BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : ‘නටු’ මත මීම්මු - | මංජුල වෙඩිවර්ධන

T

The Leader Desk

March 29, 2025 • 11:16 AM

බල්සාක් කැෆේ : ‘නටු’ මත මීම්මු - | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලන් බණ්ඩාර කපුවත්ත සහෝදරයාගේ අභිනව කෙටි කවි සංග්‍රහය ‘නටු’ ලෙස කල එළි දැක ඇත. ‘නටු’ යනු ‘සෞන්දර්යයේ වේදනාව’ යැයි නම් කරන්නට මා කැමති ය. එය යථාව ලෙස වුව ගත්ත හැකි ය. නමුත් මට, එය දේශපාලනිකව වරනඟා ගතහැකි ‘ටැග් ලයිනයකි’.
  • ඉනුත්  ‘නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර’ මා වඩාත්ම සමීප වුණු කෘතිය ය.  ඒ සමීපබව මතුවන්නේ මෙකී ශේෂපත්‍ර මාලන්ගේ කාව්‍ය බසට යා හැකි දුර සලකුණු කරන නිසා වන්නට පිළිවන.
  • මාලන්, ඉතා දරුණු ලෙස සංකීර්ණ මිනිසකු වී ඇති බව ‘නටු’ අතර සැරිසරන අතර පෙනී යයි.
  • මේ හෑම කියවීමකටම මාලන්ගෙ කවිය කෙටි වුණත් ලොකු ඉඩකඩක් ඉතුරු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මුලින් ම කිය යුත්තේ මා මේ පොතට ඉතාම කැමති බව ය. මේ කවියා ගේ හැම පොතකටම වාගේ මා කැමති ය. ඉනුත්  ‘නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර’ මා වඩාත්ම සමීප වුණු කෘතිය ය.  ඒ සමීපබව මතුවන්නේ මෙකී ශේෂපත්‍ර මාලන්ගේ කාව්‍ය බසට යා හැකි දුර සලකුණු කරන නිසා වන්නට පිළිවන. එසේ වුව ‘නටු’ත් මරු වැඩකි. නටු අතර වන බොහොමයක් කවි ඊට අනන්‍ය ආරේ සමකාලීන ලෝක ව්‍යාප්ත කවියේ ඕනෑම එකතුවක තබන්නට පුළුවන් තරම් ගුණයකින් පොහොසත් ය. මාලන්, ඉතා දරුණු ලෙස සංකීර්ණ මිනිසකු වී ඇති බව ‘නටු’ අතර සැරිසරන අතර පෙනී යයි. ඔහු බුද්ධට සමිප වෙමින් සිටියි. ඒත් ඒ සෝර්බාමය ආත්මයක් කර ගසාගනිමින් ය.

Untitled 1
මාලන්ගේ ‘නටු’ එකින් එක අරගෙන එහි ගැඹුර විවිධාකාරව විග්‍රහ කරගන්නට, තේරුම් බේරුම් කරගන්නට හෝ වරනඟන්නට, මාලන් වටකරගත් දේශපාලන මෙන්ම සංස්ක‍ෘතික දායක සභා බොහොමයක් තිබේ. මේ හෑම කියවීමකටම මාලන්ගෙ කවිය කෙටි වුණත් ලොකු ඉඩකඩක් ඉතුරු කර ඇත. එවන් සමහර කියවීම් විශ්මිත වෙන්නත් පිළිවන. බොහෝ කියවීම් හෘදයාංගම වෙන්නත් පිළිවන. ඒ කියවීම් ආදරණීය වෙන්නත් පිළිවන. එබැවින් ඒ සියල්ලට එකඟ වෙන ගමන්ම මම මගේ අවධාරණය  ඉතාම නිශ්චිත කාරණා දෙකකට යොමු කරන්න කැමත්තෙමි. ඒ කාරණා  දෙකේම අඩංගුව ආත්මීයත්වය මත රඳා පවතී.

මා ආත්මීයත්වය ලෙස තේරුම් ගන්නේ කවියාගේ අවිඥානයේ අඩංගුවයි.  අප මොන තරම් සවිඥානිකව ලිවීම නම් ක්‍රියාවලියේ යෙදුණ ද, ඒ තුළ කිසියම් අතිරික්තයක් පවතී. මෙන්න මේ අතිරික්තය අවසන් නිර්මාණය තුළ විසිරි පැතිරී පවතින්නේ වෙයි. ලියන්නාගේ කැමැත්ත තිබුණ ද, නැත ද ලිවීම ඇතුලත අවශේෂව පවතින දෑ ආත්මීයත්වය ලෙස නම් කරන්නට මා කැමති ය.

