මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවති දින කිහිපයේ දී එක් දිනක් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් මගෙන් විමසූ පැනයකි.
සත්‍ය ලෙස ම පවසන්නේ නම් මෙම පැනයට එක පැහැර ම ‘‘ඔවු’’ හෝ ‘‘නෑ’’ යන දෙවදනින් එක් වදනක් හෝ භාවිත කර පිළිවදන් සැපයිය නොහැකි ය. මන්ද ඕනෑම ප්‍රබන්ධයක් ප්‍රබන්ධ කරන රචකයා හෝ රචකාව තමා සිය ප්‍රබන්ධයට පාදක කරගන්නා අනුභූතියට අදාළ සියලු දෑ පිළිබඳව කිසියම් දැනුවත් භාවයකින් සිටිය යුතු ය. එහෙත් ප්‍රබන්ධයක් යනු හුදු වාර්තාවක් නොවන බැවින් තත්‍ය ලෝකයේ සිදු නොවන සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක් මෙන් ම තත්‍ය ලෝකයේ දි හමු නොවන පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඔහුට හෝ ඇයට සිය නිර්මාණයට අන්තර්ගත කරගත හැකි ය. තවත් පාර්ශ්වයකින් ගත් විට එය එසේ නොවන අවස්ථා ද පැවතිය හැකි ය.
උදාහරණයක් ලෙස ගතහොත් කිසියම් ප්‍රබන්ධ රචකයකු හෝ රචකාවක අහිකුණ්ඨක ප්‍රජාව පාදක කරගනිමින් යම් ප්‍රබන්ධයක් රචනා කරන්නේ නම් ඔහු හෝ ඇය අහිකුණ්ඨක ප්‍රජාවගේ: ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, ඔවුන්ගේ සංස්කෘතික පසුබිම, ඔවුන් භාවිත කරන වදන් යනාදිය පිළිබඳව අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් කළ යුතු ය. එසේ නොවුන හොත් අදාළ රචකයාට හෝ රචකාවට සිය ප්‍රබන්ධ නිර්මාණය සාර්ථක නිර්මාණයක් ලෙස පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට නොහැකි ය; එමෙන් ම එය අසාර්ථක නිර්මාණයක් වනු නිසැක ය.
අහිකුණ්ඨක ප්‍රජාවගේ: ඇවතුම් පැවතුම්, සිරිත් විරිත්, ඔවුන්ගේ සංස්කෘතික පසුබිම, ඔවුන් භාවිත කරන වදන් යනාදිය පිළිබඳව අධ්‍යයනයක් හෝ පර්යේෂණයක් කළ යුතු ය
තවත් පසෙකින් ගත් විට එසේ නොවන අවස්ථා ද පැවතිය හැකි ය. ඒ සඳහා උදාහරණයක් ලෙස ගතහොත් විද්‍යා ප්‍රබන්ධ රචකයකු හෝ රචකාවක රචනා කරන්නේ සපුරා ම ප්‍රබන්ධයකි. එබඳු ප්‍රබන්ධයක දී රචකයා හෝ රචකාවගේ රුචිකත්වය පරිදි අදාළ ප්‍රබන්ධයේ චරිත, සිද්ධි, ග්‍රාම නාම, පුද්ගල නාම යනාදිය භාවිත කළ හැකි ය. නමුදු මා යට කී ආකාරයේ කෘතියක් රචනා කරන රචකයකුට හෝ රචකාවකට එබදු නිදහසක් නොමැත.
