වේ. ඔබ ඒ සම්මාන රැගෙන විත්, මේ ජරා ජීර්ණ වූ සමාජ වටපිටාව මැද ඔබේ අතැති සම්මානය මහේන්ද්‍රට දී, මේ සම්මාන මට සුදුසු නැත. ඒවා අයිති පුද්ගලයා ඔබ ය. යන වචන දෙක පැවසුවා නම්, හෙට මේ රටේ ජනාධිපති ඔබ ය. එය ඔබ නියෝජනය කරන දේශපාලන දර්ශනයට පක්ෂයට විශාල ලකුණු කන්දරාවක් වැටෙන ක්‍රියාවක් වනු නිසැක ය.
ඇත්තට ම ඔබ එසේ කළ යුත්තේ, දේශපාලන පක්ෂයකට සංවිධානයකට ලකුණු දැමීමට නොව, ඔබේ මිනිස්කමේ මහිමය සහ ඥානවන්තකම, ගුණ යහපත්කම ප්‍රදර්ශනය කිරීම වෙනුවෙනි. ඔබ එසේ කළා නම්, මේ රටේ සදාතනික වීරයා ඔබ ය. ඔබට ඒ තරම් ජවයක්, සිහි බුද්ධියක් නො මැති වූයේ කෙසේ ද...? ඔබ රඟපෑ රූප රාමු සහ මහේන්ද්‍ර පෙරේරාගේ රූප රාමු එකවර නරඹා, හොඳ ම නළුවා ඔබ ද, ඔහු ද යනුවෙන් ඔබ ම තීරණය කරන්න. ඔබ...මේ කුණු ගොඩට කරගැසීම අපරාදයකි. එබැවින් මට ඔබ ගැන ද කණගාටු සිතේ.

සරත් කොතලාවලගේ අසහාය රංගනය මෙන් ම මයිමාගේ අසහාය රංගනය ද නොදුටු විනිශ්චය මණ්ඩලය පිළිබඳව ද කනගාටුවක් පවතී. මහෙන්ද්‍රගේ රංගනය පිච්චියකට නො සලකා හැරි ඒ මෝඩ තකතිරුවන්ට සරත් සහ රාමා පෙනේ ද...? සේමිණීට සම්මානය දුන්නේ සම්මාන බෙදා දිය යුතු නිසා විය යුතු ය.
මැණික් පතල , නායගිය භූමිය , තැනීම සම්බන්ධව පමණක් හොඳ ම කලා අධ්‍යක්ෂණයට සම්මාන දිය යුතු ය. ඒ උළෙලේ තවත් නොගැළපෙන දෑ රැසකි. ඒ මෙසේ ය.
කොඩි ගහ යට සම්මානයට නුසුදුසු ඇයි...?
කොඩි ගහ යට සේවියර් කනිෂ්කට වඩා රන්දිකගේ රංගනය ප්‍රබල වන්නේ කෙසේ ද...? එය විහිළුවකි. රන්දික වරෙක පියල් වන අතර නැවත රන්දික වේ. ඔහුට ඔහුගේ චරිතය රඳවාගන්නට බැරිවූ අවස්ථා ටෙලිය පුරා ම දැක ගත හැකි ය.
හොඳම තිර රචනය ‘‘එයා දැන් බැඳලා’’ ප්‍රසන්න ජයකොඩි ය. නමුත් හොඳම ටෙලිය නරක පිටපතකින් නිම කළ ‘‘කොඩි ගහ යට’’ ය. මේ සියල්ල අපභ්‍රංශ නොවන්නේ ද...?
හොඳම අධ්‍යක්ෂණය හොඳ ම පිටපතින් නිර්මාණය කළ අපූරු ටෙලිය ‘‘එයා දැන් බැඳලා’’ නොවේ. වල් බූරු චරිත රාශියක් අතරමං කර, අකා මකා දැමූ ‘‘කොඩි ගහ යට’’ ය.

2022 හොඳම නළුවා මාණික්කාවතේ ජගත් චමිල නොව, තුන්පනේ මධුර ප්‍රභාෂ්වර ය. එය නම් වසරේ හොඳ ම විහිළුව ය. ජගත් චමිලගේ මහන්සිය ගඟට කැපූ ඉණි සේ විය.
