BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : 'ඉලංගෝ රාම් සිංහලයාගේ මූණේ ඇතිල්ලූ නෙළුම් කුළුණ' - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

April 25, 2025 • 8:02 AM

බල්සාක් කැෆේ : 'ඉලංගෝ රාම් සිංහලයාගේ මූණේ ඇතිල්ලූ නෙළුම් කුළුණ' - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ සිදුවන ම්ලේච්ඡ ඊශ්‍රායල් සංහාරය හෙළා දකිමින් ස්ටිකර ඇලවූ අගනගරවාසී මොහොමඩ් රුෂ්ඩිගේ මෙකී ක්‍රියාව, පීඩිත සංහාර අබියස කිරිබත් කෑ පොදු සිංහල මනසට "සක්සස්" වැඩක් ලෙස දැනෙන්නේ නැත.
  •   ත්‍රස්ත පනත යටතේ ඔහු රදවා තබා ගන්නට අත්සන යෙදූ ජනාධිපතිවරයා ඔහු ගැන පසුව මුස්ලිම් සමාජය අබියස පැවසූයේ "මේ දරුවා ස්වයං අභිප්‍රේරණය"ට ලක්ව ඇති බවකි.
  • දෙමළ සංහාරයේ දරුණුම රූපිකය එනම් 'නෙළුම් කුළුණ' මෙකී නිර්මාණාත්මක දෙමළා සිංහලයාගේ මූණේ ඇතුල්ලූ බව සිංහලයාට දැනෙන්නේ නැත.
  • අනීතික ලෙස වාහන එකලස් කිරීමේ චෝදනාව මත මාලිමා ආණ්ඩුවේ දූෂණ මර්දන යාන්ත්‍රණය විසින් දඟගෙට දක්කවනු ලැබූ විජිත් විජියමුණි සොයිසාගේ සුප්‍රකටම දේශපාලන කියමන වූ "අප්පච්චි මළා" යන්න කවරකු අරභයා කියූවක්දැයි නොදන්නා කෙනෙක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


එබැවින් රුෂ්ඩිගේ ගේ ජාතිකත්ව අනන්‍යතාව ලෙලවාලමින් ඔහු මුසල්මානුවෙකු ලෙසත්, ද්‍රෝහියෙකුලෙසත්, අන්තවාදියෙකු ලෙසත්, ත්‍රස්තවාදියෙකු ලෙසත් නම් කරන අවකාශයක ඊට අනන්‍ය වන්නට ඕනෑම වර්ගයක සිංහලයෙකුට පිළිවන.

 

ත්‍රස්ත පනත යටතේ ඔහු රදවා තබා ගන්නට අත්සන යෙදූ ජනාධිපතිවරයා ඔහු ගැන පසුව මුස්ලිම් සමාජය අබියස පැවසූයේ "මේ දරුවා ස්වයං අභිප්‍රේරණය"ට ලක්ව ඇති බවකි. ජනපතිට අනුව "මේ දරුවා" ගාසා තීරයේ ම්ලේච්ඡත්වයට එරෙහිව ඔහු තුළ පැන නගින ස්වයං අභිප්‍රේරණයෙන් මිදෙන තුරු ඉරිදාට ඉරිදාට පොලිසිය අත්සන් කළ යුතුය. පොදු  සිංහල වර්ගවාදී මනසෙහි "සක්සස්" හැඟීම් ජනිත නො කරවන  පීඩිත ජාතිකත්ව අනන්‍යතාධාරීන්ට සිංහල සමාජය තුළ හිමි වන්නේ රුෂ්ඩි පන්නයේ ඉරණමකි.

