BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නිහතමානී විශිෂ්ටයෙකුගේ නික්ම යෑම: උස්තාද් ස‘කීර් හුසේන් පිළිබඳ මතක ආවර්ජනය

T

The Leader

December 21, 2024 • 2:55 AM

නිහතමානී විශිෂ්ටයෙකුගේ නික්ම යෑම: උස්තාද් ස‘කීර් හුසේන් පිළිබඳ මතක ආවර්ජනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පද්මවිභූෂන් සම්මානයෙන් පුදලද, සුප්‍රකට සංගීතවේදී උස්තාද් සකීර් හුසේන් හදිසියේ හටගත් පෙනහළු ආබාධයක් හේතුවෙන් 2024 දෙසැම්බර් පහලොස්වැනිදා ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ රෝහලක දී මියගියේ ය.
  • “මේ දරුවා අනාගතයෙ දි ලෝකය වටා සංචාරය කරන සුප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙනවා.
  • ඒ අනුවයි සකීර් කුරේෂි ලෙස නම් වීමට නියමිත දරුවාට සකීර් හුසේන් නම ලැබුණේ.
  • මම කුඩා කළ නින්දට ගිය ඇතැම් අවස්ථාවල අපේ තාත්තා මගේ කනට ළංවෙලා තාල ගායනා කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සකීර් හුසේන් උපදින්නේ 1951 මාර්තු මාසේ නවවන දින මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ මුබ්බායි නගරයේ දී ය.

තගේ දිට තගේ දිට තකිට තකිට

 

“මම ඉපදිලා නිවසට වඩම්මපු තිථියේ මගේ අම්මා මාව මගේ තාත්තාගේ අත පත්කරනවා. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව නම් තාත්තා කරන්නේ බිලිඳාව මේ ලෝකයට පිළිගන්න දරුවාගේ කනට ළංවෙලා කල්‍යාණ ගුණැති වාක්‍යයක් දෙකක්  කොඳුරන එක. නැතිනම් සුභ මන්ත්‍රයක් සජ්ජායනය කරන එක. ඒ වෙනුවට මගේ තාත්තා මගේ කණට ළං වෙලා... ‘තගේ දිට තගේ දිට තකිට තකිට’ වශයෙන් බෙර පද ගායනා කරනවා. මගේ අම්මා ඔහුගෙන් විමසනවා ඔය මොනවද කරන්නේ... දරුවා වෙනුවෙන් යාතිකාවක් නොකර ඇයි බෙර පද ගයන්නේ...?’ කියලා. එවිට ඔහු කියනවා... ‘මේ තමයි මගේ යාතිකාව. මම සරස්වතී දේවිය සහ ගණදෙවියන් වන්දනාමාන කරන කෙනෙක්. මේ තමයි මගේ ගුරුවරුන්ගෙන් මම උකහාගත් දැනුම. මට අවශ්‍යයි මේ දැනුම මගේ පුත්‍රයාට සම්ප්‍රේෂණය කරන්නට...”


සකීර් කුරේෂි නොවූ සකීර් හුසේන්

දරුවා නිවසට කැන්දාගෙන ආ දවසේම මුස්ලිම් ආගමික පූජකවරයකු උස්තාද් අල්ලා රක්ඛාගේ නිවසට පැමිණියේ ය. සාමාන්‍යයෙන් පවුලේ සම්ප්‍රදායට අනුව, දරුවාට කුරේෂි යන වාසගම ලැබිය යුතු ය. එහෙත් ඉමාම්වරයා ඉල්ලා සිටියේ...

“මේ දරුවා අනාගතයෙ දි ලෝකය වටා සංචාරය කරන සුප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙනවා. ඒ නිසා ඔහුට නබිතුමාගේ මුනුපුරා වන, හස්රත් ඉමාම් හුසේන් කියා නම් තබන්න...” කියලා. ඒ අනුවයි සකීර් කුරේෂි ලෙස නම් වීමට නියමිත දරුවාට සකීර් හුසේන් නම ලැබුණේ.


ක්‍රිකට් ද, තබ්ලාවද...?

 

දවසක් අපේ තාත්තා පොළොවේ පය ගහලා මට තරවටු කරා... ‘තමුන් තබ්ලා වාදනය කරනව ද, ක්‍රිකට් ගහනවද කියලා දෙකෙන් එකක් තෝරාගන්න ඕනේ...’ කියලා. එදත් එදයි මම ක්‍රිකට් අතහැරලා තබ්ලාව සමග සංගත වුණා.”

