BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අතීතයට ගිය ගමනක් - (චින්තන ධර්මදාස)

T

The Leader

March 13, 2024 • 4:01 AM

අතීතයට ගිය ගමනක් - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයෙ මං ඩීමන් ආනන්ද ගැන කතා කරන්න බයෝ සර් අසංග අබේසුන්දර හම්බුවෙන්න ගියා. කිරුළපනේ මානව ශ්‍රවනාගාරයට. හැමදාම ඒක
  • සත්ත්ව විද්‍යාවට අමතරව නිර්මාණශීලී බවත් තිබුනා.
  • ඒත් ඒ අය ඉගැන්නුවෙ සල්ලිවලට නෙමෙයි.  ''මානව'' විද්‍යා සඟරාව පළමු මුද්‍රණ කලාපය, 1984 අගෝස්තු   අසංග අබේසුන්දරගෙ මානව කියන නම එයාගෙ ජීවිත ව්‍යාපෘතිය.
  • මානව එකට ඇතුල්වෙද්දි මට දැනුනෙ මං ඒ අනූ ගනන්වල අතීතයට ඇතුල් වෙනවා වගේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉස්සරහින් යද්දි එද්දි ඒ දිහා බලාගෙන මිනිත්තුවක හරි ආවර්ජනයකට යන එක මගේ නිරායාස පුරුද්දක්. ඒ තැන තිබුණා අමුතු මූඩ් එකක්. හැම දෙයක්ම නවීකරණය වෙන්න, දිලිසෙන්න පොරබදද්දි මානව එක ආශ්‍රමයක් වගේ පරණ වුනා. ඒ කලබලකාර පාර අයිනෙ ඒ ගොඩනැගිල්ල අමුත්තක්.


අසංග අබේසුන්දරගෙ ඉගැන්වීමේ රටාවත් හරි වෙනස් එකක්. ඒකෙ දැනුමට අමතරව අර්ථ ගවේෂණයක් තිබුනා. සත්ත්ව විද්‍යාවට අමතරව නිර්මාණශීලී බවත් තිබුනා. තිස්ස ජනනායකලා වගේ අය දකිද්දි හිරිකිතයක් දැනෙන්නෙ ඒ ගැඹුරු මානවීය ගුණ දරන ගුරුවරු අපිට මුනගැහිලා තියෙන හින්ද. ඒ අය ඉගැන්නුවෙ සල්ලි අරගෙන, කාර්ඩ් දීලා. ඒත් ඒ අය ඉගැන්නුවෙ සල්ලිවලට නෙමෙයි. 

manawa''මානව'' විද්‍යා සඟරාව පළමු මුද්‍රණ කලාපය, 1984 අගෝස්තු
 
අසංග අබේසුන්දරගෙ මානව කියන නම එයාගෙ ජීවිත ව්‍යාපෘතිය. ආනන්දෙ ඉගෙන ගන්න කාලෙ ඉඳන් එයා කරන හැමදේකම තියෙන්නෙ ඒ නම. ඒක හුදු නමක් විතරක් නෙමෙයි අසංගගෙ ෆිලොසොෆිය. එයා විශ්වාස කරන්නෙ හෝමෝ සේපියන්ස් සේපියන්ස් කියන මානවයාව. 

දුටු ගැමුණු හෝ රාජපක්ෂ හෝ නෙමෙයි බුදුන් වුනත් අසංග අදහන්නෙ නෑ. එයා විශ්වාස කරන්නෙ විද්‍යාව. ඒ විද්‍යාව කියන්නෙ මානව ශිෂ්ටාචාරය විසින් නිෂ්පාදනය කරපු දැනුමක් හින්ද.
 
