BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ගාමිණී වියන්ගොඩ : 'නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රී ලාංකේය මුද්‍රාව' | ආචාර්ය සිරිල් ගුණපාල

T

The Leader

January 6, 2025 • 4:18 AM

ගාමිණී වියන්ගොඩ : 'නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රී ලාංකේය මුද්‍රාව' | ආචාර්ය සිරිල් ගුණපාල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘති සිංහලයට නැඟීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන්නකි.
  • එතුමන් පෙන්වා දෙන්නේ මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ කාරණා ගැඹුරින් නිරූපණය කළ රුසියානු සාහිත්‍යය සහ ප්‍රංශ සාහිත්‍යය පරිශීලනය කිරීම නිසා අලුත් ලේඛක පරපුරක් බිහිවුණ බව ය.
  • එතුමන් වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ නූතන නිර්මාණ සාහිත්‍යයේ භාෂාව - ශිල්ප ධර්ම - චරිත නිරූපණය දියුණු තත්වයකට පත් කරන්නට ද පරිවර්තන කෘති මහෝපකාරී වූ බවයි.  කේ.ජී.
  • කරුණාතිලක සැබවින්ම සිරිල් සී පෙරේරා - කේ.ජී.
අකුරු ප්‍රමාණය (Font Size):

සිංහලයට නැඟුණ කෘතිවල ආභාසය ලැබීමෙන් සිංහල සාහිත්‍යය පෝෂණය වූ බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. රුසියානු - ප්‍රංශ භාෂාවන්ගෙන් ලියැවුණු කෘති සම්භාරයක් සිංහල පාඨකයාට කියවීමට ලැබෙන්නේ පරිවර්තන ඔස්සේ ය. 

යථාර්ථවාදී සාහිත්‍යය යනු කුමක්දැයි නූතන ලේඛකයා වටහා ගත්තේ පරිවර්තන සාහිත්‍යය ඔස්සේය යන්න සරච්චන්ද්‍රගේ මතයකි. 

 

image 786624738eසිරිල් සී පෙරේරා
අපට හරවත් ස්වතන්ත්‍ර සාහිත්‍යයක් උරුම වන්නේ පරිවර්තන සාහිත්‍යය ඔස්සේ බව සිරිල් සී පෙරේරා පවසා ඇත. එතුමන් පෙන්වා දෙන්නේ මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ කාරණා ගැඹුරින් නිරූපණය කළ රුසියානු සාහිත්‍යය සහ ප්‍රංශ සාහිත්‍යය පරිශීලනය කිරීම නිසා අලුත් ලේඛක පරපුරක් බිහිවුණ බව ය. එතුමන් වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ නූතන නිර්මාණ සාහිත්‍යයේ භාෂාව - ශිල්ප ධර්ම - චරිත නිරූපණය දියුණු තත්වයකට පත් කරන්නට ද පරිවර්තන කෘති මහෝපකාරී වූ බවයි. 

K.Gකේ.ජී. කරුණාතිලක
සැබවින්ම සිරිල් සී පෙරේරා - කේ.ජී. කරුණාතිලක වැනි පුරෝගාමී පරිවර්තකයන්ට සිංහල පාඨක සමාජයේ පමණක් නොව නිර්මාණාත්මක ලේඛක සමාජයේ ද බුහුමන උරුම ය. විශිෂ්ට සාහිත්‍ය කෘති සිංහලයට නැඟීම අද වන විට ඉතා සිල්ලර වැඩක් බවට පත්ව තිබෙන බවට චෝදනා අප්‍රමාණය. ඊටත් වඩා ඛේදය වේගයෙන් නිසරු කෘති වැඩි වැඩියෙන් පරිවර්තනය වීම ය.

අද අපේ කථා නායකයා ද පරිවර්තකයෙකි. හෙතෙම ගාමිණී වියන්ගොඩ නම් වේ. යථාර්ථ රීතියෙන්ම ලියැවුණ සාහිත්‍ය නිර්මාණ පරිවර්තනය පැහැදිලි වෙනසකට භාජනය කරන්නේ වියන්ගොඩ ය. නූතන නිර්මාණ සාහිත්‍යයේ අභිවෘද්ධියට අදාළ වූ නූතනවාදී ලේඛක ලේඛිකාවන්ගේ කෘති සිංහලයට නඟමින් නූතන ලෝක සාහිත්‍යය ඇසුරු කිරීමට දොර කවුළු සිංහල පාඨක සමාජයට විවර දෙන්නේ ද ඔහු ය. වියන්ගොඩගේ පරිවර්තන ක්‍රියාදාමය හේතුවෙන් නූතන සිංහල නිර්මාණ සාහිත්‍යයේ ද වැදගත් ප්‍රවණතා සිදුව තිබෙන බව පැහැදිලි ය.

දේශප්‍රේමය සහ මව්බිම

 

වියන්ගොඩ විමංසන අද රාත්‍රී 9 ට
ගාමිණී වියන්ගොඩ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. තරුණ වියේම වාම දේශපාලනයට නැඹුරු වුණ පුද්ගලයෙකි. ලංකාවේ තරුණ පරපුර ප්‍රගතිශීලී අදහස්වලින් දීප්තිමත්ව සිටි අවධියේ ඔහු දේශපාලන ක්‍රියාකාරකම්වලට දායක වූ කෙනෙකු යයි මා අසා තිබේ. උපාධිධාරී ගුරුවරයෙකු වූ වියන්ගොඩ වෘත්තීය අරගලයකට දායක වීමෙන් ගුරු වෘත්තිය අහිමි වේ. 

