BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ඔබ ආසන්නයේ ම වෙසෙන පුද්ගලයකු ගේ හෝ කිහිප දෙනකු ගේ ජීවිත විවරණය කෙරෙන 'පුද්ගලිකයි රහසිගතයි'

T

The Leader

November 25, 2025 • 11:41 PM

ඔබ ආසන්නයේ ම වෙසෙන පුද්ගලයකු ගේ හෝ කිහිප දෙනකු ගේ ජීවිත විවරණය කෙරෙන 'පුද්ගලිකයි රහසිගතයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''නවකතාකාරයා තමාගේ කතාව කියන්නේ කොයි ආකාරයෙන් ද යන්න වැදගත් නැත. සාමාන්‍ය කථන ක්‍රමයෙන් හෝ වේවා, උත්තම පුරුෂ ශෛලියෙන් හෝ වේවා, නැතහොත් විඤ්ඤාන ශ්‍රෝතස් ක්‍රමයෙන් හෝ වේවා, ජීවිතය විවරණයට භාජනය නොකර ලියන නවකතාව ලබා දෙන්නේ බොලඳ රසයක් පමනකි.
  • නවකතාව කොතෙක් තාත්වික වුවත්, කොතෙක් සාර්ථක ජීවිත විවරනයක් වුවත්, භාෂා ශෛලිය අතින් දුර්වල වුවහොත් කලාත්මක බවින් හීනවීමට ඉඩ ඇත.
  • කලා කෘතියකින් රස විඳීම එකම තලයක පිහිටා සිදු නොවන්නක් බව මෙහිදී සඳහන් කළ යුතුය.'' චිරන්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය: සිරි ගුනසිංහ; පිටුව 145: 1986: ඇස්.
  • අසාමාන්‍ය රටා සහිත පුද්ගලයින් විශේෂයෙන් ම කිසියම් පුද්ගලයකු ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් පවතී නම්, ඔහු හෝ ඇය සම්ප්‍රදායිකත්වය යම් ආකාරයකට මග හරින්නේ නම් එබඳු පුද්ගලයින් එසේ කිරීමට කිසියම් හේතුවක් පවතින බව ප්‍රත්‍යක්ෂ කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

භාෂාව, ශෛලිය, සන්දර්භය ආදි නොයෙක් දේවල් නවකතාවක රසය උද්දීපනය කිරීමට අවශ්‍ය බව සැබවි. නවකතාව කොතෙක් තාත්වික වුවත්, කොතෙක් සාර්ථක ජීවිත විවරනයක් වුවත්, භාෂා ශෛලිය අතින් දුර්වල වුවහොත් කලාත්මක බවින් හීනවීමට ඉඩ ඇත. එහෙත් ජීවිත විවරනයෙන් තොර නවකතා අනික් දේ අතින් කොපමන සාර්ථක වුවත් කලා කෘතියක් හැටියට අගය කල නොහැක. කලා කෘතියකින් රස විඳීම එකම තලයක පිහිටා සිදු නොවන්නක් බව මෙහිදී සඳහන් කළ යුතුය.''

චිරන්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය: සිරි ගුනසිංහ; පිටුව 145: 1986: ඇස්. ගොඩගේ සහෝදරයෝ

 මහාචාර්ය සිරි ගුනසිංහ

නවකතාකරුවා ගේ හෝ නවකතාකාරිය ගේ අරමුණ කුමක් වුව ද එය පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමේ දී ඔහු හෝ ඇය සිය නිර්මාණය ඉදිරිපත් කළ යුත්තේ කෙසේ ද යන්න මහාචාර්ය සිරි ගුනසිංහ ඉදිරිපත් කරන එම අදහසෙහි සත්‍යතාවක් පැවතුණ ද මේ වන විට නිකුත් වන බොහෝ සාහිත්‍ය කෘති තුළ අන්තර්ගත නොවන්නේ ම එකී ගුණාංග බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කළ යුතු ය. එකී ගුණාංග අන්තර්ගත වන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි; බහුතර පාඨක ප්‍රජාවක් බලාපොරොත්තු වන්නේ ද බොළඳ රසයක් පමණි.


ජීවිත විවරණ

මතු පළ වෙන සටහන තබන්නේ මහාචාර්ය සිරිගුනසිංහ ඉදිරිපත් කරන සාහිත්‍ය ගුණාංග මතු නොව පාඨක ප්‍රජාව වෙත නැවුම් අත් දැකීමක් ළඟා කර දෙන සාහිත්‍ය ප්‍රබන්ධ කෘතියක් සම්බන්ධයෙනි. ඒ, පී. බී. ජයසේකර විසින් ප්‍රබන්ධිත ''පුද්ගලිකයි රහසිගතයි'' ප්‍රබන්ධ කෘතිය යි.

මහාචාර්ය සිරි ගුනසිංහ පවසන පරිදි ම මෙම කෘතියෙහි ජීවිත එකක් නොව ප්‍රධාන ජීවිත ත්‍රිත්වයක් පිළිබඳව ම විවරණය කෙරේ. ඒ: මිගාර, අමන්දා සහ උපේක්ෂා යන තෙපළ ගේ ය. ඉන් පරිබාහිරව, උපේකා සහ අමන්දාගේ පියා, මව සහ එමිල් පිළිබඳව ද කිසියම් ජීවිත විවරණයක් අන්තර්ගත ය.

