BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

බල්සාක් කැෆේ : රතු කොමරේඩ්ඩුකාරයෝ දිවුලාගේ දෑත් බැඳ දැමුවාවත් ද? | මංජුල වෙඩිවර්ධන

T

The Leader Desk

May 16, 2025 • 9:23 AM

බල්සාක් කැෆේ : රතු කොමරේඩ්ඩුකාරයෝ දිවුලාගේ දෑත් බැඳ දැමුවාවත් ද? | මංජුල වෙඩිවර්ධන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හසා හෙවත් හසලක තුෂාර නම් ඉපැරණි මිත්‍රවරයාගේ ජාතියක් සනහන ‘මෝඩාභිමානී’ විහිළු තහළු අතර කරක් ගසමින් -ඇවිදගන්නට බැරුව - සිටි ළඟපාත හැන්දෑ වරුවක ස්ටෑන්ඩ් අප් කොමෙඩිකරුවන්ගේ පෙළගැස්ම අතර සිටි ‘ලුනු-ගම්මිරිස්’ දිගු රැවුල්ධාරි ළපැටි මුහුණුක් ද, ප්‍රසන්න හිනාවක් ද ඇති ආසිරි ඇල්ලගේ අසල නතරවන්නට අභ්‍යන්තරය විසින් බලකෙරුණෙන් අතරමඟ අතෑරුණු ලියවිල්ලක් අලුතින් ලියන්නට කෙමෙන් මඟහසර විවර වන්නට විය.
  • ඔහු ඒ තුළ  තබා ඇති සංකේත විශ්වය ගැන ය.
  • කෘතියට වඩා විචාරය අධිනිෂ්චය වීම යනු මෙකී අසංස්කෘතිකභාවයේ ම ප්‍රකාශනයකි.
  • සත්‍යය එය නම් එය සත්‍යය ලෙසම ගෙනහැරපෑම සිනමාකරුවාගේ වරදක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මගේ මිත්‍රවර රතු කොමරේඩ්ඩුකාර දිවුලා ගැන ය; සුදත් මහදිවුල්වැවගේ ‘රතු අතු අග’ සිනමාපටයේ මතකය ගැන ය.

මතක පරිදි ‘මයි රෙඩ් කොම්රේඩ්’ රිදීතිරගත වූයේ මෙයින් හරියට ම අවුරුද්දකට කලිනි. 2024 මැයි මස ය. අවුරුද්දකට පසු වුව ඒ ගැන කතා කළ නොහැක්කේ මන්ද?



මෙකී රතු සිනමාපටය නැරඹූ දා ම මම දිවුලාට වට්සැප්පුව හරහා කටහඬ පයින්ඩයක් තැබුවෙමි. ඔහු ඒ තුළ  තබා ඇති සංකේත විශ්වය ගැන ය. ඒත් සිනමාපටය පිළිබඳ කතිකාව එකෙල මෙකෙල වූයේ වෙනම රිද්මයකිනි.  

 

සංස්කෘතික මිනිසා පිළිබඳ ප්‍රශ්නයට පවතින්නේ ද අසංස්කෘතික තත්ත්වයක් නොවේදැයි මේ කලබැගෑනි මැද සිතුණු වාර අපමණ ය. කෘතියට වඩා විචාරය අධිනිෂ්චය වීම යනු මෙකී අසංස්කෘතිකභාවයේ ම ප්‍රකාශනයකි.

කෘතියේ සරලමතිකභාවයක් වේ නම් ඒ වනාහි එහි නිරූපිතය විසින් ගෙන දෙන සත්‍යයේ පවතින සරලමතිකභාවය මිස අන් යමක් නොවේ.‍

 

තමන්ගේ පුටුවට පවා අතිශය වද වෙන නාගරික ගරිල්ලෙකු යනු රොමැන්තීකරණය කරන ලද රුසියානු අධ්‍යාත්මය යි. සත්‍යය එය නම් එය සත්‍යය ලෙසම ගෙනහැරපෑම සිනමාකරුවාගේ වරදක් ද? රැවුල අධිනිශ්චය වී ඇත. එය එසේ නම් එය ගෙනහැර පෑම සිනමාකරුවාගේ වරදක් ද? ස්ත්‍රී ශ්‍රී පශ්චිම ශරීරය දාර්ශනික වෙස්ගත් මිනිසුන්ගේ හිස් සන්තාන කුහර තුළ දෝංකාර නංවන බව සත්‍යයක් නම්, මෙකී සත්‍යය සංකේතීයව මෙන් ම සිනාමාත්මකව ගෙනහැර පෑම සිනමාකරුවාගේ වරදක් ද?