“මම අපේ පවුලේ වැඩිමලා. තාත්තාගේ සංගීත ඥාණ සම්ප්‍රේෂණය ආරම්භවෙන්නේ මගෙන්. එතකොට මට යාන්තමට අවුරුදු තුන පිරුණා විතරයි. සමස්ත ලෝකය ම ගම්භීර නින්දේ ගිලී සැතපෙන පාන්දර තුනහමාරට ඔහු මාව අවදි කරනවා. එතැන් සිට ඉර අවරට යනකල්ම අභ්‍යාස කරවනවා. වයසින් මුහුකුරා යනවිට දිනකට පැය පහළොවක් පමණ පුහුණුවේ යෙදුණු දවසුත් තිබුණා. මම කුඩා කළ නින්දට ගිය ඇතැම් අවස්ථාවල අපේ තාත්තා මගේ කනට ළංවෙලා තාල ගායනා කරනවා. ඒ වුනාට මං ඇහැරිච්ච ගමන් දුවලා ගිහිං වීදියේ ක්‍රිකට් ගහන කොල්ලෝ බුරුත්තට එකතු වෙනවා. දවසක් අපේ තාත්තා පොළොවේ පය ගහලා මට තරවටු කරා... ‘තමුන් තබ්ලා වාදනය කරනව ද, ක්‍රිකට් ගහනවද කියලා දෙකෙන් එකක් තෝරාගන්න ඕනේ...’ කියලා. එදත් එදයි මම ක්‍රිකට් අතහැරලා තබ්ලාව සමග සංගත වුණා.”

පළමු වාදනයට රු. 100ක්

 

16xp hussain ztcj articleLarge

ශ්‍රේෂ්ට සංගීතඥ, සිතාර් වාදක, පණ්ඩිත් රවි ශංකර් සංගීතය හැදෑරුවේ පන්ජාබ් ගුරුකුලයේ රජු ලෙස විරුධාවලි ලත් උස්තාද් අලව්දීන් ඛාන් යටතේ. අලව්දීන් ඛාන්ගේ වැඩිමහල් පුත්‍රයා අලි අක්බර් ඛාන්. අලි අක්බර් ඛාන්ගේ පුහුණු සැසිවලට තබ්ලා වාදනයෙන් සහාය වුණේ සකීර් හුසේන් ගේ පියා උස්තාද් අල්ලා රක්ඛා. එතුමන්ට පුහුණු සැසිවලට සහභාගී වෙන්නට අතපසු වුණු දිනවල ඒ කටයුත්ත ඉටු කරේ සකීර් හුසේන්. එතකොට සකීර්ට අවුරුදු හතයි. මේ අලි අක්බර් මේ තරුණ තබ්ලා වාදයා කෙරේ බොහෝ පැහැදුණේ ය. වතාවක් බොම්බේ ප්‍රෙස් ක්ලබ් පරිශ්‍රයේ Bombay Pres club පැවැත්වුණු සරෝද් වාදන ප්‍රසංගයකට තමන්ගේ තබ්ලා වාදකයා ලෙස සකීර් හුසේන් කැන්දාගෙන ගියා. ඒ තමයි සකීර් හුසේන්ගේ මංගල වාදන ප්‍රසංගය. එතකොට ඔහුට වයස අවුරුදු දොළහයි. ඔහුට ඒ වෙනුවෙන් රුපියල් සියයක ගෙවීමක්ද කෙරුණා.


මගේ සිහිනය

ඉන් මාස කිහිපයක් ගෙවුනු තැන බිහාර් ප්‍රාන්තයේ, පට්නා නගරයේ දින දෙකක් පුරා පැවැත්වුණු දශරා සංගීත මහෝත්සවයට සහභාගී වුණු සකීර් හුසේන්, ජේෂ්ට සිතාර් වාදක උස්තාද් අබ්දුල් හලීම් ජෆාර් ඛාන් සහ ශ්‍රේෂ්ට ශෙනායි චක්‍රවර්තී උස්තාද් බිස්මිල්ලා ඛාන්ට තබ්ලා වාදනයෙන් සහාය විය. මේ ප්‍රවේශයත් සමගින් තරුණ සකීර් හුසේන් ප්‍රසංගයන්ට සහභාගී වෙන්නට ඉන්දියාව පුරා සංචාරයේ යෙදුණි. වතාවක් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් කලාවේදිනී සිමී ගරිවාල් Simi Gariwal සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී උස්තාද් හුසේන් කියා සිටියේ...

