BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'සාංකාව හිතේ ඇති නිවාලන්න එන්න පියෝ' - අමරසේකර පොරබඳන ජීවිත විසංවාදය

T

The Leader

November 22, 2025 • 4:10 AM

'සාංකාව හිතේ ඇති නිවාලන්න එන්න පියෝ' - අමරසේකර පොරබඳන ජීවිත විසංවාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය, 2025 උලෙළ පසුගිය13 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
  • අප විසින් ඔබ වෙත එවන ලද 'ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය, 2025' ආරාධනා පත්‍රයේ අග පිටුවේ එතුමා ගේ කවියක් ඇතුළත් කර තිබෙනවා.
  • සංකාව සිතේ ඇති ඔබට නො තේරෙ ද මිතුරෝ ඔබ නාවොත් මෙ සේ වෙතැ යි ඇයි ද නොසිතුවෙ මිතුරෝ  සාංකාව සිතේ ඇති නිවාලන්න එන්න පියෝ ඇයි අපි සාංකාවෙන් නෙවෙයි ද...?
  • ඒ කවියේ අර්ථය, යාළුවන්ට කරන අඬගෑමක් ලෙස ගත්තා නම්, ඔව්, සරල අරුත ලෙස එහෙමත් ගත හැකි යි, එයට ඔබ ප්‍රතිචාර දක්වලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මතු පළ වන්නේ එම උලෙළහි දී චින්තන පර්ෂදයේ විධායක සභික, යුතුකම ජාතික සංවිධානයේ ආරම්භක සභාපති, ගෙවිඳු කුමාරතුංග පළ කළ අදහස් අන්තර්ගත ලිපියකි.

අප විසින් ඔබ වෙත එවන ලද 'ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනය, 2025' ආරාධනා පත්‍රයේ අග පිටුවේ එතුමා ගේ කවියක් ඇතුළත් කර තිබෙනවා. ඒ, 'එන්න මගේ පිය මිතුරෝ' කවිය.

සංකාව සිතේ ඇති
ඔබට නො තේරෙ ද මිතුරෝ
ඔබ නාවොත් මෙ සේ වෙතැ යි
ඇයි ද නොසිතුවෙ මිතුරෝ

 සාංකාව සිතේ ඇති නිවාලන්න එන්න පියෝ

ඇයි අපි සාංකාවෙන් නෙවෙයි ද...?

580530021 1394662685362628 7512325216333897789 n
මේ 'අමල් බිසො' කාව්‍ය සංග්‍රහයේ එන පද්‍ය පන්තියක්. මිතුරෙක් මගෙන් ඇහුවා ප්‍රත්‍යවලෝකනය අරුත සමග ඒ කවිය ගැලපෙනවා ද කියා. අපි ගැඹුරු සාකච්ඡාවක් යෝජනා කරලා, ඇයි දැන් මේ වගේ අදහසක් දෙන්නේ කියලා... "පාලුවේ ඉන්නේ, කතාබහ කරන්න එන්න", වගේ අදහසක් දෙන්නේ ඇයි කියලා. ඒ කවියේ අර්ථය, යාළුවන්ට කරන අඬගෑමක් ලෙස ගත්තා නම්, ඔව්, සරල අරුත ලෙස එහෙමත් ගත හැකි යි, එයට ඔබ ප්‍රතිචාර දක්වලා තිබෙනවා. බොහෝ ම ස්තූතියි!

හැබැයි මට හිතෙන්නේ ඒ කවිය තුළ තියෙනවා කියා, අමරසේක සාහිත්‍යධරයා, අමරසේකර චින්තකයා, අපේ ජීවිතවලට අත් කරලා දෙන්න හදපු, තැතිනම් විසඳලා දෙන්න හදන මුලික අභියෝගය.

 



කවියා හිතමිතුරන්ට අඬගහනවා; එන්න, නැත්නම් මම සාංකාවෙන් කියා. දැන් අපි සාංකාවෙන් නෙවේ ද? ඔබ සාංකාවෙන් පෙළෙන්නේ නැති ද? අමරසේකරයන් ගේ පළමු කාව්‍ය සංග්‍රහයේ, පළමු කවිය: 'නගරයට පැයූ දේදුන්න'. සමන් (ලෙනින් මහතා) බොහෝ ම ස්තුතියි, ඉතා ම අපූරුවට ඔබ ගායනා කළා. නගරයේ කලබල මැද අහසේ දේදුන්න දැක්කාම හිත යන්නේ කොහාට ද? අම්මා ළඟට, සමන් පිච්ච වැල ගාවට, ගමට! අම්මාත් එක්ක, සමන් පිච්ච වැල ගාව දී දැක්ක දේදුන්න තමයි මතක් වෙන්නේ. කවියා අහනවා අනිත් අය ගෙන් මෙහෙම:

