BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඊස්ට්‍රජන් : සාහිත්‍යමය හෝමෝනයක ලෙස | ආචාර්ය උදන් ප්‍රනාන්දු

T

The Leader

October 3, 2025 • 5:04 AM

ඊස්ට්‍රජන් : සාහිත්‍යමය හෝමෝනයක ලෙස | ආචාර්ය උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට මසකට පමණ පෙර විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රශස්ත ම කෙටිකතා එකතු අත්පිටපත ලෙස නම් කරන ලද්දේ සුරේඛා සමරසේන විසින් රචිත 'ඊස්ට්‍රජන් කෙටිකතා ශ්‍රාවය' ය.
  • මගේ තක්සේරුව වැරදි එකක බව මුල් කෙටි කතාව කියවන විට ම මට පසක් විය.
  • කෙටි ම කෙටි, කෙටි කතාවක වුව ද එහි සඟවා ඇත්තේ, දිග ම දිග සුසුමක් හා කල්පනාවක ජනිත කරවන සාහිත්‍යය අනුභූතියකි.
  • පඨිතය ලියන්නිය විසින් එය ලියා ඇත්තේ ආයාසයකින් තොර සරල ආකාරයකට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසු ගිය සති අන්තයේ එය විදර්ශන ප්‍රකාශනයක් ලෙස මුද්‍රණ ද්වාරයෙන් පිට වූ අතර, එහි පිටපතක් මා'තට පත් වූයේ සඳු දින ය.

surekha78t
කෙටි කතා හයක්, පිටු හැට හතරක ලියැවුණු මේ හුරුබුහුටි සිහින් පොත, එක හුස්මට කියවා අවසන් කළ හැකි යැයි මම මුලින් සිතුවෙමි. මගේ තක්සේරුව වැරදි එකක බව මුල් කෙටි කතාව කියවන විට ම මට පසක් විය. කෙටි ම කෙටි, කෙටි කතාවක වුව ද එහි සඟවා ඇත්තේ, දිග ම දිග සුසුමක් හා කල්පනාවක ජනිත කරවන සාහිත්‍යය අනුභූතියකි. මේ නිසා කතාවක් කියැ වූ පසු වරුවක් පමණ එය ජීරණය වීමට ඉඩ දිය යුතු වේ.

ඒ එසේ වන්නේ, පඨිතය කියැවීමට අසීරු සංකීර්ණ එකක වීම නිසා නොවේ. පඨිතය ලියන්නිය විසින් එය ලියා ඇත්තේ ආයාසයකින් තොර සරල ආකාරයකට ය. 'ලීවාට වඩා ලියැවුණු' එකක ලෙස ලියන්නිය තම පෙරවදනේ ලියා තිබුණේ මේ නිසා විය හැක. එහෙත් ඒ සරල මතු පිට යට ගොඩ ගැසී ඇත්තේ සංකීර්ණ හා ගැඹුරු සන්දර්භයක ස්ථාන ගතවන  සංවේදනාත්මක පුද්ගල අනුභූතීන් කිහිපයක් ය.

කෙටිකතා හයේ සන්දර්භය අඩු වැඩි වශයෙන් ලාංකීය සමකාලීනත්වය නියෝජනය කරයි. නමින් ම ඉඟි කරන පරිදි, කෙටිකතා එකතුවේ නොමුහුන් අවධානය ස්ත්‍රීත්වය ය.  ප්‍රත්‍යාවලෝකය ස්ත්‍රියගේ ය. නාගරික, අර්ධ නාගරික හා ග්‍රාමීය යථාර්ථය පමණක් නොව ජන වාර්ගික හා වයස් භේදයන් ද මේ සීමිත කතා හය තුළ අඩු වැඩි වශයෙන් නියෝජනය වීම පාඨකයාගේ කියැවීම විවිධත්වයෙන් හෙබි එකක බවට පත් කරයි.