Zakir Hussain Rolex Mentor in Music Copy

“මගේ මුල් අපේක්ෂාව වුණේ තබ්ලා වාදකයෙක් වෙන්නට නොවෙයි. නව යොවුන් වියේ දි මට ඕනෑ වුණේ කීර්තිමත් රොක් ඇන්ඩ් රෝල් Rock n Roll තරුවක් වෙන්නට. මට ඕනෑ වුනේ ඩොලර් මිලියනයක් උපයා ගන්නට. ඒ කාලේ තරුණ අපි සැමගේ හීනය වුනේ සංගීත තාරුකාවක් වෙලා මුදල් උපයන්නට. ඒ දවස්වල මම කොහේ ගියත් බූම්බොක්ස් Boombox එකක් කරේ තියාගෙන යනවා. (අධි බලැති කැසට් යන්ත්‍රයක්) මම බොම්බායේ වීදි දිගේ ඇවිදිමින් බූම්බොක්ස් එකෙන් බීට්ල්ස්, රෝලින් ස්ටෝන්ස්, පින්ක් ෆ්ලොයිඩ් Beetles, Rolling stones, Pink aloyd ආදී එවක ප්‍රසිද්ධ රොක් සහ පොප් කණ්ඩායම් සංගීතයට සවන් දුන්නා.  මට ඕනෑ වුනේ ක්ෂණික මුදල්. ක්ෂණික කීර්තිය. ඒ වුනත් පසු කාලෙක මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයකට අවතීර්ණ වුණා.”


තබ්ලා වාදකයාට අඩු සැලකිලි

 

zakir hussain IMG 1 Ustad Zakir Hussai 2 1 9DCDGHAB 768x484 තබ්ලා වාදකයින් අවධානයට සහ සම්භාවනාවට පාත්‍ර කිරීමේ ගෞරවයේ ප්‍රධාන කොටස් කාරයා ලෙස උස්තාද් සකීර් හුසේන් හැඳින්වීම නිවැරදියි

“ඉතිහාසයෙ දි තබ්ලා වාදකයෙකුගේ කාර්යය ගරු සම්මානයට පාත්‍ර වුණේ නැහැ. ඔවුන්ව සැලකුවේ දෙවැනි පංතියේ සංගීතඥයින් ලෙස. කිසිම ප්‍රසංග දැන්වීමක, සංගීත තැටි කවරයක තබ්ලා වාදකයාගේ නම ලැයිස්තුගත වුණේ නැහැ. ප්‍රධාන කලාකරුවාට ගෙවන මුදලින් දහයෙන් පංගුවයි තබ්ලා වාදකයාට ලැබුනේ. තබ්ලා වාදකයින් අවධානයට සහ සම්භාවනාවට පාත්‍ර කිරීමේ ගෞරවයේ ප්‍රධාන කොටස් කාරයා ලෙස උස්තාද් සකීර් හුසේන් හැඳින්වීම නිවැරදියි.” යනුවෙන් ඔහුගේ වියෝවෙන් පසුව බීබීසී ගුවන් විදුලිය සමග කළ සංවාදකයක දී සිතාර් සහ තබ්ලා වාදක, නයන් ගෝෂ් ප්‍රකාශ කළේ ය.  

නමුත් මේ ඓතිහාසික ජයග්‍රහණය පිටුපස තමන්ගේ පීතෘ උස්තාද් අල්ලා රක්ඛා, පණ්ඩිත් සම්තා ප්‍රසාද් සහ පණ්ඩිත් කිෂන් මහාරාජ්ද සිටින වග Zakir Husain – a lifetime of tusic නමින් නස්රීන් මුන්නි කබීර් විසින් ලියන ලද සකීර් හුසේන් චරිතාපදානයේ තැනෙක සඳහන් වෙනවා.


දිවි ගමනට වැටුණු නවාලෝකය

 

mclaughlinheader1ජෝන් මැක්ලෝෆ්ලින් මුණ ගැහෙන්නේ. ජෝන්, බ්‍රිතාන්‍ය ජාතික ජෑස් ගිටාර් වාදකයෙක්.