ට්‍රෑම් කාර් බස් ලොරි ඈ පිස්සන් ලෙස දිස්වේ
පිස්සෙනි ඇයි අහස දිහා ඇයි තොප නොබලන්නේ

campus

මට හිතෙන ආකාරයට මේ දෘෂ්ටියෙන් එ තුමා ගේ අලුත් ම පොත, 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතිය දක්වා ම විග්‍රහ කළ හැකි යි. දැන්, කොතැන ද මේ අවුල හැදෙන්නේ? අපි යනවා පාසලට, ඇතැම් අසරණ දරුවන්ට, වඩාත් ම දක්ෂ අසරණයන්ට පහේ ශිෂ්‍යත්වය සමග මේ තමන් ගේ ගෙදර, ගමේ පරිසරයේ අම්මා තාත්තා සමග ලබන සුහද අත්දැකීම් අහිමි වෙනවා. අවසාන වශයෙන් කවුරු-කවුරුත් විශ්වවිද්‍යාලයට ආවා ම මේ ඉරණමට ගොදුරු වෙනවා.


නිදහස් අධ්‍යාපනයෙන් කෙරෙන විලෝපනය

ගුණදාස අමරසේකරයන් ගේ දෙ වන කාව්‍ය සංග්‍රහයේ, 'උයනක හිඳ ලියූ කවි', පොතේ, එතුමා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටි අවදියේ ලියූ කවි තමයි ඊට ඇතුළත් ව තිබෙන්නේ, ඒ කවි පොතේ තියෙනවා, 'පුදුම රට' කියා කවි පන්තියක්. ආරම්භ කෙරෙන්නේ මෙහෙම:

gunadasaඉස්සර කාලේ තිබුණා
හරි ම පුදුම විදියෙ රටක්
එහි ගිය අය ගියා මිසක්
ගිය ලෙස නම් ආවේ නෑ

එහි විසුවා පුදුම සතෙක්
ඌ එන අය එකකු නෑර
රසය උරාගෙන බීලා
රොඩ්ඩ පමණි වැමෑරුවේ

මේ කාව්‍යය තරමක් දිග යි. කාලය ගතවන නිසා මම මුළු කවි පන්තිය ම කියවන්න උත්සාහ කරන්නේ නෑ. එහි විස්තර කෙරෙනවා  ගමෙන් එන දැන උගත් තරුණයන් ගේ අධ්‍යාත්මය, අමරසේකර මහතා මෙ රට අනාගතය භාරගනු ඇතැ යි විශ්වාස කළ ඒ උගත් ගැමි තරුණයන් ගේ අධ්‍යාත්මය හප කෙරුණ ආකාරය! ඒ කවි පන්තිය අවසන් කෙරෙන්නේ මෙලෙස:

කළු ඇදන් බෙර දවුල් පත්‍රිකා ධජ රැගෙන
කළු කබා තොප්පි ලා හෙමි-හෙමින් අඩි තියන
අවමඟුල් පෙරහැරකි සුසානය වෙත ඇදෙන
'උපන්නේ පනස්එක - මියගියේ පනස්පහ'


'ආත්මය නැති වීම සතුටු විය යුතු දෙයකි'
කට කොනින් ඇද වැටුණු
රොඩ්ඩ ඉවතට ඇදෙයි
මිනී පෙට්ටියෙහි ඇණ තද කරන හඬ ඇසෙයි
මේ ඉරණම ද අපේ විශ්වවිද්‍යාල අපට උරුම කරලා දෙන්නේ? අදත් මේක ද වෙන්නේ? අමරසේකර මහතා අයත් වුණේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ දෙ වන කණ්ඩායමට. අදත් මේක ද වෙන්නේ? අපිත් නිදහස් අධ්‍යාපනය රැකගන්න සටන් කළ අය. ඒත් නිදහස් අධ්‍යාපනයෙන් කෙරෙන්නේ මේ විලෝපනය ද? 

