අවසාන අත්පොළසන් නදට
මොහොතකට පෙර
වේදිකාවෙන් ම
ඇදී ආ අඳුරක්
හිස් අසුන් මත
දරණලයි
නිවී යයි
ප්‍රේක්ෂකාගාරයේ
පහන්
සුමින්ද කිත්සිරි ගුණරත්න: ලංකා පොකුණ: 2013: 65 පිටුව
නිවි ගොසිනි
ඒ පහන ද
මේ නිමේෂයේ
තනිකර අප
ප්‍රෙක්ෂකාගාරයේ
පුද්ගලයකුගේ මරණය යනු සිදු විය යුතු ම සිද්ධියකි; එය සාමාන්‍යයකි. එහෙත් අසාමාන්‍ය පුද්ගලයකු අසාමාන්‍ය ලෙස මිය ගියහොත්... එය සාමාන්‍ය මරණයක් විය නොහැකි ය; කෙතරම් යථාවබෝධයෙන් යුක්ත පුද්ගලයකුට වුව ද එවන් මරණයක් සවන වැකුණ සැණින් තත්ත්පරයෙන් සියයෙන් පංගුවක කාලයකට හෝ හදවත නවතින්නේ ය.
මේ සටහන තබන මම ඊයේ සන්ධ්‍යා යාමයේ එවන් අත්දැකීමකට මුහුණ පෑවෙමි.
මස්තිෂ්කය සිදුරු කළ වෙඩි උණ්ඩය
වේලාව රාත්‍රී අටට මිනිත්තු විස්සකටත් අඩු කාලයකි; නාද දුන් දුරකතනයේ සටහන් වූයේ ‘sarpayaa’ යනුවෙනි. මගේ ප්‍රීතිය නිම්හිම් නැති විය; ඒ, දිගු කලකින් සර්පයා හෙවත් කේ. කේ. සමන්කුමාරගෙන් ඇමතුමක් ලද හෙයිනි; එහෙත් තත්ත්පර පහළවක් හෝ ගෙවී යන්නට මත්තෙන් ඒ නිම්හිම් නැති ප්‍රීතිය ගිනියම් යකඩයක් මතට වැටි දිය බිඳක් සේ වාෂ්ප විය. ඒ අන්කිසිවක් නිසා නොව සර්පයාගේ මුවෙන් දෙවන වරට නිකුත් වදන් පෙළ සවන වැකීමෙනි.
‘‘මචං... සුමින්දය මැරිල කියන්නෙ...?’’
ඒ වදන් මගේ සවන් තුළින් රිංගා මස්තිෂ්කය හරහා ගමන් කර හදවත ද සිදුරු කරේ වෙඩි උණ්ඩයකටත් වඩා වේගයෙනි; වෙඩි උණ්ඩයකටත් වඩා වේදනාවක් අත් පත් කර දෙමිනි. එහෙත් සියල්ල සිදු වි හමාර ය; නැවත කිසිදු දිනක අප කිසිවකුට සුමින්ද කේ. ගුණරත්න හමුවිය නොහැකි ය; නමුදු ඔහු අපට ඉතිරි කර ගිය දැ බොහෝ ය. ඒ, ඔහු අසාමාන්‍ය පුද්ගලයකු වූ බැවිනි.
පළමු හමුවේ සිට...

සුමින්ද මට පළමුවෙන් ම සම්මුඛ වන්නේ 1997 වසරේ දී පමණ ය. ඒ, මිත්‍ර කවිවර ජනක මහබෙල්ලනගේ සහයෙනි. එකල ද: මා, ජනක මහබෙල්ලන, හිනිදුම සුනිල් සෙනවි, ප්‍රේමතිලක (ඩොටා/ ඩොට් මල්ලී), තිළිණ රුවන් මලලසේකර, මහින්ද කුමාර දලුපොත, සමරකොන් පතිරාජ ඇතුළු මේ මොහොතේ නම් වශයෙන් මතකයට නොඑන බොහෝ පිරිසක් කාව්‍ය රසිකයෝ වූහ; කවිය හඹා යන්නෝ වුහ.