“1973 මගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හැඳින්වීම නිවැරදියි. ඒ අවුරුද්දේ තමයි මට හාපුරා කියා ජෝන් මැක්ලෝෆ්ලින් (John McLaughlin) මුණ ගැහෙන්නේ. ජෝන්, බ්‍රිතාන්‍ය ජාතික ජෑස් ගිටාර් වාදකයෙක්. ඔහුට අවශ්‍ය වුණා ඔහු ප්‍රගුණ කළ ජෑස් සංගීත ආර සමග ඉන්දියානු සංගීතය සුසංයෝජනය කර නව සංගීත ආරක් ගොඩනගන්නට. මම ඒ අදහසට එක හෙළා මම කැමති වුණා. 

 
මම විශිෂ්ට කර්ණාටක ශෛලියේ වයලීන වාදකයෙකු වන එල් ශංකර්ට අපත් සමග එක්වන ලෙස ආරාධනා කරා. ශංකර් කැමති වුණා. අපට අවශ්‍ය වුණා කර්ණාටක ශෛලියේ ම තාලවාදන ශිල්පියෙක්ව. අපි ඝටම් වාදනය පරතෙරට ප්‍රගුණ කළ වික්කු විනායක්රාම්ට ආරාධනා කළා. (වික්කු විනායක්රාම් තමයි මේ ලිපිය ලියන මගේ පූජනීය ගුරුජි. මා දින දහසක් ගුරුකුලවාසීව ශිල්ප හැදෑරුවේ එතුමන් යටතේ) අපි අපේ කණ්ඩායම “ශක්ති” ලෙස නම් තැබුවා. 
 
වික්කු විනායක්රාම් මුණගැහීම මගේ ජීවිතයේ මා ලැබූ සුවිශේෂ භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ. කර්ණාටක සංගීතයේ යෙදෙන තාල පද්ධතිය අතිශයින්ම සංකීර්ණයි. නමුත් වික්කු ජී තමන්ගේ ම දරුවෙකුට වාගේ අ යන්න ආ යන්නේ සිට මට කර්ණාටක තාල ශාස්ත්‍රය ඥානනය කරා. ඔහුගේ ඉගැන්වීම්වලින් මගේ ජීවිතයට අලුත් ආලෝකයක් වැටුණා.” (2014 Sri Lanka Rupavahini interview with Vishnu Vasu)
 



හදිසියේ පැමිණියකු කළ හදියක්

ශක්ති කණ්ඩායම ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම එසවුණා. ඔවුනට ලෝකය පුරා ම පිහිටි රටවලින් ආරාධනා ගලාගෙන ආවා. ශක්ති කණ්ඩායම මිකී හාට් සමග එක්ව නිකුත් කළ ප්ලැනට් ඩ්‍රම්ස් සංගීත ඇල්බමය 1991 දී ලෝකයේ විශිෂ්ටතම සංගීත ඇල්බමය ලෙස ග්‍රැමී සම්මානයට පාත්‍රවුණා. ඉන් අනතුරුව 2024 වර්ෂයේ පැවැත්වුනු 66වන ග්‍රැමී සම්මාන උලෙළෙ දි ඔහු තවත් සම්මාන තුනකින් පිදුම් ලැබුවා. පටු ආගමික සංකල්පවලින් හිත අපවිත්‍ර කරනොගත් ඔහු, සකල කලාවන්ට අධිගෘහිත දේවිය ලෙස සම්භාවනාවට පාත්‍ර සරස්වතී දේවියට නිරන්තරයෙන් ම වන්දනාමාන කරා. ඔහුගේ පියා, උස්තාද් අල්ලා රක්ඛා ත් සරස්වතියට සහ ගණ දෙවියන්ට ගරු කළ කෙනෙක්. ඔහු තම වාදන භාණ්ඩය, තබ්ලාව, සරස්වතී දේවිය ලෙස සලකා වන්දනාමාන කරා.
 
823129 zakir hussain with ustad amjab ali khanඋස්තාද් අම්ජාඩ් අලි ඛාන් සහ උස්තාද් සකීර් හුසේන්
 