ඉනික්බිතිව හෙතෙම විදේශගත වෙයි. ඔහුගේ භාග්‍යය වන්නේ විශිෂ්ට කලා සම්ප්‍රදායන් නොනැසී පවතින රටක් වන පැරීසියේ ජීවත්වීමට පුළුවන් වීම ය. අදින් කලකට ඉහත දී දේශපාලනික හේතු කාරණා නිසා ද, වෙනත් සාධක නිසා ද විදේශ ගතවුණ පුද්ගලයන් ආර්ථික වශයෙන් අද ඒ ඒ රටවල ගොඩ නැඟී සිටින වග ඇත්තකි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වීම මෙන්ම - යහපත් අන්දමකින් ජීවිත ගොඩ නඟා ගැනීමට පුළුවන් වීම ද ඒ ඒ රටවල පවතින දියුණු තත්වයන් නිසා පුළුවන් වී ඇත. අභාග්‍යය නම් ඔවුන්ගේ අති බහුතරය ලෝකෙන් උතුම් රට ලංකාවයි සිතමින් දේශප්‍රේමීන් වී සිටීම ය. ජාතිවාදීන් වී සිටීම ය. 

දැන උගත් විශාල පිරිසක් දියුණු රටවල දීර්ඝ කාලයක් වාසය කරමින් ම ජාතිවාදය හා ආගමික අන්තවාදය හිසින් ගැනීම පවසන්නේ කුමක් ද? ගෝඨාභය රාජපක්ෂ දිනවන්නට ඔවුන් බුරුතු පිටින් ලංකාවට පැමිණියේ මව්බිම බේරා ගැනීමට ය. මේ බහුතරයකගේ දේශප්‍රේමය විමල් - උදය දේශප්‍රේමයේම අනෙක් පැත්තය.

ගාමිණී වියන්ගොඩ කිසියම් දේශපාලන විඥානයකින් මඬනා ලද්දෙකු නිසාදෝ ඔහු දියුණු රටක දියුණු මනසක් ඇති පුද්ගලයෙකු ලෙසින් ගොඩ නැඟී ඇත. ඔහුගේ පරිවර්තන ක්‍රියාදාමය ඔස්සේ මට හැඟෙන්නේ මව්බිමට සැබෑ දයාවකින් හෙබි දේශප්‍රේමයකි. ඒ දයාව - දේශප්‍රේමය නිසා ඔහු ශ්‍රී ලාංකේය සමාජය දේශපාලනිකව සවිඥානික කිරීමට කල්පනා කරයි. නූතනවාදී සාහිත්‍ය කියවීමට ශ්‍රී ලාංකේය පාඨකයා පුරුදු කිරීමට ප්‍රෝත්සාහී වී ඇත්තේ ඒ නිසා යයි සිතමි. ‘ඩයස්මිලා‘ නම් රණවිරුගායෙන් මුග්ධ දේශප්‍රේමීන් අද රටට කර තිබෙන විපත කොතරම් භයානක ද? ඒ දේශප්‍රේමීහු ‘මෙරු‘ වෙති, නැත්නම් ‘ආවෝ ගියෝ‘ වෙති.

මා අවංකවම පිළිගන්නේ ගාමිණී වියන්ගොඩ නවීන ලෝක සාහිත්‍යය කියවීමට දොර කවුළු විවර කර දීමෙන් දියුණු පාඨක සමාජයක් ගොඩ නැඟීමත්, සබුද්ධික තරුණ පරම්පරාවක් අවදි කිරීමත් කළ බව ය. වියන්ගොඩ විවර කළ දොර කවුළු ඔස්සේ පිවිසෙමින් නූතනවාදී සාහිත්‍ය කෘති පරිවර්තනය කරන අලුත් පරිවර්තකයන් පිරිසක් ද අද සිටින බව සත්‍යයකි. ජාතිවාදය හිසින් නොගත් - ආගමික අන්තවාදය හිසින් නොගත් අවම වශයෙන් පරම්පරා දෙකකට අයත් තරුණ පරපුරක් මුහුකුරා වැඩෙන්නට වියන්ගොඩ වැන්නෙකුගේ දේශප්‍රේමය සහ මව්බිමට කළ සම්ප්‍රදානයන් හේතු වී තිබේ යයි සිතමි.

නවීන සාහිත්‍යය

ගාමිණී වියන්ගොඩ වැඩ පටන් ගන්නේ 1990 දී ‘රාග රිද්ම‘ මැයෙන් කෙටි කතා සංග්‍රහයක් පළ කරමිනි. අද වන විට අඛණ්ඩ ප්‍රවාහයක් සේ ගලා යන වියන්ගොඩගේ නවීන සාහිත්‍ය පරිවර්තන ක්‍රියාදාමය දශක තුනක් පසු කර තිබේ.

59949904‘රාග රිද්ම‘ කෙටි කතා සංග්‍රහය ඔස්සේ ශ්‍රී ලාකේය පාඨකයා නවීන සාහිත්‍යයේ සුවඳ පළමු වරට ආඝ්‍රාණය කරන්නට සමත් විය. අයිසැක් බෂෙවික් සිංගර් (පෝලන්තය) - මිලාන් කුන්දේරා (චෙකෝස්ලෝවැකියාව) - යුකියෝ මිෂිමා (ජපානය) - ලුයිසා වැලෙන්සුවෙලා (ආර්ජන්ටිනාව)- සීසර් පවේසි  (ඉතාලිය) - රිචඩ් රයිට් (ඇමෙරිකාව) - ඇල්බර්ටෝ මොරේවියා (ඉතාලිය) - ගේබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් (කොළොම්බියාව) රිද්ම කෘතියෙහි ඇතුළත් කෙටි කතාවල රචකයන් ය. මේ නිර්මාණකරුවන් අතුරින් මීට ඉහත සිංහලයට පරිවර්තනය කර තිබුණේ ඇල්බර්ටෝ මොරේවියාගේ සහ ගේබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ කෘතියක් පමණි. එහෙත් මාර්කේස් නියමාකාරව කියවීමට ඔහුගේ නිර්මාණ සම්ප්‍රදාය හැදෑරීමට අවශ්‍ය මඟපෙන්වීම කරන ලද්දේ වියන්ගොඩ විසිනි.

