BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි

T

The Leader

February 25, 2025 • 6:46 AM

තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි.
  •   1947 අවුරුද්ද පීටර් සූරසේනයන්ට කදිමට මතකය.
  • අනික මට දැන් හිතෙනවා ඒ කැමැත්ත මගේ පපුවේ ලේවල තියෙන්න ඇති කියලා.  අපේ තාත්තගේ පැත්ත පොල්වත්තෙ ගෙදර, අම්මගෙ පැත්ත මුඩාදෙණියෙ ගෙදර මේ දෙගොල්ලම කලා පරම්පරාවල.
  • තාත්තයි මායි ගියාම එදා අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ කැමති වුණා මට මේ උතුම් නැටුම් කලාව උගන්වන්න” පීටර් සූරසේනයන්ගේ මතක පොතේ පිටු පෙරළෙන්නේ එලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය.

එදා නව හැවිරිදි කුඩා කොලු ගැටයෙකුද ආණ්ඩුකාර උතුමාණන් වූ සොල්බරි සාමිවරයා ඉදිරියේ සිය ප්‍රතිභාව දක්වන්නට කරළියට පිළිපන්නේ ය. ඒ උඩැක්කිය වයමිනි. පොල්වත්තේ ගෙදර ගුණයා සහ සිරිපිනාගේ තුන්වැනි පිරිමි දරුවා වූ මේ කොලුවා පීටර් සූරසේන ය. ඔහුට මහනුවර, හඟුරන්කෙත හා කොත්මලේ බලි ඇදුරු පරම්පරාවල ලේ උරුමය තිබුණේ ය. 

 
ඒ ලේ උරුමය ද සමග 1940 ජනවාරි 13 වැනිදා  මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන  හත් හැවිරිදි වියේ දී නර්තනය හැදෑරීමට යොමු ව දොළොස් වසකට පසු දෙගල්දොරුව රජ මහා විහාරස්ථානයේ දී නැකතට වෙස් බැඳ කලඑළි බසින්නේ කෙළ පැමිණි නර්තනාචාර්යවරයෙකු වන ලකුණු ද සමග ය.
 
WhatsApp Image 2025 02 25 at 5.19.21 PM 1
1947 අවුරුද්ද පීටර් සූරසේනයන්ට කදිමට මතකය. “අපේ පරම්පරාවම නර්තන කලාවට, බලි යාතු කර්මවලට කැප වෙච්ච, පේ වෙච්ච උදවිය.  හීන්බබා ධර්මසිරි මගේ අයියාත් ඒ වෙද්දි බොහෝම ප්‍රසිද්ධ රට රාජ්ජවල හිටං ගිහිල්ල නැටුම් පෙන්වන ශිල්පියෙක්. ඉතිං ඔය කාලෙ මටත් හිතුණා නැටුම් ඉගෙන ගත්ත නම් නරකක් නෑ කියලා. අනික මට දැන් හිතෙනවා ඒ කැමැත්ත මගේ පපුවේ ලේවල තියෙන්න ඇති කියලා. 
අපේ තාත්තගේ පැත්ත පොල්වත්තෙ ගෙදර, අම්මගෙ පැත්ත මුඩාදෙණියෙ ගෙදර මේ දෙගොල්ලම කලා පරම්පරාවල. මං තාත්තට කිව්ව මටත් නැටුම් සාස්තරේ හදාරන්න වුවමනයි කියලා. තාත්තා කිව්වා හා එහෙනම් යමු කියලා.  ඒ අමුණුගම සුරඹා කියන ලෝක පූජිත උත්තම නැටුම් ශිල්පියා ගාවට. එතුමා තමයි මගේ ගුරුන්නාන්සේ” පීටර් සූරසේනයන් නැටුම් කලාව හදාරන්නට දණ්ඩියමට ඉන්නේද ශාස්ත්‍රානූකූලව නැකතට සිරිතටය.  
 