එදින ජනක මහබෙල්ලන සමග මා, සුමින්ද එවකට නවාතැන් ගෙන සිටි ගංගොඩවිල, විජයරාම, මැද මාවතේ ස්ථානයකට සේන්දු වුයේ ජනකගේ වුවමනාවකට වුව ද ජනක සුමින්දට මාව හඳුන්වා දුන් පසු හෙතෙම මා පිළිගත්තේ බොහෝ කලක සිට දන්නා හඳුනන මිත්‍රයකු පරිද්දෙනි. ඒ වන විට ඔහු සිය පළමු කාව්‍ය සංග්‍රහය වන ‘‘චක්කරං කොටුව මුද්‍රනද්වාරයෙන් නිකුත් කර තිබිණ; අප ඔහුගෙන් සමුගන්නට පෙර ඔහුගේ කුලුඳුල් අස්වැන්න අප දෙදෙනා වෙත ම තිළිණ කරන්නට හෙතෙම අමතක නොකළේ ය. එතැන් සිට පසුගිය ජුලි 17වන දින ඔහු සමග ‘සරග’ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පවත්වන තෙක් විවිධ අවස්ථාවල දී, විවිධ ස්ථානවල දී අපි සම්මුඛ වුණෙමු. ඒ, ඔහුගේ ම කෘතියක් ජනගත කෙරන මොහොතක දි හෝ වෙනත් කිසිවකුගේ කෘතියක් ජනගත කෙරෙන මොහොතක විය හැකි ය. ඒ සෑම අවස්ථාවක ම පාහේ අපේ අතීතය සිහිපත් කරන්නට හෙතෙම අමතක නොකළේ ය; සාහිත්‍ය කලාව පිළිබඳ සාකච්ඡා කරන්නට අමතක නොකළේ ය; තත්කාලීන දේශපාලන තොරතුරු සාකච්ඡා කරන්නට අමතක නොකළේ ය.
ඊට අමතරව facebook තුළින් ද අපි නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගත්තෙමු. එහෙත් ඔහු කාලයක් නිහඬව සිටියේ ඇයි ද යන්න සැල වූයේ ඔහුගෙන් නොවීම කනගාටුවට කරුණකි. ඔහු කලක් රෝගාතුරව සිටි බව මා දැනගත්තේ ජනක මහබෙල්ලන මාර්ගයෙනි. එසේ දැගැනීමෙන් ඉක්බිතිවය මා ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සිටියේ. ඒ මොහොතේ ඔහු පවසා සිටියේ ‘‘එහෙම තමයි ජයේ... ජීවිත කාලෙදි විවිධ බාධක එනවනෙ බං. ඒත් මට හිතෙනව මං දැන්ම මැරෙන එකක් නෑ කියල. මොකද දන්නව ද මචං... මට අපේ අනාගත පරපුර වෙනුවෙන් හුඟක් දේවල් කරන්න තියෙනව මචං. මං හිතන්නෙ උන් වෙනුවෙන් මාව ජීවත් කරවාවි’’ යනුවෙනි.
බලාපොරොත්තු බිඳවැටුණු පසු...

නමුදු එදා ඔහු බලාපොරොත්තු වූ ලෝකය තනන්නට ඔහුට ඉඩ නොතබන්නට තරමට ම රෝගය දරුණු වී තිබේ; ඒ රෝගය ඔහුගේ ජීවිතය බිලි ගෙන ඇත. ඔහුගේ බලාපොරොත්තු මතු නොව අපගේ බලාපොරොත්තු ද සුනු විසුනු කරමින් අද ඔහු මෙලොවෙන් පලවා හැර ඇත. ඔහුගේ බලාපොරොත්තු ද ඒ සමග ම ක්ෂයව ගොස් තිබේ. ඔහු යලි අපට මුණ නොගරසෙනු ඇත.
