කෘතියේ සිංහල පරිවර්තනය එළිදැක්වීම හා ඊට සමගාමීව සංවාද මාලාවක් පැවැත්වුණි.
“බියන්කා” කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ සම්මාන ලාභී ප්‍රවීණ පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ විසිනි.
මෙම අවස්ථාවේ දී ප්‍රවීන පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ රුසියානු ළමා සාහිත්‍යය පදනම විසින් පිරිනැමෙන ලියෝ ටොල්ස්ටෝයි රන් සම්මානයෙන් පිදුම් ලැබීම සුවිශේෂී අවස්ථාවක් විය. ඔහුට මෙම සම්මානය පිරිනමන ලද්දේ රුසියනු ලේඛක දිමිත්‍රි ලිහානොව් විසිනි.
ඒ අනුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහු ය.

මතු දැක්වෙන්නේ ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක විසින් මහින්ද සෙනරත් ගමගේ වෙනුවෙන් සිය මුහුණු පොතෙහි තබා තිබූ සටහනකි.
(උපුටා ගැනීම)
“සමාජ විප්ලවයක් ගැන සිහින දැකීම පහසු ය; සරල ය. අසීරු නොසැලී ඒ වෙනුවෙන් සටන් වැදීම ය. විශේෂයෙන් ම තම පෙරමුණ අහිමිවන සටනෙහි රැඳී සිටීම අන් සියල්ලට ම වඩා අසීරු ය.
එවන් අවස්ථාවක දී බොහෝ අයගේ විකල්පය වනුයේ පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන්: කෙටි, පහසු සහ ඉක්මන් මං සොයා සමාජයට වෛර කිරීමේ මාවතට පසු බැසීම ය; හෙවත් වැල යන අතට මැස්ස ගැසීම ය. මහින්ද සෙනරත් ගමගේ අයත් වනුයේ පහසු මං සොයා තම අරමුණ පාවා නොදුන් මිනිසුන් අතරට ය. ඔහු තම පෙරමුණ අහිමි වෙද්දී අරමුණ දිනන්නට පන්හිඳ තෝරා ගත්තේ ය; නොසැලී එ මගෙහි ම ඉදිරියට ගියේ ය. ඊයේ (මාර්තු 20) රුසියානු ළමා අරමුදලේ ප්‍රධානත්වයෙන් ලියෝ තොල්ස්තෝයි රන් සම්මානයෙන් ඔහු පුද ලබන්නේ එහෙයිනි.
ඔහු, ලේඛකයාගේ වගකීම කවරක්දැයි සිය භාවිතාවෙන් ම ඔප්පු කළේ ය.
හේ මිනිසෙකි; සටන් සගයෙකි; සැබැවින්ම සමාජයට ආදරය කරන්නෙකි.
ජය!.”



