BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

‌බෙර හඬ සමග නිහඬ වූ ගුහාගොඩ ප්‍රේමදාස

T

The Leader

November 22, 2024 • 8:46 AM

‌බෙර හඬ සමග නිහඬ වූ ගුහාගොඩ ප්‍රේමදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුම් දළදා වහන්සේ පුද පිණිස අවුරුදු පතා මහ සැණකෙළි සිරින් වීදි බසින නුවර ඇසළ පෙරහැර මංගල්ලයේ ප්‍රතාපවත්
  • ප්‍රේමදාස ඉනිදු ප්‍රමුඛයාව සිටියේ ජීවන ගමන නිමා කොට ඇති හෙයින් නැවත නැසෙන ඔහුගේ බෙර හඬ අහිමි වීම මෙරටට ජාතික සම්පතක් අහිමි වීමක් බව සුසන්ත සූරසේන පවසයි.
  • බෙරයෙන් විස්කම් පෑ  මේ ශිල්පියාගේ නික්ම යෑම ජාතික මාධ්‍යවලට මෙන්ම සංස්කෘතික බලධාරීන්ටද පුවතක් නොවූ නමුත් ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රේමදාස බෙර සුරුවා ඇගයීම ජාතික යුතුකමක් බව නර්ථන ශිල්පී සුසන්ත සූරසේන පවසයි.
  • සුසන්ත සූරසේනයන් මෙන්ම මහා කලාකරු නර්ථන ශූරී පීටර් සුරසේන ඇදුරිදුන් සමගද ලෝකයේ ප්‍රකට රංග ශාලාවල ශිල්ප දක්වා ඇති ප්‍රේමදාසයෝ අපමණ පැසසුමට ලක්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

භේරී වාදකයා ඔහුය.

පීටර් සූරසේන ඈ සුවිශිෂ්ට නර්ථන ශිල්පීන් කෙරෙහි කීර්ති රාව නැංවෙන්නට බෙර ඇස් මත පතිත වූ ඔහුගේ අත්තලද හේතු විය.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජර්මනිය හා අනෙකුත් යුරෝපා රටවලද ආසියාවේ ජපානයේද, ගෞරව සම්ප්‍රයුක්තව සැළකුම් ලද ලංකාවේ උඩරට නර්ථන ශිල්පය උදෙසා යශෝරාව උපදින්නට බෙර වාදන ශිල්පීහුද දායක වූහ. ඒ අතලොස්සක් ශිල්පීන් අතර ප්‍රචලිතයාද, ප්‍රමුඛයාද වන්නේ ගුහාගොඩ ප්‍රේමදාසයි.  

“ගිය අවුරුද්දෙත් මං පෙරහැරේ නැටුවේ ප්‍රේමදාසගෙ බෙර වාදනයට. මේ වතාවෙ මට විතරක් නෙවෙයි මුලු පෙරහැර මංගල්ලෙටම දැනෙයි ප්‍රේමදාස නැති අඩුව” ජපානයේ ටෝකියෝ නුවර වෙසෙන සුසන්ත සූරසේන ප්‍රකට ලාංකීය නර්ථන ශිල්පියා එසේ පවසන්නේ බෙර වාදකයන් බොහෝ දෙනෙක් මෙරට සිටියද ශිල්පීය නිපුණතාව ඇත්තන් ලෙස සැළකිය හැකි භේරී ප්‍රවීණයන් සිටින්නේ අතලොස්සක් බවයි.

ප්‍රේමදාස ඉනිදු ප්‍රමුඛයාව සිටියේ ජීවන ගමන නිමා කොට ඇති හෙයින් නැවත නැසෙන ඔහුගේ බෙර හඬ අහිමි වීම මෙරටට ජාතික සම්පතක් අහිමි වීමක් බව සුසන්ත සූරසේන පවසයි. බෙරයෙන් විස්කම් පෑ  මේ ශිල්පියාගේ නික්ම යෑම ජාතික මාධ්‍යවලට මෙන්ම සංස්කෘතික බලධාරීන්ටද පුවතක් නොවූ නමුත් ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රේමදාස බෙර සුරුවා ඇගයීම ජාතික යුතුකමක් බව නර්ථන ශිල්පී සුසන්ත සූරසේන පවසයි.

සුසන්ත සූරසේනයන් මෙන්ම මහා කලාකරු නර්ථන ශූරී පීටර් සුරසේන ඇදුරිදුන් සමගද ලෝකයේ ප්‍රකට රංග ශාලාවල ශිල්ප දක්වා ඇති ප්‍රේමදාසයෝ අපමණ පැසසුමට ලක්ව ඇත. එහෙයින් ඔහු විශ්ව සම්භාවනාවට පත් වූ හෙළ කලාකරුවෙකි.

මහනුවර හල්ඔලුව ගුහාගොඩ නම් සුන්දර ගම්මානයේ ජන්මලාභය ලද හෙයින් ගුහාගොඩ ප්‍රේමදාස නමින් රට දත් මේ ශිල්පියාගේ නම රන්හවඩි ගෙදර ප්‍රේමදාසයි. ප්‍රේමදාසගේ නෑ සනුහරය සුප්‍රසිද්ධ යකාවෙල පරම්පරාවයි. ඒ පරපුරේ බොහෝ උරුමකරුවන් මෙන්ම ඔහුද ගැටබෙර, තම්මැට්ටම්, දවුල් ආදිය වාදනයෙහි නිපුණයෙක් වූ අතර කන්ද උඩරට පමණක් නොව මුලු සිරිලකම මුල්පෙළ ශිල්පියෙකු හා බෙර වාද්‍ය විශාරදයෙකු විය.

