මෙවර එය පැවැත්වෙන්නේ අඛණ්ඩව 15වැනි වරටය. උලෙළ සඳහා ඉදිරිපත් වූ කෙටි චිත්‍රපට අතරින් චිත්‍රපට 50ක් ප්‍රදර්ශනය කෙරෙන අතර, විවිධ ඇගැයීම් ඉසව් 15ක් යටතේ සම්මාන පිරිනැමේ.
එම දිනවල පෙ.ව. 10.00- ප.ව. 3.00 දක්වා Alliance Francaise හිදී සහ ප.ව. 3.30- ප.ව. 8.00 දක්වා Goethe Institute හිදී චිත්‍රපට දර්ශන පැවැත්වේ.
මෙවර උලෙළ සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16කින් තරගකරුවන් ඉදිරිපත්ව සිටින අතර උලෙළෙහි ප්‍රධාන සම්මානයක් වන ‘මතු බලාපොරොත්තු සපිරි සිනමාකරුවා සඳහා වන සම්මානය' (අවුරුදු 24 ට අඩු) සඳහා තරුණ සිනමාකරුවෝ 11 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.

නූතන තරුණ නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ප්‍රකාශන මාධ්‍යක් බවට පත්ව ඇති කෙටි චිත්‍රපට කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ වෙනුවෙන් දිගු කලක් මුළුල්ලේ කැපවී සිටින සිනමාවේදිනියක වන අනෝමා රාජකරුණා, Agenda 14 සිනමා උලෙළෙහි නිර්මාතෘවරියයි. ඇය චිත්‍රපට අභිරක්ෂිකාවක සහ සිනමාකරණය පිළිබඳ ජාත්‍යන්තර තලයේ පුහුණුකාරිනියක ද වෙයි.

Agenda 14 කියන නම ටිකක් වෙනස් විදියේ එකක්. ඒ නමෙන් අදහස් කෙරෙන්නෙ මොකක්ද?
ශ්‍රී ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවෙන් තමයි ප්‍රකාශනයේ නිදහස තහවුරු කරලා තිබෙන්නෙ. ඉතින් අපේ Agenda එක වෙන්නෙ එය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම. වඩාත් සවිස්තරව කිව්වොත්, "ඩිජිටල් කතන්දර කීම, කෙටි චිත්‍රපට නිෂ්පාදනය සහ තිරගත කිරීම් සඳහා කාන්තා සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කරමින් තරුණ චිත්‍රපට නිෂ්පාදකයින් පුහුණු කිරීම සහ ඔවුන්ට සහාය වීම තුළින් ප්‍රකාශනයේ නිදහස සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට" තමයි Agenda 14 ආයතනය කැප වෙලා ඉන්නේ. වාර්ෂිකව පැවැත්වෙන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ, ඒ අරමුණ වෙනුවෙන් අපි නිරත වන ක්‍රියාකාරකම්වල ප්‍රධානම අංගයක්.
කාන්තා සහභාගිත්වය සහ තරුණ චිත්‍රපට නිෂ්පාදකවරුන් කියන කාරණා මෙතැනදි විශේෂයෙන් අවධාරණය කෙරෙනවා?
ඔව්. ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ, විශේෂයෙන් චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධයෙන් කාන්තා සහභාගිත්වය සීමිතයි. ඒ නිසා අපි කරන සෑම කටයුත්තකදීම අවම වශයෙන් සියයට 30ක් වත් කාන්තාවන් සඳහා අවස්ථාව ලබා දීම අපේ මූලික ප්‍රතිපත්තියක්. අපි මූලික අවධානය යොමු කරන කාරණා කිහිපයක් තියෙනවා. තරුණ පරම්පරාව එක්ක වැඩ කිරීම, ඔවුන් තෝරාගත් මාධ්‍යය වන කෙටි චිත්‍රපට සඳහා පුහුණුව, නිෂ්පාදනය සහ බෙදාහැරීම සඳහා මැදිහත්වීම, ඒ සඳහා එක්තරා විදියක අවකාශයක් නිර්මාණය කිරීම තමයි ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ අරමුණ.

