එහෙත් මෙවර ලෝක කවි දිනය අළලා විශේෂිත කිසිවක් සිදු නොවුණ බව දක්නට ලැබිණ. ඇතැම් විට එබඳු වැඩසටහනක් මට මගහැරුණා දැයි විටෙක සැක සිතේ.
කෙසේ වුව ද Facebook හි කවි කිවිඳියන් කිහිප දෙනකු ලෝක කවි දිනය නිමිති කරගෙන කවි කිහිපයක් පළ කළා හැර ශ්‍රී ලංකාවේ බහුතර පිරිස්, පුද්ගලයන්, කණ්ඩායම් හෝ කවිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවා මෙවර ලෝක කවි දිනය මග හැර ගිය බව මගේ පුද්ගලික හැඟීම ය.
ලෝක කවි දිනයේ ඇරඹුම

මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ ලෝක කවි දිනය පිළිබඳ පුනරුච්චාරණයක් කිරීම නොවුණ ද එහි ඉතිහාසය ඉතා සැකෙවින් සඳහන් කළයුතු යැයි සිතිණ.
කවිය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් දිනයක් වෙන් කළ යුතු ය යන අදහස පළමුව ඉදිරිපත් කර ඇත්තේ 1886 දී එක්සත් ජනපදයේ ලෝගන් ප්‍රාන්තයේ ගොවිපොළක උපත ලද ටෙසා ස්වීසි වෙබ් (Tessa Sweezy Webb) නමැති කිවිඳිය යි.
ටෙසා ස්වේසි වෙබ් කිවිඳිය පිළිබඳ ස්මරණ ඵලකයටෙසා ස්වීසි වෙබ්
ලෝක කවි දිනයක් පිළිබඳ උනන්දුවක් දක්වමින් සිටි ඇය 1938 වසරේ එක් දිනයක දී එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ පැවති උත්සව අවස්ථාවක දී මේ පිළිබද වු අදහස ඉදිරිපත් කර ඇත. අනතුරුව ඇගේ යෝජනාව පිළිබඳ සලකා බැලූ ප්‍රාන්ත බලධාරිහු අදාළ දිනය වෙනුවෙන් පුරාණ රෝමයේ විශිෂ්ට කවියකු වූ පබ්ලියර්ස් වර්ජිලියස් (මොහු හැඳින් වූයේ වර්ජිල් Virgil මැයෙනි ) මාරෝ (Publius Vergilius Maro)ගේ ජන්ම දිනය ලෝක කවි දිනය ලෙස නම් කර ඇත.
ශ්‍රී ලංකාවේ පළමු ලෝක කවි දිනය

ශ්‍රී ලංකාවේ පළමු ලෝක කවි දිනය පවත්වන්නේ ඊටත් වසර දොළහකට පසුව ය. එනම් 2011 වසරේ දී ය. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ (ඇතැම් විට එම සංකල්පය වෙනකකුගේ ද විය හැකි ය.) එවකට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ධුරය දැරූ ටී. බී. ඒකනායක සහ එවකට එම අමාත්‍යංශයේ ලේකම් ධුරය හෙබවූ විමල් රූබසිංහ යන දෙපළ ය. එතැන් සිට මේ දක්වා ලංකාවේ ද ලෝක කවි දිනය සැමරූ අවස්ථා කිහිපයක් දක්නට තිබිණ. ලිපිය ආරම්භයේ දී පැවසූ පරිදි මෙවර ඒ පිළිබඳ වැඩි අවධානයක් ලක් වූ බවක් දක්නට නොතිබිණ.
වැලන්ටයින් දිනයේ සිට: කාන්තා දිනය, ළමා දිනය, මව්වරුන්ගේ දිනය, වැඩිහිටි දිනය, පරිසර දිනය, මත් ද්‍රව්‍ය නිවාරණ දිනය, ඒඩ්ස් දිනය, ජල දිනය යනාදි විවිධ දින සඳහා (මෙවන් දින නොතිබිය යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ) විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වය දක්වන්නට වෙළෙඳ කුලයේ බොහෝ පිරිස් ඉදිරිපත් වුව ද ලෝක කවි දිනය සැමරීම සඳහා එබඳු අනුග්‍රාහකත්වයක් දක්වන්නට මෙකී වෙළෙඳ කුලය කිසිදු උනන්දුවක් දක්වන බවක් දක්නට නොමැත. අවම වශයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කෙතරම් අගනේ ද යන්න මට සිතිණ.