ඉලංගෝ රාම් දෙමළෙකි. නමුත් ඔහු සිංහල මනස තුළ "සක්සස්" චරිතයකි.  මෙකී "සක්සස්භාවය" විසින් ඔහුගේ ජාතිකත්ව අනන්‍යතාව අහෝසි වී යයි. ඒ අනුව ඉලංගෝ රාම් සිරා පොරකි. අභිමානනීය ලංකා රත්නයකි. අභිනන්දනීය සිරාම ශ්‍රී ලාංකිකයෙකි. ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික සිනමාකරුවෙකි. "නෙළුම් කුළුණ" පට්ට සක්සස් වැඩකි. එබැවින් එය "අපේ" පොදු ශ්‍රී ලාංකීය අනන්‍යතාව මත වර නොනඟා කොහොමද? ඔහු විසින්ම "නෙළුම් කුළුණ" දෙමළෙන් ඉදිවෙයි. වෙනත් භාෂාවෙන්ගෙන් තැනෙයි. සිංහල සිනමාකරුවන්ගේ සිහිනයක් බඳු 'නෙට්ෆ්ලික්ස්' එකේ පවා ඉලංගෝ තැනූ "රූපිකය" ළෙලදෙයි. ඔහු නම් සැබෑම සාඩම්බරකාරී ශ්‍රී ලාංකිකයෙකි. දෙමළ සංහාරයේ දරුණුම රූපිකය එනම් 'නෙළුම් කුළුණ' මෙකී නිර්මාණාත්මක දෙමළා සිංහලයාගේ මූණේ ඇතුල්ලූ බව සිංහලයාට දැනෙන්නේ නැත. එම්බා ඉලංගෝ! තොප තනිවම රහසින් ලබන සතුටට සැලියුට් වේවා!  



මා මෙතරම් තලු මරන, කුමක්ද මේ රූපිකය?

අනීතික ලෙස වාහන එකලස් කිරීමේ චෝදනාව මත මාලිමා ආණ්ඩුවේ දූෂණ මර්දන යාන්ත්‍රණය විසින් දඟගෙට දක්කවනු ලැබූ විජිත් විජියමුණි සොයිසාගේ සුප්‍රකටම දේශපාලන කියමන වූ "අප්පච්චි මළා" යන්න කවරකු අරභයා කියූවක්දැයි නොදන්නා කෙනෙක් නැත. රට එක්සේසත් කිරීම නිසා දුටුගැමුණු වූයේ මෙකී "මළා" වූ අප්පච්චි  චරිතයයි. ඉක්බිති සිංහල ජාතියේ සාරාර්ථයේ මූලයටම පලවා හැර සොර දෙටු විජය බවට පිරිහෙන ලද්දේ ද මෙකී "මළා" වූ අප්පච්චි චරිතයයි.

tentigo 1
තමන්ගේ දෙමළ අනන්‍යතාවය රැක ගනිමින් කැඩිච්ච බිඳිච්ච සිංහලයෙන් සිංහල කතා කරන ඉලංගෝ රාම්ට සවිඥානිකව හෝ අවිඥානිකව බලපෑ සංසිද්ධිය මෙකී අප්පච්චි මළා වූ සංසිද්ධිය බව මම යෝජනා කරමි.

අප්පච්චි මියගොසිං ඇත. ඒත් "නෙළුම් කුළුණ" කෙළින්ය. මේ ගතව යන මාලිමා මොහොත පට්ට කොමඩියක් බවට පිරිහෙළෙමින් තිබෙන්නේ අප්පච්චි මැරුණු සන්ධර්භය තුළය.

සිංහල ප්‍රේක්ෂකයා, සිංහල රසිකයා, සිංහල සහෘදයා, සිංහල විචාරකයා "නෙළුම් කුළුණ" නරඹන්නේ මෙකී ව්‍යුහගත සාමුහික අවිඥානය තුළ ගොනුවෙමිනි.  

n6i687675655

මියගොසින් ඇත්තේ එක පසෙකින් දුටුගැමුණු පන්නයේ යුද වීරයෙකු වන, තවත් පසෙකින් විජය පන්නයේ පල් හොරෙකු වන එවන් අප්පච්චිය. අප්පච්චි මැරුණු සිංහල සමාජය යනු බොක්ස් ඔෆිස් වාර්තා තබන හවුස් ෆුල් පන්නයේ දරුණු කොමඩියකි.

