BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ආයු එක්ක ඔරු පදින්න එන්න....

T

The Leader

October 19, 2025 • 4:32 AM

ආයු එක්ක ඔරු පදින්න එන්න....

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවෙනි පාරටත් ආයු බලන්න ගියා. ඒ පළවෙනි පාර බැලුවම දෙපාරක් බලන්නෙ නැතුව ලියන්න බෑ කියල හිතුන හින්ද. හැබැයි ගොඩක් වෙලාවට දෙවෙනි වතාවෙදි චිත්‍රපටයක දුර්වලතා පේන්න ගන්නවා. සමහර වෙලාවට එලියට එද්දි ලියන්න දෙයක් නැතුව හිස් වෙනවා.
  • ඒ පාවෙනසුලු හැගීම, කාව්‍යාත්මක බව, පැවැත්ම ස්පර්ශ කරන ගුණය මේ දේවල් චත්‍රගෙ සිනමාවෙත් මට දැනුනා.
  • මරණය පැත්තෙන් ඇතුල්වෙලා ජීවිතය දිහා බලද්දි පේන දේවල්, තේරුම් ගන්න දේවල් වෙනස්.
  • ඒ ආදර කතාව ඇතුලෙ රමණය තියෙන්නම ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

56u56b

ඒත් ආයු දෙවෙනි වතාවෙදිත් පළවෙනි වතාවෙදි වගේම නහර කිතිකවාගෙන සියුම්ව කිඳාබහින වේදනාත්මක ආදරයෙන් මාව මුසපත් කළා. පළවෙනි වතාවෙ නොදැකපු සමහර තැන්වල හිත නතර වුනා.

උඹ ආයු බැලුවද? මගෙන් බූඩි දවසක් ඇහුවා.

ඔව්.

මොකද හිතන්නෙ? මං තාම බැලුවෙ නෑ.


බූඩි මාව අමාරුවෙ දැම්මා. නොබලපු කෙනෙකුට චිත්‍රපටියක් ගැන සංක්ෂිප්ත අදහසක් දෙන එක ලොකු අවදානමක්. විශේෂයෙන් බූඩි එක්ක නං ඒක බෙල්ල ගහලා යන වැඩක්.

මං මාර කැමතියි. මං කෙටියෙන් කිව්වා.

කවුරු වගේද? මොන වගේ සිනමාවක්ද? පොඩි එක්සාම්පල් එකක් දීපං. බූඩි බේරෙන්න දුන්නෙම නෑ.

අර අර අර.. සිරා ෆිල්ම් කරන එකෙක් ඉන්නෙ.. මාස්ටර් කෙනෙක්…මොකෙකුගෙවත් නමක් ගමක් මතක නැති මං නමක් මතක් කරන්න ගත්තා.
තර්කොව්ස්කි?

නෑ නෑ ඒ විමුක්තිනෙ. මේක…. ටෙ.. ටෙ.. ටෙරන්ස් මලික් වගේ..

අප්පට හුඩු.. උඹ මාව උඩ විසිවෙන කතාවක්නෙ කියන්නෙ. ‍යකෝ.. ටෙරන්ස් මලික්..

chathraචත්‍ර වීරමන්
ඔව් ටෙරන්ස් මලික් කියන්නෙ අධිතක්‍සේරුමය උදාහරණයක් තමයි. ඒත් මට ආයු බලද්දි මතක් වුනේ ඒ සිනමාව. ඒ හැඩයෙ මෙහෙ වැඩක්. ඒ පාවෙනසුලු හැගීම, කාව්‍යාත්මක බව, පැවැත්ම ස්පර්ශ කරන ගුණය මේ දේවල් චත්‍රගෙ සිනමාවෙත් මට දැනුනා.

ආයු කියන්නෙ බොහෝ කාලෙකට පස්සෙ ලංකාවෙ නිර්මාණය වුනු සෞන්දර්යාත්මක සිනමාවක්. අපි එන්න එන්නම කොමඩි සහ බයිස්කෝප් කලාව දක්වා පසුබසිමින් ඉන්නවා. කොමඩි බයිස්කෝල්වලට හොඳටම කැමති මං ඒක නරක දෙයක් විදිහට දකින්නෙ නෑ. කොලිටියක් තියෙන කොමඩි බයිස්කෝප් කියන්නෙ ප්‍රධාන ධාරාවෙ සිනමාව පවත්වාගෙන යන්න හොඳ විදිහක්. මේ වෙද්දි කොළඹ සිනමා ශාලා ඔක්කොම සිංහල චිත්‍රපටිවලින් හවුස්ෆුල් කරන්න පුළුවන් වුනේ මේ රැල්ල හින්ද.

ayu

 