එමෙන් ම කිසියම් ප්‍රබන්ධකරුවකු හෝ ප්‍රබන්ධකාරියක කිසියම් විශේෂ අවශ්‍යතා සහිත (අඳ, ගොළු, බිහිරි, උපතින් ම කිසියම් ශාරීරික හෝ මානසික අබාධයකට ලක් වූ) චරිතයක් වටා ගොඩනගන ප්‍රබන්ධයක් රචනා කරන්නේ නම් ඔහුට හෝ ඇයට එබදු පුද්ගලයන්ගේ ජීවන රටාව පිළිබඳ නිවැරැදි අත්දැකීමක් තිබිය යුතු ය; එබඳු පුද්ලයකු එවන් තත්ත්වයකට පත්ව ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳව අවබෝධයක් තිබිය යුතු ය. එමෙන් ම එබඳු පුද්ගලයකු හදා වඩා ගන්නා, එබදු පුද්ගලයකු වෙත අධ්‍යාපනය ලබා දෙන පුද්ගල චරිත පිළිබඳව ද කිසියම් අවබෝධයක් තිබිය යුතු ය. එසේ නොවුන හොත් අදාළ ප්‍රබන්ධය අසාර්ථක ප්‍රබන්ධයක් වනු නොඅනුමාන ය.
මේ දීර්ඝ ප්‍රවේශය සටහන් කරන්නට යෙදුණේ යට කී ආකාරයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු කේන්ද්‍ර කරගත් ප්‍රබන්ධ කෘතියක් කියවීමෙන් ලද අත්දැකීම බෙදාගනු පිණිස ය.
ප්‍රබන්ධ කෘතිය ‘‘සිතේ කෙටුණු දේවනාගර’’ ය; කෘතියේ රචකයා පී. බී. ජයසේකර ය.
ප්‍රබන්ධ කෘතිය ‘‘සිතේ කෙටුණු දේවනාගර’’ ය; කෘතියේ රචකයා පී. බී. ජයසේකර ය.
හෙතෙම මේ වන විට රචනා කර ඇති බොහෝ කෘති සම්මාන සඳහා නිර්දේශ විය; ඒ අතුරින් එක් ප්‍රබන්ධ කෘතියක් (ඉක්බිතිව ඔහු මරාපීහ) ගොඩගේ ජාතික සම්මානයෙන් පිදුම් ලැබී ය.
දුර්ලභ අනුභූතියක්
මෙවර ඔහු අත ගසා තිබෙන්නේ බොහෝ ප්‍රබන්ධකරුවන් හෝ ප්‍රබන්ධකාරියන් අත නොගසන අනුභූතියකට ය. මීට පෙර එම අනභූතිය පාදක කරගත් ප්‍රබන්ධ කෘතියක් කියවූයේ නම් ඒ ශාන්ති දිසානායක විසින් ප්‍රබන්ධිත ‘‘නිකිණි’’ ප්‍රබන්ධය යි. නමුදු ශාන්ති දිසානායක විසින් රචිත අනෙක් කෘති තරම් එම කෘතිය කතාබහට ලක් නොවුණි. ඊට හේතුව කුමක් ද යන්න එම කෘතිය පිළිබඳ කළ විචාරයේ අන්තර්ගත කළ බැවින් මේ මොහොතේ මම ඒ සම්බන්ධයෙන් වැඩි දුර නොලියන්නෙමි.
කෘතිය කියවිය හැකි මාන

පී. බී. ජයසේකර විසින් ප්‍රබන්ධිත ‘‘සිතේ කෙටුණු දේවනාගර’’ ශාන්ති දිසානායක විසින් ප්‍රබන්ධිත ‘‘නිකිණි’’ ප්‍රබන්ධයට වඩා ඉදිරියෙන් තිබෙන බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය. ඒ, ශාන්ති දිසානායකට වඩා වැඩි අවධානයකින් අදාළ චරිතය පිළිබඳ පාඨක ප්‍රජාව ඇද බැඳ තබාගන්නට කතුවරයා සමත්ව ඇති බැවිනි.