asanga abeysundara maanawa editor publisherඅසංග අබේසුන්දරඅසංග සර් අපි පංති යන කාලෙදි කවි පොතක් ලිව්වා. මේ කියන්නෙ 1995දි. ඒකෙ නම තුං මංසල පබාවතී. විද්‍යාව ඉගැන්නුවට අසංග සර්ගෙ ඇල්ම බැඳියාව තිබුනෙ කලාවට. ඒක ටිකක් දරුණු ඇබ්බැහියක්. සෑම සියලු කතා නවකතා කෙටි කතා කවි චිත්‍රකතා කියවන්නත් ඒවා එකතු කරන්නත් අසංග සර්ට තියෙන පුරුද්ද දැකලා ඊයෙ මං පුදුම වුනා. ප්‍රබුද්ධ පීචං බේදයක් නැතුව හැම ලේඛකයෙක්ම කියවන්නත් ඇසුරු කරන්නත් එයා ලොල්. ඩීමන් ආනන්ද කියන්නෙත් අසංග අබේසුන්දර ළගින් ඇසුරු කළ හිතවතෙක්. ඩීමන්ව හොයාගෙන යද්දි මට ආපහු අසංගව මුනගැහෙන්නෙ ඒ විදිහට.

මානව එකට ඇතුල්වෙද්දි මට දැනුනෙ මං ඒ අනූ ගනන්වල අතීතයට ඇතුල් වෙනවා වගේ. අපි වෙනස් වුනත් ඒ කිසි දෙයක් වෙනස් වෙලා තිබුනෙ නෑ. ඩීමන් ගැන විස්තර කතා කෙලවරේදී මට ආපහු තුං මංසල පබාවතී පොතක් ලැබුන. ඒක ඉස්සර මං කියවපු මුල් කොපිය නෙමෙයි. දෙවෙනි මුද්‍රණයක්.                                                                                                                                  

පොතට පෙරවදන ලියලා තියෙන්නෙ කාලෝ ෆොන්සේකා. ඒලෙවල් කාලෙදි ලියපු මුල් පෙරවදනෙන් ‘විභාගය සමත් වෙන්න නම් කවියට යොදන කාලය අඩු කරන්න’ කියලා කාලෝ අසංගට අවවාද කරනවා.

මේ කවි මාර කවි නෙමෙයි. ඒවා හරිම සරල කවි. හැබැයි ඒ කවි පුරා අසංගගේ ‘මානව’ දර්ශනය තියෙනවා. ඒක එක්තරා විදිහක ජනතාවාදයක්. හැබැයි  දියුණු මේ රටට අවශ්‍ය ජනතාවාදයක්. ඒ හින්දම මේ කවි සාමාන්‍යපෙළ උසස්පෙළ වයසෙ ළමයි කියවන එක වැදගත් කියල මං හිතනවා. මොකද ඒ අය ජනනායක වර්ගයේ මානසිකත්වයකින් සමාජයට ඇතුල් නොවී අසංග යෝජනා කරන මානවීය මානසිකත්වයකින් සමාජයට පිවිසෙන්න ඒක හේතු වෙන හින්ද.

මේ කවි ඇතුලෙ මට මුනගැහෙනවා අපි පහුකරපු ඒ අනූ ගණන්වල අතීතය. ඒ කාලෙ තිබුණු නිදහස. අසංග ඒ ගැන මතක් කරමින් කාලෝ කියපු කතාවක් කිව්වා.
 
‘මේ විදිහට බුද්දාගම ගැන ලියන්න එපා. ඉස්සරහට ආන්ඩුවලින් නරක ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්’ ඔන්න අද වෙද්දි ඒ කාලෙ ඇවිල්ල’. අසංග ශක්තික සත්කුමාර ගැන මතක් කරමින් දුකට හිනාවුනා.
 
 
shakthika 20231025 ශක්තික සත්කුමාර

මේ කවි අසංග ලියන කාලෙ බුද්ධාගම කියන්නෙ නිදහසේ ඕනම දෙයක් විචාරන්න පුළුවන් ආගමක්. 

සියල්ල එසේ සිදුව ඇත
එසඳ ඒ පිළිබඳ
පැණ විචාරය
වරද සහිත වේ

සිංහ පියයි- මිනිස් මවයි දරුවන් තැනුවේ
ඒ දරුවන්ගෙනි සිංහල ජාතිය තැනුනේ

පහදන්න ගුරුතුමනි මෙහි අරුත
වීද මගක් සිදුවන්නට මෙවන් දෙයක්?

අසංග තමන්ගේ විෂය ඇතුලෙ ඉතිහාසය පැත්තට හැරෙනවා. එහෙම හැරිලා පෙනිසිලින් හොයාගත්තෙ දුටුගැමුනු වගේ කතා  කියන්නෙ නෑ. එයා තර්ක බුද්ධිය අවදි කරනවා. 