‘රාග රිද්ම‘ පළ වන අවධිය වන විට ලංකාවේ සාහිත්‍ය කලා සම්භාෂණය කිසියම් අන්දමකින් ව්‍යාකුලව දුබලව තිබුණි. පාඨක සමාජය සාහිත්‍ය කියවීමෙන් දුරස්ථව සිටි සේ ය. තරුණ පාඨක සමාජයකට නොව කියවීම පුහුණුව සිටි පාඨක karumakkara kathawakසමාජයකට ද නිර්මාණ සාහිත්‍යය චමත්කාරජනක නොවූ සේ ය. එහෙත් දේශපාලනික සමාජමය කියවීමක සුළු වශයෙන් නිමග්නව සිටි පිරිසක් සිටියහ. ඔවුන් ගෙඩි පිටින් ගිරව් සේ න්‍යාය ඇද බාන්නටය පටන් ගෙන තිබුණේ. මේ පසුබිම තුළ නූතන ලෝකයට පිවිසෙන්නට යතුර ප්‍රදානය කරන්නේ ගාමිණී වියන්ගොඩය. ඒ යතුර ලෙස මා දකින්නේ ‘කරුමක්කාර කතාවක්‘ මැයෙන් පළ කරන ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ කෙටි නවකතාවයි.

57 4වියන්ගොඩ නමැති පරිවර්තකයා නියමාකාරව දකින්නේ ද, නවීන නිර්මාණ සාහිත්‍ය රීතිය යනු කුමක් ද? යන්න සිංහල සාහිත්‍ය සම්භාෂණයේ අවධානයට බඳුන් වන්නේ ද මේ කෘතිය ඔස්සේ ය. එහෙත් වියන්ගොඩ අලුත් පාඨක සමාජයක බුහුමනට ලක් වන්නේ ඉසබෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා‘ කෘතිය ඔස්සේ ය. 

මේ විශිෂ්ට සාහිත්‍ය කෘතිය නවීන සාහිත්‍යය ගැන අවදි වූ පාඨක සමාජයේ උන්මාදයක් තරමට කතා බහට ලක් විය. මේ නිසා නවීන සාහිත්‍ය ප්‍රවර්ගය ගැන අසංවේදී අය අතින් ද ඉසබෙල් අයියන්දේගේ කෘති පරිවර්තනය වන්නට විය. කෙසේ වුව අද නූතන සාහිත්‍යය කියවන පාඨකයා ඉසබෙල් අයියන්දේ ගැන කතා බහ කරනවා පමණක් නොව මේ ලේඛිකාවට ආදරය කරන  බව ද අසත්‍යයක් නොවේ. ඒ හැම පිබිදීමක්ම - උත්තේජනයක්ම කේන්ද්‍රගතව තිබෙන්නේ ඊවා ලූනා ඔස්සේ බව ද කිව යුතුය.

සාරවත් අස්වැන්න

ballekuge hadawatha mikhali bulgakov gamini viyangoda 500x500‘ඊවා ලූනා‘ පරිවර්තනයෙන් අනතුරුව වියන්ගොඩ සිංහලයට නඟන්නේ, මිකායෙල් බුල්ගකෝව්ගේ ‘බල්ලෙකු හදවත’ නමැති නවකථාවයි. ඔහු දැනුවත්වම, උවමනාවෙන්ම නූතනවාදයේ වත්මන අහම්බයක් නොව ඊට ඉතිහාසයක් තිබෙන වග මේ රුසියානු ගත්කරුවා සිංහල පාඨකයාට හඳුන්වා දීමෙන් සිදු කරයි. නිර්මාණ පරිවර්තනය සමඟින් නවීන සාහිත්‍යයට අදාළ ඉතිහාසය මත සමාජමය දේශපාලනික කියවීමක් ද ඔහු සිදු කරයි.

මේ වියමන නියමාකාරව සිංහල පාඨකයාට ශාස්ත්‍රීය පදනමකින් විස්තාරණය කර දෙන්නට තරම් විචාරකයන් අපට සිටියේ නැත. මේ කෘතිය පරිවර්තනය කිරීමෙන් අනතුරුව වියන්ගොඩ සිංහල පාඨකයා අතට යළිත් පත් කරන්නේ ගේබ්රියෙල් ගාර්ෂියා love in time of choleraමාර්කේස්ගේ කෘතියකි. ඒ ‘කොළරා කාලේ ආලේ‘ නමැති කෘතියයි. මේ කෘතියෙන් පරිවර්තකයෙකු ලෙසින් වියන්ගොඩ සිංහල සාහිත්‍ය සම්භාෂණයට දැනෙන- පෙනෙන අන්දමට ලොකු පිම්මක් පනියි. සිවිල් බලයක් නැති පාඨක සමාජය තුළ ඇති වෙන අලුත් කතා බහ නොයිවසූ ගතානුගතික අදහස් කරපින්නා ගත් පුද්ගලයන් ‘ජ්‍යෙෂ්ඨ ලේඛකයන්’, ‘මේ මහා විකාරනෙ‘ යන චෝදනාව නැඟී ය. උත්ප්‍රාසය නම් ‘නූතනවාදී න්‍යායධරයා මම වෙමි‘ මානයෙන් උඩඟුව සිට දැලිපිහියක් අතට ගත් විනිසුරුතුමෙකු වියන්ගොඩගේ වෑයමට කෝචොක් කිරීම ය.

ඔහු හැම විටම වෛරයම පළ කළා විනා නූතන සාහිත්‍ය සම්භාෂණයට කිසිම වැදගත් නිර්මාණාත්මක හෝ ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් කරන්නට අපොහොසත් විය. මේ මොට්ට අවිවලින් තුවාල සිදු කර නොගෙන වියන්ගොඩ අකම්පිතව නවීන සාහිත්‍ය විවිධ අලුත් ලේඛකයන් ඔස්සේ නූතන පාඨකයාට හඳුන්වා දෙන්නට කැප විය. ඒ අධිෂ්ඨානය හේතුවෙන් අද වන විට පුහුණු රසිකයන්ට නිතර නිතර පරිශීලනය කිරීමට තරම් අගනා කෘති තිහක් ප්‍රකාශයට පත් වී තිබේ.