සමස්ත ප්‍රබන්ධය ම ගත් විට එය මාන කිහිපයකින් ම කියවිය හැකි ය. ඒ මතු දැක්වෙන පරිදි ය.
v විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ ජීවිත පවතේ අභ්‍යන්තරය කියවීම.
v එබඳු දරුවකු පිළිබඳ දරුවාගේ ආසන්නත ම ඥාතින් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න කියවීම
v එබඳු දරුවකු /දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයා හෝ ගුරුවයරිය අදාළ දරුවා කියවාගන්නේ කෙසේ ද යන්න කියවා ගැනීම.
v මිථ්‍යා දෘෂ්ටිකත්වය හේතුවෙන් ම සිය ජීවින මාර්ගය වරදවාගන්නා පුද්ගලයන් පිළිබද කියවීම.
v යුද්ධය යනු කුමක් ද සහ යුද සෙබළකුගේ/ නිලධරයකුගේ මානසික පීඩනය කෙබඳු ද යන්න කියවීම.
v අවශ්‍ය ප්‍රමාණයට වඩා පුද්ගලයකු/ පුද්ගලයන් විශ්වාස කිරීම කෙතරම් විනාශකාරි ද යන්න කියවීම
මෙම සියලු මාන අතුරින් වඩාත් ප්‍රබල සහ සංවේදි මානය වන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ ජීවිතය කියවා ගැනීම ය; එම කියවා ගැනීම උපස්තම්භක කරගනිමින් ම අදාළ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම ය.
චරිතයේ චිත්තභ්‍යන්තරය විනිවිද දැකීම
මෙහි දී අදාළ දරුවාගේ මව සහ මිත්තණියටත් වඩා දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස මහන්සි වන ගුරුවරිය දරුවාගේ චිත්ත අභ්‍යන්තරය කියවා ගන්නා ආකාරය ඉතා විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කරන්නට කතුවරයා සමත් වී (රූප සටහන) ඇත; දරුවා පිළිබඳ පාඨකයාගේ ආදරය, අනුකම්පාව සහ ළෙන්ගතුභාවය වඩවාලන්නට ද කතුවරයා සමත් වී තිබේ.
දරුවා සියලු කටයුතු සිදු කරන්නේ මතකයෙන් නොව පුරුද්දෙනි; ඔහුගේ දෛනික ජීවිතය පුරුදු කරවා ඇති ආකාරයෙනි. නමුදු ඔහු එක් කාර්යයක් පමණක් සිතා මතාම කිරීම පුදුමසහත ය. එනම් ඔහු වඩා රුචිකත්වයක් දක්වන ‘කහ වර්ණය’ තමා සතු කරගැනීම ය. මෙහි දී ‘කහ වර්ණය’ යන දෙවදන විශේෂි ලෙස සඳහන් කරන්නේ දරුවාට වැදගත් වන්නේ අදාළ භාණ්ඩය නොව අදාළ වර්ණය වන බැවිනි. අදාළ භාණ්ඩය වටිනාකමෙන් වැඩි ද, අඩු ද, නොවටින්නේ ම ද යන්න දරුවාට අදාළ නොවේ; ඔහුට අවැසි තමා වඩාත් ප්‍රිය කරන වර්ණය තමා සතු කර ගැනීම ය.
රූප සටහන
ප්‍රබන්ධකරුවා ජය ගත් අභියෝග
එදිනෙදා ජීවිතයේ දී අපට මුණ ගැසෙන විවිධ චරිත, විවිධ සිද්ධි, සමාජ, ආර්ථික හෝ දේශපාලන අනුභූති අලළා ප්‍රබන්ධ රචනා කිරීම: සරල, සුගම කටයුත්තක් වුව ද මෙබඳු චරිතයක් පාදක කරගනිමින් ප්‍රබන්ධකරනයේ නියැළීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කතුවරයා ජය ගන්නා අභියෝග ය එය යි.
කතුවරයා සිය ප්‍රබන්දය රචනා කිරීමේ දී එහි අන්තර්ගත ඇතැම් සිද්ධි සිදු වීමට හෝ කිසිවකු විසින් එම සිද්ධිය සිදු කරනු ලැබීමට බලපාන හේතු සාධක ද ගෙන හැර දක්වන්නේ පාඨක ප්‍රජාව වෙත වින්දනය මතු නොව දැනුම ද ලබා දෙමිනි.