ඉලංගෝ රාම් ඊනියා සිංහල බෞද්ධ පුරුෂාර්ථයන්ට කෙළවලා ම දමයි. මෙම ඛේදාරම්භ ප්‍රහසනය සැබැවින්ම පවතින්නේ සිනමා පටය තුළ නොව සිනමා ශාලාවෙන් එපිට අප දෛනිකව අත්දකින සමාජය තුළය. මා මේ මතු කරන සාරාර්ථය යෝජනා කරන්නේ මා නොවේ සිනමාපටය ම ය. සිනමා  පටය නරඹන ඔබ හිනා වෙන්නේ ඔබට මය. සිනමාකරුවා ඉලංගෝ රාම් සිනාවෙන්නේ එසේ හිනාවෙන ඔබටමය. මෙකී දරුණු සාරාර්ථය මගහැර යන්නට ඔබට ඔබේ සාමූහික අවිඥානය යෝජනා කරයි නම් එකී අවිඥානය මතුවන්නේ තවදුරටත් නොපවතින සිංහලකම විසිනි. නැතහොත් පුරුෂාර්ථ මුක්ත මියගිය සිංහලකම විසිනි.  ඉලංගෝ රාම් නෙළුම කුළුණ මූණේ ඇතුල්ලුවද එය නොදැනෙන්නේ එබැවිනි.

tentigo4

 

සිංහලයාගේ විනෝදය වනාහි ඇත්ත වශයෙන්ම තමන්ටම නොතේරෙන විනෝදයක් බව නෙළුම් කුළුණ අධ්‍යක්ෂකවර ඉලංගෝ රාම් අත්දැකීමෙන්ම දනී. "රට වැටුණත් කුළුණ කෙලින්" යනු මෙකී සිංහල භාවයේ රූපිකයයි. එය ඔහු සිංහල ප්‍රේක්ෂකයා මතු නොව මුළු මහත් ලෝකයටම හඬගා කියයි.  

මට ඉලංගෝ රාම් පට්ට සීරියස් කලාකරුවෙකු වන්නේ එබැවිනි.

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(සටහන | මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී හා මාධ්‍යවේදී
mwediwardena@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

tentigo 2
පසු සටහන ;-

මා මේ කොළම අනිද්දා ප්‍රධාන සංස්කාරවරයා අතපත් කෙරුවේ ඉකුත් අප්‍රේල් 16 වැනිදාය. එකී සති අන්තයේ අනිද්දා පත්තරය පළ නොවන බව 12 වැනිදා පත්තරේ මුල් පිටුවේ තිබුණු බව මා දුටුවේ නැත. PDF පිටපත කියවන බැවින් ඇතැම් විට මෙවන්  මග හැරී යාම් සිදුවේ. හරියටම දවසකට පසු එනම් අප්‍රේල් 17 වැනිදා Hari TV වෙනුවෙන් ලහිරු මුදලිගේ ඉලංගු රාම් සමඟ කළ සංවාදය බලන්නට ලැබිණ. මගේ මේ "නෙළුම් කුළුණ" ප්‍රවාදය සාක්ෂාත් කර ගත හැකි කරුණු රැසක් ඉලංගෝ විසින් එහිදී හෙළිදරව් කෙරිණි. මා විවෘතම නොලීවද මවිසින් කෙරුණු අනුමානයන්, ලහිරු මුදලිගේ අභියස එකින් එක නිරාවරණය කරන්නට ඉලංගෝ විවෘත විය. ඔහුගේ ජීව දත්ත මත තබා "ආත්මීයත්වය" විග්‍රහ කරලන්නට සතියක කාලයක් ඉතිරිව තිබුණත්, ම විසින් පෙර සතියේ ලියූ මේ කොළම වෙනස් නොකෙරුණේ හිතාමතාමය. සිංහල උසුළු විසුලු ඉවසමින්, ඉදිරි කලාපයක යළි "නෙළුම් කුළුණ" පාමුල මුණගැසුණු පිණිසය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...