BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව | තිලක් සේනාසිංහ

T

The Leader

October 27, 2025 • 1:52 AM

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ.
  • නමුත් ඉහත සඳහන් අභිචාර විධි ඇතුළු ජන සංස්කෘතිකාංග ප්‍රජා, පවුල් හෝ පුද්ගල කායික මානසික යහපැවැත්ම උදෙසා සිදු කෙරෙන සම්ප්‍රදායික චාරිත්‍ර මාලාවන් බව සමාජ විද්‍යාත්මකව හඳුනා ගත හැක.
  • එනිසා මේවා ඍජුව නිෂේධනය නොකළ යුතු බව අපගේ වැටහීම යි.
  • මෙය හුදෙක් අසභ්‍ය බවක් නොව, ගැමි සමාජයේ උපහාසය සහ මූලික මිනිස් චෛතසිකයන් නිරූපණය කිරීම, චිත්තවේගයන් මුදා හැරීම (භාව විරේචනය) වැනි බහුවිධ කාර්යයන් සඳහා යොදා ගන්නා ලද්දකි.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් අභිචාර විධි ඇතුළු ජන සංස්කෘතිකාංග ප්‍රජා, පවුල් හෝ පුද්ගල කායික මානසික යහපැවැත්ම උදෙසා සිදු කෙරෙන සම්ප්‍රදායික චාරිත්‍ර මාලාවන් බව සමාජ විද්‍යාත්මකව හඳුනා ගත හැක. එනිසා මේවා ඍජුව නිෂේධනය නොකළ යුතු බව අපගේ වැටහීම යි.

සොකරි, කෝලම් සහ නාඩගම් වැනි සම්ප්‍රදායික සිංහල ජන රංගනයන්හි ලිංගිකත්වය සහ ඊට අදාළ තේමා නිරූපණය කිරීම පැරණි සම්ප්‍රදායක අංගයකි. මෙය හුදෙක් අසභ්‍ය බවක් නොව, ගැමි සමාජයේ උපහාසය සහ මූලික මිනිස් චෛතසිකයන් නිරූපණය කිරීම, චිත්තවේගයන් මුදා හැරීම (භාව විරේචනය) වැනි බහුවිධ කාර්යයන් සඳහා යොදා ගන්නා ලද්දකි.

සොකරි ජන නාටකයේ කථා වස්තුව සහ එහි රංගනය තුළ ලිංගිකත්වය සහ සශ්‍රීකත්වය ප්‍රබල ලෙස සංකේතවත් වේ. ඒ අනුව අප සමාජයේ මුල්ම ජන රංගනය වන එය ලිංගික තේමාවක් පදනම් කොට ගත් එකක් සේ යමකුට පෙනී යා හැක.

sokari guruhami

සොකරි ප්‍රධාන කතා වස්තුව ගොඩනැගෙන්නේ ගුරුහාමි නම් මහලු සහ අවලක්ෂණ මන්ත්‍රකරුවකු වශී ගුරුකම් බලයෙන් සොකරි නම් අතිශය රූමත් තරුණියක් අතර ඇති කර ගන්නා විවාහයක් පදනම් කර ගනිමිනි. නමුත් වියපත් ගුරුහාමිට සොකරිගේ ලිංගික අවශ්‍යතා ඉටු කිරීමට නොහැකි වීම සහ ඔවුන්ට දරුවන් නොලැබීම යන කරුණු නිරූපණය කෙරේ. පසුව සොකරි තම සැමියාට ප්‍රතිකාර කිරීමට ආ වෙදරාළ සමඟ පැන යාම සහ අවසානයේ වෙදරාළට දාව දරුවෙකු ලැබීම මගින් අතෘප්තිකර විවාහ ජීවිතයක් තුළ ඇතිවන අනාචාරය යම් සාධාරණීකරණයකට ලක් කොට ඇති බවක් පෙනේ.