නැටුම් හදාරන්නට සුරඹා ගුරුන්නාන්සේ බැහැ දකින්නට එදා ගියේ හාල් පොල් කදක් බැඳ ගෙන, කැවුම් කිරිබත් උයා ගෙන, බුලත් දුම්කොළ හුරුලු ඔතා ගෙනය.

“ඉතිං එහෙම තමයි ඒ කාලෙ ගුරුන් දකින්න යන්නෙ. මේ කියන්නේ 1947 දී නේ. හැබැයි කැවුම් කිරිබත් උයාගෙන ආවා කියලා නෑ. නැටුම් පුරුදු කරන්න ගන්නෙ දේහ ලක්ෂණ බලලා. තමන්ගේ දරුවටවත් වෙස් බඳින්නේ නැහැ දේහ ලක්ෂණ ගැලපෙන්නේ නැත්නම්. තාත්තයි මායි ගියාම එදා අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ කැමති වුණා මට මේ උතුම් නැටුම් කලාව උගන්වන්න” පීටර් සූරසේනයන්ගේ මතක පොතේ පිටු පෙරළෙන්නේ එලෙසය.  

සුරඹා ගුරුන්නාන්සේ හැඬවූ පීටර්
 
image 2a9917906a
 
එවක අමුණුගම නැටුම් පරම්පරාව මෙන්ම ප්‍රමුඛයෝ වූ තිත්තපජ්ජල, නිත්තවෙල හා රන්ගම යන නැටුම් පරම්පරා ත්‍රිත්වයෙහි ශාස්ත්‍රීය රහස් ද දොළොස් වසක් මුළුල්ලේ ලද පුහුණුව අතරතුර හදාරන්නට සූරසේනයන්ට ඉඩ ප්‍රස්ථාව හිමි විය.  ඒ දෙටු ශිල්පී අමුණුගම සුරඹා ගුරු දේවයන්ගේ ඇරයුම හෙයින් එතුමන්ගේ කලාශ්‍රමය වන මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩල කලායතනයට සපැමිණි එම පරම්පරාවල ශිල්පීන් සිය දැනුමද සූරසේන ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍යයන් වෙත පිරිනැමූ හෙයිනි.  
 
“සුරඹා ගුරුන්නාන්සේ මට ශිල්පය දුන්නේ හරිම ආදරෙන්. මං බොහෝම භක්තියෙන් නැටුම් කලාව ඉගෙන ගත්තා කියලා එතුමා දැන හිටියා” පීටර් සූරසේන කලාකරුවා පවසන්නේ ය.
 
dancers
සිය සිසුන් අතර සිටි අතිදක්ෂයා වූ පීටර් සූරසේනයන්ට තමන්ගේ ම දරුවෙකු තරමට ආදරයෙන් සළකන්නට සුරඹා ගුරුන්නාන්සේ පුරුදුව සිටියේ ය. දිනක් කිසියම් දඟ කවටකමකට තරවටුවක් ලෙස සූරසේනයන්ට පහරක් ගැසූ සුරඹා ගුරුන්නාන්සේ “අද මම පීටර්ට පාරක් ගැහුවා” යැයි කියමින් සිය නිවසේ දී බොහෝ සෙයින් පසු තැවුණු බව සුරඹා දියණිය ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ පසුකලෙක පැවසුවා ය.

ඒ කලායතන හෝ රංග භූමි දුලබ කලකි. එම නිසා උඩරට පාරම්පරික නැටුමට හිතැති විදේශීයයන් පවා නැටුම් බලන්නට ආවේ සුරඹා ගුරුන්නාන්සේගේ මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩල කලායතනයටයි. එහි සිටි අතිදක්ෂ නර්තන හදාරන්නෙකු වූ පීටර් සූරසේනයන් දඬුවමට ලක් වූයේ විදෙස් නරඹන්නන් වෙනුවෙන් නෘත්‍ය පෙළහර පාන්නට වේදිකාවට මිනිත්තු කිහිපයක පමාවෙන් පිවිසීම නිසාය. ඒ නර්තන ආයිත්තම් හා වස්ත්‍ර පළඳන්නට වූ පමාවෙනි. කෙසේ වූවද එදා නිවෙසට ගිය සුරඹා ගුරුන්නාන්සේ මගේ දරුවන්ටත් වඩා ආදරේ ගෝලයාට පාරක් ගහන්නට වුණා යැයි කියමින් දුක් වූ බව පැවසේ.
 
