BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පිරිමි හීනවල කතාව: වාලම්පුරි | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 13, 2025 • 7:46 AM

පිරිමි හීනවල කතාව: වාලම්පුරි | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතුගම ජානකී සිනමා ශාලාව නැවත ක්‍රියාත්මකයි. පොළ මැද්දෙ තියෙන මේ සිනමා ශාලාවෙ ඉරිදාට වාහනයක් පාක් කරන එක ලේසි නැහැ. ඒ නිසා අපි දෙන්නා හිටි හැටියේ කතා වෙලා හතරයි කාලට තියෙන වාලම්පුරි චිත්‍රපට දර්ශනය බලන්නට ආවා.
  • ඒ තෘෂ්ණාව නිසා ඇත්තටම අපි සෑහෙන්න කරදර වෙනවා.
  • එහෙත්, ගැඹුරු දේශපාලනයකින් තොරව, මතුපිටින් අතගාන ලක්ෂණ නිසා ඇතැම් රසවත් දේ සිනමාකරුවාට මගහැරෙනවා.
  • උදාහරණයක් ලෙස, මේ චිත්‍රපටයේ හොර කණ්ඩායම ගැමි නාට්‍ය නළු පිරිසක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක ඉතින් චිත්‍රපටි බලන්නට සුදුසුම වෙලාවක් නොවන නිසා ළමයින්ව ගෙදර දාලා ආවෙ. නිකං හිතුණ නිසා හිටි හැටියේ ආව ගමනක්. කොච්චර සූදානමක් නැති එකක්ද කියනවා නම්, මගදි බයිසිකලේ පෙට්‍රලුත් ඉවර වුණා. පොඩි දුරක් තල්ලු කරලා වැලිමානාන හන්දියෙන් පෙට්‍රල් බෝතලයක් දමාගෙනයි ආවෙ. එනකොට චිත්‍රපටිය පටන් ගත්තා විතරයි.

මං චිත්‍රපට බලන්නෙ සිනමාව ගැන තියෙන උනන්දුව නිසා. ඒ තෘෂ්ණාව නිසා ඇත්තටම අපි සෑහෙන්න කරදර වෙනවා. ගෙදර ඉඳන් පාඩුවේ පොතක් කියවන එකෙන් ඊට වඩා සිහින ලෝකවලට යන්නට පුළුවන්. මේ අතර කියන්නට තියෙන්නෙ මේකයි. කලින් බලපු නෙළුම් කුලුන වගේ නෙමෙයි, වාලම්පුරි රසවිඳින්නට යමක් තිබෙන චිත්‍රපටයක්. ඒ නිසා ඒ ගැන සටහනක් ලියන්නට හිතුවා.

දැන් අපට චිත්‍රපටය ගැන විනිශ්චයත් කලින්ම සමාජ මාධ්‍යවලින් දෙන කාලයක්. එමගින් දෙන සියලු දේ නිවැරදි නැහැ. නෙළුම් කුලුන අධිතක්සේරු කළේත්, ප්‍රියන්ත සිරිකුමාර නම් දක්ෂ නළුවා ඕනෑවට වඩා උඩ දමන්නෙත් මේ ප්‍රොපගැන්ඩාව විසින්ම තමයි. කොහේ හරි දැක්කද වාලම්පුරි චිත්‍රපටයෙ වසන්ත මොරගොඩගෙ රඟපෑම ගැන කවුරුහරි උඩ දානවා. මොරගොඩට චරිතෙ දුන්නට, මිනිහා ඔය කල්ලි සාමාජිකයෙකු නොවෙන නිසා වෙන්නට පුළුවන් හිතාමතාම අමතක කර දමන්නෙ. ඔය උඩ දැමිල්ල නිසා අවසානයේදී නළු නිළියන් විනාශ වෙනවා. සරත් කොතලාවලට දැන් වෙලා තියෙන්නෙ ඒක. ගැඹුරු චරිත නිරූපණයක් කළ හැකි ඔහු විකටයකු වෙන්නට අසාර්ථක උත්සාහයක් දරන ආකාරය තමයි දිගින් දිගටම දකින්නට ලැබුණෙ.

Lakmal2
වාලම්පුරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටයත් ගැඹුරු අරුත් මතු කරගත හැකි සිනමා නිර්මාණයක්. එහෙත්, ගැඹුරු දේශපාලනයකින් තොරව, මතුපිටින් අතගාන ලක්ෂණ නිසා ඇතැම් රසවත් දේ සිනමාකරුවාට මගහැරෙනවා. උදාහරණයක් ලෙස, මේ චිත්‍රපටයේ හොර කණ්ඩායම ගැමි නාට්‍ය නළු පිරිසක්. ඔවුන් නාට්‍යයේ රඟන චරිත, එහි දෙබස්, ගැටුම් ආදිය මේ චිත්‍රපටයට සියුම් වටිනාකම් එකතු කිරීමක් කරන්නට හැකියාව තිබුණා. ඒත්, විවේක බුද්ධියක් නැතිකම නිසා ඒවා මගහැරී ගිහින්, ඒ නාට්‍යය නිකම්ම නිකම්, කෘත්‍රිම, කතාවට පිටින් පුරුද්දපු, නිකම්ම නිකම් විකට ඇඳුම් සංදර්ශනයක් බවට පත්වෙලායි තියෙන්නෙ.