පී. බී. ජයසේකරපී. බී. ජයසේකරකතුවරයා සිය ප්‍රබන්ධය, ප්‍රබන්ධයට නගන්නේ: මමත් ඔබත් අතර ගැවසෙන, එහෙත් මටත් ඔබටත් කිසි සේත් ම හඳුනාගත නොහැකි, විශ්වාස කළ නොහැකි, ඇතැම් විට ඔහු හෝ ඇය අසුරු කරන මිනිස් ප්‍රාණින් ගේ සිත් තුළ යම් කුකුසක්, ගුප්ත භාවයක් ඇති කරවන, එසේ කුකුසක්, ගුප්ත භාවයක් ඇති කළ ද ඔවුනොවුන් ගේ ඒ ගුප්ත භාවය සොයාගත නොහැකි තරමට ම සාමාන්‍ය පුද්ගලයින් ලෙස ඔවුන් සමාජය ඉදිරියේ ජීවත් වීම කෙතරම් විස්මය ජනක ද යන අදහස පාඨක සිත් සතන් තුළ තැන්පත් කරමිනි.


අසාමාන්‍ය රටා සහිත පුද්ගලයින්

විශේෂයෙන් ම කිසියම් පුද්ගලයකු ගේ අසාමාන්‍ය හැසිරීම් රටාවක් පවතී නම්, ඔහු හෝ ඇය සම්ප්‍රදායිකත්වය යම් ආකාරයකට මග හරින්නේ නම් එබඳු පුද්ගලයින් එසේ කිරීමට කිසියම් හේතුවක් පවතින බව ප්‍රත්‍යක්ෂ කරමිනි.

කතුවරයා එක් චරිතයක් වේගයෙන් ඉදිරියට රැගෙන යන අතර තවත් චරිතයක් වේගයෙන් පිටුපසට රැගෙන යයි. තවත් චරිත කිහිපයක් ම ඉතා මන්දගාමීව වුව ද කිසියම් වෙනස් වීමකට, දියුණු තත්ත්වයකට බඳුන් කරයි. මේ සියලු වර්ධනීය හෝ අව වර්ධනීය චරිත කිසිවක් පාඨක ග්‍රහණයෙන් විතැන් නොකරවන්නට ද කතුවරයා සමත්කම් දක්වයි. ඒ, අන් කිසිවක් නොව ඔහු සතු ප්‍රබන්ධමය ශක්‍යතාව යි.

කතුවරයා ගේ දැනුම සහ ප්‍රබන්ධ ශක්‍යතාව

මහාචාර්ය සිරි ගුනසිංහ පවසන පරිදි භාෂාමය පාර්ශ්වය ද ඉතා සුමට ලෙස කැටි කර ඉදිපත් කරන්නට කතුවරයා මැනවින් සමත්ව ඇත. එමෙන් ම එක් එක් විෂය (භෞතික විද්‍යාව, ගණිතය,) පිළිබඳ තමා අනුදත් දෑ කථකයා වෙත ආරෝපණය කර, කථකයා හරහා පාඨක මනසට සමීප කරවීමට කතුවරයා දස්කම් දක්වා ඇත.

paper burning

''මෙහෙමයි ඔ්ක විස්තර කරන්න වෙන්නෙ, ඇත්ත, බොහෝ දේ දහනය වෙන ජ්වලන අංකයක් තිබෙනවා. අපි ඔය ප්‍රශ්නය අනික් පැත්තට කල්පනා කළොත් දහනය වෙනවා කියන්නේ ම ඔක්සයිඩ් හැදෙන එක. කඩදාසියක් දහනය උනොත් කාබන්ඩයොක් සයිඩ් සහ ජලවාෂ්ප හැදෙනව. ගෙන්දගම් දහනය උනා ම සල්පර් ඩයොක්සයිඩ් හැදෙනව. ඒකත් ඔක්සයිඩයක්. හයිඩ්‍රජන් ඔක්සයිඩයක්. ඉතින් ආය ඔක්සයිඩ් හැදෙන්නෙ නෑ, ඒ නිසා..."

පිටුව 41

ගැබිනි මව සහ කුස හොත් දරුවා

මවකගේ කුස හොත් දරුවකුට ඒ මව ගැබිනි සමයේ ඇසු දුටු දෑ මෙන් ම ඇගේ ඇතැම් සිතුම් පැතුම් පවා බලපාන ආකාරය විද්‍යාත්මකව ඔප්පු කර ඇත්ද නැද්ද යන්න පිළිබඳ නිසි තොරතුරු නොවුව ද එබඳු මවක ගේ කුසයෙන් ඉපි ද මෙලාව එළිය දුටු දරුවකු ගේ සමස්ත ජීවිතය ම මවගේ ශාපයට ලක්ව ඇතැයි යමකුට පැවසිය හැකි පමණට කතුවරයා සිය ප්‍රබන්ධ ශක්‍යතාව උපස්තම්භකකරගෙන ඇත.