‘‘කෙතෙරම් කුශාග්‍ර වුව ද කෙතරම් රූප සම්පත්තියෙන් යුතු වුව දකෙතරම් නුවනැති වුව ද අයෙකු සොරෙකු වූ විට එම තැනැත්තා අපකිර්තියට පත්වේ. එසේ ම අයෙකු කෙතරම් දිළිඳු වුව ද ඔහු සොරකම් නොකරන්නේ නම් ජනයා එය අගේ කරති.’’
පිටුව 18
ඉනික්බිති කතුවරයා ‘සොරකම’ යනු කුමක් ද, එය කරන පුද්ගලයාගේ මානසික මට්ටම කෙබඳු ද යන්න පිළිබද කෙටි විග්‍රහයක යෙදේ.

‘‘ජන්ම සොර සිත මානසික තත්ත්වයකි, විද්‍යාව කියයි. ඇතැමෙකුගේ ස්නායු නියුරෝනයන්හි සන්නිවේදනය ඇති කරන රසායනික හෝමෝනයක් වන ඩෝපමීන කරණ කොට ඔවුන් තුළ හොර සිත නොහොත් හිත ගිය දේ අත්පත් කර ගැනීමේ ලෝලිත්වය පහළ වේ. මෙය ක්ලෙප්ටොමේනියාව නම් මානසික තත්ත්වයයි.’’
පිටුව එම
පාඨක ප්‍රජාව වෙත මග පෙන්වීම
සමස්ත කෘතිය පුරා ම මෙවන් අවස්ථා දක්නට හැකි ය. එය කතුවරයා කෘතියට මැදිහත් වීමක් ලෙස ඇතැම් පාඨක පාඨකාවකට සිතිය හැකි ය. එය වරදක් නොවේ. නමුදු මෙබදු චරිතයක් පාදක කරගනිමින් ප්‍රබන්ධ කරන කෘතියක් පාඨක ප්‍රජාව වෙත වඩාත් පහසුවෙන් සහ වේගයෙන් සමීප කරවිය හැකිවන්නේ කතුවරයා උද්දිපනය කරන සිද්ධිය හෝ චරිතය පිළිබඳ පාඨක ප්‍රජාව නොදන්නා මානය පෙන්වා දීමෙනි.
මෙම ලිපියට ප්‍රවේශ වීමේ දී මා සඳහන් කළ ‘‘ඕනෑම ප්‍රබන්ධයක් ප්‍රබන්ධ කරන රචකයා හෝ රචකාව තමා සිය ප්‍රබන්ධයට පාදක කරගන්නා අනුභූතියට අදාළ සියලු දෑ පිළිබඳව කිසියම් දැනුවත් භාවයකින් සිටිය යුතු ය.’’ යන වාක්‍ය වඩාත් වැදගත් වන්නේ මෙවන් අවස්ථා වටහා ගැනීම පිණිස ය. මෙය එක් පසෙකින් පාඨක ප්‍රජාව දැනුවත් වන ක්‍රමයක් මෙන් ම අදාළ කෘතිය කියවා ගැනීමට පාඨක ප්‍රජාව වෙත කෙරෙන උපකාරයකි; මග පෙන්වීමකි. එහි සාර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ ඒ වෙනුවෙන් කතුවරයා හෝ කතුවරිය විසින් කරන ලද හැදෑරීමේ වපසරිය අනුව ය. එකී හැදෑරීමේ උපරිමයට ගමන් කර, එහි ඵලය ඉතා මැනවින් පාඨක මනසට ඇතුළු කිරීමට කතුවරයා සමත්ව ඇත; එය කෘතියෙහි සාර්ථකත්වයට ද ඉමහත් පිටිවහලක් සපයයි.