කවියා මිතුරන්ට අඬගසන හේතුව

 
Gamanaka Mula Gunadasa Amarasekara Wisidunu KBOOKS 500x500
මේ පේරාදෙණිය අත්දැකීම අමරසේකර ගේ 'ගමනක මුල' කතාමාලාවේ, 'ඉණි මඟේ ඉහළට' කෘතියේ ද ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. ඒ කතාමාලාවේ කතානායකයා, පියදාස, විශ්වවිද්‍යාලයට ගියා ම ඔහුට දරාගන්න බැහැ එහි ජීවිතය. ඔහු පාසල් අධ්‍යාපනය සඳහා කොළඹ බෝඩිං ජීවිතයක් ගත කළ කෙනෙක්. ඒත් මේ පේරාදෙණිය විලෝපනය ඔහුටත් දරාගන්න බෑ. බෙල්එකට නැගිටින, බෙල්එකට හැඳි-ගෑරප්පුවලින් කෑම කන, බෙල්එකට දේශනවලට යන, ඒ ජීවිතය ඔහුට දරාගන්න බෑ. ඔහු උත්සාහ කරනවා එ තැනින් විතැන් වෙන්න. පේරාදෙණිය ගමේ ඇවිදින්න යනවා. එහි සුහද අත්දැකීම් සොයා යනවා. 'ජීවන සුවඳ' කතා සංග්‍රහයේ බොහෝ කෙටිකතා මේ අත්දැකීම් මත යි ලියැවී තිබෙන්නේ.
මුළුමහත් නිදහස් අධ්‍යාපනයේ ම පැතුම ලෙස, වසර 12ක් කැප වෙලා, විශාල පීඩාකාරී තරඟ විභාගයකින් ජයගන්න, ඒ ඒ පරපුරේ දක්ෂම-දක්ෂයන්ට අපි අත් කරදෙන ඉරණම මෙය ද?

වඩාත් ම සංවේදී චරිත, මේ විතැන් වීමෙන් ගැලවෙන්න උත්සාහ කළත්, බෑ! අධ්‍යාත්මය තළා පොඩිකර, හපකර, විනාශ කළ රොඩ්ඩක් තමයි එළියට දැමෙන්නේ.

inimage ihalata
එතැනින් පසු තියෙන්නේ වෙනත් ජීවිත අපේක්ෂාවන්. රාජ්‍ය පරිපාලන සේවය, විවාහය, ආදරය මත නොවන, ආර්ථික ප්‍රතිලාභ මත තීරණය වන විවාහයක්. මේ වෙනත් ජීවිතයක්. තමන් ගේ දෙමවුපියන් ගෙන්, ගමෙන්, සුහද අත්දැකීම්වලින්, සතුටෙන් වියෝ වූ ජීවිතයක්. සාංකාවෙන් පෙළෙන ජීවිතයක්. ඒ සාංකාවෙන් මිදෙන්න තමයි මේ කවියා මිතුරන්ට අඬගසන්නේ!

"මාක්ස්වාදයේ විසඳුම් සොයන විගලිභව"

දැන් මාක්ස්වාදයෙත්  එක්තරා ආකාරයකට උත්සාහ කරන්නේ සාංකාවෙන් පෙළෙන ජීවිත ඉන් මුදවාගන්න. එහි දී සාංකාවට (විගලිතභාවයට) හේතුව සේ දකින්නේ තමන් ගේ ශ්‍රමයෙන් කරන නිෂ්පාදනය තමන් ගෙන් වියෝ වීම. ශ්‍රම විභේදනය නිසා, ශ්‍රමිකයා, තම ශ්‍රම දායකත්වයේ නිෂ්පාදිතයෙන් වියෝ වෙනවා. ඔහුට ඔහු ගේ නිෂ්පාදනය හා අනන්‍යය වීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒත්, ඒත්, ප්‍රාග්ධනයේ අයිතියට මේ විතැන්වීම, විගලිතභාවය, ලඝු කරන්න පුළුවන් ද? කම්කරුවා පමණක්  නෙවේ, අපි හැමෝ ම සුහද ජීවන අත්දැකීම්වලින් තොර යාන්ත්‍රික ජීවිත, නිසරු ජීවිත ගත කරන්නන් බවට පත් වී නැද්ද? අපි එකිනෙකා හා තරඟ කරමින්, එකිනෙකා පරයා, අපි අපිව අහිමි කරගන්නා තරගයක නොවේ ද?

'භාව ගීත' කෘතියේ එන කවි, අමරසේකර ගේ සියලු කවි, මේ දෘෂ්ටියෙන් බැලූ කල, ගමේ සුහද අත්දැකීම් හා බැඳුණු කවි හා ඉන් විතැන්වීම නිසා සාංකාවෙන් පෙළෙමින් ලියූ කවි ලෙස දෙ කොටසකට, කුලක දෙකකට වෙන් කරන්න පුළුවන්.. 'භාව ගීත' කාව්‍ය සංග්‍රහයේ එන 'නුහුරු රටක වසන්නෝ' නමැති මේ කවිය සළකා බලන්න:

bawa geethaහවස එළිය කාමරයට වැටුණු බැවින්
මෙ තෙක් කියෙවු පොත පසෙකින් තබාලා
ජනෙල් පළුව හැර හෙමිට දෙ නෙත් අයා
අවට පෙදෙස දෙස බැලුවෙමි උනන්දුවෙන්