මා වෙසෙසින් මුතු කරන්නට යෙදෙන කාරණා ‍‌දෙකෙන් පළමුවැන්න මෙය යි.

 

Ariyawansa Ranaweera2ආරියවංශ රණවීර
සිංහල සංක්ෂිප්ත කවියේ පුරෝගාමීයා නොහොත් පීතෘවරයා ලෙස සැළකෙන්නේ  පරම කිවියර ආරියවංශ රණවීර ය.  මාලන්ගේ භාවිතයෙහි ලා පෙනෙන්නේ  රණවීරයන් පීතෘත්වයේ ලා සලකන බව ය. මාලන්ගේ ‘අඟුණ මල්’ පෙරවදන් ලියා පාකර හරින්නේ ද රණවීරයන් ම ය.

aguna mal malan bandara kapuwaththa 500x500‘අඟුණ මල්’ කෘතියෙහි මෙබඳු කවියක් වෙයි.

‘’නැවතුන පසුව වැසි
පත් අගින් රූරා වැටෙයි
දෙවන වැසි.’’

රණවිරයෝ මෙ කව ගැන ස්වකීය පෙරවදනෙහි මෙසේ ලියන්නා හ.

37 1

‘’මහ වැස්ස වසින්නේ සකල පොලෝ තලයම වසා පැතිරී ගෙන වෙන අන් ආධාරකයක් නොමැතිව තමාගේම ශක්තියෙනි. එය මහ බලගතු නියාම ධර්මයක් විසින් පොලොවට දෙනු ලබන දායදයකි. මේ මහ වැස්ස නතරවුණු පසු, වැස්සේ ලකුණු ගෙන වසින දෙවැනි වැස්ස පතිත වන්නේ තම ශක්තියෙන් නොවේ. පත් අගිනි. මහ වැස්සෙන් යම් යම් අංග පමණක් දෙවැනි වැස්සේ ගැබ්ව පවතී.  එයට ස්වඡන්දයක් නැත. එය අනුකරණයකි.’’

මේ මහ කවියා මෙසේ ලියන්නේ මාලන්ගේ ම කෘතියෙහි ය. එය රණවීරගේ පෞරුෂය ලෙස නම්කරන්නට ද බැරි කමක් නැත. ඒත් ඊට සමාන්තරව මාලන් තුළ වැඩකරන ඊඩිපසියානු අවිඥානය ‘අඟුණමල්’ තුළ හරහා ‘නටු’ මතට පැමිණෙයි.

ඔහු අඟුණමල් තුළ මෙසේ ලියයි.

‘’ඉඩ ඇහිරූ
මහ කඳ පෙරළුවෙමි
නැඟෙන්නට
පැළයකට’‍’

මාලන්ගේ ඊඩිපස් සංකීර්ණයේ පීතෘවරයා රණවීර ය. මව වන්නී, සංක්ෂිප්තකර කවිය ය‍ි. තමන්ට නිදහසේ කෙටි කවියේ හැසිරෙන්නට නම් රණවීර නම් පීතෘ වියගසෙන් මිදිය යුතු ය. මාලන් තුල අවිඥානිකව වැඩකරන්නේ මෙන්න මේ අවිඥානකත්වය යි.

ඔහු ‘නටු’ මත රණවීර ඝාතන තැත මෙසේ සෘජුවම වරනඟයි.

‘’තාත්තා වසා ගිය
අඹ වලු
ලේනුන්ට ලිහයි පුතු’’

ඒ ගැන එපමණකි. මගේ නටු එළඹුමෙහි දෙවැනි කරුණ මෙයයි.

 

WhatsApp Image 2025 03 29 at 11.45.20 AM
මාලන් බණ්ඩාර කපුවත්ත යනු මාලිමානු ජාත්‍යන්තර පූර්ව ප්‍රචාරණ යන්ත්‍රයේ  ඉතා සක්‍රීය, නිරෝගීමත්, උද්‍යෝගීමත් දැති රෝදයක් ය යන්න ඔහුගේ පැරණි මිත්‍රයන් වන අපත් ඔහුගේ ඕස්ට්‍රේලියානු අලුත් මිත්‍ර සනුහරයත් හොඳින්ම දන්නා කරුණකි. ඊනියා චෞරබන්ධන මතවාදය පෙරබිමට කැඳවන්නට මාලිමාව කැන්ගරු කුසමල්ලේ දමාගෙන ෆේස්බුක් සංවාද අතර පැන පැන ගිය ‘නටු’ කිවියර මාලන්ට ඒ පිළිබඳ මතකය තවමත් දුම්දමන කෝපි බඳුනක් වන්නට පිළිවන.

