වයස අවුරුදු 89 දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනයක් පළ කරමින් කියා තිබෙනවා.
ඔහු දේශපාලනය තුළ බලය, දූෂණය මෙන්ම දේශපාලනයේ සිටින මිනිසුන් ගැන තියුණු කියැවීම් සහිත නවකතා ලියූවෙක්. ඔහු 2010 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනාගත්තා.
ඔහු 1990 දී පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ නමුත්, ඔහුගේ ප්‍රතිවාදියා එවර ජනාධිපතිවරණය ජයගත්තා.
ඔහුගේ බෑඩ් ගර්ල් කෘතිය 'විසේකාරී' නමින් ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළා. එය ලංකාවේ වඩාත්ම ප්‍රකට වූ යෝසාගේ කෘතිය ලෙස හැඳින්විය හැකියි.
The Real Life of Alahrndro Maytha යන කෘතිය අලයෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය නමින් වියන්ගොඩ මහතාම පරිවර්තනය කළා. එයයි, යෝසාව ලංකාවට මුලින්ම හඳුන්වාදුන් කෘතිය.
ඉන්දික ගුණවර්ධන Who Killed Palomino Molero? කෘතිය ''නිර්නාමික ඝාතකයා'' නමින් පරිවර්තනය කළා.
වීරයෙක් ඇවිත් යන නමින් 'ද ඩික්‍රීඩ් හීරෝ' කෘතිය පරිවර්තනය කරන ලද්දේ චූලානන්ද සමරනායක මහතා. වීරයෙක් ඇවිත් යෝසාගේ මුල්ම නවකතාව. 'ඩෙත් ඉන් ද අන්දීස්' කෘතිය ''අන්දීස්ගේ මරණය'' නමින් චූලානන්ද සමරනායක පරිවර්තනය කළා.
යෝසා ලියූ තරුණ නවකතාකරුවෙකු වෙත කියන කෘතිය ලියනගේ අමරකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කළා. මේ වෙද්දී යෝසාගේ කෘතියක් චූලානන්ද සමරනායක මහතා පරිවර්තනය කරමින් සිටිනවා.
ප්‍රවීණම පරිවර්තකයන් කී කතා....

මාරියෝ වාර්ගාස් යෝසාගේ සමුගැනීම මොහොතේ, ඔහුගේ කෘති සිංහලයට පරිවර්තනයට දායක වූ ප්‍රධානම පුද්ගලයන් තිදෙනෙකුගේ අදහස් අපි විමසුවා.
පළමුවැන්නා යෝසාගේ කෘතියක් මුලින්ම සිංහලට පරිවර්තනය කරමින් ඔහුව සිංහල පාඨකයාට හඳුන්වාදුන් ගාමිණී වියන්ගොඩ මහතා. මාකේස්වත් සිංහලයට හඳුන්වාදෙමින් ලතින් ඇමෙරිකානු සාහිත්‍යය ගැන උනන්දුවක් මෙරට ඇති කළ ලංකාවේ පරිවර්තන සාහිත්‍යයේ දැවැන්තයා වන ඔහු යෝසා ගැන මෙහෙම කීවා.
ගාමිණී වියන්ගොඩ‘මම යෝසාව දකින්නේ බය නැති කෙනෙක් විදියට. හුඟාක් ලේඛකයන් දේවල් කියන්න බය නෑ. ඔහු ලියපු සමහර නවකතා ලේඛකයෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. දෙවැනි එක හැම වෙලාවෙම එයා තමන් ජීවත්වෙන සමාජයේ දේශපාලනය ගැන දැඩි ලෙස සවිඥාණිකව හිටපු කෙනෙක්. ඒක එයාගේ හැම කෘතියකම දකින්න ලැබෙන දෙයක්. මෑත කාලයේ ඒ වගේ දේශපාලන සවිඥාණිකත්වයකින් තමන්ගේ නිර්මාණයන් කරපු ලේඛකයෙක් හිතාගන්න අමාරුයි.
මාකේසුත් දේශපාලනික නිර්මාණකරුවෙක් තමයි. මාකේස්ට වඩා හුඟාක් එහාට ගියා දේශපාලනය ගැන තමන්ගේ නිර්මාණ තුළින් කතා කිරීමට යෝසා. හරිම අද්විතීය ලේඛකයෙක් විදියට දකින්නේ. මම ඔහුව හඳුන්වලා දුන්නේ ඔහුගේ නවකතාවකින්. ඒ නවකතාව 1971 කැරැල්ලට කෙළින්ම සම්බන්ධ, එයට හැම පැත්තකින්ම සමාන සිදුවීමක් පාදක කරගෙන ලියූවක්. අලහෙන්ද්‍රෝ මයීතාගේ සැබෑ ජීවිතය කියලා. ඒකයි සිංහල පාඨකයන්ට යෝසා මුණගැසුණු මුල්ම අවස්ථාව.