232
 
කෙමෙන් නැටුමෙන් සුහුඹුලෙකු වූ සිය ශිෂ්‍ය පීටර් සූරසේනයන් දළදා පෙරහැරේ නර්තනයට කැඳවා ගෙන යන්නටද සුරඹා ගුරුන්නාන්සේ කටයුතු කළේය.  සූරසේනයන්ට පෙරහැරේ නටන්නට බෙර වාදනය කළේ සුරඹා ගුරුන්නාන්සේය. පෙරහැරේ නැටුමෙන් ද පරිණත වූ ඔහු තිසරණය අබිමුව දෙගල්දොරුවේ පන්සලේදී වෙස් බඳිද්දී නිත්තවෙල ගුණයා, නිත්තවෙල උක්කුවා, ශ්‍රී ජයනා, තිත්තපජ්ජල සුරඹා සහ රන්ගම ගුණමලා ඇතුළු මහා නර්තන ශිල්පීන් පැමිණ ආශිර්වාද කළ බව පැවසේ. ඒ මගුල් බෙර වයා ආශිර්වාද ස්තෝත්‍ර ගායනා කිරීමෙනි. එදා සිය හිස මත ජටාව බැඳ වෙස් තට්ටුව පළඳා එවේලේ ගුරු පුද දී වරම් ලද්දේ මුළු මහත් දිවියම නැටුම් කලාව වෙනුවෙන් කැප කරන්නට බව පීටර් සූරසේන සිතයි.
 
කොළඹ ප්‍රභූ දූවරුන්ගේ ඇදුරු නමස්කාරය ලද ශිල්පියෙක්
 
Peter Surasena 3
උඩරට පාරම්පරික නර්තනවේදීන් අතර අතිශය කඩවසම් ශිල්පියා වූ සිය දෙටු සොයුරු හීන්බබා ධර්මසිරිද සිය දිවිය ඔපවත් කළ බව පීටර් සූරසේනයන් පවසයි. සැබවින්ම සූරසේනයන් මහනුවර සිට කොළඹට ආවේ හීන්බබා ධර්මසිරි නිසාය. සොයුරු ධර්මසිරි නිසා මෙරට මුල්ම රාජ්‍ය නැටුම් කණ්ඩායමටද ඇතුළත් වීමේ අවකාශය ලද සූරසේනයෝ 1956 දී ගිය ඉන්දීය සංචාරයට පණිභාරත සහ අමරදේවද එක් ව සිටි බව පැවසේ.  

හීන්බබා ධර්මසිරි නර්තන ශිල්පියා එකල කොළඹ ප්‍රභූ සමාජයේ දූ පුතුන්ට නර්තනය ඉගැන්වූ ආචාර්යවරයාද විය. සිය දිවියේ 56 වැනි වියට එළඹ තිබියදී 1978 දී සිදු වූ ඔහුගේ හදිසි අභාවයෙන් ඒ ආචාර්ය භූමිකාව හිස් විය.  එබැවින් එතැන් සිට හීන්බබා ධර්මසිරි ශිල්පියා ශිල්ප දුන් ප්‍රභූ පවුල්වල දරුවන්ට නැටුම් උගන්වන්නට සිදු වූයේද පීටර් සූරසේනයන්ට ය. බණ්ඩාරනායක දියණියන් වන චන්ද්‍රිකා හා සුනේත්‍රාටත්, ප්‍රභූ පැළැන්තියේ සිසිලියා කොතලාවලටත් නැටුම් ඉගැන්වීම නිර්ප්‍රභූ පීටර් සූරසේනට පැවරුණේ එහෙයිනි.
 