ශිල්පී ප්‍රේමදාසට ගුරුවරම් ලැබුණු හැටි

කන්ද උඩරට බෙර වාදන පරම්පරා අතර වෙසෙස් තැනක් ගන්නා එරමුදුගොල්ල පරම්පරාවේ විශිෂ්ටයෙකු ඔහුගේ ගුරුවරයා ලෙස බුහුමනට පාත්‍ර වේ. එරමුදුගොල්ල පරපුරේ මහා බෙර වාද්‍ය ශිල්පී ඉලන්කාලි ගෙදර සිරිසෝම නම් ඔහු ගුහාගොඩ ප්‍රේමදාසගේ ගුරුවරයා ය. එරමුදුගොල්ලේ ගුරුන්නාන්සේ වෙතින් ශිල්ප හැදෑරූ සිරිසෝම තමන් උගත් සියල්ල අඩුවක් නොමැතිව පැවරූ හෙයින් ඒ මහා පරම්පරාවේ ශිල්ප ඥානය පෙරට ගෙන ආවේ ප්‍රේමදාසය.

වැල්ලතොට පරපුරෙන් බෙර ශිල්පය උගන්නට අත්පොත් තැබූ එරමුදුගොල්ලේ ගුරුන්නාන්සේද, කිරි උක්කුවා ගුරුතුමා, සුදලිකාර ගෙදර ලපයා ගුරුතුමා ආදී විශිෂ්ට ශිල්පීහු මේ පරපුර කලින්කල නියෝජනය කළ මහා කලාකරුවන් ය.

මහනුවරට ආභරණයක් වූ වෙස් නර්ථන ශිල්පී පීටර් සූරසේනයන්ට බෙර වාදනයෙන් සහය වූ එරමුදුගොල්ලේ ගුරුන්නාන්සේ පසුව ඒ පැවරුම ප්‍රේමදාසගේ ගුරුවරයා වූ ඉලන්කාලි ගෙදර සිරිසෝම ශිල්පියා හට භාර කළේය. දශක හයක් මහනුවර පෙරහැරට සහභාගි වෙමින් බෙර වයා දක්ෂතම ගැටබෙර වයන්නා ලෙස සම්මානයට පත් සිරිසෝම ශිල්පියා තමන් දත් සියලු ශිල්ප ඥානය පවරා දුන්නේ සිය ශිෂ්‍යවර රංහවඩි ගෙදර ප්‍රේමදාසටය. ඒ පීටර් සූරසේන ඇදුරු තුමන්හට බෙර වාදනයෙන් සහය වීමේ අඛණ්ඩ මෙහෙවරද සහිතවය.


බෙර වාදකයෙකුගෙන් ඔබ්බට

විශිෂ්ට ගුරු පරම්පරාවක ආභාෂය නිසාම හුදු වාදකයෙකු නොවී ශිල්පියෙකු බවට පත් ප්‍රේමදාසයන් සිය ඇදුරු සිරිසෝම ශිල්පියා සමගද, පසුව තනිවමද පීටර් සූරසේනයන් හට බෙර වාදනයෙන් සහය වෙමින් ලොව පුරා රටවල් ගණනාවක ශිල්ප දක්වා ඇත. ඉනික්බිති පීටර් සූරසේන පුත් සුසන්ත සූරසේනයන් හා බෙර වාද්‍ය සහයෙන් හවුල් වෙමින් ලංකාවේ කලා උරුමය යුරෝපයේද, ජපානයේද රැව් දෙන්නට සැළැස් වූ ඔහු තමන් හා අවුරුදු තිස්පහක් ශිල්ප දැක්වූ මහා කලා ශිල්පියා බව සුසන්ත සූරසේනයෝ පවසති.  

වසර ගණනාවක් දළදා පෙරහැරේ ශිල්ප දැක්වූ ඔහු අතිදක්ෂ බෙර වාදන ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ වරක් දෙවරක් නොවේ. කොහොඹාකංකාරි ශාන්ති කර්මයේ මෙන්ම සූවිසි විවරණය, බලි ශාන්තිකර්ම ආදියෙහිද කෙළ පැමිණි බෙර වාදන ශිල්පියෙකු වූ ඔහුගේ ගායන කෞශල්‍යයද අද්වීතීය හෙයින් ප්‍රේමදාස වනාහී පරිපූර්ණ ශිල්පියෙකි.

එක්දහස් නමසිය හැටහයේ දෙසැම්බර් තුන්වැනිදා උපන් මේ මහා ශිල්පියා වසර පනස්අටක් වැනි කාලයක් අල්ප ආයුෂ විඳ ජීවිතයෙන් සමුගන්නා විට මහනුවර විෂ්ණු මහ දේවාලයේ තේවා රාජකාරියේ නියැලෙමින් ජීවිකාව ගෙන ගියේය. පසුගියදා, ඔහු හෙළ කලා කෙතට අහිමි වූ බව සංස්කෘතික බලධාරීන් දැන සිටියද, දැන නොසිටියද අඩුම තරමේ මේ ශිල්පියා වෙනුවෙන් අවසන් උපහාරයවත් පිදිය යුත්තේමය.  

(සටහන - ලසන්ත ද සිල්වා)

guhagoda

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...