වතාවක් මම, වරණාසියේ පැවැත්වුණු දෘපද් මේලා සංගීත මහෝත්සවය අත්විඳින්නට එහි ගියා. එදා රාත්‍රියේ ප්‍රසංගයට සහභාගී වුණේ ජ්‍යේෂ්ට සරෝද් වාදක උස්තාද් අම්ජාඩ් අලි ඛාන් සහ උස්තාද් සකීර් හුසේන් දෙපළ. ප්‍රසංගය ආරම්භ වුණා. ඉන් විනාඩි දහයක් පමණ ගතවුණු තැන හදිසියේම සුදුම සුදු ඇඳුමින් සැරසුණු කවුදෝ ලොක්කෙක් එතැනට ප්‍රාධූර්භූත වුණා. ඔහු ආ විගස වේදිකාව ඉදිරිපිට ම අසුන්ගෙන සිටි පිරිස නැගී සිටියා. අමුත්තාට අතට අත දෙන්නටත්, පාද නමස්කාර් කරන්නටත් පිරිස කලබලෙන් ඔබ මොබ දුවන්නට පටන් ගත්තා. උස්තාද් සකීර් හුසේන් ප්‍රසංගය නතර කරා. මයික්‍රෆෝනයක් අතට ගෙන මුළු සභාවටම ඇහෙන්නට නිවේදනය කරලා...

“කරුණාකරලා සන්සුන් වෙන්න. එහෙම කරන්න බැරි අය, මෙතැනට රැස්ව සිටින ගම්භීර සංගීත රසිකයින්ගේ ධ්‍යානය නොබිඳ, වහාම මේ පුණ්‍ය භූමියෙන් ඉවත් වෙන්න. වරණාසිය කියන්නේ ශිව දෙවියන්ගේ පුදබිම. අප මේ ප්‍රසංගය කැප කරන්නේ ගංගා මාතාවට. සරස්වතී දේවියට.”

මෙසේ පැවසූ උස්තාද් සකීර් හුසේන් තමන් ඉදිරියේ තැන්පත් කොට තිබූ සරස්වතී දේවියගේ කුඩා පිංතූරය මුළු සභාවටම පෙනෙන සේ ඔසවා ප්‍රදර්ශනය කරා.

සම්මාන සහ ගරු සත්කාර
 
images 71
උස්තාද් සකීර් හුසෙන් ගෞරවයට පාත්‍ර නොකළ විශ්වවිද්‍යාලයක්, අධ්‍යාපන ආයතනයක්, රජයක් මේ ලෝකයේ ඇත්දැයි සැක සහිතයි. ඔහු ඒ තරමටම විශිෂ්ට සංගීතඥයෙක්. ඔහු ඉන්දීය රජය විසින් පිරිනමනු ලබන පද්ම ශ්‍රී සම්මානය 1998, පද්ම භූෂන් සම්මානය 2002 සහ පද්ම විභූෂන් 2023 සම්මානයට පාත්‍ර වුණා. 2022 දී මුම්බායි විශ්වවිද්‍යාලය විසින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. 1999 වර්ෂයේදී කලාකරුවකුගේ මස්තකප්‍රාප්තිය වෙනුවෙන් ඇමරිකාව විසින් පිරිනමන ඉ හළම ගෞරවය දිනාගත් එකම ඉන්දියානුවා වීමේ භාග්‍යය ලැබූවා. 2017 වසරේදී ‘‘සංගීත ලෝකයට කරන ලද අසමසම දායකත්වය” වෙනුවෙන් සැන් ෆ්‍රැන්සිස්කෝ ජෑස් සමාජය ඔහුව සම්මානයට පාත්‍ර කරා.

ඔහු ලැබූ සම්මාන ගැන ලියන්නට මාගලක් තිබුනත් මදි. ඔහුගේ දශක හයක සංගීත ජීවිතයේ, ඉන්දියාවෙන් බිහිවූ සියලු ම විශිෂ්ටයින් සමග වාදන ප්‍රසංගවලට සහභාගී වී තියෙනවා. පණ්ඩිත් රවී ශංකර්, උස්තාද් අලි අක්බර් ඛාන්, පණ්ඩිත් ශිවකුමාර් ශර්මා, පණ්ඩිත් හරිප්‍රසාද් චෞරාසියා, උස්තාද් බිස්මිල්ලා ඛාන් උස්තාද් සුල්තාන් ඛාන් ඒ අතරින් අතළොස්සක් පමණයි.

ඔහුගේ වියෝවෙන් කම්පාවූ මිලියන ගණනක පරිස අතර රාජ්‍ය තාන්ත්‍රිකයින්, සංගීතඥයින්, මාධ්‍යවේදීන්, විද්වතුන්, රසිකයින් සහ ඔහු බිහිකළ ශිෂ්‍ය පරම්පරාව වශයෙන් සුවිශාල පරාසයක පිරිසක් ඉන්නවා.
 
1734362525 2 pti“The King, in whose hands Rhythm became Magic, has left us... RIP my dearest Zakir. We will meet again.”