බොහෝ පරිවර්තකයන් කුඩා කෘති - ජනප්‍රිය කෘති පරිවර්තනය කරන්නට ම නැඹුරුව සිටින පසු බිමක වියන්ගොඩ තෝරා ගන්නේම දැවැන්ත කෘති ය. දැවැන්ත යනු පිටු ප්‍රමාණයෙන් විශාල වීම ම නොව, නිර්මාණ කෘති ලෙස ඒවායෙන් මනුෂ්‍ය ජීවිතය විෂයෙහි සිදු කරන දේශපාලනමය විවරණයෙහි ගැඹුර දැවැන්ත වීම ය.

books. viyangoda

 

විශේෂයෙන්ම සිමොන්ද බෝවාගේ ‘අනුන්ගේ ලේ‘ - ඉසබෙල් අයියන්දේගේ ‘මායාවාස‘ - හරුකි මුරකාමිගේ ‘කෆ්කා මුහුදු වෙරළේ‘ - හෑන්ස් ෆැල්ලඩාගේ ‘හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්‘ - ස්ටීව් ටොල්ට්ස්ගේ ‘සමස්තයෙන් ඩිංගිත්තක්‘ සහ අලුත්ම කෘතිය වන කාර්ලෝස් රුයිස් සෆෝන්ගේ ‘සුළඟේ සෙවණැල්ල‘ සිහිපත් කිරීමට කැමැත්තෙමි.

කියවීම හා තෝරා ගැනීම

පශ්චාත් නූතන සාහිත්‍ය කියවීමක වියන්ගොඩ නිමග්නව සිටින්නේ පෘථුල සංදර්භයක සිට ය. ඒ නිසා හැම විටම සම්භාවනීය කෘතියක් අලුතින් ඔහුගේ නෙත ගැටේ. ඇතැම් පරිවර්තකයෙකු උත්සුක වී සිටින්නේ වියන්ගොඩ සිංහල පාඨකයාට හඳුන්වා දුන් ලේඛකයෙකු හඹා යන්නටය. එහි වරදක් නැත. එහෙත් වැදගත් දේ වන්නේ පාඨකයාගේ ‘පරිකල්පනය‘ පුළුල් කිරීමට අලුත් වියමනක්  තෝරා ගැනීමේ වැදගත්කමයි. 

අලුතින් පරිවර්තනය කිරීමට වියන්ගොඩ හැම විටම වෙනත් අයෙකුගේ ඇස නොගැටුණ කෘතියක් ම තෝරා ගැනීමට ද නැඹුරුව සිටියි. මේ නිසාම නූතන සාහිත්‍යකරුවන්ගේ විවිධ මානයන් ඒවා මානව සංස්කෘතිය තුළ දේශපාලනික ප්‍රතිවිරෝධවලින් වියුක්තව විවෘත අවකාශයක නිදහසේ සහ සම්බන්ධතාවන් පවත්වන අන්දම පාඨකයෙකුට නිරීක්ෂණය කළ හැකි ය. තවත් වැදගත් සාධකයක් වන්නේ නිර්මාණකරණයේ නිමග්නව සිටින්නෙකුට අලුත් රචනෝපක්‍රම - ශිල් ධර්ම විෂයෙහි ලැබෙන අවබෝධයයි.

වියන්ගොඩගේ පරිවර්තන ක්‍රියාදාමය අඛණ්ඩව සිදු වෙන්නේ ඔහු පූර්ණ කාලීනව පරිවර්තන කාර්යයෙහි නිමග්නව සිටින නිසා බවට වාදයක් නැත. එහෙත් ඔහු හැම විටම අලුත් ලේඛකයන් - අලුත් කෘති ගැන විමසිල්මත් වීම නිසා හැම විටම ඔහු අලුත් කියවීමක නිමග්න වෙයි. අලුත් කියවීම යනු ‘අලුත් භාෂාවක්‘ කියවීම ය. අලුත් භාෂාවක් කියවීම යනු ජීවිතය හා සමාජය විෂයෙහි ලබන්නාවූ සංස්කෘතික අත්දැකීම වේ. එහිදී තවත් වැදගත් කාරණාවක් පරිවර්තකයා මෙන්ම පාඨකයා ද අත්විඳින බව කිව හැකි ය. එය සිදු වන්නේ ද භාෂාව තුළින්ම ය.

මිකායෙල් බුල්ගකෝව්ගේ ‘බල්ලෙකුගේ හදවත‘ නවකථාව ඈත යුගයක දේශපාලන භීෂණය හා මර්දනය රාජ්‍ය ක්‍රමයේ අත්යවශ්‍ය අංගයක් ලෙස ආයතනගතව පැවති සංදර්භයක චරිත හා සිදුවීම්ය නිරූපණය කරන්නේ. එහෙත් ඊට අදාළ රීතිය වියන්ගොඩ සිංහලයට නඟන්නේ මුල් කෘතියේ ජීවය නොසිඳමින් යථාර්ථවාදී සාහිත්‍ය කියවූ පාඨකයාට ගෝචර වන අන්දමට ය. මේ වැකි කිහිපය මෙකරුණ සනාථ කරයි.

‘අකුරු කියැවීමට දැන ගැනීම කොහෙත්ම අවශ්‍ය නැත.  කොයි හැටි වුවත් මස්වල සුවඳ නම් මයිලකටත් එහා සිට කෙනෙකුට හැඳිනිය හැක. එහෙත් කෙනෙක් ජීවත් වන්නේ මොස්කව් නුවර නම්, එසේම ඔහුගේ ඔළුවේ මොළය කියා යමක් ඇත්නම්, අකුර දෙක ඇහිඳ ගෙන දැන ගැනීම මහ කජ්ජක් නොවේ. ඒ සඳහා කිසියම් පාඨමාලාවකට කෙනෙකු සහභාගි විය යුතු නැත. මොස්කව් නුවර සිටින හතළිස් දහසක් තරම් වන බලු සංහතියෙන් ජන්ම මොට්ටයෙකුට මිස වෙන කිසි බල්ලෙකුට ‘ලිංගුස්‘ යන වචනය හඳුනා ගැනීම මේ නිසා දුෂ්කර නැත’ පරිවර්තනය - 1996.