මට කියන්නට අවශ්‍ය වන්නේ මෙය යි. ‘නටු’ තුළ පෙනෙන්නට ඇත්තේ කවියා නිෂ්චිත ස්වරූපයකින් පිටතට ප්‍රක්ෂේපනය කළ තමන්ගේ භාවිතය කෙරෙහි තමන් තුළම පැවති ගැඹුරු අවිනිෂ්චිතභාවය යි. මාලන්ගේ කවියෙහි ආත්මීයත්වය වන්නේ එයයි. එය, කවියාගේ අවිඥානයේ මුද්‍රාව යි.  ඔහු මෙසේ අරපරිස්සමින් වචන තෝරයි.

‘’ගොස දෙන රළ
අසා ඇද්ද
මුහුදු පත්ළේ නද?’’

WhatsApp Image 2025 03 29 at 11.45.20 AM 2
‘නටු’ කෘතියේ පෘෂ්ටිය මත වරනැඟෙන දාර්ශනිකභාවය විනිවිද යන තලයේදී අපට විඳවන, පැසවන කවියකුගේ දේශපාලන අධ්‍යාත්මයක් හමුවෙයි. එය පශ්චත්තාපී සුසුමකි. තමා පිරිවරාගත් මාලිමා ගැන්සිය සමඟ මාලන් කවියා සංවාද, සංලාප සිදුකරයි. ඇතැම් විට අවුළුපත් බුදිමින් මධුබඳුන් සිස් කරයි. අමුක ඩුමුක ද නටයි. ඒත් අවසන ඔහු තුළ වර නැඟෙන්නේ මෙවන් කවියකි.

‘’තනිගමේ ගටා
හිස් කරමි
මධු බඳුන’’

දැන් මම නිෂ්චිතව මාලන්ගේ තථ්‍ය දේශපාලන ප්‍රවේශය වෙත පිවිසෙමි. කිවියර රුවන් බන්දුජීවගේ ‘මීළඟ මීවිත’ කෘතියෙහි  ‘’සැපකි සතුටකි’’ මැයෙන් එන ඉතාම ප්‍රකට කවිය හරහා ඊට ප්‍රවේශයක් ලබා ගනිමි. එ කව මෙබඳු ය.

meelaga meevitha ruwan bandujeewa 500x500‘’තවත් එක පඹයෙක් හදන්නට
ගිහින් එක්කහු වෙනවා වෙනුවට
උපන් කමතට පොහොර වෙන එක
සැපකි සතුටකි පිදුරු  ගසකට’’

මෙම බන්දුජීව කවියේ උත්ප්‍රාසය පැහැදිලි ය. බන්දූන් මවන පඹයාගෙන් ම ව්‍යුත්පන්න මාලන්ගේ ‘නටු’ අතර වන මෙකී පඹයා විමසන්න.

‘’මගේම පඹයා
මෙමා බියගන්වන
හාත්පස කළුවර’’

මා ඒ පඹයා ගැන වෙන මුකුත් කිව යුතු නැත. කවිය ම කතා කරන බැවිනි.

 
මාලන්ගේ  ‘පඹයා’ ඔහුගේ අර ආත්මීයත්වය හරහා එන දේශපාලන විවේචනය වෙත පිවිසෙන්නට මඟ හසර තනයි. මාලිමා භාවිතයේ මැතිවරණ ඇමතිවරු මුහුණු කිහිපයක් මතකයට නඟා ගතහොත් උත්ප්‍රාසය සදයවැ හෝ නිර්දයවැ විඳගතහැකි කවි කිහිපයක් මම දැන් එක පෙළට තබමි. මෙලෙසිනි.

‘’වර මද්ද අදින
මීමාගේ
ඉඳ හිට
මතුවන කුළු ගතිය’’

‘’කඹය කඩාගෙන දිවූ මීමා
ඇවිත් හති අරිනවා
කණුව මුල’’

‘’මීම්මු
තණකා ඇවිත් ගාලට
රෑ පුරා
වමාරන්නෙහිද
දහවල’’

මෙම කවි ‘නටු මත මීම්මු’ ලෙස නම් කරන්නට මා කැමතිය. ඒ නාමකරණය මගේ වුව ඒ කවි මාලිමා කිවියර මාලන් බණ්ඩාර කපුවත්තගේ ය. ඉදින් තමන්ගේම මීම්මු පිළිබඳ ඔහු කෙරෙහි වන්නේ පැහැර හැරිය නොහැකි  වගකීමකි.


(සටහන | මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී

mwediwardena@gmail.com

 

http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-man
https://www.flickr.com/photos/wedi_man/


 (බල්සාක් කැෆේ - 2025 -03-30 අනිද්දා පුවත්පත)  

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...