පසුව සොකරි තමන් ලත් ඒ දරුවා කෙරෙහි ඇති සෙනෙහස පදනම්ව නරඹන්නවුන්ට ශාන්තිය ප්‍රාර්ථනා කිරීමත්, එහි දී ඇය සොකරි අම්මා ලෙස යම් ගෞරවනීයත්වයක් ලබා ගැනීමත් නූතනයේ වෙසෙන අප විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු ය. සොකරි නාටකය මූලික වශයෙන් සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් පවත්වන යාතු කර්මයක් ලෙස සැලකේ.

සොකරි දරුවෙකු ලැබීම කෘෂිකාර්මික සමාජයේ සමෘද්ධිය සෞභාග්‍යය සංකේතවත් කෙරෙන අතර, ඇය මෙම නාටකයේ දී උඩරට කුලවමියක සේ ඔසරියකින් සැරසී සිටීම ද විශේෂත්වයකි. ඒ අනුව සොකරි නාටකයට අනුව මෙලෙස අවජාතක දරුවෙක් ලැබීම තුළින් ගෞරවයට පත් වන්නී පහත රට නාගරික නැට්ටුම්කාරියක නොවන බව ද අප සැලකිල්ලට ගත යුතු ය.

 

lenchina 5

කෝලම් නම් ජන රංගන තුළ ද ඇතැම් චරිත තුළින් ලිංගිකත්වය, ප්‍රේමය සහ උපහාසාත්මක සමාජ විවේචන ඇතුළත් විහිළු හා සංවාද නිරූපණය වේ. පහත රට ජන රංගනයක් වන ජස ලෙන්චිනා කෝලමේ එන බටහිර නමකින් යුතු ලෙන්චිනා නම් රජක ස්ත්‍රියගේ පහස ලැබීමට එවක සමාජයේ කුලවතුන් බලවතුන් තුළ තිබූ ආශාවත්, ඒ මතින් තම වියපත් ආබාධිත සැමියා වන ජසයාගෙන් තොරව ඇය තම කායික අවශ්‍යතා සපුරා ගත් අන්දමත් එම කෝලම් නාටකයෙන් මනාව විස්තර වේ. මේ හැරුණු කොට සෑම කෝලම් රංගනයකින්ම අඩු වැඩි වශයෙන් ලිංගිකත්වය උද්දීපනය වන බවක් පෙනෙයි.

සමස්තයක් ලෙස ගත් විට, මෙම ජන නාටක සශ්‍රීකත්වය, හාස්‍යය සහ ගැමි සමාජයේ මානසික පීඩනය මුදා හැරීම (භාව විරේචනය) අරමුණු කර ගනිමින් ලිංගිකත්වය හා සම්බන්ධ තේමා විවෘතව සහ උපහාසාත්මක ලෙස නිරූපණය කිරීමට ඉඩ ලබා දුන් බව පිළිගත හැකි ය. එමෙන්ම, සාම්ප්‍රදායික යාතු කර්මවල දී ලිංගිකත්වය සම්බන්ධ විවිධ අංශ නිරූපනය කෙරෙන අතර, විශේෂයෙන්ම පහතරට නර්තන සම්ප්‍රදායේ ඇතැම් ශාන්තිකර්මවල දී ලිංගිකත්වය හා බැඳුණු අංග සහ සංකේත බහුලව ඉදිරිපත්ව තිබෙනු දක්නට පුළුවන.

විශේෂයෙන්ම ගරා යකුම, දෙවොල් මඩුව වැනි යාතු කර්මවල අඩංගු ඇතැම් රංගනයන් තුළ රෝගියා සහ එම ශාන්තිකර්මය ඉලක්ක කෙරෙන ආතුරයාගේ දෝෂ දුරු කිරීම සඳහා නූතන පිළිගැනීම්වලට අනුව අසභ්‍ය ස්වරූපයක් ගන්නා ලිංගික තේමාවක්, සංකේතාත්මක ආඛ්‍යාන හා ක්‍රියා බහුලව ඇතුළත් වනු දැකිය හැක..