ඉසාක් බෂෙවිස් සිංගර්ගේ ‘ගොවි රජ්ජුරුවෝ‘ සිංහලයට නඟන විට ගෝත්‍රික ජීවනයේ රිද්මය නිර්භයව සිංහලයට නඟන්නේ පුහු සදාචාරය මායිම් නොකරමිනි. මේ ඊට නිදසුනකි.

govi rajjuruwo”කෝරා, උඹ ඇවිල්ලා නීච හැතිරියක්. බොරුකාරියක්. තමන්ගේ මිනිහාව පාවා දෙන වේසියක්. බැහැපං මෙතනින් දොට්ට. ජීවිතේ තියෙනකල් ආයෙ මෙතනට අඩියක් තියන්න එපා. උඹ දැන්ම එළියට බැස්සේ නැත්තං මං උඹේ..”

”මං මොනවා කළාට ද? ඇයි උඹලා මට මෙහෙම දෙස් දෙවොල් තියන්නේ?”

”අම්මේ, උඹ ෂ්ලිව්කා එක්ක නිදිවැද්දා. අනිත් හතුරො එක්කත් උඹ ඇඳට ගියා.”

යගෝදා එසේ යටිගිරියෙන් කෑ ගසනවා ඊට පෙර සිබියුලා අසා නැත.

”උඹ මගේ අප්පච්චිවයි, සිබියුලාවයි දෙන්නාම රැවැට්ටුවා. මං උඹේ දුවෙක් නෙමෙයි. බැහැපං මෙතනින් දොට්ට. උඹ වේසියක්. හැතිරියක්.” පරිවර්තනය -1999
සිමොන්ද බෝවාගේ ‘අනුන්ගේ ලේ‘ පරිවර්තනය කරන විට භාෂාව කතාවේ සංදර්භයට අනුව අලංකාර වන අන්දමට නිදසුනකි මේ.

”අතීතය නැවත නොඑනු ඇත. දැනට මත් එය බොහෝ දුරට අවසන් වී ඇත. ඇය දැන් නිදහස් ය. පෝර් සල්යු ආපන ශාලාවේ රාත්‍රී භෝජන සංග්‍රහ සදහටම අවසන්ය. හිමේ පෑ කැකිරි සිනා දැන් පෙනෙන්ට නැත. වයලට් මලින් සුගන්ධවත් උණුසුම් සැඳෑවන්හි හෙළු කඳුළු තව දුරටත් එහි නැත. මුළු ලෝකයටම දැන් ඇත්තේ එකම එක අනාගතයක් පමණි. ජර්මානුන්ට, ප්‍රංශකාරයන්ට, ගැහැනුන්ට සහ පිරිමින්ට එක ම එක අනාගතයක්. සියල්ලන් දැන් සමාන වී ඇත.  ඉන් පසු කවදාවත් කිසි පුද්ගලයෙකුට සුවිශේෂ මුහුණුවරක් හිමි නොවේ. _ පරිවර්තනය -1998

වියන්ගොඩගේ කියවීම හා තෝරා ගැනීම හැම විටම පළ කරන්නේ නිදහස් - විවෘත දෘෂ්ටියකි. බොහෝ පරිවර්තකයන් අත තබන්නට පවා පැකිළෙන කෘතියක් වුව නියමාකාරව පරිවර්තනයට හෙතෙම නිර්භීත වේ. කිසි විටක කෘතියක ජීවය සදාචාරයකට මුවා වී මරන්නේ නැත. මේ ඊට නිදසුනකි.

wiaekari”ඒ මිනිහා මෙයාගේ යෝනියයි, ගුද මාර්ගයයි විතරක් නෙවෙයි විනාශ කරලා තියෙන්නේ, ‘දයාබර සිනාව එක දිගටම රඳවාගෙන, තමාට සුපුරුදු ඒ මෘදු ස්වරයෙන්ම දොස්තර රුලන් කියන්නට වූවාය. එයාගේ පුද්ගලභාවයත් ඒ මිනිහා විනාශ කළා. ඈ තුළ තිබිච්ච, අගේ කළ යුතු, විනීත සෑම දෙයක්ම විනාශ කළා. ඒකයි මං මේ ආයිත් සැරයක් කියන්නේ. එයා ඉස්සර විතරක් නෙවෙයි මත්තටත් හුඟාක් විඳෝනවා, පිටතින් මොන තරම් සනීප ගතියක් පෙන්නුම් කළත්...” පරිවර්තනය -2010
මේ මාරියෝ වර්ගාස් යෝසාගේ ‘විසේකාරි‘ කෘතියෙනි.

මේ උද්ධෘත කීපය දක්වමින් පෙන්වා දෙන්නට උත්සාහ කළේ වියන්ගොඩ ගැඹුරු කියවීමක නිමග්නව ඉන් තමන් ලත් ජීවිතාවබෝධයෙන් සිංහල නිර්මාණ සාහිත්‍යයේ අභිවෘද්ධියට අවශ්‍ය භාෂාව සහ දෘෂ්ටිය ඉහළට ඔසවා ප්‍රතිෂ්ඨාපනය කිරීමට දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කැපවී සිටින බවයි.

පරිවර්තන කලාව ඔස්සේ එක අතකින් නිර්මාණශීලී ලේඛකයාගේ ප්‍රකාශන ශක්තිය පුළුල් වන බවත්, නිර්මාණ සාහිත්‍යයේ විෂය ක්ෂේත්‍රය පුළුල් වන බවත් විශද කිරීමට, එකක් එකකට වෙනස් වියන්ගොඩගේ කියවීම් හා තෝරා ගැනීම් ඉවහල් වෙයි. සනිදර්ශිතව - ගැඹුරින් කරුණු විග්‍රහ බලන විටක මැනවින් වැටහී යන්නේ නිර්මාණ සාහිත්‍යයට අදාළ විචාර දෘෂ්ටියක් පෝෂණය කිරීමට ද වියන්ගොඩගේ කැපවීම දායක වී තිබෙන බවය.