ස්ත්‍රී සිරුර, මනස හා  ලිංගිකත්වය කතා හය පුරා ම දිවෙන වැල් වන අතර ඒවා එකිනෙකට ගැට ගැසෙන්නේ දේශපාලනයෙනි (බලය යන අර්ථයෙන්). එහෙත් මේ සාහිත්‍යය කර්තව්‍ය කෙරෙන්නේ යාන්ත්‍රික ව්‍යුහාත්මක හෝ කඨෝර ප්‍රචාරකවාදී ආකාරයකට නොවේ. පුරුෂාධිපත්‍ය හමුවේ ස්ත්‍රිය හුදු වින්දිතයකු බවට පත්වීමේ සරලමතික හා රේඛීය විග්‍රහය මත පිහිටුවා, ඇය කෙරෙහි අනුකම්පාව හෝ ඇයට ඒ තත්ත්වය උදාකරන්නා හෝ ක්‍රමය කෙරෙහි වෛරය ජනනය කිරීම මේ කතා අතර දක්නට නොමැත. එමෙන් ම, ඈ සුපර් හීරෝවරියක ලෙස උත්කර්ෂයට නංවාලීමක් ද සිදු නොකෙරේ. ඊස්ට්‍රජන් කතා හයේ ස්ත්‍රී චරිත දෝලනය වන්නේ මේ කොන් දෙක අතර පිහිටි සියුම් කලාප තුල ය. 'අතීරණය' ලෙස එක් කතාවක නම් කෙරෙන මේ තත්ත්වය මැනැවින් ඉස්මතු කරයි.

ලිංගිකත්වය ස්ත්‍රී අනුභූතියකින් හා පර්‍යාලෝකයකින් ඉදිරිපත් වීම කතා හයෙන් ම  නො අඩුව සිදුවේ. මේ අරභයා ලේඛිකාව භාවිතා කර ඇති ප්‍රවේශය ඒකාකාරී හා ඒකාකෘතික එකක නොවේ.

WhatsApp Image 2025 10 03 at 3.17.04 PM 1
වරෙක මේ ප්‍රවේශය 'අමු' ස්වරූපයක් ගන්නා අතර, තවත් අවස්ථාවක සියුම් (subtle) ස්වරූපයකින් ඉදිරිපත් කෙරෙයි.

ලිංගිකත්වය, විශේෂයෙන් එය ස්ත්‍රියකට අදාළ වන විට, සමාජය විසින් ද තමන් (ලේඛකයා) විසින් ද පනවන ලද ටැබූ හෙවත් තහංචි බහුල ය. ලේඛිකාව මේ තහංචි මායිම් නොකරන බව පැහැදිලි වුව ද, ඈ තම සාහිත්‍ය ප්‍රබන්ධය තුල, පාලු ගෙයි වලං බිඳීමක් නොකරන්නට වග බලා ගන්නී ය. මේ ප්‍රවේශය ලේඛිකාවගේ ස්ත්‍රීවාදී ආස්ථානය තනුක කිරීමක් නොකෙරෙන අතර, මේ අවස්ථාවේ තමන්ගේ මාධ්‍යය වන සාහිත්‍යයට අවශ්‍ය ශික්ෂණ ගුණය මනා ලෙස සපයයි.

කතා හය ලාංකීය සමකාලීනත්වය ස්පර්ශ කරන නිසා, ඒ කාල වකවානුව තුළ මතු වූ නව වහර (slang), යෙදුම් හා ඒ ඇසුරින් ලේඛිකාව විසින් ම තනාගත් අපූරු උපමා උපමේය කෙටි කතා පඨිතයේ සාහිත්‍යමය රසය තීව්‍ර කරයි. මේ අරභයා මා උදාහරණ මෙහි සපයන්නේ නැත්තේ සිතා මතා ය. මා එලෙස කළහොත්, පොත  මුල් වර කියවන විට පාඨකයාගේ අත්දැකීම හා රසවිඳීම තරමක් මොට වීමට ඉඩ ඇති බැවිනි. තේමාත්මක ලෙස ගත් කල, මේ කතා හය එකිනෙකට වෙනස් ඉසව් කිහිපයක පිහිටා ඇති අතර ඒ මත ගොඩනැගෙන චරිත ද ඒ අයුරින් ම විවිධ ය. නැවත වරක්, මා මේ ගැන ඉඟි සැපයීමෙන් වළකින්නේ ඉහත හේතුව නිසා ය.