නිහඩ වනු මානවකය
රිසිවේද
ලබන්නට අවමාන
විඳින්නට මහා දුක?

අසංග එහෙම ලියද්දි දැන් අපිට කස්සප මතක් වෙනවා. අයිසීසීපීආර් මතක් වෙනවා.

පෑ එකසිය හැට අටක්ම 
නෙතුපිය නෙගසා සිටීම
කළ හැකි දැයි පහදනු මැන

අසංග අනිමිසලෝචනය ප්‍රශ්න කරනවා. ඇත්තටම අපේ සිතීම නිර්මාණය කරන්න අපිට මුනගැහුනු ගුරුවරු ලොකු බලපෑමක් කියල මට හිතෙනවා. එතනදි මගේ ජීවිතේට නම් වඩාත්ම බලපෑම් සහගත වුනේ මං සල්ලි ගෙවලා ගිය ටියුෂන් ගුරුවරුයි. සියලු විශ්වාසයන් ඇදහීම් ප්‍රශ්න කරන්න ඒ කාලෙ ඒ ගුරුවරු අපිව පෙළඹුවා.
 
tution 02
අද මේ දේවල් ගැන මට වෙනත් වෙනත් මානයන්ගේ කියවීම් තිබුණත් මේ නොබියව තාර්කිකව ප්‍රශ්න කිරීමේ ගුණය මනුස්සයෙක් වෙන්න නම් තියෙන්නම ඕන දෙයක්.

යුද ගැටුමකදි
වීය දෙපිලක්
මැරුනෝය දෙපිලේම අය
යුද අවසන
වසර කීපයකට පසු
උන් වැළලූ තැන්
කණින විට

එකම හැ‍ඩ රුවින් යුතු
ඇට කටු වීය එහි

ඒ අනූ ගණන්වල යුද්ධය ගැන හිතපු හැටි. දෙදාස් පහෙන් පස්සෙ ක්‍රියාත්මක වුනේ මේ සිතීමේ ප්‍රතිවිරෝධය. ඊට පස්සෙ බිහිවුනේ යුද්ධය ජයග්‍රහණයක් කියල හිතන පරපුරක්.
 

අක්කෙ අක්කෙ ඇස් අරින්න
පොඩ්ඩක් මෙහෙ බලන්නකෝ

තාච්චි වගේ අප කලු වෙද්දි
ඇයි අක්කා සුදු ආප්පෙ වූයේ
අක්කගෙ සුදු හඳහාමිව
රාහු හනික ගිල ගත්තා

ඊට පස්සෙ අක්කා උත්තර දෙනවා

ඉස්සර කාලේ බොහෝම images
හැඩ තොප්පිය දාගෙන ලොකු
ටක් ටක් ටක් ටොක් ටොක් ටොක්
යකඩ කෑලි බිම උල උල
ඒරොප්පෙන් එහා ලොවෙන්
සුදු පාටට රතු පාටට
තේ බලන්න ආවා ඇත්තො
මොකවත් මම ඉල්ලුවාම
ගන්ඩම ගන්නයි කියලා
සුද දුන්නා මගේ අතට

තේ වත්තක කලු පවුලක ඉපදුනු අක්කා සුදු වුනු හැටි අහන් ඉඳලා අන්තිමට පොඩි එකා (අබේසුන්දර) මෙහෙම කියනවා. 

ඒත් මගේ සුදු අක්කේ
ආයෙත් ආවොත් ඒ අය
සුදු පාටම ඉල්ලාගෙන
දුවලා දුවලා දුවලා ගිහින්
එල්ලෙනවා ඒ අත්වල..

ඒ කවිය කියවද්දි මට මොනිකා රුවන් පතිරණ මතක් වුනා.  සුදට අපේ තියෙන ආසාව ගැන මතක් කරන එක ලස්සනයි කියල මට හිතුන.
 
 
Monika Ruwanpathiranaමොනිකා රුවන් පතිරණ

තමන් හැරගිය පෙම්වතිය විවාහ වෙද්දි අසංග මෙහෙම හිතනවා.