ගැඹුරු බව හා පරිණත බව

authors dඉසබෙල් අයියන්දේ -පාවුලෝ කොයියෝ - ඉසාක් බෂෙවිස් සිංගර් - මාරියෝ වර්ගාස් යෝසා

වියන්ගොඩ සිංහලයට නඟන කෘතියක් ප්‍රථමයෙන්ම සිංහල පාඨකයා හඳුනා ගන්නේ ඔහුගෙන් ය. අනතුරුව ඔහු හඳුන්වා දෙන ලේඛකයා  සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වන බව ඉහතින් ද සඳහන් කළෙමි. ඉසබෙල් අයියන්දේ -පාවුලෝ කොයියෝ - ඉසාක් බෂෙවිස් සිංගර් - මාරියෝ වර්ගාස් යෝසා වැනි කතුවරුන් වියන්ගොඩ පරිවර්තනය කරන්නේ නූතන ලෝක සාහිත්‍යය කියවා වීමසංනයක යෙදෙමින් බවක් පෙනේ.

තවත් පරිවර්තකයන් මේ කතුවරුන් පරිවර්තනය කරන්නේ වියන්ගොඩගේ පරිවර්තනයක සෙවණැල්ල යටතේ යයි සිතේ.  එලෙස සිතෙන්නේ වියන්ගොඩ තව තවත් මානයන්ගෙන් අලුත් කතුවරුන් හඳුනා ගනිමින් ඔවුන්ගේ කෘති පරිවර්තනය කිරීමේ පුරුද්දක් නිමග්නව සිටින බැවිනි. ඉතාම කලාතුරකිනි කෙනෙකු අලුතින්ම නූතනවාදී කෘතියක් පරිවර්තනය කරන්නේ. එසේ පරිවර්තනය කරන ඇතමෙකු නොවළහා වියන්ගොඩ පරිවර්තන සාහිත්‍යයේ මුහුණුවර වෙනස් කළ අන්දම ගැන බුහුමන් දක්වන බව ද අසන්නට දකින්නට ඇත.

වියන්ගොඩ පරිවර්තකයෙකු ලෙසින් හැම විටම ගැඹුරු සාහිත්‍ය කෘතියක්ම පරිවර්තනය කිරීමට තෝරා ගනියි. ඔහුගේ කෘතියක් කියවීමට කිසියම් පුහුණුවක් සහ සමාජ දේශපාලනමය කියවීමක නිමග්න වීම ද වැදගත් යයි සිතේ. ඊට හේතුව ඔහු පරිවර්තනය කරන හැම කෘතියක්ම ජනප්‍රිය තලයේ ඒවා නොවීම ය. වියන්ගොඩ අද වන විට පරිවර්තකයෙකු ලෙස වඩාත් පරිණතව සිටියි. ඒ පරිණත බව අංශ තුනකින් විද්‍යමාන වේ. පළමුවැන්න ඔහු අලුත්ම කෘතියක් වුව පරිවර්තනය කරන්නේ එය ලංකා සමාජයේ මනුෂ්‍යත්වය විෂයෙහි හා දේශපාලනය විෂයයෙහි දෘෂ්ටිමය ඌනතාවන් නිෂේධනය කිරීමට ඉවහල් වන අන්දම සලකාගෙන බවක් පෙනේ.

දෙවැන්න ඇතැම් කෘතියක් ප්‍රමාණයෙන් විශාල වීම ගැන කිසිදු චකිතයකින් තොරව පරිවර්තනය කිරීමය. උදාහරණයක් ලෙස, හෑන්ස් ෆැල්ලඩාගේ ‘හැම මිනිහෙක්ම මැරෙන්නෙ තනියෙන්‘ -ස්ටීව් වොල්ස්ගේ ‘සමස්තයෙන් ඩිංගිත්තක්‘ -  සහ අලුත්ම කෘතිය වන කාර්ලෝස් රුයිස් සෆෝන්ගේ ‘සුළඟේ සෙවණැල්ල‘ දැක්විය හැකි ය. මේ කතුවරුන් සිංහල පාඨකයා කියවන්නේ පළමු වතාවටය. තුන්වැන්න වන්නේ සම්මත දෘෂ්ටිවාද මායිම් නොකිරීම හා ලෝක දෘෂ්ටියකින් සාහිත්‍යය අවබෝධ කරගෙන එහි ආනුභාවය සිංහල පාඨක සමාජයට නියමාකාරව ප්‍රදානය කිරීමය.

කිසිම කෘතියක් ඔහු සංස්කරණය නොකිරීම - සංක්ෂිප්ත නොකිරීම හා ”සංස්කෘතික නොකිරීම” විශද කරන්නේ සාහිත්‍ය කලාව සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධය හා දීර්ඝ කාලයක් නූතනවාදී සාහිත්‍යයේ නිමග්න වීමෙන් පරිණතව සිටීම ය.

වියන්ගොඩ නොදැකීම

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

නූතනවාදී සාහිත්‍යය දීර්ඝ කාලයක් තිස්සේ පරිවර්තනය කරමින් සිංහල භාෂාව හා සාහිත්‍ය පෝෂණය කිරීමට ද, විචාරශීලී දැක්මකින් පරම්පරා කිහිපයක් අවදි කිරීමට ද කැපවුණ වියන්ගොඩ නිල සාහිත්‍ය විචාරකයන් නිල ආයතන නුරුස්සන බවක් පැහැදිලිය. ‘ඊවා ලූනා‘ - ‘කොළරා කාලේ ආලේ‘ යන කෘති දෙක පළවී තිබුණ වසරවල පරිවර්තිත නවකථාවට පිරි නැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනමා තිබෙන්නේ අතිශය සාම්ප්‍රදායික යල් පිනූ කෘතිවලට ය. නූතනවාදී සාහිත්‍යය නොරිස්සීම ඊට ප්‍රදාන හේතුව වී ඇත. ඒ ඒ අවස්ථාවල කෘති තෝරන - විනිශ්චය කරන භවතුන් වියන්ගොඩ නොදැකීමට හේතුව නූතනවාදී සාහිත්‍යයට බිය හෝ වටහාගැනීමට අසමත්වීම ය.