සිනමාකාරිනියක් හැටියට මේ ක්ෂේත්‍රයේදී මම මුහුණ දුන් අත්දැකීම් තමයි ඊට පදනම් වුණේ. මගේ පළමුවැනි චිත්‍රපටිය හැදුවෙ මීට අවුරුදු 43කට කලින්. එතකොට මට අවුරුදු 17යි. ඒ කාලෙ වෙනකොට මේක ගෑනු දරුවෙකුට උචිත ක්ෂේත්‍රයක් හැටියට කොහොමවත් සැලකුණේ නැහැ. දැනුම ලබාගන්න එකවත්, පහසුකම් සලසාගන්න එකවත් කොහෙත්ම පහසු වුණේ නැහැ. අපිට චිත්‍රපටි හදන්න කවුරුවත් සහාය දුන්නෙ නෑ. පොකට් මනි එකතුකරල තමයි මේව කළේ. රඟපෑවෙ ළඟපාත ඉන්න නැන්දලා මාමලා, අක්කලා අයියලා.
ඒ තරම් අමාරුවෙන් කොහොමහරි චිත්‍රපටි හැදුවත්, ලෝකෙ තියෙන විවිධ උලෙළවලට ඒවා ඉදිරිපත් කරන්නෙ කොහෙමද කියල දැනගන්න විදියක් තිබුණෙ නෑ. එතකොට අන්තර්ජාලයත් නෑ. මොනවහරි තොරතුරු ලැබුණෙ විදෙස් සඟරාවලින්. සමහර සිනමා උළෙලවල් ගැන තොරතුරු අපිට ලැබෙනකොට, චිත්‍රපටි උලෙළ ඉවරත් වෙලා. අපේ සමහර ජ්‍යේෂ්ඨයන්ට ඒ තොරතුරු ලැබුණට ඒව අපිත් එක්ක බෙදාගත්තෙ නෑ. මට පළමුවරට අන්තර්ජාතික සම්මානයක් ලැබුණෙ මම කරපු A bit of paradise කියන චිත්‍රපටයට. ඒක ෆින්ලන්තයෙන් ලැබිච්ච සම්මානයක්. ඒ උලෙළ ගැන තොරතුරු මට ලබා දුන්නෙ ජාතික චිත්‍රපට සංස්ථාවෙ සාමාන්‍යාධිකාරීවරයෙක් වෙලා හිටපු රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහත්තයා.
ඉතින් මේ අත්දැකීම් එක්ක මම හිතුවා, ඊළඟ පරම්පරාව වෙනුවෙන් කරන්න පුළුවන් වටිනම දේ තමයි, ඔවුන්ට දැනුම ලබා ගැනීමට වගේම එවැනි අවස්ථා සඳහා මග පෙන්වීම කියන එක.
බොන්සොවා ආයතනයේ ප්‍රධාන සංස්කාරක විදියට කටයුතු කළ 2004- 2010 කාලයේදී මම උලෙළක් සංවිධානය කළා, අපිට ලැබුණු රූපවාහිනි ගුවන් කාලයෙන් මිනිත්තු 10ක කාලයක් කෙටි චිත්‍රපටකරුවන් වෙනුවෙන් වෙන් කළා, ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කළා, ඔවුන් එක්ක සම්මුඛ සාකච්ඡා කළා. ඒ වගේම තරුණ නිෂ්පාදකවරුන් පුහුණු කළා. ඉතින් එතනදි ගත්ත අත්දැකීම් එක්ක, ඊට වඩා පුළුල් තලයකට යන්න තමයි ඇජෙන්ඩා 14 පටන්ගත්තෙ.
ඇජෙන්ඩා 14 මෙතෙක් ආ දුර දිහා හැරිලා බැලුවොත්?
අපි Agenda 14 ආයතනය පටන් ගත්තෙ 2011 වසරේදී. ඒත් එක්කම Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ පටන්ගත්තා. මේ වෙද්දි අපි අඛණ්ඩව 14 වතාවක් මේ උලෙළ පවත්වලා තිබෙනවා. මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වරට. රජයටවත් වෙන කිසිම පාර්ශ්වයකටවත් මෙතරම් කාලයක් ඒ විදියට අඛණ්ඩව සිනමා උලෙළක් පවත්වගෙන යන්න හැකි වෙලා නැහැ. කොවිඩ් සමයේ හෝ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ අරගලය සමයේ පවා අපි මේක නතර කළේ නැහැ. ඒ වගේම, මේ ක්ෂේත්‍රයට අපේ මැදිහත්වීම සම්මාන උළෙලට පමණක් සීමා වෙන්නෙ නැහැ. ලංකාවේ සිනමාවට ඊළඟ පරම්පරාව පුහුණු කිරීම අපේ ප්‍රධාන අරමුණක්. 2015 ඉඳලා අපි ලංකාව පුරා පුහුණු වැඩසටහන් රාශියක් පැවැත්වුවා. උතුරේ, දකුණේ, මධ්‍යම පළාතේ උතුරු නැගෙනහිර ආදී සියලුම ප්‍රදේශවල. එහි ප්‍රතිඵලයක් විදියට, මේ වෙනකොට දිවයිනේ සියලුම පළාත්වලින් උලෙළට සිනමා කෘති ඉදිරිපත් වෙනවා.
උලෙළට ඉදිරිපත් වන කෙටි චිත්‍රපටි ඇගයීමට ලක් කෙරෙන්නේ කවර කාණ්ඩ යටතේද?