WhatsApp Image 2025 02 25 at 5.19.20 PM
පසුකලෙක නර්තන ආචාර්යවරයෙකු ලෙස පාසල් කිහිපයක සේවය කළ පීටර් සූරසේනයෝ ගුරු දිවියට සමු දුන්නේ 1993 වසරේදීය.  සූරසේනයන්ගේ ජීවිතයේ අමරණීය අවස්ථා කිහිපය අතර ප්‍රමුඛ වන්නේ ඇමරිකාවේ සුප්‍රකට කානගී රංග ශාලාවේ උඩරට නර්තන ප්‍රසංගයකට සහභාගී වීමයි. ඊට හීන්බබා ධර්මසිරි හා සිසිලියා කොතලාවලද එක්ව සිටියහ.  පසුකලෙක ප්‍රකට ශිල්පී චිත්‍රසේනයන් සමග ලන්ඩනයේ ඇල්බට් ශාලාවේ නටන්නට ලැබීමද පීටර් සූරසේනයන් ලද මහඟු අවස්ථාවකි.  මේ වනවිට හෙතෙම විදෙස් රටවල් 48ක උඩරට නර්තන දැකුම් පවත්වා ඇත.
 
ජනාධිපති සම්මාන 35ක් දිනයි
 
WhatsApp Image 2025 02 25 at 5.19.21 PM 2
සූරසේනයෝ ශිෂ්‍යයෙකුව සිටි සමයේ දළඳා පෙරහැරේ නැටුවේ අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගේ උඩැක්කි පංගුවේ ය. පසුකලෙක ඔහු නැටුවේ දළදා පෙරහැරේ ප්‍රධාන වෙස් නැටුම් ශිල්පියා ලෙසිනි.  ඒ නැටුමෙන් තිස්පස් වතාවක් මහනුවර දළදා පෙරහැරේ විශිෂ්ටතම වෙස් නැටුම් ශිල්පියා ලෙස ජනාධිපති සම්මාන ලබන්නට තරම් ඔහු පොහොසත් විය.  
 
වෙස් ඇඳුමෙන් සැරසුණු ශිල්පියෙකු අලංකාරවත් කරන නිසං සඟල මනාව පැළඳි නැට්ටුවෙකු ලෙස ප්‍රකට සූරසේනයෝ නිත්තවෙල ගුණයා ගුරුතුමා නිර්මාණය කළ සමනල වන්නම වඩා අලංකාරවත් වියමනක් බවට පත් කර නටන්නට සුහුරු එකම ශිල්පියා ද වේ.  එහෙයින්ම බටර්ෆ්ලයි ඩාන්සර් ලෙස ලෝ පතල වූ මේ මහා කලාකරුවා ජපානය වැනි රටවල උඩරට නර්තන කලාවේ ශේෂ පත්‍රය ලියන්නට කැප වූ කිහිප දෙනා අතර නියමුවෙකු බවද නොකියාම බැරිය.
peter surasena
 
රටක් වටින උඩරට නැටුම ජපානයේ ශිල්ප දැක්වනු වස් සිය දෙටු පුත් ජනාධිපති සම්මානලාභී සුසන්ත සූරසේනට පවරා මහා නර්තන ශිල්පී පීටර් සූරසේන අද සිය අවසන් හුස්ම මහනුවර අහස්ගැබට මුසු කොට නික්ම ගොස් ඇත. අදින් පසු දළඳා පෙරහැරට ඉසිලිය නොහැකි පාඩුවක් දැනෙන මේ කලාකරුවා අහිමිවීම රාජරාජමහාමාත්‍යාදීන් දන්නේ දැයි අප දන්නේ නැත.

(සටහන | ලසන්ත ද සිල්වා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...