දුඹුරු වහලවල් උන් උන් මැඬීමට
කරන කරදරෙන් අහසත් වැසී ඇත
එහෙත් තාප්පෙන් මෙ පිටට නැඟී ඇති
නිල් පැහැ අඹ අත්ත ඇදගති මගෙ දෙ නෙත


පුදුමයි නේ ද මෙ පමණ කල් මෙහි විසු ව
මගේ නෙතට ලක් නොවු සැටි මේ දැකුම
ඉතින් ඉතින් කුණු බෝතල් පෙට්ටි ළඟ
මෙ වැන්නකුත් මෙහි සැඟවී සිටි අයුරු!
 
මේ කවි පන්තියේ අවසන් පද්‍යය:
 
තවත් තවත් උස්වන්නට අනුන් මැඬ
ලොවක පතුල නැති දිව රෑ තුළ වෙහෙසී
ගෙවන මගේ දිවි අතැඟිලි අතරතුරෙන්
සොඳුරු මගේ ලොව ගිලිහී ය යි මෙලෙස
ඒක තමයි! "සොඳුරු මගේ ලොව ගිලිහී ය යි මෙ ලෙස". ඒ වගේ ම, මෙ තුමා ගේ කවිවල අපට නැවත-නැවතත් හමුවෙනවා ගමේ සොඳුරු අත්දැකීම් පිළිබඳ ආවර්ජනා. 'භාව ගීත' කෘතියේ, 'අඳුර අපේ දුක නිවාවි', 'වැස්ස', 'උඳුවප් ඇවිල්ලා', 'වක්කඩ බඳිමු', 'සිතින් කළ ගමනක්' ඉන් කිහිපයක්. අමරසේකර ගේ හදවත යටලමත්ත සොයා යන්නේ, හදවත පුබුදුවන නිජබිම එය බැවින්. 'සිතින් කළ ගමනක්' පද්‍යය ආරම්භ කෙරෙන්නේ මෙ ලෙස ය:

 
gunadasa ama
එන්න මා සමඟ දැන්
යටලමත්තට යන්න
උදෑසන ගඟ දිගේ
කෙළිදෙලෙන් තුටු වෙන්න
තේ වත්ත, කඩපළ, 'පස්කල්දූව' පහු කරගෙන, ඈතට පැතිර යන වෙල්යායේ පියකරු බව විඳගනිමින්, බෝවිටිය දං කැලේ... කුරුලු හඬ,  මහම්බාන... ගිං ගඟ, උනන්විටියේ අම්බලම, අප්පුහාමි ගෙ කඩේ, හකුරු සමඟ උණට උණු තේ එකක්!, උණ පඳුර, නාන තොටුපළ, පිල්ලෑවෙ හන්දිය, සුමනසේකර ගෙදර, පෝස් වත්ත, රබර් ගස් පටලැවුණු...

පාසල් යෑම සඳහා කොළඹ බෝඩින්වල සිට අමරසේකර නිවාඩුවට ගම බලා යන්නේ නංගී සමඟ. තාත්තා යි ඔවුන්ව කැටිව යන්නේ. "කිටියාට කොහොම ද?", "මම ඉන්දු කෙහෙල් ගහේ ලොකු කැනක් වැටිලා ද?", නංගීට ප්‍රශ්න ගොඩකි.
 
paddy feild oil
'ඉතින් කොහොම ද?' යි
පබ්බේ ඇවිදින් අසයි
පිළිතුරක් දී ගන්ට
මට සතුටෙ ඉඩ නැති ය

ඇළෙන් නා කාල බී
කතා කරකර ඉන්න
අතීතය අලුත් කොට
සන්තොසින් පසු වෙන්න
උදෑසන යං ඉතින්
යටලමත්තට යන්න           

 බණ්ඩාරනායක ගේ ජයග්‍රහණය සහ අමරසේකර පැතූ ලොව

අමරසේකර මහතා   'මේ රටේ අනාගතය බාරගන්නේ ගම්රටවලින් එන උගත් තරුණයන් ය' යන ලිපිය රචනා කරන්නේ හැටේ දශකයේ දී, 'සංස්කෘති' දස වන සංවත්සර කලාපයට ය. පසුකාලීන ව එතුමා පවසා සිටිනවා, "බණ්ඩාරනායක ගේ ජයග්‍රහණය සමග මම කල්පනා කළා උගත් ගැමි තරුණයන් මේ රටේ අනාගතය බාරගනී කියලා, ඒත් ඒක එහෙම වුණා ද?" කියලා.