ලංකාවේ අයිතිවාසිකම් සම්බන්ධ සාකච්ඡාවට කෙටි චිත්‍රපට වගේ මාතෘකාවක් එකතු කරන්නෙ කොහොමද කියන එක, අපි විශේෂයෙන් අවධානය යොමු කරන කාරණයක්. ඒ වගේම චිත්‍රපටිකරුවන් අතර ජෙන්ඩර්- නැත්නම් සමාජභාවය පිළිබඳ යම් විදියක දැනුවත්භාවයක් ඇති කරන්නෙ කොහොමද කියන එකත් අපි සොයනවා. මොකද ජෙන්ඩර් සෙන්සිටිවිටි කියන එක නැත්නම් සමාජභාවය පිළිබඳ සංවේදීකම හුඟක් සිනමාකරුවන් තුළ නෑ. විශේෂයෙන්ම අතිවිශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයන් සිද්ධ වෙන රටක ඒක අත්‍යවශ්‍ය දෙයක්. සිනමා උලෙළේත් අපි ඒ සඳහා තරග අංශ දෙකක් ඇතුළත් කරලා තියෙනවා. ඒ එක්කම පරිසරය පිළිබඳ චිත්‍රපට සඳහා හරිත සම්මානය, ඒ වගේම මයික්‍රො ෂෝට්, එක්ස්පෙරිමන්ටල් වගේ කාණ්ඩ සඳහාත්, රංගනය, කැමරාකරණය වගේ හැම අංශයකටමත් සම්මාන දෙන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා මේ වෙනකොට පරිපූර්ණ සිනමා උලෙළක තත්ත්වයට Agenda 14 පත් වෙලා.

ඔව්. හැම තිස්සෙම මං එක්ක වැඩ කරන්නෙ බොහොම තරුණ ටීම් එකක්. ඇජෙන්ඩා 14 චිත්‍රපට උලෙළත්, යාපනය අන්තර්ජාතික සිනමා උලෙළත් සංවිධානය කරන්නෙ ඔවුන්. අපට සම්බන්ධ වෙන අය, දගු කාලයක් අපිත් එක්ක වැඩ කරනවා. සිනමාව ගැන හැකියාවන් වර්ධනය කර ගන්නවා විතරක් නෙවෙයි, ඊට වඩා බොහෝ දේවල් ඒ වැඩ කිරීම එක්ක ඔවුන්ගෙ ජීවිතවලට එකතු කර ගන්නවා.
තරුණ පරම්පරාවට ඕන මොකක්ද කියන එක හැම තිස්සෙම ඒ පරම්පරා එක්ක සංවාදයෙන් තීරණය කරන්න ඕන. අපි හැම විටම ඔවුන් එක්ක සාකච්ඡා කරලා තමයි තීරණ ගන්නෙ. සියලු ජනවර්ග සහ විවිධ අනන්‍යතා සහිත තරුණ ප්‍රජාව එකට වැඩ කිරීමෙන් ඔවුන්ට එකිනෙකා අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අපි ඔවුන් එක්ක ඉතාම විවෘත සහ පුළුල් සංවාදයක් ගොඩනගල තියනවා. සමහරවිට ඔවුන් කෙටි චිත්‍රපටි කියල හදන ඒවා ඇත්තටම කෙටි චිත්‍රපටිද? අපි ඒ ගැන පවා විවෘතව සංවාද කරනවා. ඒ හැම දේකම අරමුණ වෙන්නේ ඔවුන් දැනට ඉන්න තැනින් තව බොහෝ දුරක් ඉදිරියට යන්න මග පෙන්වන එක.
- සංවාදය
ප්‍රමෝද්‍යා සිරිවර්ධන