සම්මාන ප්‍රධානය කරන්නට වේදිකාවට පැමිණි, ‘‘ශ්‍රියානි අමරසේකර’’ නම් අලුත් සිනමා නිළියකි.
මැණික් මානික්කාව නමින් ටෙලියක් තිබූ බව නිවේදනය වීම තවත් විහිළුවකි.
අති සාර්ථක සංස්කරණ රීතියක් අනුගමනය කළ ‘‘එයා දැන් බැඳලා’’ හොඳ ම සංස්කරණයට නිර්දේශ වන්නේ ද නැත. එම සම්මානය හිමි වන්නේ ‘‘කොඩි ගහ යට’’ සංස්කරණයට ය. ජෙනට් කපුවාගේ කෙළවරක් නැති දිගින් දිගට ඇදී ඇදී යන දේවාල දර්ශන, මෝටර් බයිසිකල් පදින දිගු දර්ශන, දිගින් දිගට වාහන පාර දිගේ ධාවනය කිරීම, වෙරළ දිගේ මිනිසුන් ඇවිද යෑම, ඔවුන්ගේ අඩි පමණක් සහ පශ්චාද් බාගය පමණක් බොහෝ වේලා පෙන්වීම යනාදිය ‘‘කොඩි ගහ යට’’ සංස්කරණයේ පංකාදුවයි.
ඒ අතර, එක් නිවේදකයෙක් සෑම විටම අත් පොඩි ගසන ලෙස ඉල්ලා මොර දෙන අතර, සභාතොමෝ බිහිරන් ගොළුවන් සේ බලා සිටිති. අත්පොළසන් දෙන්නැයි නිවේදකයා නැවත නැවත විලාප දෙයි. ඒ කෑගැසීම පුදුම හිරිහැරයකි.
සියල්ල මෙසේ තිබිය දී, ප්‍රසන්න ජයකොඩිගේ සම්මානය ලබා ගැනීම සඳහා මහා නළු මහේන්ද්‍ර පෙරේරා වේදිකාවට ගොඩ වූ අතර, ඔහු එම සම්මානය රැගෙන දෑත ඔසවද්දී ප්‍රකාශයට පත් වූයේ කුමක්දැයි සියලු දෙනාට ම දැනෙන්නට විය.
අනාගතයත් මෙලෙස ම ද...?
මේ ආකාරයට කුමති සම්මාන උළෙල අවසන් විය. මහා නළුවන්, අධ්‍යක්ෂවරයෙක්, සහ තව තවත් අනුෂංගික කලාකරුවන් රැසක් අවමානයට, අපහාසයට ලක්විය.
තවත් ටෙලි සම්මාන උළෙලකට ආරාධනා කෙරේ. මේ සම්මාන උළෙලෙන් පාඩමක් ඉගෙන නො ගන්නා ප්‍රසන්න ජයකොඩි, එම සම්මාන උළෙල ගැන නිවේදනය කරමින් ඇම්බැසඩර් කෙනෙක් වනු දැක ගන්නට ලැබීම කණගාටුවට කරුණකි.
මේ විනිසුරු මණ්ඩලය පිළිබඳව නොබෝදා ලියා දන්වන බව පොරොන්දු වෙමි.
ප්‍රබුද්ධ කලාශිල්පි හිතවතුනි , අසහාය කලාකරුවනි, නුඹලාගේ අසහාය කලාකෘති මෙබඳු කසළ සම්මාන උත්සවවලට ඉදිරිපත් නොකර මහජනතාවට ප්‍රදර්ශනය කර මහජනතාවගේ ආශිර්වාදය, ප්‍රේක්ෂක වින්දනය සහ ආදරය පමණක් ලබා ඉතිහාසගත වන ලෙස කාරුණිකව ඉල්ලමි.
(මු. දූ. රංජිත් ද සිල්වා)ප්‍රවීණ නාට්‍යවේදී
උපුටා ගැනීම මු. දු. රංජිත් ද සිල්වාගේ Facebook පිටුවෙනි.