කවි කිවිඳියන් රහිත ලෝක කවි දිනය
කවි කිවිඳියන් රහිත ලෝක කවි දිනයමගේ මතකය නිවැරැදි නම් 2016 වසරේ පැවති අදාළ උත්සවයට මට ද ආරාධනා පතක් ලැබිණ. උත්සවය පැවැත්වූයේ නෙළුම් පොකුණ රංග ශාලාවේ ය. රංග ශාලාවට පිවිසි මා, හඳුනන කවි කිවිඳියන් සිටී දැයි අවට සිසාරා නෙත් යොමු කළ ද ලංකාවේ ජනප්‍රියත්වයට හෝ සම්මානයට පාත්‍ර වු කිසිදු කවියෙක් හෝ කිවිඳියක් එම ශාලාවේ දක්නට නොසිටියහ; නමුදු ශාලාවේ සියලු අසුන් පිරී පැවතිණ. එමතු නොව කවිය වෙනුවෙන් කළ කිසිවක් ද සමස්ත උත්සවය අවසන් වන තෙක් ම දක්නට නොලැබිණ. මගේ මතකය නිවැරැදි නම් එදින මුඛ්‍ය දේශනය පැවැත්වූයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ය. ඔහුගේ දේශනයේ දී කවිය පිළිබඳ යමක් කියවුණා හැර වෙනත් කිසිවක් ම සිදු නොවිණ.
එදින හිටිවන කවි තරගයක් යැයි වැඩසටහනක් නම් පැවැත්විණි; අවසන එහි ජයග්‍රාහී කණ්ඩායමක් තෝරා සම්මාන, සහතික සහ මුදල් ත්‍යාග ද පිරිනැමිණ; නූතන කවිය පිළිබද කිසිදු අවධානයක් යොමු නොකෙරිණ. අවසන මගේ අවධානය යොමු වූයේ යට කී හිටිවන කවි තරගය වෙත ය. මන්ද එම කවි ඉදිරිපත් කළ කණ්ඩායම් කිහිපය ම අදාළ කවි ඉදිරිපත් කළේ පෙර සැලසුමකට අනුවය යන්න මට හැඟිණ. පසුව මා කළ සොයා බැලීමක දී මගේ සැකය නිවැරැදි බව තහවුරු විණ.
පෙර සැකසූ ‘හිටිවන කවි’
හිටිවන කවි යනු ඒ මොහොතේ පබඳින කවි ය. නමුදු මේ හිටිවන කවි තරගය ඊට සපුරාම වෙනස් හිටිවන කවි තරගයක් බව දැනගන්නට ලැබිණ. එනම් අදාළ තරගයට අදාළ මාතෘකා කලින් ම ලබා දී ඒ මාතෘකාවලට ගැළපෙන කවි කිසියම් කාලක් පුරා පුහුණු වී අදාළ දිනයේ ඉදිරිපත් කළ බව ය. ඒ කවි ‘හිටිවන කවි’ නොවුණ ද එක් පසෙකින් එසේ සිදුවීම යෙහෙකැයි මට සිතිණ. මන්ද ලංකාවේ හිටිවන කවි මඩු යනු කිසියම් මාතෘකාවක් පාදක කරගෙන ආරම්භ කළ ද අවසන දෙපිට කැපෙන, අසභ්‍ය යැයි සම්ත වදන්වලින් පිරුණු කවි ගායනා කරන බොල්, හරසුන් වැඩසටහන් වන බැවිනි.
කවිය සහ මම
ලෝක කවි දිනය පිළිබඳ ලිවීම පසෙක තබා හිටිවන කවිය විවේචනයට ලක් කරන්නේ යැයි දැන් කිසිවකු මට චෝදනා කරන්නට පිළිවන. හිටිවන කවිය මතු නොව වර්තමානයේ ලියැවෙන බොහෝ කවි පිළිබඳ චෝදනා නොව විවේචන කරන්නට කාලය එළඹ තිබෙන බව මගේ විශ්වාසය යි. ඊට හේතුව මේ වන විට ඉතා අල්ප වශයෙන් කවියේ දියුණුවක් දක්නට පවතින අතර ම තවත් පසෙකින් කවිය අවපාතයට ගමන් කරමින් තිබීම ය.
ජනක මහබෙල්ල්න, චින්තක රණසිංහ, කපිල ක්රිශාන්තපුද්ගලිකව මා කවිය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නට පෙලඹුණේ අසුව දශකයේ අවසාන භාගයේ සිට ය. එය කුටප්‍රාප්තියට පත් වූයේ: ජනක මහබෙල්ල්න, චින්තක රණසිංහ, කපිල ක්‍රිශාන්ත සහ මා ද එකතුව 2000 වසරේ ‘‘සියවසක කවි දැක්ම’’ යන මැයෙන් කාව්‍ය කෘති සහ කවි කිවිඳියන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය සමග දින තුනක් පුරා පැවති කවිය පිළිබඳ වූ සංවාද මණ්ඩපය පැවැත්වීමෙනි.