වියන්ගොඩ හෙළි කළ මාවතේ ගමන් කරමින් යම් පරිවර්තකයෙකු අතින් පරිවර්තනය කෙරුණු ඇතැම් කෘතියකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප්‍රදානය කර ඇත. එහිදී මුල් වී තිබෙන්නේ වියන්ගොඩ පෙනීම ය. ඒ පෙනීම උත්ප්‍රාසනීය වේ. වියන්ගොඩ සමාජ ක්‍රියාධරයෙකු ලෙසින් වීම විනිශ්චයේ දී කරළියට පැමිණීමය. 2015 දී වියන්ගොඩට ප්‍රීමෝ ලෙවිගේ ”මේ මිනිසෙකු” නම් පරිවර්තන කෘතියට සම සම්මානයක් පිරිනැමීමට තිරණය කර ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්මාන පිරිනැමීම හෝ පිරි නොනැමීම කරන්නේ දේශපාලනඥයෙකුගෙන්  අනු මණ්ඩලයකට පත් වන්නෝ වෙති. හැම විටම කෘතියට වඩා ලේඛකයා සලකා බැලීම මේ අනුමණ්ඩලවල සිරිතක් බව ප්‍රකට ය.

img 20220408 0014වියන්ගොඩ සිංහලයට නඟන ලද ‘මායා බන්ධන‘ නම් වූ නාට්‍ය පිටපතට 2017 දී නාට්‍ය අනුමණ්ඩලය මඟින් රාජ්‍ය සම්මානය පිරිනමා ඇත. මේ දැකීම් - නොදැකීම් පළ කරන්නේ ඒ ඒ මණ්ඩලවල සංයුතිය - ඒ ඒ අයගේ දෘෂ්ටිය හා දේශපාලනය බව පෙනේ. 2015, 2017 යන වසර දෙකම මේ මණ්ඩල නියෝජනය කළ පුද්ගලයන්ට වියන්ගොඩ පෙනුණේ දේශපාලන මානයකින් යයි සිතමි. කෙසේ වෙතත් ඒ කෘති දෙක උසස්ම පරිවර්තන කෘති දෙකක් බවට වාදයක් නැත. එහෙත් වියන්ගොඩ නමැති පරිවර්තකයාගේ දැවැන්ත බුද්ධිමය ශ්‍රමය විශද කළ කෘති නොදැකීම විදහා පාන්නේ ලංකාවේ සාහිත්‍ය සම්භාෂණයට ආවේණික දුබලතාවන් යයි සිතමි.

විභවි සංස්කෘතික ආයතනය මගින් පවත්වාගෙන ගිය ස්වාධීන සාහිත්‍ය උළෙලේදී ‘ඊවා ලූනා‘ කෘතියට ද, ‘බල්ලෙකුගේ හදවත‘ කෘතියට ද, ‘කොළරා කාලේ ආලේ‘ කෘතියට ද සම්මාන හිමි වේ. ඒ සම්මාන හිමි වන්නේ ස්වාධීන සාහිත්‍ය උළෙලට අදාළ විනිශ්චය කටයුතු සිදු කළ පුද්ගලයන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලවල පුද්ගලයන්ට වඩා වෙනස් අය නිසා ය. නැතහොත් නූතනවාදී සාහිත්‍යය කියවීමට සමත් - වටහා ගැනීමට සමත් පුද්ගලයන් නිසා ය.

සම්මාන ලැබීම නොලැබීම යන කාරණා දෙකම වියන්ගොඩගේ පරිවර්තන ක්‍රියාදාමයට මොනම අන්දමකින්වත් අදාළ වී නැතැයි සිතමි. ඔහු පැහැදිලි ස්ථාවරයක සිට පරිවර්තකයෙකු ලෙස නිර්මාණාත්මක බුද්ධිමය ඥාන සම්භාරයක් ලාංකේය පාඨක සමාජයට, විචාරශීලී පාඨක සමාජයට, ප්‍රදානය කිරීම තමන් වෙත පවරා ගත් වගකීමක් කරගෙන තිබේ.

වියන්ගොඩ නොකියවීම

 

පරිවර්තන සාහිත්‍යයේ අනාගත ඛේදවාචකය - Jayasiri Alawatta
ලංකාවේ තරුණ ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයක් සාහිත්‍ය කියවන්නේ ද? සාහිත්‍ය කියවන තරුණ ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයක් වියන්ගොඩගේ කෘති සැලකිය යුතු ප්‍රමාණයක් කියවා තිබේ ද? සැලකිය යුතු ප්‍රමාණයක් කියවනවා නම් මේ වන විට ‘ඊවා ලූනා‘ - ‘කොළරා කාලේ ආලේ‘ - ‘අනුන්ගේ ලේ‘ - යනාදි කෘතියකින් පිටපත් අවම වශයෙන් එකකින් දහ දාහකට වඩා අලෙවි වී තිබිය යුතු යයි සිතමි. එසේ නැතැයි සිතන්නේ  මේ එකම කෘතියක් හෝ දහවතාවක් මුද්‍රණය කර නැති බැවිනි. 

අද ලංකාවේ සියලුම ප්‍රකාශකයන් උනන්දුවකින් ප්‍රකාශයට පත් කරන්නේ පරිවර්තන කෘති ය. ඒ බොහෝ කෘති දහ දොළොස් වතාව - පහළොස් වතාව මුද්‍රණය කළ බවට විස්තර ඒ ඒ කෘතිවලම සඳහන් ය.

වියන්ගොඩ හැර තවත් පරිවර්තකයන් ද නූතනවාදී  කෘති පරිවර්තනය කර ඇත. ඒවා හෝ වැඩිම වුවහොත් තුන් හතර වතාවකට වඩා මුද්‍රණය වී නැති බවය පෙනී යන්නේ. අනෙක් පැත්තෙන් ස්වර්ණ පුස්තක සම්මානය ලබන ස්වතන්ත්‍ර කෘතියක් විසි තිස් දහසක් වසරක් තුළ දී මුද්‍රණය කරන බව වාර්තා වේ. රාජ්‍ය සම්මානය හිමි කර ගන්නා පරිවර්තන කෘතියක් පවා කීප වතාවක් කෙටි කාලයක් තුළ නැවත මුද්‍රණය නොවන බවත් අසන්නට ලැබේ. මෙවැනි තත්වයක් නම් පවතින්නේ ස්වතන්ත්‍ර නිර්මාණ උසස් තත්වයකින් බිහිවේ ද?