යුද්ධය සහ යුද සෙබළා
යුද්ධය යනු එකෙකු නිසා තවකෙකු වැජඹීමේ ක්‍රමවේදයකි. එය කුමන පාර්ශ්වයකින් සිදු කළ ද යථාර්ථය එය ම ය; එම ක්‍රියාවලිය නිවැරැදි යැයි පසක් කරන්නට: රට, ජාතිය, ආගම යනාදිය ප්‍රමුඛ කරගත්ත ද යුද්ධය යනු ම තමාගේ ජීවිතය බිලි දීමකි; අනෙකාගේ ජීවිතය බිලි ගැනීමකි.

‘‘ජිවිතය පරදුවට තැබෙන අවස්ථාවකි යුද්ධය. අනෙකාගේ ජිවිතය හෑල්ලු කොට තම ජීවිතය රැක ගැනීමට තුවක්කුව එසවෙන තැනෙකි යුද්ධය. ‘අනෙකාට මරණය. තමාට ජීවිතය.’ යුද්ධයේ තේමාව එයයි. තම ජීවිතය රැකෙනුයේ යම් අදිසි බලවේගයකට යැයි ජීවිතය පරදුවට තබා ආයුධ ගත් ඇත්තෝ සිතීමට පෙලඹෙත්.’’
පිටුව 62
යුද සෙබළා හෝ යුද නිලධාරියා යනු තමන් රිසි දේ නොව වෙනකකු රිසි දෑ තමන්ගේ සේ සිතා ක්‍රියාත්මක වන චරිතයකි; ඔහුට අනෙකකුගේ ජීවිතයේ වටිනාකම නොදැනෙන තරමට ම අසංවේදී ය. බොහෝ යුද නිලධාරිහු මෙන් ම යුද සෙබළු ද යුද්ධයෙන් බාහිර ජීවිතයේ දී ද එම චරිතයෙන් මිදීමට යත්න නොදරති.
‘‘සිතේ කෙටුණු දේවනාගර’’ කෘතිය තුළ යට කී යථාර්ථය ඉතා සියුම් ආකාරයෙන් පිළිබිඹු කරන්නට කතුවරයා සමත් වි තිබේ. එහි විශේෂත්වය වන්නේ කෘතියේ අන්තර්ගතයට ම සම්බන්ධ වන සේ අදාළ සිද්ධි ගැළපීම ය.
‘‘ඔහු තම ප්‍රාණය තකා අන් ඕනෑම අයෙකුගේ ප්‍රාණය නැසීමට වෘත්තියෙන් ඉගෙනගත් අයෙකි. අන් අයගේ ප්‍රාණය හෑල්ලු කරන්නෝ තම ප්‍රාණයට ඉතා බිය ඇත්තෝ ය.’’
පිටුව 60
මිථ්‍යා මත විශ්වාස කිරීමේ විපාක
මෙම කෘතියේ ප්‍රධාන චරිතය වන විශේෂ අවශ්‍යතා සහිත දරුවාගේ (සුමිත්) පියා වන හමුදා නිලධරයා (කපිල) ද එබඳු නිලධාරියෙකි. තවත් පසෙකින් ඔහු යුද වදින්නේ නවීන යුද උපකරණ භාවිත කරමිනි; ඒ සියල්ල නිපදවා ඇත්තේ නවීන තාක්ෂණය උපයෝගි කරගනිමිනි. එහෙත් හෙතෙම සිය පුද්ගලික ජීවිතය පවත්වාගෙන යන්නේ මිථ්‍යා මත පිළිබඳ විශ්වාසය තබමිනි.

‘‘නැකැත්කරු කී දේ අසා, එය විශ්වාසයට ගෙන ඔහු එතැන් සිට ම ඒ ගැන ම සිතමින් ඒ කී දේ ම එල්බගෙන, එහි ම එල්ලෙමින්, තම දරුවා කෙරෙහි තම හද විෂෙන් පුරවාගෙන තම හිත වෛර කරගෙන මාරාවේශව පැමිණ සිටී.’’