එතැන් සිට අද දක්වා ම කවිය මගේ ජීවිතයට තව තවත් ළං වූවා මිස ඈත් නොවිණ. එදා මෙදා තුර කාලය ඇතුළත ම’විසින් කියවා ඇති කාව්‍ය නිර්මාණ ප්‍රමාණය ගිණිය නොහැකි තරම් ය. නමුදු ඒ අතුරින් විඳි කාව්‍ය ප්‍රමාණය අවම ය. ඒ, ‘‘කවි’’ නමින් පළ වී තිබුණ ද එම නිර්මාණ බහුතරයක් ‘‘කවි නොවන’’ බැවිනි. මා විචාර භූමිකාවට අත් පොත් තබන්නේ ද කාව්‍ය සංග්‍රහයක් විචාරයට ලක් කරමිනි. ඒ, දැනට අප අතර නොමැති සිරිමල් සුවඳරත්න සොයුරා විසින් රචිත, ‘‘සුද්දා ශුද්ධ’’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ විචාරයක් රාවය පුවත්පතට සපයමිනි.එම විචාරය පළ වීමෙන් ඉක්බිති කවි කියැවීම, විඳීම සහ ඒ පිළිබඳ අනෙකා දැනුවත් කිරීම මගේ ජීවිතයේ කොටසක් බවට පත්විණ. එබැවින් ම කවි නොකියවා සිටීම, නොවිඳ සිටීම. විඳි කවිය පිළිබඳ අනෙකා දැනුවත් නොකර සිටීම මට, මගේ ජීවිතයේ එක් කොටසක් අත්හරිනවා සේ දැනිණ. ඒ අතර ම වසර දහයක පහළොවක කාල පරාසය තුළ කවියේ ප්‍රගමනය මෙන් ම පරිහානිය පිළිබඳව ද මගේ අවධානය යොමු විණ.
නූතන කවියේ ප්‍රගමනය සහ පරිහානිය
කවිය යනු කුමක්දැයි යන්නට පෙර’පර දෙදිග ම කවි කිවිඳියන් මෙන් ම වෙනත් සාහිත්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරන්නෝ ද විවිධ අහස් පළ කර ඇත. ඒ පිළිබඳ යළි යළිත් සඳහන් කිරීම අනවශ්‍ය බැවින් මා, කවිය පිළිබඳ මගේ කියැවීම පිළිබඳ අදහසකින් මෙය ආරම්භ කරන්නේ නම් හොඳ යැයි මට සිතිණ.
කවියකුට මතු නොව ඕනෑ ම සාහිත්‍ය කලා නිර්මාණයක නියැළෙන පුද්ගලයකු සිය නිර්මාණය සඳහා පාදක/නිමිති කරගන්නේ තමන් පුද්ගලිකව ඇසු, දුටු සිද්ධියක් හෝ අනෙකකුගෙන් අසා දැනගත් හෝ වෙනත් කිසියම් ස්ථානයක සඳහන්ව තිබූ සිද්ධියකි. නමුදු එකී සිද්ධිය ඇසු දුටු ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම කලාව හෝ සාහිත්‍ය ලෙස හැඳින්විය නොහැකි ය. කලාවේ හෝ සාහිත්‍යකරණයේ නියැළි පුද්ගලයා එය සමාජ ගත කළ යුත්තේ සිය පරිකල්පන කෞශල්‍යය ද, කලා කෞශල්‍යය ද මුසු කරමිනි. එහි දී එක් එක් සාහිත්‍ය කලා නිර්මාණ සඳහා ලොව පිළිගත් හෝ තමාගේ ම න්‍යායකට සිය නිර්මාණය රසවත් කළ හැකි ය. කලාව හෝ සාහිත්‍ය යනු එයයි.

වෙසෙසින් ම කාව්‍යකරණයෙහි නියැළෙන පුද්ගලයා මෙම දක්ෂතාවෙන් පිරිපුන් විය යුතු ය. එසේ නොවන කල්හි එබඳු කවි කිවිඳියන් වෙතින් සමාජ ගතවන්නේ හුදු පද රචනා පමණි; වාර්තාමය ස්වරූපයේ පද රචනා පමණි. මේ වන විට එබඳු පද රචනා සමාජ ගත වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව කනගාටුවෙන් වුව ද පැවසිය යුතු ය.
පරිහානියට වග කිව යුත්තෝ
මෙම ප්‍රවණතාව සඳහා ප්‍රවිණ යැයි පිළිගන්නා කවි කිවිඳියෝ මෙන් ම සාහිත ක්ෂේත්‍රයේ කටයුතු කරන ආචාර්ය මාහාචාර්ය ප්‍රජාව ද වගකිව යුතු ය. එය එසේ නොවේ යැයි කිසිවකු තර්ක කරන්නේ නම් මා ඔහුට හෝ ඇයට අභියෝග කරන්නේ වර්තමානයේ සමාජ ගත වන බොහෝ කාව්‍ය සංග්‍රහ වෙත යට කී පිරිස් විසින් සපයනු ලැබ ඇති පෙරවදන් හෝ පසුවදන් කියවන ලෙස ය.