 

pregnant woman in hospital adobe

කෘතියේ අන්තර්ගත කරුණු පිළිබදව හෝ චරිත පිළිබඳ වෙසෙස් විවරණයක යෙදෙන්නට මා උත්සාහ නොගන්නේ පාඨකයා මෙම කෘතිය කියවන්නේ නම් එය ඉතා අවධානයෙන් කළ යුතු කටයුත්තක් යැයි මා අදහස් කරන බැවිනි. යම් පුද්ගලයකුගේ ජීවිත කාලයේ දී ඔහුගේ හෝ ඇගේ හැසිරීම් රටාවේ යම් අසාමාන්‍ය ස්වරුපයක් දක්නට ලැබෙන්නේ නම් අනෙකා ඒ පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු යැයි යට සඳහන් කළේ ද එබැවිනි.

බාධා නොකර ම ඇතුළු වන කතුවරයා

මෙම ප්‍රබන්ධයේ ඇතැම් සිදුවීම් මතුවන්නේ කතුවරයා ගේ ම මැදිහත් වීම හේතුවෙන් වුව ද එබඳු අවස්ථා ප්‍රබන්ධයේ ගලා යෑමට බාධාවක් නොවන පරිදි අමුණන්නට කතුවරයා සමත්කම් දක්වා ඇත. යට කී විෂය කරුණු ඊට කදිම උදාහරණ ය. එය වඩාත් තහවුරු කරන්නේ එමිල් හරහා ඉදිරිපත් කරන මෙබඳු අදහස් ය.

''පොඩි කාලේ ඉඳන් ම නුවර කලාවියේ ජීවත් උනානන් දත්වල රජරට ලකුණු තියෙනව. ප්ලෝරයිඩ් ගේන දත් පෙළ හරහා යන දුඹුරු ඉර...''

පිටුව 161

''දැන් බලන්න හුනු පෝරණු ආශ්‍රිත ජනයාගේ නාස්පුඬු විශාලයි, වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ආශ්වාසයට ඉඩ ලබාගන්න''

පිටුව එම

දැලි පිහියෙන් කිරි කෑම

writer241230
කතුවරයා සිය ප්‍රබන්ධය තුළ 'කතාවක්' කියන අතර ම සමාජ දේශපාලන විග්‍රහයක යෙදෙන්නේ එහි යටි පෙළෙනි. ඔහු ඒ වෙනුවෙන් භාවිත කරන්නේ ඉතා කෙටි වාක්‍යයක් දෙකක් පමණි. නමුදු පුහුණු පාඨක පාඨකාවකට කතුවරයා ගේ අභිප්‍රාය වටහා ගන්නට වැඩි වෙහෙසක් දැරිය යුතු නොවේ. ඒ, කතුවරයා පාඨක ප්‍රජාවට යටත් නොවී කතුවරයා වෙත පාඨක ප්‍රජාව යටත් කරගැනීමේ අභිප්‍රාය ඇතුව සාහිත්‍යකරණයේ නියැළෙන බැවිනි; සිදු විය යුත්තේ ද එය යි. මෙය ඇතැම් විට දැලි පිහියෙන් කිරි කනවා බඳු විය හැකි ය. මන්ද ඇතැම් සාහිත සම්මාන උලෙළ විනිශ්ච මණ්ඩල සාමාජක සාමාජිකාවක අතින් මේ ගැඹුරු අරුත් මගහැරීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතින බැවිනි. කතුවරයාගේ ඇතැම් අගනා ප්‍රබන්ධ කෘති එබඳු මගහැරීම්වලට ලක් වී ඇති බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය.
මා දන්නා තරමින් සම්මාන උලෙළ කෙතරම් මගහැරුණ ද කතුවරයා නොනැවතී සිය සාහිත්‍යමය කටයුත්තේ නියැළෙන්නේ ඒ සියල්ලට අභියෝග කරමිනි.

කතුවරයා නොකියා ඉදිරිපත් කරන සන්දර්භය

book pb
අවසන් වශයෙන් පැවසිය යුත්තේ ''පුද්ගලිකයි රහසිගතයි'' සාම්ප්‍රදායික සාහිත්‍ය කියවන පාඨක ප්‍රජාවට හුදු කතන්දරයක් ලෙස කියවීමේ හැකියාව පවතින අතර ම මහාචාර්ය සිරි ගුනසිංහ පවසන පරිදි අගනා ජීවිත විවරණ කිහිපයක් ද ඉදිරිපත් කරන්නට කතුවරයා සමත්ව ඇති බව ය. එබැවින් මෙම කෘතියේ කතාන්දරය කියවා ගන්නා අතර ම කතුවරයා නොකියා ඉදිරිපත් කරන සන්දර්භය ද ස්පර්ශ කරන්න ලෙසයි.
අවධානයට: මහාචාර්ය සිරි ගුණසිංහ ගේ කෘතියෙන් (චිරන්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය) උපුටා ගත් කොටසෙහි අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම් එම කෘතියේ අන්තර්ගත පරිදි ම ය.

Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...