 

gara yaka 5
ගරා යකා සම්බන්ධ පුරාණෝක්තියට අනුව, ගරා යකා මිනිසත් භවයේ දී සහ ඔහුගේම නැගණිය වන ගිරිදේවි අතර ඇති වූ ලිංගික සම්බන්ධය වැනි පුරාවෘත්ත මෙම යාතු කර්ම මඟින් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් සමකාලීනව සමාජමය විරෝධයක් එල්ල වූ බවක් නොපෙනෙයි. එහි දී ගරා යකා විසින් සිදු කොට ඇත්තේ සම්මත සදාචාරයට සේම වර්තමානයේ සාපරාධී වරදක් සේ සැලකෙන ස්ව-ඥාති ව්‍යභිචාරය (Incest) යි. එහෙත්, ගරා යකා අප රටට පැමිණීමෙන් පසුව පත්තිනි දේවිය යටතට පත් වූ බැවින් එබඳු ක්‍රියා අත් හළ මුත් ඔහු තුළ පැවැති ලිංගික ලෝලී බව ඉවත් වී නොමැති බව ගරා යකුම ශාන්තිකර්මයෙන් මැනැවින් පෙනෙයි.

උදාහරණයක් ලෙස, ගරා යකාට පුදන වට්ටියේ ඇති කැවුමක් සහ කෙසෙල් ගෙඩියක් අතට ගෙන ඒවා ස්ත්‍රී පුරුෂ ලිංගේන්ද්‍රියන්ට සමාන කරමින් පවසන කතා නරඹන්නවුන්ගේ යටි සිත තුළ කාමරාගය හෙවත් ලුබ්ධතාව ඉස්මතු කිරීමට සමත් වේ. නමුත් මෙම ශාන්ති කර්ම නැරඹීම පිණිස කාන්තාවන් ද උනන්දු වීම මඟින් එවක සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳව පැවැති ආකල්ප කොතෙක් ලිහිල් ද යන්න සිතා ගත හැක. පැරණි ඇදුරන් විශ්වාස කරන්නේ ‘කිළි කුණු’ වලට අධිපති යකුන් ආතුරයාගේ ඇස්වහ කටවහ වැනි දෝෂ දුරු කිරීමට මෙවැනි ‘අශීලාචාර’ ක්‍රියා කරන බවකි. එමෙන්ම ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කළ ද, රාත්‍රියක් පුරා පැවැත්වෙන කර්මයක දී නරඹන්නන්ගේ අවධානය පවත්වා ගැනීමට, නරඹන්නන් සිනහ ගැන්වීමට සහ ඔවුන්ගේ වෙහෙස නිවාලීමට මෙවන් ඉදිරිපත් කිරීම් උපකාරී වේ.

වැහිගම්පල මුත්තා යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් වියළි කලාපයේ නුවර කලාවියේ හා වන්නි හත්පත්තුවේ ගැමි ජනතාව අතර පවතින වැසි ලබා දෙන බවට විශ්වාස කරන දේව සංකල්පයකි. නූතනයේ ඇතැම් වියතුන් ඔහු ජන සම්මත වැස්ස වලාහක දෙවියන් සේ විස්තර කළ ද, වැහිගම්පල මුත්තා යනු ආකාශචාරී වැස්ස වලාහක දෙවියන්ට පණිවිඩ ගෙන යන ග්‍රාමීය සම්ප්‍රදායේ (Folk Tradition) භූමාටු දෙවියෙකු බව පැරණි ජන විශ්වාසයයි.ඔහු ගේ ග්‍රාම නාමය හා සම්බන්ධ ගම්පල යන නමින්ම වැහි ගම්පල මුත්තා භූමාටු දෙවියකු බව සනාථ වේ.