ඔහු සමග ශක්ති සුසංයෝජන සංගීත කණ්ඩායමට නායකත්වය දුන් ජොන් මැක්ලෝෆ්ලින් John McLaughlin තම ඉන්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්  “The King, in whose hands Rhythm became Magic, has left us... RIP my dearest Zakir. We will meet again.”  ලෙස ලියා තිබුණා.

පළමුවෙන් මිලදී ගත් තබ්ලාව

උස්තාද් සකීර් හුසේන් තබ්ලා මිලදී ගත්තේ හරිදාස් වත්කාර් නැමැත්තකුගෙන්. හරිදාස් පවසන ආකාරයට ඔහුගේ වඩාත්ම කීර්තිමත් පාරිභෝගිකයා වුයේ උස්තාද් සකීර් හුසේන්. ඉන්දියන් (Indian Express) පුවත් පත සමග සංවාදයකදී ඔහු කියනවා...

“සකීර් බායිගේ පියා, උස්තාද් අල්ලා රක්ඛාටත් තබ්ලා හැදුවේ මම. සකීර් බායි මුලින් ම මට කියලා තබ්ලාවක් හදවා ගත්තේ 1998 දී. මට අවසන් වතාවට සකීර් බායි මුණගැහුණේ මේ අවුරුද්දේ අගෝස්තු මාසෙ දි පැවැත්වුණු ගුරු පූර්ණිමා දවසේ. එදා විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණ සිටියා. ඔහු තමන්ට අවශ්‍ය තබ්ලාවේ හැඩරුව සහ හඬ පිළිබඳව සියයට සියයක්ම නිවැරදිව උපදෙස් දෙන්න දක්ෂයෙක්.  ඔහු වැඩියෙම අවධානය යොමු කරේ තබ්ලාව සුසර කිරීමේ අංගය ගැන. මම ඔහුට තබ්ලා හැදුවා, ඔහු මගේ ජීවිතය හැදුවා. ඔහුගේ වියෝවෙන් මගේ හදවත ඉරිතළලා. ඉදිරියෙ දි මා අතින් නිමවන තබ්ලා වලින් මගේ ශෝකය අනුනාද වෙනවා සත්තයි.”
 
‘‘උස්තාද්’’ට අකමැති නිහතමානී උස්තාද්

 
zakir hussain 98
මගේ පූජනීය ගුරුජි, පද්මභූෂන් වික්කු විනායක්රාම් හැරුණු කොට, උස්තාද් සකීර් හුසේන් තරම් නිහතමානී සංගීතඥයෙක් මගේ ජීවිතේදී මුණ ගැසී නැහැ. එතරම් ලෝක සම්භාවනාවට පාත්‍ර වූ, එතරම් විශිෂ්ටත්වයට එසවුණු සංගීතඥයෙක් වුවත් ඔහු හරීම සෝරත චරිතයක්. නිරහංකාර, කාරුණික මනුෂ්‍යයෙක්. සාමාන්‍යයෙන් සංගීත ක්ෂේත්‍රයේ භ්‍රාජමාන හින්දු භක්තිකයින් පණ්ඩිත්වරුන් ලෙසත්, මුස්ලිම්වරුන් උස්තාද්වරුන් ලෙසත් හඳුන්වනවා. එහෙත් මේ නිහතමානී මිනිසා ඔහුව උස්තාද් කියා ආමන්ත්‍රණය කරනවාට එකහෙලාම විරුද්ධ වුණු. ඔහු අපට කීවේ  “මම උස්තාද් කියන නම්බු නාමයට ගැළපෙන්නේ නැහැ. මගේ පියා අල්ලා රක්ඛා, ෆායස් ඛාන්, ඉල්මාස් හුසේන්... ඒ අය තමයි උස්තාද්වරු. මට සකීර් කියලා කතා කරාම හොඳට ම ඇති.” කියලා. ඉඳින් අප ඔහුව ඇමතුවේ ‘සකීර් බායි’ කියලා.

ආදරණීය සකීර් බායි. ඔබේ භව ගමන සෞම්‍ය වේවා...!

 
Vishnu Vasu
(විෂ්ණු වාසු |  Vishnu Vàsu)
චෙන්නායි නුවර සංගීත මහෝත්සවයට සහභාගී වෙමින්

ලේඛක /නිදහස් මාධ්‍යවේදී
Villagemonk@gmail.com

 
 
සබැඳි ලිපියක් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...