මෙහිදී මතු කරන කාරණාව මෙයයි. නූතනවාදී සාහිත්‍යය අලුත් ලේඛක ලේඛිකාවන් සැලකිය යුතු වශයෙන් පරිශීලනය නොකරන්නේ නම් අපේ නිර්මාණ සාහිත්‍යය හෙට දවසේ හෝ  හැටේ දශකයෙන් එතෙර වන්නේ කෙසේ ද? නූතනවාදී සාහිත්‍යය තරුණ ප්‍රජාව - තරුණ පාඨක ප්‍රජාව උවමනාවෙන් පරිශීලනය නොකරන්නේ නම් ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ බලපෑම් කරන දෘෂ්ටිවාදවලින් මිදෙන්නේ, නූතන ලෝකයක් දකින්නේ කෙසේ ද? තව දුරටත් දේශපාලනික දරිද්‍රතාවක් නොවේද රටේ තහවුරු වන්නේ? ජන සමාජයක් වෙනස් විය යුත්තේ අදහස්වලින්ය - මතවාදවලින්ය. ජාතිය ආගම කරපින්නාගෙන නූතන ලෝකයක් ප්‍රාර්ථනා කිරිම විහිළුවකි.

 

වියන්ගොඩ ලිවිසැරිය

 

බුදුන් සහ සිද්ධාර්ථ කියන්නෙ එක්කෙනෙක් නෙමෙයි ! - (ගාමිණී වියන්ගොඩ)
පරිවර්තන ක්‍රියාදාමයක අඛණ්ඩව නිරතව සිටින වියන්ගොඩ දේශපාලන ක්‍රියාධරයෙක් ද වන්නේය. ‘අනිද්දා‘ පුවත් පතට ඔහු සතිපතා ලියන ලිපිය සේම - කාලයක් තිස්සේ ‘රාවයට‘ සහ ‘යුක්තියට‘ ලියන ලද ලිපි ඔස්සේ තමන් සතු දේශපාලන කියවීමේ වපසරිය පෙන්වා ඇත. පරිවර්තනය යනු තවත් ලේඛකයෙකුගේ බුද්ධිමය ශ්‍රමය වෙනත් භාෂාවකින් ප්‍රති රචනය කිරීමකි. එය පහසු කාර්යයක් නොවේ. බරසාර කටයුත්තකි. විශේෂයෙන්ම වියන්ගොඩ පරිවර්තනය කරන කෘති සරල - ජනප්‍රිය ආකෘතියකින් රචිත කෘති ද නොවේ. ඒ තතු කෙසේ වුව බොහෝ පරිවර්තයන් හුදු පරිවර්තකයන්ම ය. ඔවුන්ගේ සමාජ දේශපාලන කියවීම් නැතිම ගාණය.

වියන්ගොඩ සාහිත්‍ය සම්භාෂණය තුළ පමණක් නොව දේශපාලන සම්භාෂණය තුළ ද ප්‍රබල ලේඛකයෙකි. වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකු වන හෙතෙම දැනුමෙන් නවීනයෙකි. ඔහු සතිපතා ලියන තීරු ලිපි පළ කරන්නේ විචාරශීලි බුද්ධිමතෙකුගේ අනන්‍යතාවයි. ලේඛකයෙකු වශයෙන් ඔහු කිසිදු කරුණක් නිසා උකටලීව පසු බා නැති බව ද පැහැදිලිය. ලේඛකයෙකුට සේම සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි නිර්භීතව අකම්පිතව පෙනී සිටින්නට ඔහුට ජවයක් තිබෙන බව ද සෑම අවකාශයකම පෙනේ. මේ සියල්ලට අවශ්‍ය ආලෝකය ඔහුට උරුම වී ඇත්තේ දියුණු රටක ජීවිතයේ වැඩි කාලයක් ජීවත්වීම හා ජීවත්වීමෙන් ලත් අත්දැකීම් හා පෝෂණය යයි සිතමි.

වියන්ගොඩගේ පරිවර්තන ක්‍රියාදාමය - ඔහුගේ භාෂාව, සිංහල නිර්මාණ සාහිත්‍යය පෝෂණය කිරීමට දායක වීම අද වන විට අතිශයින් දීප්තිමත්ය. අලුත්ම කෘතිය වන ”සුළඟේ සෙවණැල්ල” උසස්  සාහිත්‍ය කෘතියක් පමණක් නොව, උසස් පරිවර්තනයක් පමණක් නොව ‘චමත්කාරය දනවන මනරම් කාව්‍යයක්‘ බව ද පවසනු කැමැත්තෙමි.

වියන්ගොඩ ඔබ දියුණු රටක වාසය කරමින් සැබෑම දේශප්‍රේමියෙකු වී තිබේ යයි මට සිතේ. සැබෑ දේශප්‍රේමියා යනු මානව වර්ගයාගේ යහපත දකින්නෙකි. පොදු මානව වර්ගයාගේ යහපතට සතුරුකම් කරන්නා තමන් උපන් බිමට ද්‍රෝහියෙකි. ඇතමුන් දැනුවත්වම රටට - පුරවැසියන්ට ද්‍රෝහීකම් කරමින් දේශප්‍රේමීන් වී සිටීම නිසා අද රටට සිදු විය හැකි සියලු දේ සිදුව ඇත. ඒ කරුණු කාරණ කෙසේ වෙතත් ඔබ උපන් බිමට දැනෙන්ට ජීවත් වූ මිනිහෙකි. අදට වඩා ලෝකය යහපත් වුණ අනාගතේ යම් දවසක, ‘සේකර කී ලෙසින්‘ ඔබේ කෘති අභිරුචියෙන් කියවන පාඨක සමාජයක් බිහිවනු ඇත. අකම්පිත බුද්ධිමය ශ්‍රමයට කෘතඥ වෙමි.

 

(සටහන | ආචාර්ය සිරිල් ගුණපාල)

@ ජනක ඉණිමංකඩගේ විදර්ශන පාඨක ජාලය

උපුටා ගැනීම - Amal Angunawala ගේ ෆේස්බුක් පිටුවෙන් 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...