මෙම වැහිගම්පල මුත්තා සතු ප්‍රධානතම වගකීම වැස්ස වලාහක දෙවියන් ලවා වර්ෂාව ලබා දීම ය. වැහිගම්පල මුත්තා පිළිබඳ විශ්වාසය හා බැඳී ඇති ප්‍රධානතම චාරිත්‍රය වන්නේ දැඩි නියඟයක් පවතින විට ඔහු උදෙසා සකස් කොට තබන ‘වැහි බලිය’ නම් පිදවිල්ල ය. නමුත් එය තැබූ පසු ද වැසි නොලැබෙන තත්වයක් ඇති වුවහොත්, ඉන්පසුව ‘වැහි බලි යාගය’ හෙවත් ‘හෙළුවැලි බලිය’ නම් යාතු කර්මය සිදු කරනු ලැබේ. සෙසු දෙවිවරුන් මෙන් දේවාලවල පුද පූජා නොලබන නමුත්, නිසි කලට වැසි ලබා දීම වැහිගම්පල මුත්තාගේ යුතුකමක් හා වගකීමක් ලෙස ගැමියෝ විශ්වාස කරති.

නමුත් නිසි කලට වැසි නොලැබීම මත, වැහි බලියක් තැබීමෙන් පසු ද වැසි නොලද හොත්, වැහිගම්පල මුත්තා කෝපයට හා ලැජ්ජාවට පත් කර, කෙසේ හෝ වැස්ස ලබා ගැනීම මෙම වැහි බලි යාගය නම් ජන රංගන ස්වරූපයේ යාතු කර්මය සිදු කරනු ලැබේ. එහි දී ගමේ පුරුෂ පක්ෂය පමණක් එක්ව, වැව් පිටියක හෝ ගමේ පොදු ස්ථානයක මැටියෙන් හෝ වෙනත් ද්‍රව්‍යවලින් නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි රූප අඹනු ලැබේ. ඉන් එක් බලියක් වැහිගම්පල මුත්තාගේ වන අතර, සෙසු බලිය ඔහුගේ බිරිඳගේ ය.

bali

මෙම යාගයේදී, වැහිගම්පල මුත්තාගේ පුරුෂ බලිය මත ඔහුගේ බිරිඳගේ ස්ත්‍රී බලිය සංවාස ඉරියව්වක් සංකේතවත් කරමින් සතපවා, එක්තරා රාත්‍රියක ගමේ පුරුෂ පක්ෂය සම්පූර්ණ හෝ අඩ නිරුවතින් වැහිගම්පල මුත්තාට නිග්‍රහ වන ආකාරයේ වදන් කියා කෑගසමින් එම බලි දෙක වැව් ඉහත්තාවකට ගෙන ගොස් එක්වරම මඩ දියෙන් සෝදා හැරීම සිදු කෙරේ. හෙළුවැලි යාගය නමින් ද හඳුන්වන මෙම යාතු කර්මය රහසිගතව, ගමේ පිරිමි පිරිස පමණක් රාත්‍රියේදී නිර්වස්ත්‍රව හෝ අඩ නිරුවත්ව සිදු කරන්නක් බැවින් කාන්තාවන්ට හා දරුවන්ට සහභාගී වීම තබා ඒ පැත්ත පළාතකට වත් ඒම තහනම්ය.