සිනමාපටයේ එන කෙල්ල, ඉටිපහනකට වැඩ දමමින් සිටිය දී රැවුල ඉදුණු කොල්ලා මෙසේ අසයි. ‘’ගින්දරත් එක්ක සෙල්ලං කරන්න ආසයි වගේ’’

 

WhatsApp Image 2024 04 20 at 5.07.59 PM 1
කෙල්ල කියන වැකිය මෙබඳු ය.

 

‘’අපි ගින්දරත් එක්ක ජීවත් වෙන කොට, දන්නෙම නැතුව අපි ගින්දරත් එක්ක සෙල්ලං කරන්න පුරුදු වෙනවා’’

මගේ මේ ලියවිලි පවා ඇත්තේ එහෙම ඇවිලෙනසුලු තැනක නොවේ ද? කමක් නැත. වසරක ඇවෑමෙන් වුව මම මගේ ප්‍රවාදයට එළඹෙන්නම්!

 

දේශපාලන සමාජය විසින් මඟහැර ගිය ද, දිවුලාගේ ‘මයි රෙඩ් කොම්රෙඩ්’ යනු එකින් එක ගෙන දිගහැරගත යුතු සංකේත ගහන සිනමා කෘතියකි.

 

WhatsApp Image 2024 04 20 at 5.08.00 PM
‘සකස්කඩ නොකී කට උගේ කට හුඹස්කට’’ යැයි කී කියමන මෙනෙහි කරමින් සර්ජි අයිසන්ස්ටයින්ගේ ‘අරගලයේ වෙඩිමුරය’ අරුත් දෙන ‘බැට්ල්ෂිප්‍ පොටෙම්කින්’ ලෝක සිනමාවේ ‘සකස්කඩ’ යැයි කීවේ සිංහල සිනමාවේ බලකණුවක් වන තිස්ස අබේසේකර ය. එවන් සිනමාපටයක දැවැන්ත පෝස්ටරුවක් දිවුලා, ලොකු උන්නැහේගේ පුස්තකාල ගුබ්බෑයමේ අලවා තිබෙන්නේ ඇයි? එය කලා අධ්‍යක්ෂකවරයා විසින් සැරසිලිගැන්වුණු අහම්බයක් ද? සිනමාකරුවාගේ අතිශය සවිඥානික එළඹුමක් ද? මෙවන් අතිශය බැරෑරුම් සංකේත ‘මයි රෙඩ් කොම්රේඩ්’ අරභයා, සිනමා-සංස්කෘතික සමාජය හෝ දේශපාලන සමාජය කියවාගත්තා දැයි සැක සහිත ය.

සිනමා කෘතියක් තුළ සංකේත භාවිතය අල්ලා ගන්නට නම්,  කෘතිය තුළ එන සියලු ම වස්තූන්, චරිත, වර්ණ ,ශබ්ද මෙන්ම සංවාද ආදී සියල්ල ම කියවාගත යුතු ය. මේකී සංකේත සැබැවින් ම, සිනමා ආඛ්‍යානය ලේයරීයව පවතින්නට ඉඩ හසර තබයි.

 

WhatsApp Image 2024 04 20 at 5.08.00 PM 1
මෙම ලේයර ලිහා පහදා ගත යුතු වන්නේ සංකේත කියවීම පිණිස පුරුදු පුහුණ කර ගත් හද මනසකින් මිස දෘෂ්ටිවාදී විචාර අසිපත් ලෙලවීමෙන් ම නොවේ.  

47 121 2Battleship Potemkin (1925)
අයිසන්ස්ටයින් සිනමාකරුවා සංකේත භාවිතයෙහි පෙළහරපෑවෙකි. ‘අරගලයේ වෙඩිමුරය’ ද එවැන්නකි. එය ‘රතු’ ලේයරයේ එක තලයකි. තවත් තලයක් දිගහැර බැලුවහොත්, බැට්ල්ෂිප් පොටෙම්කින් පිළිබඳ හිට්ලරුවන් වෙනුවෙන් ප්‍රොපර්ගැන්ඩා යාන්ත්‍රණය මෙහය වූ ගොබෙල්ස් කීවේ කුමක් දැයි සලකා බැලිය හැකි ය. ඔහු කීවේ මේ වනාහී විශ්මිත සිනමාපටයක් බව යි. බරපතළ දේශපාලන සවිඥානයකින් තොර සරලමතික මිනිසකු වුව මෙම සිනමාපටය නැරඹීමෙන් බොල්ෂෙවික්වාදියකු වනු ඇතැයි ගොබෙල්ස් කීවේ ය. මෙම ගොබෙල්සියානු අර්ථය පවා මෙකී සංකේතහරණය තුළ මතු කරගන්නට බැරි නැත.