ඒත් සිනමාව කලාවක් වශයෙන් අත්පත් කරගෙන තියෙන සෞන්දර්යාත්මක සහ දාර්ශනික ගැඹුර එන්න එන්නම අපෙන් දුරස් වෙනවා. ආයු කියන්නෙ සිනමාවෙ ඒ නිරන්තරයෙන් මගහැරෙන මානය ගැන සිහිපත් කිරීමක් කියල මම හිතනවා. කතාවෙන් ඔබ්බට දැනෙන සිනමාව, ලොකු වචනෙකින් කියනවා නම් ට්‍රාන්සෙන්ඩන්ටල් සිනමාවක් චත්‍ර වීරමන් ආපහු තිරය උඩට අරගෙන එනවා. තිරය මත අපි දකින දේට වඩා මනසෙන් යමක් හදන සිනමාව.

ආයු කියන්නෙ කාල රා‍මු එකිනෙක මත, කාල රේඛාව අසම්බන්ධ කරමින් ගොඩ නගන සම්බන්ධතාවක්. මේ හින්දම ආයු කියන්නෙ විශිෂ්ට සංස්කරණයක්. එක විදිහකට මූඩ් එකටත්, තව විදිහකට කතාව නොසිතූ විදිහට දිගහරින්නත් සංස්කරණයෙන් කරන මැජික් එක ආයුවල ලොකු කොටසක්.

ආයු කියන්නෙ අපි දකින හැම රූපරාමුවකම දකින දේට වඩා දෙයක් සටහන් කරන රූප මානයක්. ඒ රූපවල විස්තර මතින් අපි කතාවට අදාල නැති වෙන වෙන පුංචි පුංචි හැගීම්වල පැටලෙනවා. ආයු සිනමාවෙන් ලියන කවියක් වෙන්නෙ මේ හින්ද. ඒ රූප කියන්නෙ සිදුවීම් නෙමෙයි. සිදුවීමට පිටතින් පවතින යමක්. හරිම සෞන්දර්යාත්මක රූප වියමනක්. සිනමාව යනු රූපයයි. දකින රූපය නොව දැනෙන රූපයයි කියල ආයු කැමරාව අපිට කතා කරනවා.

ayu0fy80944985

ආයු කියන්නෙ සා‍ංදෘෂ්ඨික කතාවක්. අපේ පැවැත්ම ගැන කතාවක්. හරිම සොදුරු විදිහට ආදරයත් ශුන්‍යතාවයත් මුහුවෙන කතාවක්.

අපි බොහෝ විට චිත්‍රපටයකට එළඹෙන්නෙ ජීවිතය පැත්තෙන්. ඒත් ආයු කතාවට ප්‍රවේශය ගන්නෙ මරණය පැත්තෙන්. මරණය පැත්තෙන් ඇතුල්වෙලා ජීවිතය දිහා බලද්දි පේන දේවල්, තේරුම් ගන්න දේවල් වෙනස්. අපි ජීවිතය පැත්තෙන් දකින හොඳ නරක බෙදීම වෙනුවට මරණය පැත්තෙන් බලද්දි පැවැත්මෙහි ඉනසන්ස් එක දකින්න පුළුවන්.

ආයු චිත්‍රපටියෙ නිෂු සහ සචියා සෙක්ස් කළාද?

ayucnqty893y

මාත් එක්ක ෆිල්ම් එක බලපු කීපදෙනෙක් ඇහුවා. ඒ ආදර කතාව ඇතුලෙ රමණය තියෙන්නම ඕනි. ඒත් එහෙම එකක් අපි දකින්නෙ නෑ. ඒකට හේතුව චිත්‍රපටිය කියවෙන්නෙ මරණයේ දිශාවෙන් වීමයි. මරණානුස්සතියක් විදිහට ආදරයකට එළඹුනාම ඒක පවතින්නෙම සෙක්ස් කියන කලාපයට ඔබ්බෙන්. සෙක්ස් වැදගත් වෙන්නෙ ජීවිතය පැත්තෙන් බලද්දියි. මරණය පැත්තෙන් බලද්දි සෙක්ස්වලට ඔබ්බෙන් වූ ආදරයක් දකින්න පුළුවන්. ඒක බැඳීම වෙනුවට අත්හැරීම අභ්‍යාස කරන ආදරයක්. ආයු කියන්නෙ එහෙම මුනිවර ආදර  කතාවක්.

ආයු ඇතුලෙ හරිම ලස්සන රූපකයක් පාවිච්චි වෙනවා. ඒ තමයි ආයු. ආයු කියන්නෙ නොපවතින දෙයක්. අත්හැරුණු ජීවිතය. නොලැබුනු, නූපන් ජීවිතය. ඒක මායාවක්. ඒත් ඒ මායාව අපිව ජීවත් කරනවා.