සුරේඛා සමරසේන ආධුනික ලේඛිකාවක නොවේ. ඈ කලක සිට විවිධ මාධ්‍ය හා සාහිත්‍ය වේදිකා මත ඇයගේ ලියවිලි පළ කළා පමණක් නොව හැලහැප්පිලි ද කළ බව මතක ය. තරමක කලක් ලේඛනත්වයේ නිරත වන බොහෝ අය වැටෙන වල වන්නේ, තමන්ගේ මුල් කාලීන නැවුම් බව හා අව්‍යාජ බව  නිර්මාණයෙන් ක්ෂය වී, පරණ ඒවා ම විවිධාකාරයෙන් ප්‍රතිචක්‍රීකරණය (recycle) කිරීම යි. ඒ අයුරින් බලන කල, සුරේඛා එම වලේ නොවැටී ඇති බවට මේ කෙටිකතා පොත සාක්ෂි සපයයි.

 

c64u5kun
අත්පිටපත් පදනම මත විදර්ශන සාහිත්‍යය ත්‍යාගය කටයුතු කිරීම සාධනීය දෙයක් ලෙස මට සිතේ. එවැනි සංවිධිත ක්‍රියාදාමයකින් අනතුරු ව පළ වෙන්නේ, විනිශ්චයකින් තෝරාගත් කෘතියක් ය. මෙහි වාසිය අත් වන්නේ පාඨකයාට ය. ඊට හේතුව ඔවුනට ලැබෙන්නේ ප්‍රමිතියකට යටත් වූ කෘතියක් ය. බොහෝ ප්‍රකාශන ආයතන අවම ප්‍රමිතියක් හෝ නඩත්තු නොකරන බව පෙනේ. බොහෝ කතෘ ප්‍රකාශන ඊටත් වඩා අන්ත ය.

කුමන හෝ හේතුවකට වර්තමාන ප්‍රවණතාවය වී ඇත්තේ ජයට දොරට වැඩුමක් නටා පොත ප්‍රවර්ධනය කිරීම ය. බොහෝ විට, ඊට සමගාමී ව, ලේඛක ලේඛිකාවන් විසින් සමාජ මාධ්‍ය තුළ දැඩි වෙහෙසක් දරමින් දායක සභා නඩත්තු කරමින්, එය ආයෝජනයක් ලෙස භාවිතා කර, පොත ඔවුන් අතර මුදා හැරේ. මෙහිදී ලේඛකයා හෝ ලේඛිකාව තම දායක සභා සාමාජික සාමාජිකයන් සමග කෙරෙන නිරන්තර ඊගෝ සම්භාහන තෙරපි මාලාවේ 'හැපී එන්ඩය' වන්නේ  පොතේ දොරට වැඩුමේ අලෙවිය හෝ ඔන්ලයින් පර්චසය ය.

මේ විශේෂ ප්‍රාගූණ්‍යය හැම ලේඛකයාට ම පිහිටා නැත. එසේ කරන්නට බැරි හෝ ඊට අකැමැති ලේඛකයෝ ද සිටිත්. මේ ලේඛක ලේඛිකාවන්ට තම නිර්මාණයේ අගය හා වටිනාකම පාඨකයාට සන්නිවේදනය කෙරෙන්නේ සාහිත්‍යය තරඟයක, උළෙලක හෝ ත්‍යාගයක වෙනුවෙන් කෙරෙන තෝරා ගැනීමේ ක්‍රියාවලිය හා විනිශ්චයේ  තීරණය ය. සුරේඛාගේ මේ කෙටිකතා එකතුව පාඨක අපට ලැබෙන්නේ එවැනි මගකින් ය. ඒ මග එළිපෙහෙලි කළ විදර්ශන ප්‍රකාශකයන්ට අපගේ ගෞරවය හා ස්තුතිය පිදිය යුතු ය.

Udan(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...