bathing of the red horse

එමෙන් ම, පෝස්ටරයට මෑතින් බිත්තියේ එල්ලෙමින් තිබෙන පේත්‍රෝ වොඩ්කින්ගේ ‘බේදිං ඔෆ් ද රෙඩ් හෝස්’ සිත්තම වූ කලි ‘එළැඹෙන සමාජ පරිවර්තනයක්’ පිළිබඳ බරපතළ සංකේත පද්ධතියක් උසුලා ගත් දීර්ඝව කතා කළ යුතු සිත්තමකි. ‘මයි රෙඩ් කොම්රේඩ්’ කියවා ගන්නට නම් යෝජිත සංකේතීය මඟ ඔස්සේ යා යුතු යැයි ‘දිවුලා’ අපට යෝජනා කළ ද එය සිනමා සමාජය භාර ගත්ත බවක් පෙ‌නෙන්නට තිබු‍ණේ නැත. ‘ලොකු උන්නැහේ’ සහ ‘පොඩි නෝනා’ අතර වන සෑම සංසිද්ධියකම පසුබිමේ ‘අරගලයේ වෙඩිමුරය’ සහ ‘රතු අසු ස්නානය’ සංකේතයන්ව පවතී.‍

ඒවා සංකේතවාදී සිනමාවේ ‘වස්තු’ ලිහා බැලීමට අදාළ වන අතර ම,  ‘සංවාද’ සංකේතයන්ව නැඟී සිටීම පිළිබඳ නිදසුනකට ‘වර්ෂාව’ පිළිබඳ සංවාදය  ගත්ත හැකි ය. මෙලෙසිනි.

dfs5sdf
පොඩි නෝනෙ - "මට ඇහෙනවා වතුරට වතුර වැටෙනවා"

ලොකු උන්නැහේ  - "මට ඇහෙනවා ළමයෙක් අඬනවා වගේ"

පො.නෝ. - "මට ඇහෙනවා ගෙම්බෝ කෑගහනවා"

ලො.උ.- "මට ඇහෙනවා අම්මා කෙනෙක් දරුවෙක් නලවනවා. අම්මා කෙනෙක් දරු නැළවිල්ලක් කියනවා."

‌පො.නෝ.-  "මට ඇහෙනවා රැහැයියෝ කෑගහනවා"

පො.උ.- "මට ඇහෙනවා රණ්ඩුවක්.  ගෑනියි මිනිහයි."

පො.නෝ.- "මට ඇහෙනවා හුළඟට ගස් ඇඹරෙනවා"

ලො.උ.- "මට ඇහෙනවා ටකරන් වහලට වතුර වැටෙනවා"

පො.නෝ.- "මට ඇහෙනවා ඉස්සරහ ඇඳ සිංදු කියනවා"

ලො.උ.- "මට ඇහෙනවා වැස්ස වැඩි වෙනවා"

පො.නෝ.- "අපි දෙන්නගේ ඔලුවට වැටෙන එකම වැස්ස  කොහොමද මගේ රෙඩ් කොමරේඩ්ට් මගහැරුණේ ?"

(මෙන්න මේ වැකියෙ අන්තිම කොටස කියද්දී පොඩි නෝනෙ කෙලින්ම අප  දෙස බලයි. )

ලො.උ. - ම වැස්ස දැකලා තිබ්බට වැස්ස අහලා තිබ්බේ නෑ.

පො.නෝ.-  ඒක තමයි ලංකාවේ විප්ලවය වුණේ නැත්තේ.

ලො.උ.- විප්ලවයයි වැස්සයි අතරෙ තියෙන සම්බන්ධය මොකද්ද ?

පො.නෝ.-  විප්ලවය වෙන්න ඕනේ මහ පොළව උඩ නෙවෙයි

 ලො.උ.-   එහෙනම් කොහෙද ?

පො.නෝ- විප්ලවය වෙන්න ඕනි මහපොළොව උඩ නෙවෙයි (ඊට පස්සේ යලි ඇය කැමරාව දෙස  බලයි. ඒ කියන්නේ අප දෙස බලයි.) මිනිසුන්ගේ පපුව ඇතුළේ...

rc 4
ඉක්බිතිව, පොඩි නෝනේ කලින් ගලවන්න උත්සහා කළ පෝස්ටරුව අලවයි. ඒ ඇයි? මේවා කියවා ගන්නට ඕනෑ කෙසේද?