පිටුව 61
සංස්කෘතික සහ ආගමික ඇදහිලි පැවතිය යුතු නම්, පවත්වාගෙන යා යුතු නම් එසේ කළ යුත්තේ හෝ සිදු විය යුත්තේ මිනිසාගේ ජීවිත පැවැත්ම උදෙසා මිස මිනිසාගේ ජීවිත නැසීම උදෙසා නොවේ. නමුදු බහුල වශයෙන් සිදුවන්නේ මෙහි අනෙක් පාර්ශ්වය යි; එනම් මිනිසාගේ ජීවන පැවැත්මට බාධා පැමිණවීම ය; විනාශ කිරීම ය.
කපිල ද එබඳු පුද්ගලයෙකි. නමුදු අවසන සිදුවන්නේ කපිල විශ්වාස කළ දේට සපුරාම විරුද්ධ සිදුවීම් පෙළකි. එහෙත් ඔහු යථාව අවබෝධ කරගන්නා විට සිදු නොවිය යුතු බොහෝ දෑ සිදු වී හමාර ය. කෙසේ වුව ද කතුවරයා සිය අභිමතාර්ථය පරිදි කපිල නමැති රළු, මිථ්‍යා දෘෂ්ටිකයා මෘදු මිනිසකු බවට පත් කරයි.
මෙසේ නොවුණා නම්...

මෙම ප්‍රබන්ධයේ එක් දුර්වලතාවක් ලෙස මා දුටුවේ (මගේ කියවීමට අනුව) සුමිත්ගේ මව, එසේත් නොමැති නම් කපිලගේ බිරිඳගේ මරණය සිදු කරන පුද්ගලයා පිළිබඳ පූර්ව ඉඟි සැපයීම ය. කෘතිය ආරම්භයේ සිට ගලාගෙන යන ආකාරය කියවීමට රුචිකත්වයක් ඇති කරන බව සැබවි. ඝාතක චරිතය හඳුන්වා දීම පිළිබඳව ද ගැටලුවක් නොපවතී. නමුදු එම චරිතය ඝාතකයා ය යන්න පාඨකයා කල් තියාම හඳුනාගනී.
මා එසේ සඳහන් කළ ද කතුවරයාගේ අවශ්‍යතාව වී තිබුණේ විශේෂ අවශ්‍යතා සහිත දරුවාගේ යම් යම් ක්‍රියා කලාප හේතුවෙන් ම ඝාතකයා සොයාගත හැකි වූවා ය යන්න සහ එබඳු දරුවන් කෙරෙහි සමාජය තුළ පවත්නා ඍණාත්මක ආකල්ප බැහැර කළ යුතු ය යන්න පාඨකයාට අවබෝධ කරවීම නම් ඊට සාපේක්ෂව එය දුර්වලතාවක් ලෙස ද සැලකිය නොහැකි ය.
එහෙත් පි. බී. ජයසේකර යනු විදෙස් සාහිත්‍ය කෘති හොඳින් ඇසුරු කරන පුද්ගලයෙකි. එබැවින් සුමිත්ගේ ක්‍රියාකලාප තුළින් වුව ද ඝාතකයා කවුරුන්ද යන්න පිළිබඳ කරන හෙළිදරව්ව උදෙසා වෙනත් සාහිත්‍ය තාක්ෂණික උපක්‍රමයක් භාවිත කිරීමේ අවස්ථාව මග හැර ඇත යන්න මගේ පුද්ගලික කියවීම ය.
ඒ කුඩා දුර්වලතාව හැරුණු විට සමස්තයක් ලෙස ගතහොත් සාහිත්‍ය ක්ෂේත්‍රයේ අවධානය යොමු නොවන ම අනුභූතියක් පාදක කරගනිමින් ප්‍රබන්ධිත‘‘සිතේ කෙටුණු දේවනාගර’’ පාඨක ප්‍රජාව නව කියවීමක් කෙරෙහි යොමු කරනු ඇතැයි යන්න මගේ විශ්වාසය යි.
සටහන :

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2024/10/23