01. කවියාට හෝ කිවිඳියට හැකි නම් අදාළ නිර්මාණය (කවියක් නොවන පද රචනය) සංස්කරණය කර එය කවියක් බවට පත් කළ යුතු ය.
02. එසේ නොහැකි නම් අදාළ නිර්මාණය කෘතියෙන් වියුක්ත කළ යුතු ය.
03. මෙම කරුණු එකකට හෝ දෙකට ම එකඟවන්නට තරම් කවියා හෝ කිවිඳිය නම්‍යශීලි නොවන්නේ නම් එම කාව්‍ය සංග්‍රහයට පෙරවදනක් හෝ පසුවදනක් සැපයීමෙන් මම වැළකී සිටිමි.
මගේ පුද්ගලික අදහස මෙන් ම ක්‍රියාකලාපය එසේ වුව ද වර්තමානයේ ජනගත කෙරෙන බොහෝ කාව්‍ය සංග්‍රහවල (සියයට අසූවක් පමණ) කවි හතළිහක් අන්තර්ගත වේ නම් ඒ අතුරින් ‘‘කවි’’ ලෙස හැඳන්විය හැකි නිර්මාණ පවතින්නේ තුනක් පමණි. ඇතැම් විට පහක් පමණි. එහෙත් අදාළ කෘතිය වෙනුවෙන් පෙරවදන සපයා ඇත්තේ ලංකාවේ ප්‍රවීණ ම කවියෙකි; කිවිඳියකි; මහාචාර්වරයෙක් හෝ මහාචාර්යවරියකි; ආචාර්යවරයෙක් හෝ ආචාර්යවරියකි. අවම වශයෙන් ‘‘මෙම කෘතියේ අන්තර්ගත අසවල් අසවල් නිර්මාණ පිළිබඳ මම සෑහීමකට පත් නොවෙමි.’’ යනුවෙන් සඳහන් කරන්නට හෝ අදාළ පෙරවදන් පසුවදන් සපයන අය උත්සුක නොවෙති. ඒ, කවියා හෝ කිවිඳිය අමනාප වෙතැයි සිතා විය හැකි ය. ඉදින් එවැනි පසුබිමක් තුළ හොඳ කවියකු, කිවිඳියක හෝ හොඳ කවි නිර්මාණය විය හැකි ද...?
විය යුත්තේ කුමක් ද...?

ලෝක කවි දිනය නිමිති කරගෙන ලියන මෙම ලිපියෙන් මගේ අවධානය යොමු කෙරෙන්නේ එබඳු පෙරවදන් පසුවදන් සපයන අය මෙන් ම එබඳු කාව්‍ය සංග්‍රහ එළිදක්වන කවි කිවිඳියන් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ය. එබඳු කාව්‍ය සංග්‍රහ සඳහා පෙරවදන් සපයන අය සැබෑ ලෙස ම ‘කවියට’ ආදරය කරන්නේ නම්, කවියේ ප්‍රගමනය බලාපොරොත්තු වන්නේ නම් කළ යුත්තේ තමාගෙන් පෙරවදනක් ලියවා ගන්නා කවියා හෝ කිවිඳිය මුරුංගා අත්තේ තැබීම හෝ ඇන්දවීම නොව ඔහුගේ හෝ ඇයගේ නිර්මාණවල සැබෑ තත්ත්වය ඇයට හෝ ඔහුට පහැදිලි කර දීම ය.
සැ. යු. - මෙම ලිපියේ සඳහන් තොරතුරු වෙනුවෙන් අවශ්‍ය තරම් උදාහරණ සැපයිය හැකිව තිබුණ ද (කිසියම් ප්‍රකාශන ආයතනයක් අනුග්‍රහය දක්වන්නේ නම් කෘතියක් වුව ද සම්පාදනය කළ හැකි ය) ඒ කිසිවක් සඳහන් නොකරන්නේ අදාළ කවි කිවිදියන්ගේ මෙන් ම ඔවුන්ගේ කාව්‍ය සංග්‍රහ වෙනුවෙන් පෙරවදන් පසුවදන් සැපයූ අයගේ ප්‍රතිරූපයට කැලලක් වෙතැයි සිතුණු බැවිනි. ‘‘කමක් නෑ උදාහරණත් එක්ක ම ලියන්න.’’ යැයි කිසිවකු අභියෝග කරන්නේ නම් අනාගතයේ දී ලිපි එකක් නොව කිහිපයක් වුව ද ලිවීමට හැකි බව අවධාරණයට ගන්නා මෙන් මම ඉල්ලා සිටිමි.
(ජයසිරි අලවත්ත)නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2024/03/24