එසේ බැරිවීමකින් හෝ මෙම වැහි බලි හෙවත් හෙළුවැලි යාගයක් නෙත ගැටුණ හොත් ඒ හේතුවෙන් ඇය යක්ෂ දරුවකු ප්‍රසූත කරන බවට ද මතයක් විය. ඒ හේතුවෙන් පිරිමින් මෙම යාතු කර්මය නිමා කොට හැඳි වත් පිටින් අළුයම් යාමයේ යළි නිවසට එන තුරු කාන්තාවන් නිවෙස් තුළට වී දොරවල් අගුළු ලා ගෙන සිටි බවක් පැවසෙයි. මෙවන් බරපතල නිග්‍රහයකින් ලැජ්ජාවටත්, කෝපයටත් පත්වන මුත්තා කල් නොයවා වැසි ලබා දෙනු ඇතැයි ගැමියෝ විශ්වාස කරති. මෙම යාගය අතරතුරදී දෙවියන්ට අපහාස වන පරිදි අසභ්‍ය හා අශ්ලීල යෙදුම්වලින් යුත් කවි හා කෝල්මුර කවි ගායනා කිරීම ද සිදු වේ. එමෙන්ම මෙම යාතු කර්මය ශ්‍රී ලාංකේය ජන ආගම, කෘෂිකර්මාන්තය සහ මානව විද්‍යාත්මක ඇදහිලි හා බැඳුණු සශ්‍රීකත්ව සංකේත අඩංගු සුවිශේෂී අංගයකි.

1940 දශකයේ පමණ සිට බලපැවැත්වුණු සභ්‍ය-අසභ්‍යවාදය (Decency and Indecency Debate) පිළිබඳ සමාජ කතිකාවට බොහෝ කලෙකට ඉහත පැවති සමාජ විඥානය තුළින් ඉස්මතු වූ බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය හුවා දැක්වීමේ ප්‍රබල සමාජ මනෝවිද්‍යාත්මක පක්ෂයක් ද තිබේ.

ඇතැම් සමාජ විචාරකයන් පවසන අන්දමට එදිනෙදා ජීවිතයේ දී තහනම් යැයි සැලකෙන ලිංගිකත්වය සහ වෙනත් මූලික සහජ ආවේගයන් පිළිබඳව විවෘතව කතා කිරීම තුළින් යම් ආකාරයක මානසික පීඩනයක් හෝ ආතතියක් මුදා හැරීමක් හෙවත් භාව විරේචනයක් සිදු වේ. නමුත් එය ඉතා සීරු මාරුවට යොදා ගත යුත්තක් මිස සංස්කෘතික වශයෙන් සෑමවිටම ප්‍රවර්ධනය කළ යුත්තක් නොවේ.

v4

ඉහත සඳහන් යාතු කර්ම ද අයත් සුව කිරීමේ චිකිත්සාව (Healing Therapy) යනු ශාරීරික, මානසික හෝ චිත්තවේගීය ආතතිය මුදා හැරීමට සහ කාංසාව සමඟ සාර්ථකව කටයුතු කිරීමට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන මනෝචිකිත්සක විධි ක්‍රමයකි. එමෙන්ම මෙම චිකිත්සාව මඟින් මිනිසුන්ට යහපත් සබඳතා පවත්වා ගැනීමට හෝ සමාජය තුළ ඵලදායී ලෙස ක්‍රියා කිරීමට ඇති හැකියාව පුළුල් කෙරෙන අතර නොවිසඳුනු ගැටලු මුදා හැරීමට උපකාරී වේ.

ඉහත සඳහන් ආකාරයේ ලිංගික භාවිතයන් මඟින් යම් නීති පද්ධතියක් හෝ ආගමක් තුළ නිශ්චිත සංස්කෘතියක් හෝ සංවිධානයක් විසින් අනුගමනය කරන සමාජ සම්මතයන් හෙවත් තහංචි (Taboos) බිඳලීමක් සිදුවන බව ඉතා පැහැදිලි ය. නමුත් සුවිශේෂ අවස්ථාවන් මුල් කොට මෙම තහංචිවලින් එපිටට පැමිණ තම කායික මානසික සුවසෙත තහවුරු කර ගැනීමට සේම එදිනෙදා ජීවිතයේ අත් විඳින අනේක විධ දුක්ඛ දොමනස්සයන් පිටු දැකීමට අතීත ගැමියා හිමි කර ගත් එම වරප්‍රසාදය අප ලඝු කොට තැකිය යුතු නැත.


(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...