නාට්‍ය පුහුණු වන ජවනිකාවක් මෙහි තිබෙනවා. එය පාවිච්චි කර තිබෙන්නේ මෝඩ ජෝක් එකක් සඳහායි. චරිත විවරණය වැනි කාරණා වෙනුවෙන් භාවිතා කෙරෙන්නේ නැහැ.

 

walampuri
මේ හොර කණ්ඩායම නළු පිරිසක්. ඔවුන් නිදන් ගැන සොයා බලන බවක් ද පෙනෙනවා. ඔවුන් ජීවිතය ගැටගසා ගැනීම සඳහා ජනතාව රැවටීම සඳහා වෙනත් දේ කරන හොර කල්ලියක් වගේ තමයි පෙනෙන්නේ. ඔවුන්ගේ ජීවිත අරමුණ නිධානයක් වැනි හදිසි ධනයක් මගින් ජීවිතය වෙනස් කරගැනීම. දෛනික ජීවිතයේ බාබර් වැඩ, බ්‍රෝකර් වැඩ, ගයිඩ් වැඩ වැනි දේවලින් ලැබෙන සොච්චම් ආදායමෙන් ඔවුන් තෘප්තිමත් නැහැ. ගොවීන්, කම්කරුවන් වී ජීවිතය සමග පොරබදන්නට වඩා ඔවුන් කැමති වංචනික දේවලට. එමගින් ඉක්මනින් ගොඩ යාමේ හීනයක් තමයි ඔවුන් හඹා යන්නෙ. ඒ පසුපස තිබෙන ගුටි කෑමේ, හිරේ විලංගුවේ වැටීමේ, මරණයට පත්වීමේ අවදානම දරාගනිමින් තමයි ඔවුන් මේ සියල්ල කරන්නෙ. ඔවුන් එයින්ම වෙහෙසට පත්වෙලා. එහෙත්, වෙනත් මාර්ගයක් වෙත යොමු වෙන්නට බැරි විදියට ඔවුන්ගේ ජීවිත විකාශය වෙලා.

මේ පිරිමි හීනවලට ප්‍රතිරෝධී විදියට චිත්‍රපටයේ ආනන්ද සිරිකුමාර නම් නළුවා රඟපාන චරිතයේ බිරිඳ (රඟපාන්නේ උදයන්ති කුලතුංග) කරන ස්ත්‍රී තෝරාගැනීම කැපී පෙනෙනවා. කෑලි ගානට වැඩ කරමින් පවුල නඩත්තු කරන ඇය වෘත්තීය කම්කරුවෙකු වෙන්නට කරන තෝරාගැනීම තමයි මෙම චිත්‍රපටයේ දේශපාලනික ප්‍රගතිශීලීත්වය නිරූපණය කරන අවස්ථාව. පාරිභෝජනවාදී, ඉක්මනින් සල්ලි හම්බ කිරීමේ අවදානම් සහගත පිරිමි ආශාවට එදිරිව ස්ත්‍රිය කම්කරු භූමිකාව හා බැඳුණු ජීවිතය තෝරාගැනීම පරාජයක්ද? පිරිමින් එහෙම හිතන්නට පුළුවන්. ගැහැණු හිතන්නෙ ඊට වෙනස් විදියට ජීවිතය ජයගන්නට වෙන්න පුළුවන්.

Lakmal1
හැබැයි, ඒ අතරෙ දිල්හානි අසෝකමාලා රඟන චරිතය වැනි අධිපතිවාදී කාන්තාවන් ද සමාජයේ සිටිනවා. කාන්තාවන් වුණත්, ඔවුන් නියෝජනය කරන්නෙ පිරිමි ආසාවන්.

වාලම්පුරි චිත්‍රපටය සියුම් නිර්මාණයක්. හොඳ අධ්‍යක්ෂණයක්. කුතුහලය, ත්‍රාසය, ගුප්තභාවය රඳවාගන්නා කතාවක්. කතා රසය ඉහළයි. අපි මේ ඔක්කොම කරන්නෙ කතා අහන්න. සිදුවීම් වෙච්ච විදිය බලන්න.

Lakmal4

අද වෙසක් පොහෝ දවස. තෘෂ්ණාව ගැනත් හිතන්නට මෙය අවස්ථාවක්. වැටුණොත් බිඳෙන හිස් සිප්පි කටුවකට මිනිසුන් වටිනාකම් නිර්මාණය කරල තියෙන්නෙ මිනිස් තෘෂ්ණාව පදනම් කරගෙන. රත්තරංවල වටිනාකම වුණත් අවසානයෙදි එහෙමයි. මිනිස් ශිෂ්ටාචාරයම ගොඩනැගෙන්නෙ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නැති කරන්න බැහැ. ඒත්, පාලනය කරගන්නෙ නැතුව තෘප්තිමත් වෙන්නට බැහැ. වාලම්පුරි චිත්‍රපටයේ අවසාන දර්ශනය මේ ජීවන දැක්ම කැටි කරගන්න එකක්.

වාලම්පුරි වර්තමාන ලාංකීය හා ලෝක දේශපාලන ආර්ථික සමාජ සංදර්භය ගැන බොහෝ සංවාද ගොඩනගාගත හැකි චිත්‍රපටියක්.

 



Ajith parakum jaya
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...