කඩදහියෙන් සිරිසිරි ගා
වියළුනු වැසි පොද වැටෙද්දි
ඔබේ කෙට්ටු අත එක්කලා
රෝම කූප පිරුනු අතක්
එකතු වුනා පමණි මතක..

මේ කවිය කියවද්දි මට හිතුනේ මේක ලෙස්බියානු පෙම්වතියකගේ කවියක් වුනා නම් කියල. රෝම පිරුණු පිරිමි අතකින් අත්සන් කරලා තමන්ගේ පෙම්වතිය ලෝක සම්මතයට පිරිමියෙක් විසින් රැගෙන යන දවසෙ ඇයට මෙහෙම හිතෙන්න තිබුන. ඒත් අනූ ගණන්වල සමලිංගික කතිකාව අද වගේ මතුවෙලා තිබුනෙ නෑ.
 
 
LGBTQ 240214
ප්‍රේමයේ ඇද වැටීම ගැන අසංග කවියක් ලියනවා. ඒ ඇදවැටීම සමහර විට විවාහය වෙන්නත් පුළුවන්.

නිම් වළල්ලෙ තටු සෝදන
වැහි ලිහිණින් දිහා බලන්
ලුනු වතුරේ දෙපා ඔබා
අප හිටියා ඒ කාලේ..

එහෙම හිටපු අපි බැන්දට පස්සෙ මෙහෙම වෙනවා.

සරණ ලිහිණි තටු අද නැත
දේදුණු තැනු දම්වැල් ඇත

ඒ කාලෙ අහසෙ තිබුනු දේදුන්න ඔලුව උඩ කඩන් වැටුනා කියලා අසංග ඊට කලින් කවියෙ ලියලා තියෙනවා.  අසංග සමහර දේවල් කියන විදිහ මරු. ඒවා රූප විදිහට ඇස් ඉස්සරහ මැවෙනවා. රෑ අහසක් ගැන එයා ලියන්නෙ මේ විදිහට.

හිරු සඳුද තරු කැටද
ලොව පහන් සියල්ලද
සිර කෙරූ මන්දිරය
දැළි වළඳ සේ පෙනේ..

ප්‍රශ්නාර්ථයක් විතරක් මාතෘකා කරගත්ත කවියක් මේ පොතේ එනවා. ඒ කවියෙ අපි හැමෝටම දැනෙන තැනක් කියනවා.

අයෙක් මා හැ‍ර ගියේ
අයෙක් ගම හැර ගියේ
අයෙක් රට හැර ගියේ
අයෙක් ලොව හැරගියේ

කවුරුන්ද එකට සිටියේ
කවුරුන්ද එකට ඉන්නේ?

පෘතුවිය ඉර වටේ යනවා කියපු නිසා පුච්චලා මරාදාපු බෲනෝටත් අසංග කවි ලියනවා. හැම කවියකම විද්‍යාව ඔසවා තබනවා. මිනිස් දුක තරණය කරන්න ආගම වෙනුවට විද්‍යාව පාවිච්චි කරන්න බැරිද කියල අහනවා. ආගම කියන්නෙම බෲනෝලා පුළුස්සා මරා දැමූ  සම්ප්‍රදායේ වර්තමානය බව මතක් කරනවා.

 
ඒ කවිපොත වෙන හැමදේකටම වඩා මට මම ජීවත් වුනු මානවීය අතීතයක් මතක් කරනවා. නිදහස ඉල්ලා හිටපු මිනිස්සු, වාරණය ප්‍රතික්ෂේප කරපු මිනිස්සු, ආගම්වලට එරෙහි වූ මිනිස්සු, තර්කය ආලෝකය කරගත් මිනිස්සු වීරයන් වූ යුගයක් අපිට තිබුන කියල සිහිපත් කරනවා. 
 
මේ වෙද්දි ඒ හැමදෙයක්ම කණපිට. නිදහස කියන්නෙ එන්ජීඕ සල්ලි ලු. වාරණය කියන්නෙ ආරක්ෂාව ලු. ආගම් තියෙන්නෙ නීතියට ඉහලින් ලු. මෝඩකම කියන්නෙ ආභරණයක් ලු.
 
Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...