අද අපි කැමැති වුණත් නැතත් එවැනි පිරිසක් අතට රාජ්‍ය බලය ලැබී තිබේ. ගම්රටවලින් පැමිණි, නිදහස් අධ්‍යාපනයේ  ප්‍රතිඵල ලෙස උගත් පිරිසක් අද රාජ්‍ය බලය හොබවති.

 
Education lanka
මට පෙර කරුණු දැක්වූ ජයන්ත අමරසිංහ මහාචාර්යතුමා, නිදහස් අධ්‍යාපනයේ දරුවන්ව ප්‍රශ්න කළා. අද නෙවේ, එදා, තිහේ දශකයේ දී ම ප්‍රශ්න කිරීම කෙරෙණා. 'අපේ අධ්‍යාපනය' තේමා කරගෙන ගාල්ලේ පැවැති සම්මන්ත්‍රණයක දී, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ද සහභාගී වූ සම්මන්ත්‍රණයක දී, කුමාරතුංග මුනිදාස මහතා සිය අදහස් දැක්වීම නිමා කළේ මෙ සේ ප්‍රකාශ කරමින් බව කියැවේ: "ලෙඩ නොලෙඩ කාටත් පොදුවේ දෙන කැඳ සේ, මේ ලබාදෙන අධ්‍යාපනය, බීමත් රියදුරෙක්, වංගු සහිත ප්‍රපාතාකාර මාවතක වේගයෙන් පහළට ඇදෙන තිරිංග රහිත බස් රථයක් කො තැනට පමුණුවා ද,  එ තැනට අප ගේ රට පමුණුවනු ඇත."

පක්ෂ දේශපාලනය අත්හරිමු ද...?

ගුණදාස අමරසේකර මහතා සිය අවසන් කෘතිය වූ 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතියේ දී අප ආ මාවත සම්බන්ධයෙන් බරපතළ වෙනස්කම් යෝජනා කරනවා. පක්ෂ දේශපාලනය, වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව අතහැරීමට යෝජනා කරනවා. මට මතක යි, අසූව දශකයේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට අප උත්සාහ කළ සංවාදයේ දී, ජාතික චින්තන සංවාදය ආරම්භයේ දී, එතුමා 'කාලය' සඟරාවට ලිපියක් ලියුවා, 'පක්ෂ දේශපාලනය අතහරිමු ද?' මැයෙන්. එහි දී එතුමා කිවුවා, "එපා, අපි ඉවසමු; මේ වැටුන ළිං කටින් ම ගොඩ එමු" කියා. වසර 30කට වඩා ඉවසලා, එතුමා කියනවා දැන් ඉවසුවා ඇති කියා. මේ මාර්ගයෙන් නම් සුගතියක් නැත කියා. මගේ අදහස නම්, අපි එතුමා කරන යෝජනාව, බැරෑරුම් ව සලකා බැලිය යුතු බව යි.

අමරසේකර ගේ යෝජනාව

 
Gunadasa Amarasekara 1 large
භයානක යෝජනාවක් සේ ඇතමුන්ට පෙනී යා හැකි යි. ඔව්, භයානක යි. නැතිනම් අභියෝගාත්මක යි. මේ රජය මේ යෝජනාව අයුතු සේ යොදාගනීවි දැ යි ඔබට බියක් ඇති විය හැකි යි. එය සාධාරණ යි. ඒත්, ජාතීන් විප්ලවීය වෙනස්කම් අත්පත් කරගැනීමට යෑමේ දී අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණදීමට සිදු වීම ස්වභාවික යි. අමරසේකරයන් නිර්භීත යි; තරුණ යි; අනාගතය වෙනුවෙන් නිර්භිත තීන්දු ගන්නා ලෙස අපට යෝජනා කරයි.
ගුණදාස අමරසේකරයන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින්, චිර ජීවනය ප්‍රාර්ථනා කරමින්, එතුමා අප හමුවේ තබා ඇති අභියෝගාත්මක ක්‍රියාමාර්ග බැරෑරුම් ලෙස සළකා බලන ලෙස යළිත් ඔබට යෝජනා කිරීමට කැමැත්ති යි. අපගේ ජීවිතවල මූලික විසංවාද ජයගත හැකි වනු ඇත්තේ, සාංකාව පිටුදැකිය හැති වනු ඇත්තේ එමඟිනි.


gevindu kumaratunga
(ගෙවිඳු කුමාරතුංග)
යුතුකම සංවාද කවය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

gevinducumaratunga@gmail.com


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...