මට පළමුව සම්මුඛ වූයේ සුමින්ද කිත්සිරි ගුණරත්න නම් සරසවි සිසුවා ය; නවක කවියා ය. අවසන්වරට මා සම්මුඛ වූයේ සුමින්ද කිත්සිරි ගුණරත්න නම් විශිෂ්ට කවියා ය; දෘශ්‍ය කලාව පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් යුතු ආචාර්යවරයා ය.
‘‘චක්කරං කොටුව කාව්‍ය සංග්‍රහයෙන් ඇරඹි ඔහුගේ කාව්‍යාගමනය අවසන් වන්නේ ප්‍රිස්ම නමැති කෙටි කවි සංග්‍රහයෙනි. ඔහු කෙටි කවි වෙනුවට භාවිත කළේ ‘සංකිත කවි’ (මේ සම්බන්ධ විග්‍රහයක් ඔහු සමග කළ විඩියෝ සාකච්ඡාවෙහි අන්තර්ගත ය) යනුවෙනි.
ඉතිරිව ඇති එක ම විකල්පය

සැබැවින් ම සුමින්ද කිත්සිරි ගුණරත්න යනු සිය කාව්‍යාගමනය පියවරෙන් පියවර දියුණුව කරා රැගෙන ආ කවියෙකි. එය නිවැරැදිව පසක් කරගැනීමට නම් ක්‍රමානුකුලව ඔහුගේ කාව්‍ය හැදෑරිය යුතු ය. තවත් සරලව පවසන්නේ නම් ‘‘චක්කරං කොටුව’’ කාව්‍ය සංග්‍රහයෙන් (1996) අරඹා: ‘‘ඇහැළි’’ (2000), ‘‘නා රජ සහ වේ රජ’’ (2010), ‘‘ලංකා පොකුණ’’ (2012), ‘‘ලුම්බිණි’’ (ආඛ්‍යාන කාව්‍යයකි 2015) සහ 2022 වසරේ ප්‍රකාශිත ‘‘ප්‍රිස්ම’’ කාව්‍ය සංග්‍රහය දක්වා ක්‍රමානුකුලව හැදෑරිය යුතු ය. එය ඔහුගේ ජීවන ගමන මෙන් ම කෙමෙන් කෙමෙන් වර්ධනය වූ කාව්‍යාගමනයකි.
ඔහු එසේ සිය කාව්‍යාගමනයේ යෙදෙන අතර ම සිය විෂ්‍ය පිළිබඳව ද ඉතා උනන්දුවෙන් කටයුතු කළේ ය. ‘‘දෘශ්‍යාත්මක මානව විද්‍යාව හා මානවවංශලේඛ චිත්‍රපටය’’ (2017) සහ ‘‘කැමරාවෙන් ලියැවෙන මානව කතන්දරය’’ (2019) එහි අග්‍ර ඵලයකි.
කාව්‍යකරණයෙන් ඔබ්බට ගමන් කළ සුමින්ද නාට්‍යකරණයට ද එළඹිණ. ඒ, කුමාරතුංග මුනිදාස විසින් රචිත ‘‘හින් සැරය’’ කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ ‘‘කටුසුපාලිය’’ නමැති වේදිකා නිර්මාණය යි.

මේ සියලු කෘති තුළ ඔහු බලාපොරොත්තු වූ අනාගත පරපුර දැනුවත් කිරීමේ සංකල්පය කිසියම් දුරකට සාර්ථක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඒ හැර අන් කිසිම විකල්පයක් මේ වන විට ඉතිරිව නැත.
ප. ලි. ඔහුගේ දේහය අංක 10, තුෂාර මාවත, හොනිටන් පෙදෙස, අවිස්සාවේල්ල ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 14 වනදා සිදුකෙරේ.
(ජයසිරි අලවත්ත)