සචියාගෙ චරිතය ජගාගේ මං දැකපු හොඳම රංගනයක් කියන්න පුළුවන්. අලුත්ම නිළියක් වුනත් සැන්ඩ්‍රා නිෂූගෙ චරිතය දැනෙන්න කරනවා. ඒ අත්හැර දැමූ ජීවිතයක කතාවට සැන්ඩ්‍රාගෙ ආධුනිකබව පිටිවහලක් වෙලා තියෙනවා. සමහර චරිතවලට රඟපානවට වඩා රඟ නොපෑමයි වැදගත් වෙන්නෙ. මේක එහෙම එකක්.

ayun89347y34
චිත්‍රපටියෙ හඩ භාවිතය ගැනත් ගොඩක් හිතලා තිබුන. සමහර දේවල් අපි දකින්නෙම නෑ. ඇහෙනවා විතරයි. ගොඩක් වෙලාවට දුරකතන ඇමතුම් ලියවිලා තිබුනු හැටියෙන් අපිට රූප මවලා දෙනවා. හැම සිදුවීමක්ම සැබෑ ජීවිතයේ වගේම සංකීර්ණයි. චිත්‍රපටිවල වගේ කතාවෙ සිදුවීමට ඍජුවම ගැටගැහෙන්නෙ නෑ. තව දේවල් සිද්ද වෙනවා. ඒ අතර මේ දේත් වෙනවා. ජීවිතය කියන්නෙම එකවර සිදුවෙන සිදුවීම් ගොඩක්. ඒ අතර අපි තෝරාගන්නා සිදුවීම් පෙලකින් අපි කතාවක් කියනවා.

මේ සංකීර්ණ බව ඔලුව කැරකෙන ප්‍රබුද්ධ සිනමාවකින් කියන්න යනවට වඩා ආයු ඇතුලෙ තියෙන අරුමය ඒ කියන සරලකමයි. ඒක හරිම සැහැල්ලු ට්‍රිප් එකක්. කතාව දිගේ අපි අනායාසයෙන් පාවෙලා පාවෙලා යනවා. ඒ දියවැල් අපිට දැනෙනවා.

මේ වගේ ට්‍රාන්සෙන්ඩන්ටල් සිනමාවක සංගීතය කියන්නෙ තීරණාත්මක සාධකයක්. ආයුවල සංගීතය කියන්නෙ ආදරය. ඒ සංගීතයෙන් තමයි අපිව රූප වියමන ඇතුලෙ හැගීම්වලින් ඇවිද්දන්නෙ. චිත්‍රපටය ඇස්වල කොන් තෙමන සංවේදනයක් කරන්නෙ. ආයු ඇතුලෙ සංගීත වියමන හුස්ම ගන්න එකක්. ඒක ෆිලර් එකක් නෙමෙයි ඒ සිනමා සෞන්දර්යයෙම කොටසක්.

මේ චිත්‍රපටය බලලා එද්දි මට කල්පනා වුනා සිනමා පුනරුදයෙ ඇතුලෙ නිර්ම‍ාණය වෙන චිත්‍රපට සියල්ලෙම වගේ මරණය ප්‍රධාන තේමාවක් නේද කියල. රාණි, නෙළුම්කුළුණ. මෝඩ තරිදු, ආයු මේ චිත්‍රපට හැම එකක්ම ඇතුලෙ අපිට විවිධ ස්වරූපවලින් මරණය මුනගැහෙනවා. යුංගියානු කියවීමක හැටියෙන් ගත්තොත් රටේ විශාලතම කලා මාධ්‍යය ඇතුලෙ නිර්මාණකරුවන් විසින් දිගින් දිගටම මරණය පරිකල්පනය කරන්නේ ඇයි කියල හිතුවොත් ඒක අනාගතය ගැන අනාවැකියක් වෙන්න පුළුවන්.


ඒ කොහොම වුනත් ආයු කියන්නෙ අපේ සිනමාව ඇතුලෙ සුවිශේෂ සටහනක්. ඒක අපිට කතා කරන්‍න වෙන්නෙම ආධ්‍යාත්මික සිනමා අත්දැකීමක් හැටියට. අපි යන්නෙ අපේම පැවැත්ම ඇතුලට වන්දනාවක්. අපිට හොඳ සහ නරක කළ සියල්ලන්ම ආදරයෙන් වැළඳගන්නා භාවනාවක්. චිත්‍රපටය බලලා එද්දි අපිට එලියෙ ලෝකය මතවාදිමය අරගලකාරී බෙදුනු ලෝකයක් නෙමෙයි.

හැමෝම එකම මුහුදක තමන්ගේ කඩදාසි බෝට්ටු පැදගෙන යනවා දියඹට.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
vyadhadeva@gmail.com

දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

සබැඳි ලිපියක් :
ඔක්තෝබරයේ ඔබට නැරඹිය හැකි ශ්‍රී ලාංකේය චිත්‍රපට 3ක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...