සිනමාකරුවා තමන්ගේ ආත්මීයත්වය සහ වාස්තවිකත්වය අතර පවතින අතිශය අඛණ්ඩ අන්තර්භාෂණය, අතිපිහිතවන සේ චරිතද්වය අතර එකෙල මෙකෙල වෙයි.


දැන් මා මේ සංකේතමය ලියවිල්ලේ අවසානය වෙත එළඹෙන්නම්!
 
වාස්තවික යාථාර්ථය තුළ, පොඩි නෝනේ හෙවත් තරින්දි ප්‍රනාන්දුට වඩා භෞතිකව ම ‘ලොකු උන්නැහේ’ හෙවත් ආසිරි ඇල්ලගේ දසවසකට වඩා වැඩිමහලු නොවන්නේ ය. ඉටි පහන් එළිය සේ පෙන්වන ආලෝකකරණ ගැඹුර තුළ දෙදෙනා සමීප රූපයට ගෙනෙන විට ස්ථිර වශයෙන් ම ඔවුන් දෙදෙනාගේ භෞතික ජීවිතය තුළ ඇති සැබෑ වයස් සීමාවන් නිරාවරණය කෙරේ. ලොකු උන්නැහේගේ ළපටි මුහුණ ඉටිපහන් එළියේ බැබැළේ. මෙය කවර සංකේතයක් දැයි ‘මයි රේඩ් කොම්රේඩ්’ චිත්‍රපටයෙන් පසු සිදු වූ සමාජ පරිවර්තනයේ සමකාලීන මොහොත මත තබා කියවා ගත නොහැකි ද?
497447628 1452178979513380 5609339388167262762 nඡායා : Shehan Gunasekara
 
එතරම් නොමේරූ ‘ස්ටෑන්ඩ් අප්’ කොමේඩියන්වරයා පෙන්වා ඔහු පරිනත විප්ලවවාදියකු නොහොත් ලොකු උන්නැහේවරයකු බව දිවුලා යෝජනා කරන විට එය අප භාර ගත යුත්තේ මෙම සංඛේතවාදයට පිටින් ද? නැත. එය පවා සංකේතවාදය තුළ සංයුක්ත ය.
 
මගේ පුද්ගලික අනුමානය මෙය යි. වත්මන් ආණ්ඩුවේ අභ්‍යන්තර බලය දරන ‘බොල්ෂෙවිකය’ දිවුලා ‘රතු අතු අග’ දරා සිටින සංකේත පද්ධතිය වරදවා ද, නොවරදවා ද කියවාගත් බවයි. දිවුලා කොතෙක් දඟ දැම්ම ද, සිනමාපටය ‘රන්’ නොවුණේ එබැවිනි. ඊට රතු දේශපාලනයේ තල්ලුව ලැබුණේ නැත. එය බොල්ෂෙවිකයේ දැනුවත් එළඹුමකි. එහෙව් දැනුවත් දඬුවමට පාත්‍ර දිවුලාට ‘චිත්‍රපට සංස්ථාව’ භාර දීම අහම්බයක් ද? මෙම දේශපාලන පත්වීම, සිනමා විෂයෙහි ‘පූර්ණ ප්‍රවීණත්වයට’ පත් දිවුලාගෙන් වැඩ ගැනීමක් ද? නැතහොත්, 18 වසරක සිනමා නිර්මාණ නිහැඬියාව බිඳ දිවුලා ලෙලවා පෙන්වූ සංකේතීය ගැඹුර වැඩිදුර යා නොදී දිවුලාගේ නිර්මාණාත්මක දෑත් බැඳ ඔහු පසෙකට කර තැබීමක් ද?
485149496 659402009785891 5619547266766434869 n
 
මචඟ දිවුල! අර පොඩි නෝනෙට ගැඹුර දෙනු පිණිස, සියතින් ලියා දුන්නු වචන සෙට්ටෙක මතක ද?

‘’සංස්කෘතික මිනිසෙකුට විතරයි පුළුවන් අලුත් හීන හදන්න, අලුත් හීන හොයන්න, අලුත් හීන දකින්න.’’

ඔව්! ඒක ඇත්ත. හැබැයි ඒ සංස්කෘතික මිනිසකුට මිසක් සංස්කෘතික නිලධාරියකුට නෙමෙයි.

Manjula wediwardhana(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
mwediwardena@gmail.com
http://www.jdslanka.org/

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...