''විසේකාරී'' වෙනම ගත්තොත්. අලහෙන්ද්‍රෝ වෙනම පැත්තක්. ඒ විදියට විවිධ පැති දිහා බලපු විශිෂ්ඨ අපූර්ව විදියට දකින්නේ. ඇත්තටම අලහෙන්ද්‍රෝ පොත කියවන්න වටිනවා. ඒ පොතේ අපේ හැත්තෑ එකේ නායකයෝ ඔක්කෝම ඉන්නවා. ඒකෙන් කියැවෙන්නේ ලෝකයේ එකම දේ තැන් දෙකක එකම විදියට සිද්ධ වෙන්නට පුළුවන් බව.‘
ලංකාවේ පරිවර්තන සාහිත්‍යය වෙනුවෙන් වැදගත්ම මෙහෙවරක් කළ පුද්ගලයෙකු සේම යෝසාගේ පොත් වැඩිම ප්‍රමාණයක් මෙරට පාඨකයා උදෙසා පළ කිරීම වෙනුවෙන් බරපැන දැනූ සාහිත්‍ය අනුග්‍රාහකයා වන්නේ ජනක ඉනිමංකඩ. (ඇත්තටම ජනකව හඳුන්වන්නට ‘ප්‍රේට්‍රන්‘ යන අර්ථය ඇති හොඳ වචනයක් හොයාගන්න ඕනෑ.) ජනක මෙසේ කීවා.
‘ඉස්සෙල්ලාම ගාමිණී වියන්ගොඩ විසින් තමයි යෝසාව සිංහල පාඨකයාට හඳුන්වලා දුන්නේ. චූලානන්ද සමරනායක තමයි ඔහුගේ පොත් වැඩි ප්‍රමාණයක් පරිවර්තනය කළේ. අභාවප්‍රාප්ත ඉන්දික ගුණවර්ධනත් ඔහුගේ කෘති පරිවර්තනය කළා. ලියනගේ අමරකීර්ති කළා නවකතාකරණය ගැන පොතක්.
ජනක ඉනිමංකඩලතින් ඇමෙරිකානු සාහිත්‍යයට ආකර්ෂණය වුණේ අනූ ගණන්වලදී ගාමිණී වියන්ගොඩ කරුමක්කාර කතාවක් කියලා ගාර්ෂියා මාකේස්ගේ කෘතියක් පරිවර්තනය කළාට පස්සේ. ඊට පස්සේ ලතින් ඇමෙරිකානු ලේඛකයෙකු ලෙස ලංකාවේ මාකේස් ජනප්‍රිය වුණා. (සියක් වසක හුදෙකලාව, කොළරා කාලේ ආලේ) ඔය අතරේ ලේඛිකාවක් ලෙස ඉසබෙල් අයියන්දේ ලතින් ඇමෙරිකාවෙන් ආවා. ඒත්, ලංකාවේ ජනප්‍රියම වෙන්න ඉඩකඩ තිබුණු ලතින් ඇමෙරිකන් ලේඛකයා මාරියෝ වර්ගාස් යෝසා. මොකද දකුණු ආසියානු කලාපයම කතන්දර කියවන්න කැමතියි. මාකේස්ට සහ අයියන්දේට වඩා කතන්දර කියන්නෙක් විදියට යෝසා රසවත්. ඒ නිසා දකුණු ආසියාවට ඉතා සමීප ලක්ෂණ සහිත ලතින් ඇමෙරිකානු ලේඛකයා ඔහු.‘
යෝසාගේ අභාවප්‍රාප්ත වීම ගැන සමාජ මාධ්‍ය සටහනක් තබමින් බොහෝ ලාංකිකයන්ට පුවත සන්නිවේදනය කළේ, මේ වෙද්දීත් යෝසාගේ කෘතියක් පරිවර්තනය කරමින් ඔහු සමඟ කාලය ගත කරන ආදරණීය පරිවර්තකයා වන චූලානන්ද සමරනායක. ඔහු යෝසා කෙරෙහි දැඩි ආසක්තභාවයක් දක්වමින් සිය අදහස මෙසේ කීවා. එහිදී මාකේස් හා යෝසා සංසන්දනය කිරීමටත් ඔහු අමතක කළේ නෑ. යෝසා සහ මාකේස් අතර භේදයක් තිබුණු බව ප්‍රකට කරුණක්. එවැනි පසුබිමක චූලානන්ද සමරනායක මෙසේ කීවා.

චූලානන්ද සමරනායක‘මාකේස් කියන චරිතය ලතින් ඇමෙරිකානු සාහිත්‍යය තුළ අධිනිශ්චය වූ කෙනෙක්. මට අනුව ලතින් ඇමෙරිකානු සද්දන්තයා යෝසා. මට අවසාන නවකතාවලට එනකොට මාකේස්ව කියවන්න අමාරුයි. ලෙස්ටර්ගේ නිධානය බැලූ අපට අම්මාවරුනේ බලන්න අමාරුයිනේ. ඒක සාමාන්‍ය දෙයක්. එහෙම වෙනවා. ලේඛකයන් පවා ඒවා තේරුම් ගන්නවා. ආරියවංශ රණවීර මහතා අවසාන කවි පොත ලීවාම නැවත නොලියන බව කීවා. ඒක එහෙම තමයි. ඒත්, යෝසා මැරෙනතුරු එක වගේ ලීවා. භාෂාව, කලාව වගේම එකිනෙක දේවල් වෙනස් කරමින් ඔහු සාහිත්‍යය ඉදිරියට ගෙනගියා.
මම යෝසාගේ පොත් දෙකක් පරිවර්තනය කරලා පළ කළා. අන්දීසයේ මරණය සහ වීරයෙක් ඇවිත් කියන සිංහල නම්වලින් කළා. හොඳම පරිවර්තනයට රාජ්‍ය සම්මාන ලැබුණේත් එම පොත නිසා. මම දැනුත් යෝසාගේ පොතක් පරිවර්තනය කරමින් ඉන්නවා. ඒ වගේ කෙනෙක් නැතිවුණාම මාර පාළුවක් දැනෙනවා. යෝසා ගියාම දැනෙන්නේ නැවත කියවන්න දේවල් නැතිවෙනවා වගේ පාළුවක්. මොකද, මට යෝසා කියන්නේ ආශ්චර්යයක්.‘




